රාවය

මේක මරු කියන එක තමයි මට මරු – සංජය ඈපා සෙනවිරත්න

මේක මරු කියන එක තමයි මට මරු – සංජය ඈපා සෙනවිරත්න

සංවාදය- රසික ගුණවර්ධන
ඡායා- ටී. නඩරාසා

සංජය ඈපා පොත් කවර නිර්මාණශිල්පියෙක්, ග්‍රැපික් නිර්මාණකරුවෙන්, ගීත රචකයෙක් වගේම හඬ නළුවෙක්. මේ ඔහුත් සමඟ සිදුකළ කතාබහක්.

 

ඔබ නිර්මාණකරණයට පිවිසෙන තැනින්ම පටන් ගමු.

ඒක ඇබ්බැහියක් හරහා වෙච්ච දෙයක්. මම පොඩි කාලේ අපේ ගෙදර විශාල පොත් ප්‍රමාණයක් තිබ්බ. එක නිසාම මට පොත් කියවන ඇබ්බැහිය දරුණුවට තිබ්බ. ඒකත් එක්ක මට ඕනෙ වුණා මම කියවපු පොත් වලට මට උවමනා, මට මැවිච්ච පොත් පිටකවර නිර්මාණය කරගන්ඩ. එතකොට මම සමහර පොත් වලට පිට කවර හැදුව. ඔය විදිහට ඉන්නකොට මම සිංහල ඉගෙන ගන්ඩ සන්නස්ගල ගාවට යනව. ඒත් එක්කම මම සන්නස්ගලත් එක්ක සමීප වෙනව. එතනදි මට සන්නස්ගලගෙ ටියුට් කවර හදන්ඩ හම්බවෙනව. සන්නස්ගලගෙ තිබ්බ සහ සන්නස්ගල ඉල්ලුව ඒ අමුතු රහට අපි ඇබ්බැහි වුණා.

ඔහොම ඉඳලා මම ඒලෙවල් කරනවා. හැබැයි මට කැම්පස් යන්ඩ බැරි වෙනවා. මගෙ යාලුවො ටික කැම්පස් යනව. මට යාලුවො නැති වෙනවා. මම හුදෙකලා වෙනවා. හුදෙකලා වුණාට පස්සෙ මට දැන් පිස්සු වගේ. ඊට පස්සේ මම පුස්තකාලෙට යන්ඩ හුරු වෙනවා. එතකොට මම දකිනව ඇරපු නැති කබඞ් වගයක්. මම ඒ කබඞ් ටික ඇරගන්නව. ඒකෙ තිබ්බෙ ප්‍රින්ටින් ගැන පොත්. මම ඔය පොත් කියවන්ඩ පටන් ගන්නව. එතකොට මට අර තිබ්බ පාලුව නැති වුණා. මට අලුත් යාලුවෙක් හම්බ වුණා වගේ. මම ඒ කියවපුව ප්‍රින්ටින් කරන තැන් වලට ගිහිල්ලා අහගත්ත. ඒක එක්ක මට මුද්‍රණය ගැන තිබ්බනන් බයක් ඒක නැති වුණා.

ඔබ පොත් කවර නිර්මාණය කරන්නෙක් වගේම, හඬ නළුවෙක්, ගීත රචකයෙක් මේ ස්වරූප අතරින් ඔබ පණ පොවන්ඩ ආසම කරන චරිතය මොකක්ද?

ගීත රචකයට. හැබැයි මම අඩුවෙන්ම පණ පොවන චරිතයත් ඒක. මොකද මම ආසම කරණ කෘති ප්‍රවර්ගය එළියට දාද්දි මම දරුණුවට හිතනව. මොකද මම මෙතනදි සෑහෙන පරිස්සන් වෙන්ඩ වෙනව. වර්තමානයේ සමාජයේ ජනප්‍රියම තමයි ගීතය කියන්නෙ. ඒ නිසාම ඒ ගැන අපි මාධ්‍යය වැඩිපුර අවධානයක් යොමු කරන්ඩ ඕනෙ. ඒනිසා මම වැඩි පරිස්සමකින් ගීත රචනයේ නියැලෙනව.

පොත් කවර නිර්මාණශිල්පියා විශේෂ වෙන්නෙ කොහොමද?

චිත්‍රයක් ඇඳගන්ඩ පුලුවන් මිනිහට පුලුවන් පොතට චිත්‍රයක් ඇඳල දෙන්ඩ. හැබැයි ඔහුට බෑ පොත් පිට කවරයක් නිර්මාණය කරන්ඩ මොකද, මේකට මුද්‍රණ කර්මාන්තය ගැන අවභෝධයක් තියෙන්ඩ ඕනෙ. කවර හදනව කියන්නෙ අඳින එකයි පාට කරන එකයි නෙවෙයි. කවරෙ හදන එක නෙවේ වැඬේ ප්‍රින්ට් කරන එක. මේක කර්මාන්තයක්. දැනුමක් එක්ක කරන්ඩ ඕනෙ කලාවක්. ඒනිසා පොත් කවර නිර්මාණය කරන්නකුට පැතිරුණු දැනුමක් අවශ්‍යයි. ඒ නිසා ඔහු විශේෂයි.

පොතේ අන්තර්ගතයට පොත් කවරෙ කරන බලපෑම මොකක්ද?

පොත් කවරෙ තමයි පොතේ අන්තර්ගතයට කරන පළවැනි සහ ලොකුම බලපෑම. පොත කියන්නෙ නිශ්පාදනයක්, වෙළඳ භාණ්ඩයක්. පොත් කඬේකට ගියහම පොත් රාක්ක වල ගහල තියන පොත් ප්‍රමාණය බලන්ඩ. එකම ප්‍රඩක්ට් එකෙන් ඩුප්ලිකේට් ගොඩාක් තියනව. ඔතනට එන පාඨකය එන්නෙ මම මේ ජාතියේ පොතක් ගන්නව කියල හිතාගෙන. එතකොට ඔය ඩුප්ලිකේට් ගොඩ අතරින් පාරිභෝගිකය යම් පොතක් තෝරා ගන්නෙ ඔහුට ඒ පොත දැනිච්ච නිසා. ඒ දැනීම ඇති කරන්නෙ පොතේ කවරෙ.

පොතක පිටකවරයක් පරිපූර්ණ වෙන්නෙ කොහොමද?

පළවැනි එක නිර්මාණකරුවා විවෘත වීම. දෙක තාක්ෂණය භාවිත කිරීම. මම ගාව අලුත්ම තාක්ෂණය තියනව. එතකොට මට මෘදුකාංග ප්‍රශ්න නෑ. පරිගණක ප්‍රශ්න නෑ. ටූල්ස් ප්‍රශ්න නෑ. මුකුත් ප්‍රශ්න නෑ. ඒ ටික ලෑස්ති කරගත්තට පස්සෙ මම ඉතාම හොඳ සූදානමකින් ඉන්නව වැඬේට. එතකොට මම නිදහස්. හැබැයි තාක්ෂණය තිබූ පමණින් වැඩක් නෑ. ඒක වෘතිමය ප්‍රවේශයකින් පාවිච්චි කරන්ඩ දැනගන්ඩ ඕනෙ.

පොතක කවරයක් නිර්මාණයට කලින් ඔබේ ක්‍රියාකාරීත්වය කොහොමද?

ස්වත්‍රන්ත කෘතියක් නම් මම අනිවාර්යෙන් කියවනව. හැබැයි සාහිත්‍ය මාසෙ වගේ වැඩ වැඩි මාස වලදි පොත් තනිකරම කියවන්ඩ වෙලාවක් නෑ. එතකොට කතුවරයත් එක්ක පොත කියවනව. පරිවර්තනයක් වගේ නම් මට කියවල විතරක් නිකන් ඉන්ඩ බෑ. ඒ පොත ගැන ලෝකෙ වෙච්ච කතාබහ තියනව. මුල් පිට කවර ගැන ඇතිවෙච්ච සංවාද සාකච්චා තියනව. ඒව එක්ක මම මගේම හැදෑරීමක් කරනව. හැබැයි පරිවර්තන කෘති වලදි ප්‍රකාශකය තමයි ගොඩක් වෙලාවට මේක මෙහෙම වෙනස් කරන්ඩ. මේක මෙහෙම හදන්ඩ කියල එන්නෙ. අපිට මේකට මුලින් හදපු පිට කවරයක් තියනව ඒක ලංකාවට ගැලපෙන විදිහ තමයි අපි බලන්ඩ ඕනෙ. ඔය ගැලපීම සංස්කෘතියටවත් රටටවත් නෙවෙයි. මේ වෙලාවෙ මාකට් එකට, පාරිභෝගිකයට. මේක බිස්නස් එකක්. මම පොතක් ඇතුළෙ කරන්නෙ ආට් කෑල්ලක් දාල පොත විකුණන්ඩ හදන එක. මොකද මම ලංකාවෙ පාරිභෝගිකයව දන්නව. මගෙ පොත් කවර ඇතුළෙ මම ඉන්නව. මගේ විදිහ තියනව. පොත, කවරයක් හදන්ඩ මට බලපෑමක් කරනව. ඊට පස්සෙ මම පෙරළා පොතට බලපෑම් කරනව. ඒ බලපෑම තමයි මම විසින් පොතට කරන ගරු කිරීම, සැලකීම. ඒ සැලකීම පොතේ අන්තර්ගතයට සුළු පටු නොවන බලපෑමකුත් කරනවා.

විවිධ අරමුණු මත පොත් ලියන කතුවරු ඉන්න. විවිධ මාණ වල ඉන්න කතෘන් ඉන්නව. සමහරු සාහිත්‍යමය උවමනාවකින් පොත් ලියනව, සමහරු ආර්ථිකමය උවමනාවකින් පොත් ලියනව, ඒ අතරෙ තවත් අය ජනප්‍රියත්වය ගැන කෑදරකමක් තියනව. ඒම මම තේරුන් ගන්ඩ ඕනෙ. මේ කතෘ ට්‍රයි කරන්නෙ සම්මානෙ ගන්ඩ ද? පොත විකුණ ගන්ඩ ද? කියල. සමහරු ඉන්නව පොත් දෙසීයක් විතර ගහන්නෙ. ඒ ගහන්නෙ කැම්පස් එකේ මොකක් හරි එකක් ටාගට් කරගෙන එන අයද බෙදල මම පොතක් ගැහුව කියන්ඩ. එතකොට පොත ඇතුලෙ මොනවා තිබ්බත් පොත් කවරෙට ආකර්ශනීය බවක් හදල දෙන්ඩ වෙනව.

ඔබේ නිර්මාණ ඇතුලෙ දේශපාලනය තියනවා.

මගේ නිර්මාණ වල දේශපාලනය තියනව. ඒක තමයි මේ මොහොතෙ මගේ ජීවිතයට බද්ධ වෙච්ච අපේ දේශපාලනය.
කැරලි ගාණක්, යුද්ධ ගාණක්, අරාජික කාල ගාණක් පහු කරන් ආවෙ අපි. වැඩිම බලපෑම තිබ්බෙ අපිට. අපේ පරම්පරාවට මාර ආරාධනාවක් ආව හමුදාවට බැදෙන්ඩ කියල. එතකොට කොටසක් ගියෙ නෑ කොටසක් ගියා. එහෙම නොයන්ඩ ගන්න තීරණය සහ යන්ඩ ගන්න තීරණය කියන දෙකම දෙශපාලනිකයි.
මම විශ්වාස කරන්නෙ නොගියපු පිරිසට තිබ්බ ආදරය, මනුස්ස ජීවිත ගැන ආදරය. ඔය නොගියපු පිරිසට ඊට කලින් වාමාංශික දේශපාලනයෙනුත් අඬගහනවා. එතකොට වමත් අඬගහනව රටත් අඬගහනවා. මොකටද අඬගහන්නෙ මොනව බේරගන්ඩ ද? ඔය ගැන අපි අතරෙ දරුණු සාකච්චා පැවතුනා. එතකොට අපි දේශපාලනය කියෙව්වා. එතකොට අපිට තේරෙනවා මේ හැම දේශපාලනයකටම වඩා හොඳ දේශපාලනයක් තියෙන්ඩ ඕනෙ කියන එක. හැබැයි මම ලංකාවෙ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකළට වමට ආදරය කරන්ඩ පටන් ගන්නවා.
ලංකාවේ දකුණ පැහැදිලියි. හැබැයි වම පැහැදිලි නෑ. වම කියන එක කොහෙද තියෙන්නෙ. වම මොකද කරන්නෙ? පැහැදිලි නෑ. ඒක තේරුන් ගන්ඩ බෑ. ශ්‍රී ලාංකීය වමේ ශිෂ්ඨාචාරය මොකක්ද? වමේ සංස්කෘතිය මොකක්ද?

ඔබ ආත්ම තෘප්තිය සඳහා නිර්මාණකරණයේ යෙදෙන්නෙක්ද?

මේක මගේ රස්සාව. රස්සාව ආත්මතෘප්තිය තමයි. මේක මට දරාගන්ඩ පුලුවන් රස්සාව. හැබැයි මේක හරිම වෙහෙස කාර්යක්. මොකද මගේ වැඩ ඇතුලෙ කම්කරුව මම.

ලංකාවේ පොත් කවර නිර්මාණශිල්පියට ඇගයීමක් ලැබෙනවද?

නෑ. කතාවත් කරන්නෙ නෑ. ලංකාවෙ පොත් කවර නිර්මාණශිල්පීන්ට සම්මාන දෙන්නෙ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලදි විතරයි. වෙන කිසිම තැනකදි සම්මානයක් ලැබෙන්නෙ නෑ. හැබැයි එහෙම නෑ කියල මට අවුලක් නෑ. මට පාඨකයන්ගෙ, කතුවරයගෙ, යාලුවන්ගෙ ප්‍රතිචාර ටික තිබ්බහම ඇති. මැටි ගුලියක් ගෙදර තියන් ඉන්නවට වැඩිය ඒක සජීවීයි. මනුස්සයෙක් කතා කරලා කියන්නෙ ආදරේ හින්ද. හැබැයි සම්මානයක් ඇතුළේ ආදරයක් නෑනේ. මචන් මේක ලස්සනයි, මේක මරු කියන එක තමයි මට මරු.

ඔබ අකුරු පස්සෙ යන්නෙක්.

මට චිත්‍ර අඳින්ඩ බෑ. ඒක හින්ද මම වඩාත්ම කැමති වෙන්නෙ typography . මොකද මට අකුරු අඳින්ඩ පුළුවන්. මම විශ්වාස කරන විදිහට ඉතාම බලපෑම් සහගතම මාධ්‍ය තමයි අකුරු. එතකොට අකුරු පැහැදිලිවම දේශපාලනිකයි. අකුරු කියන්නෙ මට ජීවිතේ. කොයි fonts එක ගත්තත් ඒ fonts වල තියෙන්නෙ ජීවිත. ප්‍රමාණ, රටාවල් මට ඒව ජීවමාන චරිත. මට ඒව හුස්ම ගන්න දේවල්, හැසිරෙන දේවල්, සංවාද ශීලී දේවල්. මේව මිනිස්සු වගේ. එතකොට මම වැඬේ අනුව දන්නව මේ වැඬේට හරියන මිනිහ මොකාද කියල. සමහරු අකුරුවලට ස්ත්‍රී ලක්ෂණ තියනව. සමහර අකුරු වලට පුරුෂ ලක්ෂණ තියනව. අකුරු වලට මියුසික් තියනව.
මට රූප වලට වඩා අකුරු ඉතාම ප්‍රබලයි. මිනිස්සු කියවන්නෙ අකුරු, අකුරු වලින් රූප හදන්නෙ. අකුරු මගෙ කියවීම. මෙච්චරකල් මම කියවල තියෙන්නෙ අකුරු.