ප්‍රංශ ජය සහ කොලින්ඞ්

ජගත් ප්‍රේමචන්ද්‍ර

රුසියාවේ දී පැවැති විසි එක්වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙවර කිරුළ ප්‍රංශය විසින් අත්පත් කර ගත්තේ 4-2 ලෙසින් ක්‍රොඒෂියාව පරාජයට පත්කරමිනි. මීට ප්‍රථම 1998 වසරේ දී ද පාපන්දු ලෝක කුසලානය දිනා ඇති ප්‍රංශය මෙවර එම කිරුළට හිමිකම් කීවේ විසි වසරකට පසුව වීම විශේෂ වේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් තරගයකට ක්‍රොඒෂියාව එක් වූ පළමු අවස්ථාව මෙය වේ.
අවසන් මහා තරගය රුසියාවේ මොස්කව් නුවර ලුස්නිකී ක්‍රීඩාංගණයේ පැවැති අතර එය නැරඹීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ක්‍රොඒෂියා ජනාධිපතිනී කොලින්ඩා ග්‍රැබාකිටරොවික් සහ සත්කාරක රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද ක්‍රීඩාංගණයට පැමිණ සිටීම විශේෂත්වයකි. ප්‍රබල රටවල් තුනක ජන නායකයන් ක්‍රීඩා තරගය දී එකට එක් වූ දුර්ලභ අවස්ථාවක් සේ එය හැදින්විණ.
මේ සුවිශේෂී නායකයන් අතුරින් ක්‍රොඒෂියා ජනපතිනී කොලින්ඩා, ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායම සහ පාපන්දුලෝලීන් සමග රුසියාවේ රැඳී සිටිමින් ක්‍රොඒෂියාව සහභාගි වුණු සෑම තරගයක්ම නරඹමින් තම කණ්ඩායම නිරන්තරයෙන් දිරිගැන්වීම කරනු දක්නට ලැබුණි. හොඳම තරග නරඹන්නා ලෙසින් සම්මානයක් හිමි වුණි නම් එය නිසැකයෙන් ම කොලින්ඩාට හිමිවෙනු ඇත.
අනෙක් සෑම තරගයක්ම ප්‍රේක්ෂකයන් අතර සිටිමින් නැරඹූ ක්‍රොඒෂියා ජනාධිපතිනී අවසන් තරගයේ දී විශේෂ අමුත්තන්ට වෙන්වූ කුටියක සිට තරගය නැරඹුවා ය. එහි ප්‍රංශ ජනාධිපති සේ ම රුසියානු ජනාධිපති ද වූ හ. තරගයෙන් පරාජය වුව ද කොලින්ඩා සැබෑ ජන නායිකාවක් සේ හැසිරීම සෑම තැනක ම කතාව වුණි.
ප්‍රංශ කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථාවේ ජනාධිපති මැක්රොන්ගේ ප්‍රීති ප්‍රමෝදයට ද විශේෂ කතාබහකට ලක් වුණද එය කොලින්ඩා තරමට ප්‍රසිද්ධියට පත්වූයේ නැත. මේ අතර පාපන්දු කිරුළ ප්‍රංශ කණ්ඩායමට පිරිනැමීමේ අවස්ථාවේ පැවති වර්ෂාව හේතුවෙන් සත්කාරක රටේ ජනාධිපති පුටින් පමණක් කුඩයක් යටට වී සිටීමත් ඊට සහභාගි වූ මැක්රොන් සේ ම කොලින්ඩා ද ක්‍රීඩකයන් සමගින් වැස්සේ තෙමීගෙන සිටිමින් ඊට සහභාගිවීමත් විශේෂ අවධානයට ලක්ව තිබුණි.