රාවය

පුංචි පුංචි සාහසිකකම්

පුංචි පුංචි සාහසිකකම්

ජයදේව උයන්ගොඩ

පසුගිය අවුරුදු ගණනාවක්ම මා පුවත්පත්වලට ලිපි ලියුවේ දේශපාලනය තේමා කොට ගෙනයි. දේශපාලන ගැටුම්, ප්‍රවණතා, මතවාද, මැතිවරණ ආදී ‘මහා මාතෘකා’ ගැන ලියා මා දැන් සිටින්නේ හති අරිමිනි. අප රටේ දේශපාලනයේ සිදුවන ව්‍යාකූලතා සහ අපේක්ෂා කඩවීම් ගැන සිතන විට. ව්‍යවහාරික දේශපාලනය ගැන ඇතිවන්නේද කලකිරීමකි. රටේ දේශපාලනයේ හෝ සමාජ ව්‍යාපාරයකට සම්බන්ධ නොවී හුදෙකලාව සිටින විට එවැනි කලකිරීම් ඇතිවීමද වැළැක්විය නොහැකිය.
මේවා ගැන කල්පනා කරමින්, රාවයට මෙවර මොනවා ගැන ලියන්නේදැයි සිතමින් සිටින විට, එදිනෙදා ජීවිතයේ හමුවන පුංචි පුංචි සාහසිකකම් (Petty Tyrannies of Everyday Life)   ගැන ලියන්නේ නම් මැනවැයි මට හැඟුණි. මේවා වනාහී අප පවුලේ අය සහ හිතවතුන් සමග කතාබහට ලක් කරන, එහෙත් ප්‍රසිද්ධියේ සාකච්ඡාවට භාජනය කිරීමට තරම් වැදගත්කමකින් තොර අත්දැකීම් යැයි අපි සාමාන්‍යයෙන් සිතමු. එහෙත් ඒවා ගැන තරමක් ගැඹුරට සිතන්නේ නම්, සමාජයේ අනෙකුත් දෙනාගේද අවධානයට සහ සංවාදයට යොමුවිය යුතු කරුණු, එම පුද්ගලික අත්දැකීම්වල තිබේ.

අද ලිපියෙන් මා සාකච්ඡා කරන එදිනෙදා ජීවිතයේ පුංචි සාහසිකකම, ලංකා දුම්රිය සේවයෙන් මට ලැබුණු අත්දැකීමකි. එය වනාහී දුම්රියවල ගමන් කරන මා වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, මා වැනි හෘදය ආබාධ ඇත්තන්, සහ වයසට යෑම නිසා ශරීරය දුර්වලතා ඇති අයට පොදුවේ අදාළ වන ‘මහජන කරුණක්’ ද වන්නකි.

දුම්රිය ගමන

මීට මසකට පමණ පෙර, යාපනය විශ්වවිද්‍යාලයේ රාජකාරී වැඩකට සහභාගි වීම සඳහා, දුම්රියෙන් ගමන් කිරීමට මට සිදුවිය. යාපනය බලා යන උදේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අල්ලා ගැනීමට, එය පටන් ගන්නා, ගල්කිස්සේ දුම්රියපළට උදේ 4.50ට ළඟාවීමි. ත්‍රීවීලර් රථයෙන් බැස, දුම්රිය වේදිකාවට යනවාත් සමගම මම, පඩිපෙළේ පය ලිස්සා ඇදගෙන වැටුණෙමි. කර කඩා අත ඇරියාක් මෙන් බිම වැටී අන්දුන් කුන්දුන් වී සිටි මා නැගිට්ටේ, උදේ වැඩට යාමට දුම්රියෙන් බැස එළියට යන්නට පැමිණි කාන්තාවකගේ ආධාරයෙනි. මට නැගිටීමට උදව් කර, විසිවී තිබුණු බෑග් දෙකද මට ගෙනත් දුන් ඇය සැබෑ පුරවැසි ගුණය පෙන්වමින් ‘පරෙස්සමෙන් යන්න’ යැයි මට අවවාද ද කළාය.
වැටී සිටි තැනින් නැගිට, දුම්රිය වේදිකාවේ ඉදිරියට යන්නට පය තියනවාත් සමග මට දැනුණේ මගේ වම් කකුලේ වළලු කර ළඟින් උළුක්කු වී ඇති බවයි. ඒ සමගම යාපනය බලා යන දුම්රිය දෙවැනි වේදිකාවට පැමිණියේය. දෙවැනි වේදිකාවට යන්නට නම්, අඩි විස්සක් පමණ උස යකඩ පඩි පෙළක් නැග, එවැනිම පඩි පෙළක් බැසිය යුතුය. උළුක්කු වූ වළළුකරක් ඇති කකුලක්ද සහිතව, ගමන් මළු බෑගයද, ලැප්ටොප් එක සහිත උරහිස් බෑගයද කරේ එල්ලාගෙන, මා යකඩ පඩිපෙළ නැගීම කළ හැකි දෙයක් නොවන නිසා, කළයුත්තේ කුමක්දැයි කල්පනා කරමින් සිටින විට, දුම්රිය ස්ථානයේ සේවක මහතකු දුටුවෙමි. “මගේ කකුල උළුක්කු වුණා. මේ බෑග් දෙක එහා ප්ලැට්ෆෝම් එකට ගෙනිහින් දෙන්න පුළුවන්දැ”යි මම ඔහුගෙන්, මන්ද ස්වරයෙන් ඇසීමි. මා දෙස බැලූ ඔහු, ප්‍රතිචාරයක් නොදක්වා කාර්යාලයට යන වේගය වැඩි කෙළේය. දුම්රිය පෝටර් මහතකු සිටීදැයි වටපිට බැලුවද, එවැන්නකුද නොවීය. ලංකාවේ දුම්රිය ස්ථානවල පෝටර්වරුන්වත්, විදුලි සෝපානවත් නැත. බෑග් දෙකක්ද කරේ එල්ලාගෙන, අඩි විස්සක පමණ යකඩ පඩි පෙළක් සෙමින් සෙමින් නැග, එවැනිම පඩි පෙළක් සෙමින් සෙමින් බැස, දුම්රියට නැගීමට ගියවිට මට තරු පෙනුණි. විනාඩි කිහිපයකට පෙර ආබාධිතයකු වූ මගේ එම අත්දැකීමද කාව්‍යාත්මකව විස්තර කළ හැක්කකි. එය කාව්‍යාත්මකව විස්තර කළ යුතුය.

ගල්කිස්ස දුම්රිය වේදිකාව සහ යාපන දුම්රියේ ආසන තිබෙන මහල් බිම (floor)  අතර අඩි 3 1/2 පමණ පරතරයක් තිබිණ. දුම්රිය මහල් බිමට නැගීමට ඇති පඩි කවරාකාරයකින් සකස් වී තිබිණිදයත්, මහලු හෝ ශාරීරික ආබාධ සහිත හෝ මගියකුට එම පඩි පෙළේ නැගීම ත්‍රාසජනක අත්දැකීමකි. වම් කකුළේ වළලුකර, විනාඩි දහයකට පෙර උළුක්කු කරගෙන සිටි මා කල්පනා කළේ, මේ දුෂ්කර අභියෝගයට මුහුණ දෙනවාට වඩා අසුබ පෙරමං සලකුණු පිළිබඳ මගේ මිය පරලොව ගොස් ඇති අම්මාගේ දර්ශනය පිළිගෙන, ආපසු ගෙදර යෑම වඩා නිවැරදි විකල්පය බවයි. එහෙත් ඇරිස්ටෝටලියානු පුරවැසි ජීව ගුණය මටද ඇතැයි මා ගැනම අධිතක්සේරුවක් ඇති මට, ආපසු ගෙදර යා නොහැකිය. මා යාපනය විශ්වවිද්‍යාලයට යන්නේ ‘මහජන කාර්යයක්’  (Public Duty)  ඉටුකිරීමටය. එය මගේ පුරවැසි යුතුකමයි. එය, පුද්ගලික සැප පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් මත අත්හළ යුතු නොවේ. අම්මාගේ දර්ශනයට වඩා ඇරිස්ටෝටල්ගේ දර්ශනය ගරු කිරීමට බුද්ධිමය වශයෙන් පුහුණු වී සිටි මට, ධෛර්යය දෙන දෙයක් මම දුටුවෙමි. වයසක කාන්තාවෝද, පිරිමිද, කුඩා අත දරුවන් වඩා ගත් ස්ත්‍රීහුද, ගැබිනි කාන්තාවෝද, ශාරීරික ආබාධ සහිත වෙනත් අයද දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිම සහයෝගයක් හෝ උදව්වක් නැතිව, ශ්‍රී පාදයේ මහගිරි දඹයේ නැගීම ආරම්භ කරන්නාක් වැනි අත්දැකීමක් සහිතව, ඔවුන් දුම්රියට ගොඩවෙනු දුටු, මම බෑග් දෙකම උස්සාගෙන, එම මහලු, ආබාධිත, ගැබ්බර, ළදරුවන් වඩා ගත් ස්ත්‍රී-පුරුෂ පුරවැසි පිරිස අනුගමනය කළෙමි. අඩි තුනක පමණ ඉනිමගක් නැගීමේදී, උළුක්කු වූ වම් කකුළේ වළලු කර වේදනාවෙන් කෑ ගසන බවද මට ඇසිණ. වේදිකාවත්, දුම්රියේ ආසන මහළත් එක සමාන මට්ටමකින් සම මට්ටම් කිරීමට, ශ්‍රී ලංකා දුම්රිය සේවය කල්පනා කර නැත්තේ මන්ද? යනු වායුසමනය කළ දුම්රිය මැදිරියේ මට නියමිත අසුනේ හිඳගත් විගසම මගේ සිත පෑරීමට පටන් ගත් ප්‍රශ්නයයි. මාස කිහිපයකට පෙර නුවර සිට කොළඹට එන නගරාන්තර දුම්රියෙන් පැමිණ මරදානේ දුම්රිය පළේ නැවැත්වූ විට, එයින් වේදිකාවට බසින විට, මට පෙනුණේද මෙවැනිම තත්ත්වයකි. එහෙත් ඒ වනවිට මා ශාරීරික ආබාධිතයකු නොවීම නිසා, මට එය ගැටලුවක් ලෙස නොපෙනිණ. වයසක පිරිමින් සහ කාන්තාවන්ද, ගැබ්බර සහ දරුවන් වඩා ගත් ස්ත්‍රීන්ද, නුවර සිට පැමිණි සුඛෝපභෝගී යැයි කියන නගරාන්තර දුම්රියෙන් පැමිණ, මරදානේදී බිමට බැසීමට වින්ද දුක ගැන දුම්රිය අධිකාරීන් සංවේදී නොවන්නේ මන්ද යන්න, මගේ සිතේ කැකෑරුණු ප්‍රශ්නයයි.

යාපනයට ගිය විට ආබාධිතයාගේ ප්‍රශ්නයේ තවත් පැතිකඩ අත්දැකීමට මට හැකිවිය. යාපනයේ දුම්රිය ස්ථානයේ නම්, දුම්රිය සහ දුම්රිය වේදිකාව අතර උස පරතරයක් නැත. එහෙත් ගැටලුව වූයේ දුම්රියෙන් බැස එළියට යන යාර 300ක් පමණ දුර, උළුක්කු වූ කකුලක් සහිතව, මළු දෙකක්ද උස්සාගෙන කෙසේ යා හැකිද යන්නයි. වැල්ලවත්ත, කොළඹ මෙන්ම යාපනයේද දුම්රිය ස්ථානවල පෝටර් සේවයක් නැත. කෙනකුට ඇත්තේ එක් කකුළක් වුවත්, කළයුත්තේ සියලුම ගමන් මලු කරගසාගෙන, තමන්ගේම හයියෙන්, එක කකුලෙන්, දුම්රිය වේදිකාවට බැස, දුම්රිය ස්ථානයෙන් එළියට ගමන් කිරීමයි – දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් නම් ඔබේ සහයට නොඑන බව සහතිකය.

හෝටලය සහ විශ්වවිද්‍යාලය

මගේ ඊළඟ ‘එදිනෙදා ජීවිතයේ සාහසිකත්වය’ අත්දකින්නට ලැබුණේ, හෝටලයකට නැවතීමට ගිය විට සහ යාපනය විශ්වවිද්‍යාලයේ නිල රැස්වීමට සහභාගිවීමට ගිය විටය. හෝටලයේවත්, විශ්වවිද්‍යාලයේවත් මා වැනි කකුලාබාධිතයකුට පාවිච්චි කළ හැකි විදුලි සෝපාන නැත. හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියගේ සානුකම්පිත බැල්ම යටින් මම, මහල් දෙකක් ‘නොන්ඩි ගසමින්’ නැංගෙමි. පසුව ඒ පඩි පෙළවල් දෙක තනියම බැස්සෙමි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතාම ගාම්භීර රැස්වීම් ශාලාවටද, විදුලි සෝපාන නැති නිසා, සෙමින් සෙමින් පඩි පෙළවල් නැග්ගෙමි. බැස්සෙමි.
ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි අත්දැකීමක් මට ලැබුණේ යාපනයේ සිට ආපසු කොළඹ ඒමේදීය.

බස් ගමන

මගේ කකුලේ වේදනාව දුටු යාපනයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු මට යෝජනා කළේ, එදිනම රෑ මා ආපසු කොළඹ ගොස්, පසුදිනම වෛද්‍යවරයකු හමුවිය යුතු බවයි. මගේ සැලසුම් කර තිබුණු, ඇරිස්ටෝටලියානු ජීව ගුණයෙන් යුත් ඉතිරි වැඩ කටයුතු අවලංගු කළ මට, එදා සැන්දෑවේම බස්රියෙන් කොළඹ එන්නට තීරණය කළෙමි. ‘සුඛෝපභෝගී’ බස් රථය, දුම්රියට වඩා සැප පහසු යයිද, එම බස්රියෙන් කොළඹට ආපසු යෑම මගේ ආබාධිත වළලුකරට වඩාත් හිතකර වෙතැයිද, යාපනය විශ්වවිද්‍යාලයේ මා ගැන දුක සිතුණු ආචාර්යවරු යෝජනා කළහ. ඔවුන් හද පත්ළෙන් කළ එම යෝජනාවට මම නොවලහා එකඟ වීමි.
මට තරු පෙනුණේ බස්රියට නගින විටය. මා කුඩා කාලයේ ගමන් කළ තට්ටු දෙකේ බස්රියක් තරම් උසවූ එම නවීන බස්රථයේ ආසනවලට නගින්නට නම්, අඩි අටක පමණ පටු සහ තියුණු ලෙස නැගෙන පඩි පෙළක් නැගිය යුතුය. එය වනාහී ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම් නුවර, තට්ටු නිවාසවල ඉහළ මාලවලට නැගීමට ඇති පටු සහ තියුණු ලෙස ඉහළ නගින තරප්පු පෙළවලට සමාන එකකි. ගැටලුව එය නොවේ. පාදාබාධයක් සහිතව, නොණ්ඩි ගසමින් පැමිණි මට අඩි අටක් දහයක් පමණ පඩි පෙළක් නැගීමට කිසිදු බස් සේවකයකු ඉදිරිපත් නොවීමයි. එය වනාහී, ගල්කිස්සේ දුම්රිය ස්ථානයේ, පෙරදින අළුයම මා ලැබූ අත්දැකීමේම නව මුද්‍රණයකි.
ඊටත් වඩා හද කකියවන දෙයක් මට දකින්නට ලැබුණේ, තනියම, පඩි පෙළ නැග බස්රියේ මගේ අසුනේ හිඳගත් පසුවය. පාද දෙකම දණහිසින් වෙන් කර තිබුණු තරුණයකු කොළඹට යන ‘සුඛෝපභෝගී’ බස්රියේ නැගීමට පැමිණියේය. බස්රියේ ඉහළ තට්ටුවට, පටු පඩිපෙළින් නැගීමට ඔහුට උදව් කිරීමට, බස්රියේ කිසිම සේවකයකු ඉදිරිපත් වූයේ නැත. ඔහු කළේ, තම සහෝදරියගේද ආධාරයෙන්, පටු පඩි පෙළේ තම පස්සා කොටස තබමින්, පිටුපසට තල්ලුවෙමින් උඩුමහලට විසිවීමය.

ශිෂ්ටාචාරය

මාද වැනි ශාරීරික දුබලතා සහිත මනුෂ්‍යයන්ට අවශ්‍යවන්නේ, අහක බලාගැනීම හෝ අනුකම්පාව හෝ නොවේ. සහයෝගයයි එය සැපයීමට අපේ රාජ්‍ය අංශයවත්, පුද්ගලික අංශයවත් සූදානම් නැත. ශාරීරික දුර්වලතා ඇති මා වැන්නවුන්ට, අප රටේ ඇත්තේ, අපේම පිහිටය.
සමාජයක් ශිෂ්ටාචාරයේ කවර අදියරට ළඟාවී ඇත්ද යන්න විනිශ්චය කළ හැකි හොඳම මිනුම් දණ්ඩ, එම සමාජය ස්ත්‍රීන්ට සලකන්නේ කෙසේද? යන්නට ලැබෙන පිළිතුර යැයි ෆෙඞ්රික් එංගල්ස් දහනව වැනි සියවස අගදී ප්‍රකාශ කළේය. රටක්, ශිෂ්ටාචාරයේ කවර අදියරට පැමිණ ඇද්දැයි තීරණය කළ හැකි හොඳම මිනුම් දණ්ඩ, එම රටේ මහජන සේවා මහල්ලන්ට, ශාරීරික දුබලතා ඇත්තන්ට, ලෙඩුන්ට, ගර්භනී මවුවරුන්ට සහ ශාරීරික මානසික සීමාකම් සහිත මනුෂ්‍යයන්ට දුම්රිය ස්ථාන, දුම්රිය, බස්රිය ආදියේ සපයන පහසුකම් කොපමණද? යන්නට ලැබෙන පිළිතුරයි.
මරදානේ සහ කොටුවේ දුම්රිය ස්ථානවල වයසක, ආබාධිත කුඩා දරුවන්ද වඩාගත් ස්ත්‍රී පුරුෂ මගීන් බඩු මළු කර තබාගෙන දුම්රිය නැගීමට, දුම්රියෙන් බැසීමට එක වේදිකාවක සිට තවත් වේදිකාවකට යෑමට, එළියට ඒමට විඳින දුක මගේම අත්දැකීමක් ලෙස අත්විඳීමට ලැබෙද්දී මට සිතුණේ, ලංකාව ශිෂ්ටාචාරමය වශයෙන් සිටින්නේ කොපමණ ප්‍රාථමික අවධියකද යන්න සියැසින් දැකගැනීමට දුම්රිය ස්ථානයකට යායුතුය යන්නයි.