ෆයිසර් ක්‍රීඩාව කියන්නෙත් නඩුවක්

ඒ. වික්‍රමසූරිය

මේ මොහොතේ රටේ පවතින අස්ථාවර ස්වභාවය හැම ක්ෂේත්‍රයක් තුළම දක්නට ලැබේ. එබැවින් එය ක්‍රීඩාවට පමණක් වෙනස් විය හැකිද? අද දවසේ ක්‍රීඩාව ගැන කතාබහ පවතිනුයේ ඇල්මැරුණු ස්වභාවයෙනි. එමෙන්ම ක්‍රීඩාව පවතිනුයේ මියැදෙමිනි. සැබැවින්ම කාලයක පටන් ක්‍රීඩාව ගැන කතා කරන්නට දෙයක් නැති තරම්ය. ක්‍රීඩා සංගම්හී ප්‍රධානීන් මෙන්ම ක්‍රීඩා බලධාරීන්ද මේ ක්‍රීඩාව නැත්තටම නැති කරන්නට තරගයට මෙන් දායකත්වය සැපයුවෝය. තවමත් එහි කෙළවරක් නැත.
යහපාලන ආණ්ඩුව පත්ව වසර තුනහමාරක් ගෙවෙන තැන ක්‍රීඩාව කරවීමට ක්‍රීඩා ඇමතිවරු තුන්දෙනකු පත් කළේය. නවීන් දිසානායක තාවකාලිකව ක්‍රීඩා ඇමති බවට පත් කළේ වුවමනා වුවහොත් දිගුකාලීනව පත් කරන අදිටනින් විය යුතුය. ගාමිණී දිසානායක යටගියාව මතකයේ තබාගෙන නවීන් දිසානායකද ක්‍රීඩාවට උචිත චරිතයක් යැයි සිතුවද එය කිසිසේත්ම උචිත නොවීය. ඔහු ක්‍රිකට් ඇමති බවට පත්වූයේ ක්‍රීඩා ඇමතිට ඊට වඩා පුළුල් වැඩකොටසක් ඇතැයි යන්න නොසලකා හරිමිනි. තාත්තා ක්‍රිකට් බදාගෙන සිටි නිසා පුතාද ඒ කෙරුවාව කරන්නට යෑමෙන් නවීන් ක්‍රීඩා ඇමතිකමට නුසුදුසුම කෙනෙක් බව අධිවේගයෙන් ඔප්පු කළේය. එජාපයට බරවූ ක්‍රීඩා ඇමතිකම ඊළඟට උරුම වූයේ දයාසිරි ජයසේකරටය. එය ශ්‍රී ලංකා මුහුණුවර ගත් අතර දයාසිරි බලෙන් මෙන් අඬ ගසා දුන් ක්‍රීඩා අමාත්‍ය ධුරය ඔහුගේ ප්‍රථම අමාත්‍ය ධුරයද විය. කුළුඳුල් අමාත්‍යකම ලොකු ගමනකට අඩිතාලම වනු ඇතැයි විචාරක කෝණයෙන් සිතුවද? සිද්ධ වූයේ වෙනකකි. එනම් දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමති වෙනුවට ක්‍රීඩකයා වන්නට යෑම නිසා ක්‍රීඩාව වෙනම පැත්තකට ගමන් කළේය. ඕනෑවටත් වඩා කැපී පෙනෙන්නට දඟලන චරිතයක් වුවද දයාසිරි ජයසේකරට ඕනෑ නම් නියම ගමනක් යාමට හැකියාව තිබුණමුත් ඔහු වැඩවලට වඩා ඔහුව ඉහළ දමා ගැනීමට දඟලන දැඟලිල්ලෙන් ඔහු හෑල්ලුවට ලක්වී ඇත. ඔහු වැඩ කළේ නම් ඉබේටම ඔහුගේ නමද ඉහළ යන්නට ඉඩ තිබුණි. එහෙත් සුසන්තිකාගේ සිට මාලිංග දක්වා ගැටුණු ජයසේකර ඒවා අමතක කරනු වෙනුවට කළේ ඔවුන්ගෙන් පළිගැනීමය. ලසිත් මාලිංග අද කප්පාදු වී ඇත්තේ ඔහුගේ ඒ පළිගැනීමේ හේතුවෙනි. කෙසේ වෙතත් ගෙවුණු යහපාලන කාලයේ වැඩි කලක් ක්‍රීඩා ඇමති ධුරය දැරුවේ ඔහුය. එහෙත් ඔහු කළේ කුමක්ද? ක්‍රීඩා පනතේ සංශෝධන වෙනස් කළ අතර ඒවා අද ප්‍රශ්න විසඳනු වෙනුවට නව ප්‍රශ්න නිර්මාණය කරන තැනට තල්ලු වී ඇත.
ක්‍රීඩා ඇමතිවරු මාරුවන තරමට ක්‍රීඩා පනත සංශෝධනය කිරීම අද දවසේ මෝස්තරය වී ඇත. මේ අය කරනුයේ අටුව කඩා පුටුව හැදීමකි. දැන් එළැඹ ඇත්තේ ෆයිසර් මුස්තාපා යුගයය. එය මේ වනවිටත් පවතිනුයේ නිද්‍රාශීලීවය. ආ විගස ඔහු හිතුවක්කාරයකු ලෙස හැසිරෙනු පෙනුණි. එහෙත් දැන් දැන් ඒ හිතුවක්කාරකම හීලෑකමට පෙරළී ඇති හැඩකි. එය එසේ නොවනවාද විය හැකිය. දයාසිරි ජයසේකර ළං කරගත් බොහෝ අය ඇමති මුස්තාපා ඈත් කරමින් සිටී. ඒ අතර මිල්ටන් අමරසිංහ ප්‍රධානය. ඉවත් කිරීමට තව අය ඇති බවද සැලය. මේ අය ඉවත් කිරීම සැබැවින්ම හොඳය.
මිල්ටන් අමරසිංහ යනු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කලක් වැඩ කළ අයෙකි. ඔහු විශ්‍රාම ගෙන ඉද්දී නැවත ගෙන ඒම දයාසිරි කළ මෝඩ වැඩකි. මිල්ටන් අමරසිංහ යනු අද අවලංගු පුද්ගලයෙකි. එහෙව් පුද්ගලයකු ක්‍රියා කළේ තනිකරම ඔහුගේ වාසියටය. මේ අනුව දයාසිරි ළංකර ගත් අය ඈත් කොට තමන් කැමති පිරිස ළංකර ගැනීම ගැටලුවක් නැතත් තමන් කැමති පිරිස ක්‍රීඩාව ගැන දන්නා අයවිය යුතුය යන්න ෆයිසර්ට අමුතුවෙන් කිව යුතු නැත. සුගතදාස ක්‍රීඩා සංකීර්ණය භාරව තම පන්ති මිතුරකු පත් කරනුයේ ඔහු ඊට උචිත පුද්ගලයකු නම් අපට ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඒ පත්කරනුයේ හුදෙක් යාළුකමට නම් ඒ ගැන කිවයුත්තේ දෙයියන්ගේම පිහිටයි යන්න පමණය.
ෆයිසර් ඇමතිවරයාට ක්‍රීඩාවට අමතරව පළාත් පාලන අමාත්‍ය ධුරය ඇත. මේ නිසා ඔහු දෙකක් බදාගෙන එකක්වත් නොකරන තැනට තල්ලුවේදැයි කුකුසක් අපට පවතී. ඔහු හමුවීම පළාත් පාලන අමාත්‍යාංශයටම සින්න වී ඇත. ක්‍රීඩාවෙහි තීන්දු තීරණ පළාත් පාලන අමාත්‍යාංශයෙන්ම ගන්නා තැනට අද වැඩ සිද්ධවෙමින් යන බව පැවසේ.
දයාසිරිගේ කාලයේම එකළස් කරගැනීමට නොහැකි වූ සංගම් කිහිපයක්ම තවමත් පරණ පුරුදු ලෙසට පවත්වාගෙන යනු පෙනේ. මේවා වත්මන් ඇමතිවරයා වෙනස් කළ යුතුය.
නව අමාත්‍යවරයාද, නවීන්, දයාසිරි මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඕනෑවටත් වඩා කැපවෙන බව පෙනේ. ඒ සැමගේ අරමුණ තිලංග සුමතිපාල ආරක්ෂා කරගන්නට වීම කනගාටුදායකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අල්ලේ නටවන තිලංග ක්‍රිකට් තම අල්ලේ නටවමින් සිටී. ක්‍රීඩා ඇමතිකම ශ්‍රී ලංකා එකෙන් පිට නොයන්නට රැක ගනුයේ තිලංගලාය. ඒ කවුරු ආවද එවිට තමන්ට වාසි බව ඔහු දනී.
රග්බි සංගමයේ නිලධාරීන් ෆයිසර් ඇමතිවීම ගැන සතුටුය. දැන් ක්‍රීඩා ඇමතිවරයාට රග්බි සංගමය හරි සමීපය. ඒ තුළ ජාතිය පිළිබඳ අරුතක් ඇති බව නොරහසකි.
ක්‍රිකට්හි තිලංග රැක ගැනීම ෆයිසර්ගේද එකම අරමුණය. ඔහු ඒ වෙනුවට නීතියද හෑල්ලු කරමින් සිටී. ක්‍රීඩා පනතේ 32 වගන්තිය අනුව පත් කළ යුතු නව ක්‍රිකට් කමිටුව ෆයිසර් හිතාමතා පත් කරනුයේ 41 වගන්තිය යටතේය. ඒ සියලු ගුල් තබනුයේ තිලංගට රිංගා යෑමටය. මෙය නරක තත්ත්වයකි.
අද ෆයිසර්ද ක්‍රීඩා පනත වෙනස් කරන්නට කතා වේ. එන හැම ඇමතිටම වුවමනා පනත වෙනස් කරන්නය. එහෙත් හරියාකාරව වැඩ කරන්නේ නම් මේ තිබූ ක්‍රීඩා පනත ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. එහි ඇති කිසිවක් ක්‍රියාත්මක නොකර පුද්ගල චරිතවලට ඕනෑ පරිදි පනත වෙනස් කිරීම විගඩමකි. ක්‍රීඩා පනත සංශෝධනය විය යුත්තේ ක්‍රීඩාවේ යහපතට වුවත් දැන් ඔහුගේ පුද්ගල සුරක්ෂිතභාවයට මෙය උපයෝගී කරගන්නා බවය.
ෆයිසර් ඇමතිවරයා සම්බන්ධයෙන් තදබල විවේචනයකට යෑමට අපි දැන්ම ඉක්මන් නොවෙමු. එහෙත් දැන් දැන් ඔහුද ක්‍රීඩා ඇමති ධුරයේ නවකයෙක් නොවන බව පැහැදිලි වී ඇත. එබැවින් ඔහුටද දැන් බොහෝ කරුණු ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන තරමට තත්ත්වය දුර ගොස් ඇත. ක්‍රීඩාව නගා සිටුවීමට ක්‍රීඩා ඇමති ප්‍රමුඛව ක්‍රීඩා බලධාරීන් වගකිව යුතුය. එහි සංවර්ධනයක් මෙන්ම විනාශයක් වේ නම් එයද ඒ අයම භාර ගත යුතුය. නැවත දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිකම ඉල්ලන බවටද රාවයක් පවතී. එහි රහ දන්නා අය එසේය. දයාසිරි ඉල්ලුවද ෆයිසර් පවා දැන් ක්‍රීඩා ඇමතිකම දීමට මැලිවන බව පැවසේ.
ෆයිසර් මුස්තාපාට දැන් හොඳ ගමනක් යා හැකිය. ඔහු හොඳ මිනිසුන් හොයාගත යුතුය. යාළු මිත්‍රාදීන්ගෙන් යාහැක්කේ ක්‍රීඩා දියුණුවට ගමනක් නොව තමන්ගේ ගමනේ දියුණුවට ගමනක් පමණි. ෆයිසර්ට ටික දිනක් ඉඩදී බලා සිටිමු. මේ ඉන්ටර්වල් එකය.