රාවය

කළු ජූලිය මනුෂ්‍යත්වයේ ජූලියක් කරමු – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර

කළු ජූලිය මනුෂ්‍යත්වයේ  ජූලියක් කරමු – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර

සංවාදය – ශාලික විමලසේන

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ‘එක රටක් – මනු පවුරක්’ යන මැයෙන් ජාතිවාදයට එරෙහිව සහෝදරත්වය තේමා කරගත් වැඩසටහනක් ජූලි 23 නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

2006 අවුරුද්දේ උතුරේ යුද්ධය වඩාත් තීව්‍ර කරන්න ජනතා විමුක්ති පෙරමුණත් බලපෑම් කළා. කොටින්ම ඒකට පසුබිම හැදුවෙත් ජවිපෙ. එහෙම තැනක ඉඳලා දැන් සංහිඳියාව ගැනත් කතා කරනවා. මේ ගැන සමාජවාදී තරුණ සංගමයට දැන් තියෙන්නේ මොන වගේ අදහසක්ද?

පවතින තත්ත්වයන් යටතේ තමයි දේශපාලන තීන්දු-තීරණ ගන්නෙ. අපේ පක්ෂයත් එහෙමයි. පහුගිය කාලයේ මතුවෙමින් තිබුණු දෙමළ ජාතිවාදය මර්දනය කරන්න යුදමය වශයෙන් මැදිහත් විය යුතුයි කියන ස්ථාවරය ගත්තෙත් එහෙමයි. එහෙත් යුද්ධය අවසාන වීමෙන් පස්සෙ ආපහු හැරිලා බලන කොට අපිට අපි ගැන යම් කම්පනයක් තියෙනවා. ඒ මැදිහත්වීම හරහා උතුරේ සහ නැගෙනහිර අහිංසක සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වෙන්න අපිට බැරි වුණා. කොහොමත් යුදමය වටපිටාවක් තුළ ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කරන්න බැරි බව අපේ පක්ෂයත්, සමාජවාදී තරුණ සංගමයත් දන්නවා. අපි ඒක කිව්වා. ඒ වගේම යුද්ධය අවසාන වෙන්නත් කලින් 2008දි අපි ජාතික සමගිය ගොඩනගන්න අවශ්‍යයි කියන සංවාදය ගෙනාවා.

විශේෂයෙන්ම යුද්ධය දැක දැක ඉපදිලා, යුද්ධයත් එක්කම ජීවත් වුණු තරුණ පරපුරේ පශ්චාත් යුද මානසිකත්වය තුළ සහෝදරත්වය ගොඩනංවන්න තරුණ සංගමයට මැදිහත්වීමට හැකියාව තිබුණා. ඒත් ඔබේ සංගමය ඒක මගඇරියා…?

අපි ඒක මගඇරියේ නෑ. අපිව යම් තරමකට හෝ අධ්‍යයනය කළා නම් දකින්න පුළුවන්, අපි පහුගිය කාලයේ දෙමළ සමාජය, මුස්ලිම් සමාජය එක්ක සහෝදරත්වය ගොඩනංවන්න කටයුතු කරපු ආකාරය. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නෑ, මේ ජාතික සමගිය ගොඩනැගීම පක්ෂයකට, සංගමයකට තනියෙන් කරන්න පුළුවන් වැඩක් කියලා. ඒක සාමූහික ක්‍රියාවලියක්. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මේ භයානක ප්‍රශ්නය විසඳන්න මැදිහත් වුණු ආකාරය අධ්‍යයනය කළ යුතුයි. ඒක එක උදාහරණයක් විතරයි. රජය, දේශපාලන පක්ෂ තමන්ගේ පෞද්ගලික අරමුණු පැත්තකට දාලා මේ ජාතික සමගිය ගොඩනැගීමේ සාමූහික ක්‍රියාවලියකට මැදිහත් විය යුතුයි. ඒ නිසාම තමයි, අපි යුද්ධය අවසන් වුණු පළමු පැයේ කිව්වෙ දැන් තියෙන්නෙ කිරිබත් කන්න නෙමෙයි, මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ජාතික සමගිය ඇති කරන්න මැදිහත් වෙන්න කියලා. ඒත් මේ තක්කඩි ආණ්ඩු ඒකට මැදිහත් වෙනවා වෙනුවට මොකද කළේ කියලා අපි දැක්කා. කිරිබත් කමින්, ප්‍රභාකරන්ගෙ ෆොටෝ පෙන්නමින් යුද්ධයේ ආතල් ගත්තා විතරයි. ඒක දකුණු අප්‍රිකාවේ වුණේ නෑ.
2015න් පස්සේ බලයට ආපු මේ ආණ්ඩුව සංහිඳියාව ගැන සෑහෙන්න කතා කළා. ආණ්ඩුවේ මුල් කාලෙ ජවිපෙත් ලොකු තැනක හිටියා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ?
මේ ආණ්ඩුවෙ බ්‍රෑන්ඞ් තමයි, සංහිඳියාව, යහපාලනය. හැබැයි ඒ බ්‍රෑන්ඞ් මහ පොළොවට ගේන්න, මිනිස්සු අතරෙ පැළ කරන්න මේ ආණ්ඩුවට කිසිම වුවමනාවක් තිබුණේ නෑ. එහෙම බෑ කියලා තේරුම්ගත්ත පළමු අවස්ථාවෙම අපේ පක්ෂය ඔවුන් සමග තිබුණු සම්බන්ධතා අවසන් කළා. මේ ආණ්ඩුව හැමෝම එක්ක සෙල්ලම් කරනවා. දූෂිතයන් රකිනවා. ජාතිවාදය එක්ක සෙල්ලම් කරනවා. ජාතිවාදය තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් භාවිත කරනවා. මහනුවර සිදුවුණු දේවල් අපි දැක්කා.

ආණ්ඩුවෙ නියෝජිතවරියක් වන විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශයේ කොටසක් විතරක් අල්ලගෙන මාධ්‍ය හරහා ලොකු සංවාදයක් ගොඩනැගුවා. ඇය කියපු උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන ජනතා විමුක්ති පෙරමුණට, තරුණ සංගමයට කතා කරන්න තිබුණනේ. ඔබේ පාර්ශ්වයත් ඒක මගඇරියා?

අපි කතා නොකළා නෙමෙයි. ඒත් ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වුණාද කියන ගැටලුව තියෙනවා. විජයකලාගේ ප්‍රකාශය ගැන අපිත් මාධ්‍ය ගත්තු කොටසින් විතරක් අරගෙන කතා කරන්න ලෑස්ති නෑ. ඒක ඊට වඩා ගැඹුරුයි. මේකත් මේ ආණ්ඩුව විසින් රට තුළ ඇති කරපු අරාජික බවේ තවත් එක කොටසක්. දකුණේ එක හාමුදුරු නමක් කිව්වා, අපිට හිට්ලර් හොඳයි කියලා. උතුරේ විජයකලා ප්‍රභාකරන් අවශ්‍යයි කියනවා. විජයකලාගේ ප්‍රකාශය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක දකුණේ සිංහල අන්තවාදීන්ට දුන්නු තවත් චාන්ස් එකක්. ඒ වගේම විජයකලා ඊළඟ ඡන්දෙන් දිනනවා. මං ඒ කතාව සම්පූර්ණයෙන් ඇහුවා. දකුණේ වගේම උතුරේ ජනතාවට තියෙන ඇත්ත ප්‍රශ්න ගැන ඒ කතාවෙ තියෙනවා. අපි ඒ කොටස ගත යුතුයි කියන තැන අපි ඉන්නවා.

ජාතික සමගිය කියන ප්‍රශ්නයට අදාළව ලංකාවේ තියෙන බරපතළම ඛේදවාචකයක් තමයි, විද්වතුන්ගේ නිහඬ බව. මේ පාර්ශ්ව එකතු කරන්න, නැත්නම් ඔවුන් කතා කරවන්න ඔබේ පාර්ශ්වයටත් වගකීමක් තියෙනවා. ඒක මෙතෙක් ඉටුවන බවක් නම් පේන්නේ නෑ?

හොඳ මිනිසුන්ගේ නිහඬ බව අපරාධයක් තමයි. අපි 2008 ඉඳලා ඔවුන් සමග විවිධ වැඩසටහන් කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා, කිසිම පුරවැසියකුට මේ ප්‍රශ්නයෙන් මගඇරලා ඉන්න බෑ කියලා. රටේ ජාතික සමගිය ඇතිකරන්න හැමෝම මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම යම් ආකාරයකට මතවාදී විදිහට බලපෑමක් කරන්න පුළුවන් පාර්ශ්ව නිහඬව ඉඳලා හරියන්නේ නෑ. ඒක අපිට තනියෙන් කරන්න බෑ. ජාතිවාදී කඳවුර ප්‍රබලයි. ඔවුන් විද්වතුන් වගේම සියලු පාර්ශ්ව ගිලගනිමින් ඉන්නවා. ඊට එරෙහිව එක්ව මනු පවුරක් ගොඩනගන්න අපි සූදානම්.

ඛේදවාචක පදනම් කරගෙන ව්‍යාපෘති කරන එක විලාසිතාවක් වෙලා. සමාජවාදී තරුණ සංගමයෙන් කරන ‘එක රටක් – මනු පවුරක්’ වැඩසටහනත් ඒ වගේ කළු ජූලිය විලාසිතාවට සැමරීමක් කියලා කාටහරි කියන්න පුළුවන්?

ඉතිහාසයේ ඛේදවාචකයන් නැවත නැවත මතක් කරන එක සම්බන්ධයෙන් යළිත් හිතන්න ඕනෙ තමයි. ඒත් කළු ජූලිය කියන්නෙ රටේ වගේම ලෝකයේත් මිනිස්සුන්ගේ හිත් කම්පනයට පත්කරපු සිදුවීම් දාමයක්. ඒක නිසා අපිට අවශ්‍යයි, කළු ජූලිය මනුෂ්‍යත්වයේ ජූලියක් කරන්න. ඒක ඛේදවාචකය යළි යළිත් මතක් කිරීමක් නෙමෙයි. ඉදිරියට මෙවැනි සිදුවීම් නොවෙන්න අපි වැඩ කළයුත්තේ කෙසේද කියන එක තමයි අපි අවධාරණය කරගන්න ඕනෙ. අපිට තනියෙන් මේ වැඬේ කරන්න බෑ, අපිත් එක්ක මේ වැඩසටහනට සිවිල්, මාධ්‍ය, විද්වත් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුළුල් පරාසයක විහිදුණු සංවිධාන පහළොවක් එකතු වෙලා ඉන්නවා. ජාතිවාදයට මතවාදීමය ප්‍රබල කඳවුරක් තියෙනවා. ඒක නිසා ඒකට එරෙහි මතවාදය පෝෂණය කරන්න මෙවැනි වැඩසටහන් අවශ්‍යයි.

ගෝඨාභය රාජපක්ෂලා, විජයකලා මහේෂ්වරන්ලා එක පැත්තකින් ඡන්ද සඳහා ජාතිවාදය පෝෂණය කරද්දී, ජාතික සමගියත් අනෙක් පැත්තෙන් ඡන්දවලට හොඳ මාතෘකාවක්. ජවිපෙ ප්‍රමුඛ සමාජවාදී තරුණ සංගමයත් යන්නෙ ඒ ඉලක්කයට වෙන්නත් පුළුවන් නේද?

ඒ විදිහෙ අදහසක් ඕනෙ කෙනෙකුට දක්වන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ පක්ෂයේ වගේම අපේ තරුණ සංගමයෙත් පහුගිය කාලෙ භාවිතාව දිහා බැලුවොත් තේරෙනවා, අපි වැඩ කරලා තියෙන්නේ කොහොමද කියලා, අපි ජාතික සමගිය වෙනුවෙන් මැදිහත් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ ජාතික සමගියට එරෙහි බලවේග හදන්නෙ කවුද. මහින්ද මහත්තයලා වගේම මේ ආණ්ඩුවත් ඒකෙන් දේශපාලන වාසි ගන්නවා. මහසොහොන් බලකාය හැදුවෙ කවුද. මහනුවර සිදුවීම්වලට සම්බන්ධ වුණු ප්‍රබල දේශපාලනඥයන්ට විරුද්ධව කිසිම පියවරක් ගත්තද. ඒක නිසා අපි කියන්නේ අපේ භාවිතාව දිහා බලන්න. හැබැයි කවුරු හරි ඇහුවොත් ‘උඹලා මේ ප්‍රශ්නෙ කතා කරන්න ගිහින් සිංහල ජනතාවගේ ඡන්ද අඩුකර ගත්තා නේද?’ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. අපි කිසිම අවස්ථාවක ජාතිවාදය සමග සෙල්ලම් කරන්න සූදානම් නෑ.