රාවය

බුද්ධිමත් පරිශ්‍රමයක් යනු ක්‍රමානුකූල ක්ෂයවීමක් – මාරියෝ වර්ගාස් ලෝසා

බුද්ධිමත් පරිශ්‍රමයක් යනු ක්‍රමානුකූල ක්ෂයවීමක් – මාරියෝ වර්ගාස් ලෝසා

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

දිළිඳුකම, අසාධාරණය, අසමානතාව සහ ආදිවාසී ජනතා පිබිදීම් යනාදී සාම්ප්‍රදායික මාතෘකා මෙන්ම විමුක්ති ව්‍යාපාර පිළිබඳ අධ්‍යයනවලදී ලතින් ඇමරිකානු රටවල් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කෙරේ. එමෙන්ම විමුක්ති සාහිත්‍ය ඉතිහාසය හැදෑරීමේදීද ලතින් ඇමරිකානු සාහිත්‍යයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. මක්නිසාදයත් එය ලෝකයේ බොහෝ රටවල විමුක්ති සාහිත්‍යයක් ගොඩනැගීමෙහිලා පූර්වාදර්ශයක් වූ හෙයිනි. එහෙයින් ලොව සුපතළ ලතින් ඇමරිකානු සාහිත්‍යධරයන්ගේ නිර්මාණ මෙන්ම ඔවුන්ගේ සිතුම් – පැතුම් සහ ජීවන තොරතුරු හෙළිදරව් කරනු ලබන සංවාදාත්මක ලිපි මාලාවක් රාවය පාඨකයා හමුවට ගෙන ඒමට අපේක්ෂා කරන අතර ඉන් පළමුවැන්න වශයෙන් නොබෙල් සම්මානලාභී පීරූහි මාරියෝ වර්ගාස් ලෝසා සමග මාධ්‍යවේදීන් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා කිහිපයක් ඇසුරින් තෝරා ගන්නා ලද කොටස් කිහිපයක් මෙහිලා ඇතුළත් කෙරේ. 1936 මාර්තු 28 වැනිදා පීරු රාජ්‍යයේ දෙවන විශාලතම නගරය වන අරික්‍යාපා (Arequipa)  හි උපත ලද මාරියෝ වාර්ගාස් ලෝසා  (Mario Vargas Liosa)  නාට්‍යවේදියකු, දේශපාලනඥයකු, රචකයකු, පුවත්පත් කලාවේදියකු සහ මහාචාර්යවරයකු වන අතර ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ ලෝක පූජිත ලේඛකයකු ලෙසටය.

ක්‍රි.ව. 1958 සිට 2018 වසර දක්වා කාලපරාසය තුළ නවකතා 19ක්ද, ප්‍රබන්ධ කතා නොවන කෘති 20ක්ද, නාට්‍ය 9ක්ද පුවත්පත් කලාව පිළිබඳ වෙළුම් තුනකින් සමන්විත රචනා ග්‍රන්ථද මාරියෝ ලියා පළ කර ඇති අතර ක්‍රි.ව. 2010දී සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිකර ගැනීමට ඔහු සමත් විය.ස්වකීය අත්දැකීම් මෙන්ම ඓතිහාසික සිද්ධි පදනම් කරගෙන සාහිත්‍යකරණයේ යෙදෙන මාරියෝ පීරූ රාජ්‍යයේ ලේඛකයන්ගෙන් පමණක් නොව ප්‍රංශයේ ජින් පෝල් සාත්‍රෙ (Jean Paul Sarre) සහ ගුස්තෙව් ෆ්ලෝබයාර්  (Gustave Flaubert)  යනාදී සුප්‍රකට ලේඛකයන්ගේ ලේඛන ශෛලිය සිය නිර්මාණ සඳහා යොදාගෙන තිබෙන බව පැවසේ.

ඔබට ලේඛකයකු වීමට අවශ්‍ය බව ඔබ පළමුවෙන්ම දැනගත්තේ කවදාද?

මම පටන් ගත්තේ ලිවීමෙන් නොව කියවීමෙන්. මම වයස අවුරුදු පහේදී කියවීමට හුරුවුණා. මම හිතනවා එය තමයි මට ඇතිවූ ඉතාමත්ම වැදගත් දෙය කියලා.

කුමන ආකාරයේ දේවල්ද ඔබ කියවන ලද්දේ?

වික්‍රමාන්විත ක්‍රියා පිළිබඳ නවකතා මම කියෙව්වා. ඒ කාලයේ ළමයින් පෙළ පොත් මිසක් විහිළු කතා පොත් කියවන්නේ නැහැ. ඒත් එක්තරා සඟරාවකට මම එවැනි කතා දිගටම ලිවීමට පටන් ගත්තා. ඒවා නිමා කරගැනීමට බැරිවූ විට ඉච්ඡාභංගත්වයට පැමිනුණා. සමහරක් වේලාවට කතාවේ අවසානය වෙනස් කිරීමට මට වුවමනා වුණා.

ආන්ට් ජූලියා හා ස්ක්‍රිප්ට් රයිටර් (Aunt Julia and Scriptwriter) වැනි නාට්‍ය කතා වස්තු වැනි දේ?

මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාම මගේ ආශාව වුණේ ලේඛකයකු වීමටයි. එහෙත් ඒ කාලයේ, මගේ සමාජය තුළ, ලේඛකයකු වීම පමණක් තීරණය කිරීම අතිශය දුෂ්කර වුණා. මම කරන්න උත්සාහ කළේ, මම රැකියාවක් වශයෙන් වෙනත් දෙයක් කළ යුතු බවත් සාහිත්‍යය මගේ ප්‍රධාන කැමැත්ත විය යුතුයි කියා සිතුවා. එහෙත් මගේ ජීවිතය තෝරා ගනු ලැබූයේ….

පුවත්පත් කලාව?

ඔව්. මම 1958දී යුරෝපයට පැමිණීමේදී මම උත්සාහ කළේ ලේඛකයකුවීමට සහ ලිවීම වෙනුවෙන් මගේ කාලයත්, ශ්‍රමයත් කැප කිරීමටයි. මගේ ජීවිකාව රැකගැනීම සඳහා ආන්තික රැකියාවල යෙදුණා. එය මගේ ජීවිතයේ ඉතාමත් වැදගත් මොහොතක්.

ඔබේ පොත් බොහොමයක් නිසා ඔබ හිරිහැරවලට ලක්වුණා.

ලේඛකයාගේ රැකියාව වන්නේ ඔහුට තිබෙන සියලු දක්ෂතා කෙරෙහි විශ්වාසය තබමින් එය සුරැකීමට කැපවීමකින් හා කම්පනයකින් යුතුව ලිවීමයි. මම හිතනවා එය තමයි ලේඛකයාගේ සදාචාරාත්මක කැපවීම. එය මුළුමනින්ම කලාත්මක නොවන දෙයක්. අවම වශයෙන් නාගරික වාද විවාදවලට සහභාගිවීමට යම් ආකාරයකට ලේඛකයකුට වගකීමක් තිබෙන බව මම හිතනවා. ඒ වගේම ජනතාව, සමාජය හා ජීවිතයේ ප්‍රධාන අරමුණුවලින් බැහැරවන්නේ නම් සාහිත්‍ය නිසරු දෙයක් බව මම හිතනවා.

ලතින් ඇමරිකානු ලේඛකයන් තුළින් පොදු සමාජ භූමිකාවක් පිළිබිඹු කරන්නේ ඒ නිසාද?

මම හිතනවා පොදු වාද විවාදවලදී ලේඛකයාගේ දායකත්වය යම් ආකාරයකට වෙනසක් කිරීමට පුළුවන් වේවි. පවතන දෙයකින් සංස්කෘතිය මුළුමනින්ම කප්පාදු කරන්නේ නම් එය ඉතාම කෘත්‍රිම දෙයක් බවට පත්වෙනවා.

ඔබේ විෂයයන්වලට ඔබේ ස්වභාවයෙන්ම හෝ නෛසර්ගිකව හෝ මතභේදවලට ඔබ ආදරය කරන්නේ ඒ නිසාද?

මගේ පොත් ඉතා පහසුවෙන් ආකෘතියක් බවට පත්වන්නේ නැහැ. මම හිතනවා එය එක පැහැදිලි කිරීමක්. මම නිතරම නිදහස් ලේඛකයකු වීමට උත්සාහ කර තිබෙනවා. මම වැරදි නැහැ කියලා ඉන් අදහස් කරන්නේ නැහැ. සමහරවිට, බොහෝ අවස්ථාවලදී මම වැරදි වෙන්න පුළුවන්.

දේශපාලනයට පිවිසීම සඳහා ඔබට බලපෑවේ කුමක්ද?

මම හැමවිටම දේශපාලනයේ නියැලුණා. එහෙත් බුද්ධිමත් ලෙසටයි. අසූවෙන් පසු කාලය තුළදී දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රායෝගික කැපවීමක අවශ්‍යතාව ගැන මට දැනුණා. එය වැරදි තීරණයක් වුණා.

ඔබ දරන ලද අදහස්වල බිඳ වැටීම්වලින් ඔබ කම්පාවට පත්වුණාද?

ඔව්. මට එහෙම සිදුවුණා. එහෙත් එය ඊට වඩා නරක තත්ත්වයට පත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදී ඔබට දිනීම හෝ පරාජය අත්වේවි. එහෙත් ඉන්පසුව සිදුවූ දේ ඉතා ව්‍යාකූලයි. ෆුජිමෝරි මැතිවරණය ජයගනු ලැබුවා. එවිට මා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණවලට ඔහු මුල පිරුවා. අවුරුදු ගණනාවක් මුළුල්ලේ බොහෝ ආඥාදායකයන් වගේ ෆුජිමෝරි ඉතා ජනප්‍රිය වුණා. මෙය ලොකු කම්පනයක් ඇති කළා.

ඔබේ ජීවිතයේ එම අවධිය ඔබ පිටුපසින් තියාගෙන සිටින බව ඔබ හිතනවාද? ඔබ අ ෆිෂ් ඉන් ද වෝටර් (A Fish in the water) හි ලියා තිබෙනවා.

ඔහ්, ඇත්තෙන්ම. සාහිත්‍යයට මෙම අපූර්ව බලය තියෙනවා. නරකම අත්දැකීමක් වුවත් ඔබ යමක් ගැන ලියන්න. මම හිතනවා ඔබ භාවසුද්ධියට ළඟාවී මුළුමනින්ම ශාන්තියකට පත්වේවි කියලා.

අතීතයේදී ඔබ ෆ්ලෝබයාර් උපුටා දක්වමින් සාහිත්‍යය යනු ජීවන මග බව කියා සිටියා.

සාහිත්‍යය යනු ජීවන මග බව මම මුළුමනින්ම විශ්වාස කරනවා. එය සමහරවිට සියලුම ලේඛකයන්ගේ හෝ සියලුම කලාකරුවන්ට සත්‍යයක් විය හැකියි. ඔබ හිතනවා මෙවැනි ක්‍රියාකාරකම්වල අවසානයේදී එක් කාරණයක් අවබෝධ වෙනවා, ඒ තමයි එය යමකුගේ ජීවන මග බවට පත්වීම. ඊට පරිබාහිර ජීව ක්‍රමයක් ගැන පොත්වලින් පිටත හෝ මගේ වැඩවලින් පිටත හෝ තිබෙන බවක් මට සිතාගත නොහැකියි. මම වෙනත් දෙයක් ගැන උනන්දු නොවන බවක් ඉන් අදහස් කරන්නේ නැහැ, ඇත්තෙන්ම මම බොහෝ දේ ගැන උනන්දුයි. එහෙත් එහි කේන්ද්‍රයත්, ප්‍රහේළිකාවත් බවට හැමවිටම පත්වන්නේ සාහිත්‍යයයි.

හොඳයි, අපගේ මාතෘකාව යම් තරමකට, වෙනස් කළහොත්, ඔබ එල් පෙයීස් (El Pais)  නම් ස්පාඤ්ඤ පුවත්පතට තීරු ලිපි ලියනවා. කොහොමද ඒක සිද්ධ වුණේ?

ඊට හේතුව වන්නේ, මට සාහිත්‍යය ගැන කොතරම් සතුටු වුවත් ප්‍රබල ලෝකය සහ ඉසිඹුලන තෙක් හුදකලාවීම තුළ ජීවත්වීමට පමණක් මට අවශ්‍ය නැහැ.
මම ජීවත් වන ස්ථානය තුළ, කාලය තුළ, මගේ සමකාලීන ක්‍රියාකාරකම්වල නිමග්නව සිටිමින් හැමවිටම වීදියේ පය ගහලා සිටීමට මට අවශ්‍යයි. ඒ නිසා තමයි පුවත්පත් කලාවට සම්බන්ධවන්නේ. පුවත්පත් කලාව කියන්නේ දේශපාලනිකව, සමාජීයව හෝ සංස්කෘතික විවාදයන්වලට හෝ දායකවෙමින් මතයක් ගොඩනැගීමේ මගක්. ඒ නිසා තමයි මම ඊට සම්බන්ධවන්නේ. මෙම ලිපි සමාජය රඳා පැවතීමේ පාලමක් වගේම එය මම ඉතිහාසයෙන් උකහා ගත් දේවලින් එදිනෙදා ජීවිතය සමග තිබෙන සබඳතා පවත්වා ගැනීමේ මාර්ගයක්. පුවත්පත් කලාව මට ඉතා වැදගත්ව පැවතුණා. ඉතා දිගු කලක් මුළුල්ලේ මම පුවත්පත් කලාවේදියකු ලෙස ජීවත් වුණා. එය අදහස් මූලාශ්‍රයක් ලෙසත් සේවය කරනු ලබනවා. පුවත්පත් කලාවේදියකු ලෙසින් මා ලද අත්දැකීම්වලින් තොරව මා විසින් ලියන ලද බොහෝ දේ මගෙන් ලියැවෙන එකක් නැහැ.

ඔබේ අලුත්ම ලිපියක ද වර්ල්ඞ් ඊස් අ හැන්කර්චීෆ් (The World is  handkerchief)  ස්පාඤ්ඤ කියමනේ තේරුම වන්නේ ලෝකය කුඩා තැනකි) යනුවෙන් සඳහන් කර තිබෙන අතර ඒ තුළින් ඔබ ජාතිය හා සම්ප්‍රදායන් අතර තිබෙන අන්තර් ක්‍රියාකාරීත්වයට ආදරය කරන බවක් පෙන්නුම් කරනවා.

ඔව්. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදයට ඇලුම් කිරීමට මට තිබෙන දේවල් අතර එක් දෙයක් වන්නේ, එය විවෘත රටක්, ජාතීන් හා සංස්කෘතීන්වල දායකත්වයෙන් සැදුණු රටක්. එතරම් විවිධත්වයක් මැද සහජීවනය පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. උතුරු ඇමරිකාවට එහි වර්තමානයේ පවතින උසස් සංවර්ධන තත්ත්වයට ළඟාවීමට හැකියාවක් නැතිවාක් මෙන්ම විවෘත සමාජයක් ලෙස නූතනත්වයට පැමිණීමටත් හැකියාවක් නැහැ. මම හිතනවා අද, ඒ ආකාරයේ ලෝකයට විවෘත වූ මෙන්ම ලෝකය සමග සමෝධානය වීම සංවර්ධනය සඳහා ඉතා වැදගත් වෙනවා. එය තමයි මෙම අවස්ථාවේදී යුරෝපය තුළ තිබෙන ප්‍රධාන විවාදය වන්නේ. ගොඩාක් පූර්ව මතවල සහ ගොඩාක් නොදන්නාකමේ බියකින් පසුවන මිනිස්සු සිටිනවා. සැබැවින්ම විසඳුමක් වුවද සංක්‍රමණයවීම අනතුරුදායක දෙයක් බව ඔවුන් හිතනවා. මෙය අපගේ කාලයේ කේන්ද්‍රීය ගැටලුවක් නිසා එය ඉතා සිත්ගන්නාසුලු කාරණයක්.

ඔබගේ ‘ද සිවිලයිසේෂන් ඔෆ් ස්පෙක්ටකල්ස්’ (Civilization of Spectacles)  කෘතිය ගැන කතා කරමු. ලෝකය වෙනස් කිරීමට සංස්කෘතියට තවදුරටත් අපේක්ෂාවක් නැහැ කියා ඔබ හිතනවාද?

උසස් සංස්කෘතිය අතුරුදන්වෙමින් පවතින බව මම විශ්වාස කරනවා. මෙය, ස්වභාවයෙන්ම බමුණුකුල මතවාදයක් ලෙස සැලකෙන උසස් සංස්කෘතිය වගේම අනතුරුදායක ලෙසින් පවතින ඛේදවාචකයක්. එය මෙම රචනාවට ලිවීමට බලපාන ලද හේතු සාධකවලින් එකක්. එය යම් ආකාරයකට සුළුතරය වෙනුවෙන් වෙන් කරන ලද්දක්. එමෙන්ම, එය උසස් සංස්කෘතියට හැමෝටම ප්‍රවේශවීමේ හැකියාවක් ඇතැයි සිතන බොළඳ දෙයක්. සෑම කෙනකුටම උනන්දුවක්, ඉවසිලිවන්තකමක් හෝ උසස් සංස්කෘතිය ඉල්ලා සිටිනු ලබන ශික්ෂණයක් හැමෝටම නැහැ.

අනික් අතට සංස්කෘතිය කියන අදහස සෑම කෙනකුටම ළඟාවීමට පැවතීම හොඳ දෙයක්. ඊට විරුද්ධවීමේ හැකියාව ඇත්තේ කවුරුන්ටද? කෙසේ වුවත්, එක වෙලාවෙහිම, මින් අදහස් කරන්නේ – අවාසනාවකට අපේ කාලයේ ඊට යොමුවී පැවතුණා – සංස්කෘතිය, සියලුදෙනාටම ප්‍රවේශවීම යටතේ නම්, හෑල්ලුවීම, නිසරුවීම, අතීතයට අයත්වීම හා විනෝදජනක ස්වරූපයක් ගැනීම අවශ්‍යතා බවට පත්වූ කල්හි එහි ප්‍රතිඵලය පැහැදිලිවම ඉහළ ඍණාත්මක බවක් ගන්නවා. ඒ වගේම මෙය අපගේ කාලයේ අධ්‍යාපනයේ තිබූ දෝෂයක් බව මම විශ්වාස කරනවා. වත්මන් අධ්‍යාපනය තුළ උසස් සංස්කෘතිය ආරක්ෂා කිරීම සිදු නොකර ඊට පිළිකුල්සහගත සැලකිල්ලක් තමයි සිදුකරන්නේ. අතීතය දෙස ආපසු හැරී බලනු ලබන නිර්මාණ කලාවක් හෝ චින්තනයක් අවශ්‍යයි, මක්නිසාද මේ සම්බන්ධයෙන් වර්තමානයේ සිතුවම් කරනු ලබන්නේ පැහැදිලිවම නිසරු භූමි දර්ශනයක්.

මෙම කාන්තාරකරණට යාන්ත්‍රීකකරණය බලපා තිබෙන බව ඔබ හිතනවාද?

කිසිදු සැකයකින් තොරව සිතනවා, බුද්ධිමත් පරිශ්‍රමයක් යනු ක්‍රමානුකූලව සිදුවන ක්ෂයවීමක්, මක්නිසාද එවැනි බුද්ධිමත් පරිශ්‍රමයක් දැරීමට තාක්ෂණය අපට උපකාරී වෙනවා.