රාවය

ජයග්‍රහණයත් පරාජයත් ඛේදවාචකයක් වීම

ජයග්‍රහණයත් පරාජයත් ඛේදවාචකයක් වීම

ටොල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය නැවත කියවීමක්

මහින්ද හත්තක

විශ්ව සාහිත්‍යයේ දීප්තිමත්ම තරුවක් වන රුසියානු ගත් කතුවර ලියෝ ටෝල්ස්ටෝයිගේ විශිෂ්ටතම නිර්මාණයක් වූ යුද්ධය සහ සාමය රචනා කෙළේ සියවස් එකහමාරකට වඩා ඈත කාලයක වුවද එහි සාහිත්‍යමය අගයත් එම කතාවට පසුබිම් වූ දර්ශනයත් සදාකාලිකය. සැබෑ සාහිත්‍ය නිර්මාණයක තිබිය යුතු මෙම සදාකාලික බව යුද්ධය සහ සාමය කෘතියේ සැමවිටම නැවුම් රසයක් ගෙන දීම ටෝල්ස්ටෝයි නම් ප්‍රාඥයාගේ බුද්ධියටත් සමස්ත මානව සමාජයම තියුණු විශ්ලේෂණයට ලක්කිරීමේ හැකියාවටත් නිදසුන් ය.
දහනම වැනි සියවසේ මුල් දසක දෙක තුළ නැපෝලියන් අධිරාජ්‍යයා රුසියාව ආක්‍රමණය කිරීමත් ඉන් ඇලෙක්සැන්ඩර් සාර් රජ පවුල සහ ඊට සම්බන්ධ රදළ පංතිය තුළ ඇති වූ කම්පනයත් පදනම් කර ගත් යුද්ධය හා සාමය කැපී පෙනෙන්නේ අද්විතීය සාහිත්‍ය නිර්මාණයක් නිසාම නොවේ. සාමාන්‍යයෙන් යුද්ධයකදී ඉස්මතු වන්නේ වීරයන් වුවද ටෝල්ස්ටෝයි වීර චරිත නිර්මාණය කිරීමට අවධානය යොමු කෙළේ නැත. රුසියානු හමුදා ප්‍රධානි කටුසොව් හෝ නැපෝලියන් අධිරාජ්‍යයා පාඨකයාට වීරයකු වන්නේ නැත. යුද්ධයෙන් වීරයන් බිහි නොවන්නේ යුද්ධයක් ඇතිවීමට සුවිශේෂී හේතුවක් නොවන නිසාය. යුද්ධයක් ඇතිවන්නේ එය විය යුතු නිසාය.

යුද්ධය පිළිබඳ ඉතිහාසය ටෝල්ස්ටෝයි දකින්නේ මෙසේය: ‘ඉතිහාසයේ සිද්ධීන් වඩාත් තාර්කිකව පැහැදිලි කිරීමට ගන්නා උත්සාහයේදී එය වඩාත් අතාර්කික, තේරුම්ගත නොහැකි දෙයක් බවට පත්වනු පෙනේ. සෑම මිනිසකුම තමන්ගේම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තම නිදහස් කැමැත්ත යොදා ගනිමින් තමන්ගේම දිවියක් ගත කරයි. ඔහුට කිසියම් ක්‍රියාවක් කිරීමට හැකියැයි හෝ නොහැකියැයි දැනේ. එහෙත් ඔහු කාල පරාසයක් තුළ කිසියම් මොහොතක ක්‍රියාවක් සිදු කළ වහාම එය ආපසු ගත නොහැකිය. එය ඉතිහාසයේ දේපොළක් බවට පත් වේ. එහි වැදගත්කම පූර්ව විනිශ්චයට ලක්වන අතර එය නිදහස් කැමැත්ත අනුව සිදුවූවක් නොවේ.’
ඒ අනුව ඉතිහාසය නිර්මාණය කරන නායකයන් විය නොහැකිය. පුද්ගලයකුගේ කාර්යයේ වැදගත්කම තීරණය වන්නේ ඉතිහාසයෙනි. එම නිසා නායක වන්දනාව ඉතිහාසය නොවේ. නායකයන් කවුද යන්නත් ටෝල්ස්ටෝයි පැහැදිලි කරයි.

‘ඓතිහාසික සිද්ධීන්වල – ඊනියා – මහා පුරුෂයන් යනු සිද්ධියකට නමක් ලබාදීමට යොදා ගන්නා ලේබලයක් පමණි. ලේබලයක් මෙන්ම සිද්ධියට ඔවුන්ගේ ඇත්තේ අඩුම සම්බන්ධතාවකි.’
ඉතිහාසය පිළිබඳව මාක්ස්වාදී විග්‍රහය එතරම් සමාජගතවී නොවූ අවධියක යුද්ධය සහ වීරයන් ගැන කරන මෙම විග්‍රහය සැබැවින්ම විප්ලවවාදීය. එය විසිඑක් වැනි සියවසේ වෙසෙන අපට වැදගත්වන්නේ යුද්ධය හා එහි වීරයන් ගැන පළ කෙරෙන මිථ්‍යා මතවල අඩුවක් නොමැති නිසාය. මෙම නවකතාවට පාදක වූ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් වූ බොරොඩිනෝ සටනේදී ඇත්තෙන්ම ජයග්‍රාහකයා කවුද යන්න සැකයකි. නැපෝලියන් මෙහෙයවූ හමුදාවට, රුසියානු හමුදාවට බරපතළ හානියක් කිරීමට හැකි වුවද ජයග්‍රහණයත් අත් වූයේ නැත. අනෙක් අතට කටුසොව් මෙහෙයවූ රුසියානු හමුදාවට නැපෝලියන්ගේ ඉදිරි ගමන වැළැක්වීමට හැකි වුවද එය ජයග්‍රහණයක් වූයේ නැත. අවසානයේ දී නැපෝලියන්ගේ හමුදාව මොස්කව් නගරයට ඇතුළු වන්නේ රුසියානු හමුදාව සටනක් නැතිව එය අතහැර ගිය නිසාය. සාන්ත පීටර්ස් නගරය නැපෝලියන්ගේ ඊළඟ ඉලක්කය වුවද එම අදහස අතහැර ඔහු පසුබැසීමට තීරණය කෙළේ සටනක් කරන්නේ නැතිවය. කටුසොව්ගේ හමුදාවෙන් විනාශ වන්නේ නැපෝලියන්ගේ පසුබසින හමුදාවයි.
ටෝල්ස්ටෝයිගේ නිර්මාණයේ සදාකාලික ගුණය වන්නේ ජයග්‍රහණයත් පරාජයත් එකම ඛේදවාචකයක් සේ දැක්වීමට සමත්වීමෙනි. එය ජයග්‍රහණයක් ද පරාජයක් ද යන්න තීරණය වන්නේ අප එය දකින ආකාරයෙනි. කිසියම් දෙයක් දකින ආකාරය ඔහු සරල උදාහරණයකින් ගෙනහැර දක්වයි. මෙම උදාහරණය නිව්ටන්ගේ ගුරුත්ව ආකර්ෂණය න්‍යාය හා සමීපයෙන් බැඳී තිබුණ ද ටෝල්ස්ටෝයි එය යොදා ගන්නේ වෙනත් අරමුණක් සඳහාය.

උද්භිද විද්‍යාඥයකු දකින ආකාරයට ඇපල් ගසකින් ගෙඩියක් බිමට වැටෙන්නේ එහි රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසිනි. තවත් කෙනකුට එය පෙනෙන්නේ හමා යන සුළඟ නිසා බිම වැටීමක් සේය. ඇපල් ගෙඩිය අසුලා ගන්නා ළමයකු එය තමාට දෙවියන් දුන් ත්‍යාගයක් සේ සලකනු ඇත. මේ එක අයකු හෝ පවසන්නේ සම්පූර්ණ සත්‍යය නොවුවත් එය අසත්‍යයක් සේ බැහැර කළ නොහැකිය. ඉතිහාසය ගැන කෙරෙන විග්‍රහයකට ද මෙය අදාළ කරගත හැකිය. ඔහු මෙසේ පවසයි. “පැරැන්නන් ඉතිහාසය පිළිබඳ සියලු උනන්දුව කිසියම් වීර චරිත කීපයක් වටා ඒකරාශී වූ වීර කාව්‍යයක නිදසුන් සේ අපට දායාද කර ඇත. මෙම බලපෑම නිසා මානව සංවර්ධනයේ අප සිටින අවධියේදී මේ ආකාරයේ ඉතිහාසය අරුත්සුන් එකකි යන අදහසට හුරුවීමට අපට තවම නොහැකිය.”

මොස්කව් නගරය අත්පත් කර ගත් නැපෝලියන් අධිරාජ්‍යයා (සැබැවින්ම නැපෝලියන් අධිරාජ්‍යයකු ලෙස පිළිගැනීමට පවා සාර් මෙන්ම යුරෝපයේ රජවරුන් තුළ කැමැත්තක් තිබුණේ නැත) පීටර්ස්බර්ග් කරා සිය හමුදා මෙහෙයවන්නේ නැතිව ශීත සෘතුවේදී පසුබසින්නේ සටනින් පරාජය වී නොවේ. අනෙක් අතට පසුබසින හමුදාවෙන් විශාල ප්‍රමාණයක් සාර්ගේ හමුදා නායක කටුසොව් විනාශ කරන්නේ සංග්‍රාමයේ ඔහුගේ ඇති දක්ෂතා නිසාම නොවේ. ඒ සියල්ල ක්‍රියාදාමයක කොටස් පමණි. එහි වීරයන් වන්නේ කැපී පෙනෙන කිසියම් පුද්ගලයකු හෝ කීපදෙනකු නොව ඊට සහභාගි වූ සියලුදෙනාය. එය තේරුම් ගත නොහැකිවන්නේ සිද්ධීන් දාමයක (චලනයේ) නිරපේක්ෂ අඛණ්ඩතාව මිනිස් මනසට අවබෝධ කරගත නොහැකි නිසාය.

“මිනිස් මනසට චලනයේ නිරපේක්ෂ අඛණ්ඩතාව අවබෝධ කර ගත නොහැකිය. කිසියම් ආකාරයකින් චලනයේ න්‍යාය මිනිසාට තේරුම්ගත හැකිවන්නේ චලනයේ ඒකක හිතු මනාපයට තෝරා ගෙන පරීක්ෂා කිරීමෙන් පමණි. මිනිසාගේ වැරදි බොහොමයක් සිදුවන්නේ අඛණ්ඩ චලනය හිතු මනාපයට කොටස් කර ගැනීම ආරම්භ වන මොහොතේ සිටය.”
ටෝල්ස්ටෝයිගේ මෙම ඉදිරිපත් කිරීම තුළින් යුද්ධයේ නිරර්ථක බව, කුරිරු බව මෙන්ම ඉච්ඡා භංගත්වය සහ අසරණභාවය සමග මතුවන ආදරය අනුකම්පාව චරිත දහස් ගණනකින් නිරූපණය වේ. දහස් ගණනක් වූ ඒ සෑම චරිතයකම සුවිශේෂී ලක්ෂණ හා ප්‍රධාන වෘතාන්තයට ගැට ගැසී ඇති ආකාරය සාමාන්‍ය පාඨකයකුට පහසුවෙන් ග්‍රහණය කරගත නොහැකි තරම් ය. එය ජීවිතය තරම්ම සංකීර්ණය. ගුප්තය. ඉහතින් දැක්වූ උද්ධෘතයෙන් කියවෙන්නේ ද එවැනිම ගැඹුරු සංකීර්ණ අදහසකි.
මිහිතලය මතුපිට ඇති සියල්ල ඇතුළත් කර ගන්නා ස්වභාව ධර්මයේ පැවැත්ම වන්නේ අඛණ්ඩ චලනයයි. එහෙත් එම චලනය තේරුම් ගැනීමට නම් එය කොටස්වලට වෙන් කර ගත යුතුය. එසේ වෙන් කර ගන්නේ අපේ කැමැත්ත සහ රුචිය අනුව නිසා වන බැවින් එය අඛණ්ඩ චලනය තේරුම් ගැනීමට පහසුවක් වන්නේ නැත. ඇත්තෙන්ම අද මිනිසා මුහුණ දී ඇති පාරිසරික, දේශපාලනික, ආර්ථික මෙන්ම සදාචාරමය ගැටලුවලට මූලික හේතුව වන්නේ සියලු දේට පාදක වන චලනයේ සමස්තය තේරුම් ගැනීමට නොහැකිවීමත් එය තමාගේ ආත්ම ලාභය සඳහා කැබලිවලට වෙන් කර ගැනීමත් නිසාය.

තේරුම් ගැනීමට පහසු මාර්ගයක් වන්නේ සිද්ධින්වලට තුඩු දුන් හේතු අවබෝධ කර ගැනීමය. එහෙත් ටෝල්ස්ටෝයි දක්වන ආකාරයට ප්‍රපංචයක හේතූන් අවබෝධ කර ගැනීම මිනිසාගේ බුද්ධිය ඉක්මවා යන්නකි. ප්‍රපංචයක් හැඩ ගස්වන අතිශය සංකීර්ණ ක්‍රියාදාමය අවබෝධ කරගැනීමේ දුෂ්කරතාව නිසා පහසුවෙන් ග්‍රහණය කළ හැකි දෙයක් හේතුව ලෙසින් දැකීමේ භාවිතාවක් පවතී.
ටෝල්ස්ටෝයි එය පැහැදිලි කරන්නේ මෙසේය: “ප්‍රපංචයක හේතූන්වල සංයෝජනය මානව බුද්ධියේ ග්‍රහණයට ඔබ්බෙන් ඇත්තේය. එහෙත් හේතූන් සොයායෑමේ ආශාව මිනිසා නෛසර්ගිකව ආත්ම කොට ගත්තකි. ප්‍රපංචයක ඉමහත් වූ විවිධත්වය සහ සංකීර්ණත්වය ගැන කිසිම අදහසක් නැති මිනිසාගේ බුද්ධිය එහි හේතුවයැයි පළමුවෙන් ග්‍රහණය කරගන්නා හෝ ඊට සමීපතමයැයි අවබෝධ කර ගන්නා දෙය හේතුව ලෙස ඉදිරිපත් කරයි. මිනිසාගේ ක්‍රියාවන් නිරීක්ෂණයේ විෂය වන ඓතිහාසික සිද්ධීන්වල ඉතාමත් ප්‍රාථමික අවබෝධය වන්නේ එය දෙවියන්ගේ කැමැත්තය යන්නයි. පසුව එය ඓතිහාසිකව පෙරමුණේ සිටින පුද්ගලයන්ගේ- ඉතිහාසයේ වීරයන්ගේ කැමැත්ත ලෙස අවබෝධ කර ගැනිණ. එහෙත් සැබැවින්ම සිදුවන්නේ ඉතිහාසයේ වීරයා අපමණ වූ ක්‍රියාවන් පාලනය කරනු වෙනුට ඒවායින් ඔහු පාලනය වීමය.”
ඉතිහාසය යනු රජවරුන්ගේ සහ වංශවතුන්ගේ කතාව නොව අපමණ වූ මිනිසුන්ගේ සාමූහික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බව ටෝල්ස්ටෝයි සඳහන් කරන්නේ එසේය. ඒ අනුව ඔහුගේ යුද්ධය සහ සාමයෙහි සැබෑ වීරයන් වන්නේ රුසියාවේ ඇලෙක්සැන්ඩර් සාර් හෝ ප්‍රංශයේ නැපෝලියන් නොවේ. සැබෑ වීරයන් වන්නේ නමක් නැතිව යුද්ධයෙන් මියගිය අසරණ වූ සොල්දාදුවන් සහ ගොවීන් ය. මෙම කතාවෙන් නිරූපණය වන්නේ ඇන්ඩෲ කුමරු, පියරේ, රොස්ටොව්, නටාෂා, ඇනා පව්ලොව්නා, මේරි කුමරිය, නිකොලස් කුමාරයා සහ සොන්යා වැනි චරිත වුවද එහි යටින් දිවෙන හුය වන්නේ ඉතිහාසයට හසු නොවන මෙම කතන්දරයයි. ටෝල්ස්ටෝයි මෙය ඉදිරිපත් කරන්නේ ප්‍රධාන කතාවෙන් වෙන් කර ගත හැකි දර්ශනයක් ලෙසිනි. එය කතාවේ ආත්මයට සම්බන්ධ කරගත හැකිවන්නේ ගැඹුරු කියවීමක් තුළින් පමණි.

“මෙම පිළිතුරු පුදුම සහ හාස්‍යජනක වන්නේ නූතන ඉතිහාසය තමාගෙන් නොඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන බිහිරකු මෙන් වන නිසාය.”
විශ්ව සාහිත්‍යයේ අද්විතීය නිර්මාණයක් වන යුද්ධය සහ සාමය තුළ ගැබ්වන කතා රසයට අමතරව ටෝල්ස්ටෝයි නම් දාර්ශනිකයා ඉදිරිපත් කරන ඉතිහාසය පිළිබඳ දර්ශනාත්මක විග්‍රහය සියවස් එක හමාරකට වැඩි කාලයක් ගත වුවද ප්‍රමාණවත් ඇගැයීමකට ලක් වූයේදැයි සැක සහිතය.