රාවය

විජයකලාගේ මත්ද්‍රව්‍ය චෝදනාව

විජයකලාගේ මත්ද්‍රව්‍ය චෝදනාව

උපාලි කොළඹගේ

විජයකලා මහේෂ්වරන්ව කුරුසයට තබා ඇණ ගැසීම හෝ ගල් ගසා මරා දැමීම මේ වනවිටත් සිදුවී හමාරය. අවම වශයෙන් ඇගේ ඇඟෙන් මස් රාත්තලක් හෝ කපාදීමට සිදුවනු ඇත.

නැත්නම් දකුණේ ඡන්දය ඉල්ලා හමාරය. සිංහල-බෞද්ධ ඡන්ද පදනම සතුටු කිරීමට එය සිදු කළ යුතුම කාර්යභාරයකි. අන්ත ජාතිවාදී විමල්-ගම්මන්පිල යුගලයේ සිට නව ලිබරල් දේශපාලනඥයකු ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ දක්වා හැම සිංහල දේශපාලනඥයකු විසින්ම අවම වශයෙන් තමන්ගේ ආරක්ෂාව පතා හෝ මේ කාර්යයේ නියැලෙනු දක්නට ලැබේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට එහි වෙනස්කම් දක්නට ලැබෙතත් මූලික පරමාර්ථය සිංහලයා සතුටු කිරීමය.
ඒ අපේ සමාජය ජාතිවාදී වී තිබෙන ප්‍රමාණයේ තරමය.
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේදී කළ එම ප්‍රකාශයේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඡේදය අපිදු අනුමත නොකරමු. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ගැටෙන බවද පිළිගත යුතුව ඇත. එහෙත් ඇය විසින් මතු නොකරන සෙසු කරුණු සත්‍ය මෙන්ම පිළිගත යුතු හා දැඩි ලෙස අවධානයට ලක් කළ යුතු බවද කිව යුතුය.
එහිදී මගේ අවධානය විශේෂයෙන් යොමු කෙරෙනුයේ පහත සඳහන් ඡේදයටය. එය ඉකුත් සති අන්ත පුවත්පතකින් උපුටා ගන්නා ලද්දකි. “….. 2009 මැයි 18 දිනයෙන් පසුව යුද්ධය අවසන් කළ රජය කුමක්ද කළේ? දේශපාලනඥයන්ගේ වාහනවලින් උතුරු නැගෙනහිර පළාත්වලට මත්ද්‍රව්‍ය යැව්වා. අද යාපන දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය අධික වී තිබෙනවා. අපගේ තරුණ පරපුර විනාශ කිරීමටයි එසේ කර තිබෙන්නේ?”
මේ චෝදනාව ඉතාමත් බරපතළ මෙන්ම ම්ලේච්ඡත්වය සිහිගන්වනසුලුය. එතුමිය අදහස් කරන්නට ඇත්තේ උතුරේ තරුණයන් දේශපාලන සටන්කාමීත්වයෙන් ඉවත් කර තැබීමට රාජ්‍ය උපක්‍රමයක් ලෙස උතුරේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරන බවය.
යුද්ධයෙන් පසු බලයට පත් කුමන ආණ්ඩුව මෙයට වගකිවයුතුදැයි ඇය සඳහන් නොකළාය. ඒ කොයි ආණ්ඩුව වුණත් සුළු (සංඛ්‍යාත්මකව) ජාතිකයන්ට සලකන්නේ එකම හැන්දෙන් නිසා යැයි ඇය සිතන නිසා විය යුතුය.
මෙම චෝදනාව ඉතා සරල කාරණයක් ලෙස ගෙන දකුණේ ආණ්ඩු විසින් එය ප්‍රතික්ෂේප කරනු නියති.
එහෙත් මේ ගැන සලකා බැලිය යුත්තේ අතීත රාජ්‍ය ක්‍රියාකාරකම්ද සිහිපත් කරමිනි. එය 70 දශකය දක්වා දිවයන්නකි. උතුරේ තරුණ ක්‍රියාකාරකම් මෝදුවෙමින් පැවති කාලයයි. මෙම ලියුම්කරු එවක තරුණ වාර්තාකරුවෙකි. ආවරණය කෙළේ පොලිස් දෙපාර්තමේන්තුවය. සෙසු ආරක්ෂක අංශ ගැන එවක එතරම් අවධානයට ලක්වූයේ නැත. ඇසුරු කරන්නට වූයේද එවක සිටි පොලිස් ප්‍රධානයන්ය. ඔවුන් අතර වූ රහස්‍ය වාර්තාවල තොරතුරුද එමගින් මට සොයා ගැනීමට හැකිවිය.
පොලිසිය හා ආරක්ෂක ප්‍රධානයන් වැඩි දෙනකුගේ යෝජනාව වූයේ උතුරේ තරුණයන් වෙතින් නැඟ එන සටන්කාමී රැල්ල මැඬලීමට නම් එම ප්‍රදේශවල තරුණයන් අතර නිල් චිත්‍රපට ප්‍රචලිත කළයුතු බවය. ඔවුන් කුමන හෝ ආකාරයකින් ඊට ඇබ්බැහි කළ යුතු බවය. මෙම යෝජනා රහස්‍ය වාර්තා මගින් එවකට පැවති රජයේ ඉහළ බලධාරීන් වෙත ඉදිරිපත් කෙරුණු බවද මතකය.
මෙම යුගයේ දැන් මෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්තව තිබුණේද නැත.
එහෙත් එවක අගමැති පදවිය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සදාචාරය ඇගයූ කාන්තාවකද වන නිසා මෙම යෝජනා ක්‍රියාත්මක වූ බවක් අසන්නට ලැබුණේ නැත.
ඒ එදාය. මේ මෙදාය. බල්ලන් මරා හෝ මුදල් හම්බ කරන නැත්නම් කොල්ලන් මරා හෝ බලය ලබාගන්නා යුගයකි අප පසුකරමින් සිටිනුයේ.
එම නිසාය විජයකලාගේ චෝදනාව බැහැර නොකළ යුත්තේ. ඇතැම් රටවල නායකයන් තරුණ නැගිටීම් මෙල්ල කිරීමට මෙවැනි උපක්‍රම භාවිත කරන බවද අසා ඇත. එහෙත් එවැනි අධම තුච්ඡ ක්‍රමයකට කිසිසේත් අපට නම් එකඟවිය නොහැක. 2009 හා 2015 අතර කාලයේ පැවති අර්ධ මිලිටරි හා අර්ධ ඒකාධිපති පාලන කාලයේ මෙවැනි අශිෂ්ට හා ම්ලේච්ඡ ක්‍රියාකාරකම් සිදුවූවාද? ඊට එවක පැවති මිලිටරි රෙජිමයේ ඉහළම බලධාරීන්ගේ උපදෙස් ලැබුණාද පසුව ආණ්ඩු වෙනස් වුවද එම අධම භාවිතයන් එසේ සිදුකෙරෙමින් පවතීද යන්න පැහැදිලි නැත.
හිට්ලර් උපමාව හරියටම ගැළපෙතැයි අපට සිතෙන්නේ මේ නිසාය.
කෙසේ වුවත් විජයකලා මහේෂ්වරන් මහත්මියගේ කතාවේ තාක්ෂණික කරුණක් අල්ලාගෙන මෙලෙස ජාතිවාදය වැපිරීම නම් කිසිසේත් අනුමත කළ නොහැක. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ වාසුදේව නානායක්කාර මහතා දරන මතය අපේ මතයට බොහෝ සෙයින් සමානය. එතුමාද පවසනුයේ විජයකලා මහත්මිය අත්විඳිමින් සිටින පීඩනය පුපුරුවා හැරීමක් මිස ඇය ඒ තුළින් එල්ටීටීඊ සංවිධානය ඔසවා තැබීමක් සිදුකර නැති බවයි. ඇත්ත වශයෙන් මා ද සිතනුයේ එල්ටීටීඊයේ සංස්කෘතික මෙල්ල කිරීම් ඇගැයීමක්ය ඇය සිදුකර ඇත්තේ. අද තත්ත්වය අනුව නැවතත් එල්ටීටීඊ සංවිධානය ඇති කළ යුතුයි යන අදහස කරා ජනතාව ඇදී යනවා.”
රට බෙදීමේ කතාවක් හෝ එල්ටීටීඊය යළි පිහිටුවිය යුතුයැයි මින් ගම්‍යවන්නේ නැත. “.. උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්ටීටීඊ පාලනයක් ඇතිවිය යුතුයි….” යන්නය බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට ලක්ව ඇත්තේ. එහෙත් එල්ටීටීඊය බලයට පත් කළ යුතු බවක් ඇය ඍජුව කියා නැත.
එල්ටීටීඊ පාලනයක් යන්න ඒ හා සමාන දැඩි පාලනයක් යනුවෙන් අර්ථ දැක්විය හැක. ඇයගේ මුළු කතාවටම තේමාවී ඇත්තේ උතුරු ප්‍රදේශය පුරා දැඩි ලෙස ව්‍යාප්තව පවත්නා ස්ත්‍රී දූෂණ, මත්පැන්, මත්ද්‍රව්‍ය හා මංකොල්ලකෑම් මර්දනයට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් දායකත්වයක් නොලැබෙන බවට වූ අඳෝනාවකි. දෝෂාරෝපණයකි.
ඇය එය කෝපයෙන්ද, ආයාචනාත්මකවද ප්‍රකාශ කර සිටියාය.
මේ හැරුණු විට ඇය ප්‍රකාශ කළ ඉතිරි කරුණු බොහොමයකට අපටද එකඟ විය හැක. ජනපති පක්ෂය සංවර්ධනය කරනු මිස අනෙක් දෑ පිළිබඳ නොසැලකිලිමත්ය යන්න අපේද චෝදනාවකි. විජයකලාගෙන් ආණ්ඩුවට එරෙහිව දිගු චෝදනා පත්‍රයකි. ඇයගේ මුවින් පිටව ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ හදවතේ තෙරැපෙන ශෝකාලාපය යන්න මගේද අදහසයි. මෙය දේශපාලන අර්ථයෙන් නොව මානුෂීය අර්ථයෙන් විමංසාවට ලක් කළ යුත්තකි.
ඒ හා බැඳුණු තවත් කතාවකි. විජයකලා සිය සැමියා මරා දැමූ එල්ටීටීඊය උත්කර්ෂයට නැංවූ බවට වූ චෝදනාව. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිය සැමියා වූ විජය කුමාරතුංග මහතා මරා දැමූ බවට සැලකෙන ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ආණ්ඩු හැදූ හැටි දැන් කාටත් අමතකය. එම එක්වීම එවක සිංහල සමාජය මහත් අභිමානයෙන් යුතුව පිළිගත් බව රහසක් වූයේ නැත.
ඒ වෙනස විජය කලා දෙමළ නිසාද?
අනෙක් කරුණ ඇතැම් දේශපාලන හා මාධ්‍ය පාහරයන් ටී. මහේෂ්වරන් මහතා හඳුන්වන්නේ විජය කලා මහත්මියගේ නීත්‍යනුකූල සැමියා කියාය. සැමියා නම් සැමියා මිස නීත්‍යනුකූල කියා විශේෂණයක් කුමටද? ඉන් ගම්‍ය කිරීමට අදහස් කරන්නේ කුමක්ද? යටි අරමුණ හීනියට මඩක් ගැසීම නොවේද?