ක්‍රිකට් පාලකයන්ගේ වටමේස මිතුරෝ

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ඒමක් පේනතෙක් මානයක නැත. එදා මෙන් ම අද ද මෙය කැරකැවෙන්නේ එක ම චක්‍රයක ය. යම් යම් වෙනස්වීම් ඉඳහිටක සිදුවූව ද එයද දැනෙන තරමින් නොවේ. නොමැති නම් ඒ වෙනස්කම් වෙනස් කිරීමේ ඉක්මන්කම එකී කාලයේ ඇමැතිවරයාගේ සිට ම බල පැවැත්විණි. ඊට උඩ ගෙඩි දුන් උන් ය, එදා සිට නිලලත් සහ නොලත් ක්‍රිකට් පාලකයන් වූයේ.
අද ද ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රිකට් බලාධිකාරයයි. වඩාත් කාර්යක්ෂම සේවකයන් තුට්ටු දෙකට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කඹුරද්දී කැරකෙන පුටුවල සිට මල් කඩන ලොක්කෝ සිතූ සේ තම සාක්කු පුරවා ගනිති. ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයාට ලැබෙන බත්පතේ සිට ම ලැබෙන ප්‍රසන්ට් එක ගැනය සිතුවිල්ල. වැඩ කරන සේවකයාගේ සේවය සම්බන්ධයෙන් අකුරට සොයා බලන පාලකයෝ තම වටමේස මිතුරෝ කරන කියන දෑ ගැන නොතකති. ඔවුන්ට ඇති තරමට කඩා වඩාගෙන පමණක් නොව උලාගෙන කන්නටද ඉඩදී ඇත. එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට්හි පාලකයන්ටත් වඩා වඩාත්ම භයානකවන්නේ ඔවුන්ගේ මේ වටමේස මිතුරෝ ය.
මේ මිතුරෝ නම් වෙන කවුරුත් නොව පාලකයන් බලයට පත්කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිටින ඡන්ද හිමි ක්‍රීඩා සමාජ ලොක්කෝ ය. වැඬේ නම් ක්‍රිකට් මහගෙදර පළමු මහල පිරී ඇත්තේ මේ ලොක්කන්ගෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද හිමි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ සියල්ලෙහිම අයිතිය ඇත්තේ ඔවුන්ට ය. මේ ලොක්කෝ සියල්ල ම ශ්‍රී ලංකා ක්‍රිකට්හි කුමන හෝ කොන්ත්‍රාත්තුවක ද නියැලෙන්නෝ ය. එය විවිධ විවිධ වූ අයිතමයන් ය.
මේ ක්‍රමය වඩාත් යහපත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් ක්‍රිකට් පාලක ලොක්කෝ මේ ක්‍රීඩා සමාජ ලොක්කෝ ආරක්ෂා කරන අතර ක්‍රීඩා සමාජ ලොක්කෝ ක්‍රිකට් පාලකයන් ආරක්ෂා කරති. සරල සමීකරණයකි. මේ සැමගේ පැවැත්ම රැඳී ඇත්තේ ඔවුන් සතු ඡන්ද මත ය.
එබැවින් පාලකයෝද මේ ක්‍රීඩා සමාජවලට අත දිගහැර සලකති. තමන්ගේ සියලු දේ දන් දුන් වෙස්සන්තර රජතුමාටත් නොදෙවැනිව ඔවුහු ශ්‍රී ලංකා ක්‍රිකට් බූදලය දොර දන් දෙති. තෙන් තෙදිනා නැටුමෙන් පැමිණෙන මේ ක්‍රීඩා සමාජ නැට්ටුවෝ පාලකයා ද සතුටු කරමින් තමන් ද සතුටුයි කියමින් සියලු දේ සාක්කු තුළ පුරවා ගනිති. බයිස්කෝප්වලවත් පහසුවෙන් මෙවන් හම්බකිරීමක් රූපණය නොවෙති.
හිටපු සභාපති තිලංග සුමතිපාල පසුගිය කාලයේ කොතෙක් නම් ක්‍රීඩා සමාජ වෙත දොළ පිදේනි පිදුවේ ද? ඉහළ නිලධාරීන් කීදෙනෙක්ගේ සිත් සතුටු කිරීම්වස් වැටුප් වැඩිකර දුන්නේ ද? මේ වෙනුවෙන් වියදම් කළ මුදල මිලියන ගණනින් මිස, ඉන් මෙහා නම් නොවෙති. කිරුළ අහිමි වෙන්නට ඔන්න මෙන්න තිබියදීත් ඔහු තම වෙස්සන්තර හැව ඉවත් කළේ නැත.
මේ සියලු දේ මේ මජර ක්‍රමයේ පිනුම් ගැසීම උදෙසා ම මිස අන් දෙයක් වෙනුවෙන් නොවේ. තිලංග සුමතිපාල මේ වන විට තමන්ගේ ඊළඟ ඉනිම වෙනුවෙන් සියල්ල සකසා අවසන් ය. එතැන බාහිර කෙනෙක්ට තැනක් නැත. මීට බාහිරින් යම් කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණිය ද ඔවුන්ට සිතූ සේ කටයුතු කිරීමේ අවකාශයක් ද මේ තුළ නැත.
මෑතකාලීනව නම් ඊට හොඳම උදාහරණය සිදත් වෙත්තමුණි ය. ඔහු අතුරු කමිටු සභාපතිවරයා ව සිටි කාලය ය. ශ්‍රී ලංකා ක්‍රිකට්හි ස්වර්ණමය යුගය බිහිකළේ ආනා පුංචිහේවා ය. ඔහු ක්‍රිකට් වෙනුවෙන් යමක් කළ නිසා ය ඔහු නැවත පැමිණෙන්නේ නම් හොඳ යැයි පැවැසෙන්නේ. හැබැයි මේ දෙදෙනා ම නිලවරණයකින් ක්‍රිකට් මහ පුටුවට පිවිසීමට අකමැති ය.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට නම් වහාම කළයුත්තේ පාලකයන්ටත් වඩා පාලකයන්ගේ වටමේස මිතුරන්ගේ බල බිඳීම ය. බිහිව ඇත්තේ ක්‍රීඩාංගණ සේවකයන්ගේ කලිසම් ගලවා එමගින් ද තම මඩිතර කර ගන්නට මාන බලන වටමේස මිතුරන් රැළකි. එය තිලංගගේ තියරියකට වඩා මේ වටමේස මිතුරන්ගේ තියරියක් බැව් හඳුනා ගැනීමේ අපහසුවක් නැත. ඔවුන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සෙතක් සැලසෙතැයි සිතීම අනුවණ කමකි. එහෙත් එකී නිලධාරීන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් හී යහතින් වැජඹෙති.