රාවය

පරිසර දූෂණයේ නව ප්‍රවණතා

පරිසර දූෂණයේ නව ප්‍රවණතා

ප්‍රභාෂ්වර

වැඩිහිටි මනුෂ්‍යයකු සාමාන්‍යයෙන් දෛනිකව වායු ලීටර් 10,000ක් පමණ ආශ්වාස-ප්‍රශ්වාස කරනු ලබයි. මෙයින් 21%ක් ඔක්සිජන් වන අතර ඉතිරිය සමන්විත වන්නේ වෙනත් වායුන් සහ වාතයේ අඩංගු විවිධ අංශු වලිනි. ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායකට අනුව, එක්සත් රාජධානිය වාතයේ ගුණාත්මක අගය මැනීම සඳහා එහි අඩංගු ද්‍රව්‍යයන් 5ක් විශ්ලේෂණය කරයි. ශ්‍රී ලංකාවේදී එය සල්ෆර් ඩයොක්සයිඞ් සහ නයිට්‍රන් ඔක්සයිඞ් යන ද්‍රව්‍යයන් දෙකට පමණක් සීමා වන වග හෙතෙම පවසයි. වාහන වලින් පිටවන දුමෙහි ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ නයිට්‍රජන් ඔක්සයිඞ් හෙවත් No2  ය. කෙසේ වෙතත් වාතය දූෂණය කරන්නා වූ ද්‍රව්‍යයන් 189ක් පමණ ලොව තුළ තිබෙන බැව් මේ වන විට පරිසර විiාඥයින් විසින් සොයා ගෙන තිබේ. කාර්මික නිපැයුම් ක්‍රියාවලියේදී හා ප්‍රවාහනයේ දී ඉන්දන දහනය මගින් පරිසරය වෙත නිකුත් කරන කාබන්ඩයොක්සයිඞ් ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනී. 2017 අගදී ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය තද දුඹුරු පැහැති දුමකින් වැසී ගිය නිසා ගුවන් ගමන් බොහොමයක් අවලංගු කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ. පාර නොපෙනීම හේතුවෙන් ඇති වුණු රිය අනතුරු වැඩි වුණ හෙයින් පාසැල් හා කාර්යාල දින ගණනාවක් වසා තැබිණි. ටජ්මහලේ සුදෝ සුදු පැහැයෙන් බබලන කිරිගරුඬ බිත්ති කොළ පැහැයට හැරුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, ලෝකයේ දූෂිතම වාතාශ්‍රය සහිත නගර 15න් 14ක් ම ඇත්තේ ඉන්දියාව තුළය.

ගෘහස්ථ වායු දූෂණය

දරලිප් මගින් ඉවුම් පිහුම් සිදු කිරීම, මදුරු කොයිල් දැල්වීම, ගෘහය තුළ දුම් බීම, හා කපුරු, හඳුන්කූරු දැල්වීම යනාදිය නිසා ආශ්වාස කරන වාතය අපිරිසිදු වීම, ගෘහස්ථ වායූ දූෂණය ලෙස සැලකිය හැකිය. මහපාරේදී හා නිවසේදී අප ආග්‍රහනය කරන වාතය දූෂිත නම්, එය විවිධ හෘදය රෝග, පෙනහළු පිළිකා, ඇති කරනවාට අමතරව මොළයේ ක්‍රියාකාරීත්වය ද අඩාල කරනු ලබයි. ලෝ වාසීන් සෑම දහදෙනකු අතරින් නවයක්ම ආශ්වාස කරනුයේ අපිරිසිදු වාතය බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔවුන්ගේ දත්ත වලට අනුව බාහිර හා අභ්‍යන්තර වායූ දූෂණය මගින් වාර්ෂිකව මරණයට පත්වන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 7කි. 2016 වසර තුළදී පමණක් බාහිර වායූ දූෂණය නිසා ලෝ වාසීහු මිලියන 4.2ක් ද ගෘහස්ථ වායූ දූෂණය හේතුවෙන් තවත් මිලියන 3.8ක් ද මරණයට පත් වූහ.ඉන්දියානු ග්‍රාමීය ජනතාව අතරින් 80% ක්ම ආහාර පිසීම සඳහා භාවිත කරනුයේ දර, ගොම, භූමි තෙල් සහ අඟුරුය. මේවායින් පිට වන දූෂිත වායූන් නිසා වාර්ෂිකව ඉන්දියානුවෝ මිලියන 1.3ක් මරු වැළඳගනිති. වායු කියුබික් මීටරයක් තුළ අපද්‍රව්‍ය අංශු මයික්‍රොග්‍රෑම් 25කට වඩා අඩංගු වේ නම් එතැන වායූ දූෂණයක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. 2018 පෙබරවාරි මාසයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර එය මයික්‍රොගෑම් 520 දක්වා ඉහළ ගිය වග, එහි ගිය ඕස්ටේ්‍රලියාවේ  ABC  මාධ්‍ය ජාලයෙහි වාර්තාකාරිණි සියොබාන් හෙනූ වාර්තා කළාය. 2018 පෙබරවාරි 24 රාත්‍රියේ සිය හෝටල් කාමරය තුළ සිටියදී තියෝබාන්ට තදබල උගුරේ ආසාදනයක් හටගත් අතර ඇගේ සහකරු පපුවේ දැවිල්ලකින් හා නොනවතින කැස්සකින් පෙළෙන්නට විය. ඔවුන්ට ප්‍රතිකාර ලබා දුන් ඉන්දියානු වෛද්‍යවරයා කීවේ නවදිල්ලියේ වායූ දූෂණය නිසා එම රෝගී තත්ත්වය හට ගත් බවත්, එහි වාතය ආශ්වාස කිරීම දිනකට සිගරට් 50ක් නොකඩවා බීම වැනි භයංකාර තත්ත්වයක් බවත්ය.

මොංගෝලියාව

වර්‍ග කිලෝ මීටර් මිලියන 1.5ක භූමි ප්‍රමාණයකින් හා මිලියන 03ක ජනගහනයකින් සමන්විත, නැගෙනහිර ආසියානු රටක් වන මොංගෝලියාව දකුණින් චීනය ද, උතුරින් රුසියාවට ද මායිම් වූ දේශයකි. රටේ අගනුවර වන උලාන්බටාර් හි වෙසෙන ජන සංඛ්‍යාව මිලියන 1.4කි. ලොව සීතලම නගරය ලෙස විරුදාවලිය ලත් උලාන්බටාර් හි ජනවාරි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 29ක් වන අතර එය බොහෝ විට ඍණ 40 දක්වා ද පහත වැටීමේ ඉඩකඩක් පවතී. 2002 වසරේ සීත ඍතුවේදී ඉතාලි, ස්විට්සර්ලන්ත මායිමේ දී සෙල්සියස් අංශක ඍණ 10ක වටපිටාවක නන්නත්තාර වුණු මේ ලියුම්කරුට ඍණ 29 හෝ 40 යනු අදහාගත නොහැකි සිසිලසක් වග මෙහි සටහන් කිරීම වටී. උලාන් බටාර් නගරය වෙලාගත් අධික ශීතලෙන් යන්තම් හෝ බේරීම පිණිස නගර වැසියෝ සිය රෙදි කූඩාරම් වැනි නිවෙස් තුළ තිබෙන උදුන් දල්වන්නේ ගල් අඟුරු භාවිත කරමිනි. වාර්ෂිකව මොවුන් දහනය කරන ගල් අඟුරු ප්‍රමාණය ටොන් මිලියන එකකි. මිල අධික ගල් අඟුරු ගැනීමට තරම් ආර්ථික තත්ත්වයක් නොමැති දුප්පතුන් ප්ලාස්ටික් බෝතල් හා පරණ ටයර් දමා හම උඳුන් දල්වනු ලබයි. මෙම උඳුන් වලින් පිටවන දූෂිත වායුව, වත්මනෙහි මුළු උලාන්බටාර් නගරයම මී දුමක් සේ වෙලාගෙන ඇත. යුනිසෙෆ්හි මොංගෝලියානු නියෝජිත ඇලෙක්ස් හයිකෙන්ස් පවසන්නේ නගරයේ ළදරු මරණ අනුපාතය මෑතකදී තුන් ගුණයකටත් නඩා වැඩි වී ඇති බවයි. ඊට හේතුව අන් කිසිවක් නොව ඉහවහා ගිය වායූ දූෂණය වග හෙතෙම අවධාරණය කරයි. මොංගෝලියාවේ ගම්බද පෙදෙස් වල වෙසෙන දරුවන් හා සැසඳීමේ දී උලාන්බටාර්හි දරුවන්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය 40%කින් පහල වැටී තිබේ. ගත වූ වසර දහය තුළ එම නාගරික ළමුන් තුළ ශ්වසන රෝග හට ගැනීමේ අනුපාතය 270%කින් ඉහළ ගොස් ඇතැයි යුනිසෙෆ් සංවිධානය කියයි.

ටොල්ටොකාන් පවුල

වයස අවුරුදු 5ට අඩු මොංගෝලියානු දරුවන් විශාල සංඛ්‍යාවක් නියුමෝනියාවෙන් මිය යන බව වාර්තා වුණු සැනින් 2018 පෙබරවාරියේ දී ජාත්‍යන්තර ටයිම්ස් සඟරාවේ මාධ්‍යවේදී ජෝසප් හින්ක්ස් ඒ ගැන සොයා බැලීම පිණිස මොංගෝලියාව බලා ගියේය. සිය භාෂා පරිවර්තක සමඟ උලාන්බටාර්හි ඇවිදිමින් මුලින්ම කතා කළේ සමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත ටොල්ටෝකාන් පවුලටයි. ඇල්ප්ස්බයි හා නර්සෝල් ටොල්ටෝකාන් යන අඹු සැමි දෙපල මීට වසර දෙකකට පෙර සිය ගම්බද ගොපළු දිවියෙන් මිදී තම කුඩා දරු තිදෙනා ද සමඟ මොංගෝලියාවේ අගනුවරට පැමිණියේ ළමයින්ට හොඳ අනාගතයක් උදා කර දීමේ අභිලාෂයෙනි. පසුගිය දශක තුන තුළ එරට ගම්වාසීහු දස දහස් ගණනින් නගරය බලා සංක්‍රමණය වූයේ ග්‍රාමීය දිළිඳුකමින් මිදී අතමිට සරුකර ගැනීම සඳහාය. එහෙත් නගරයට ආදා පටන් තම දරු තිදෙනා නිතර නිතර ශ්වසන අබාධවලට ගොදුරු වන බවත්, අතදරුවා හෙවත් බාලයා වන ඇල්මස්බෙක්ගේ රෝගී තත්ත්වය දරුණු අතට හැරී ඇති බවත් ඔවුන්ගේ මව නර්සොල් කියයි. ‘ඇදුම’ රෝගයෙන් පෙළෙන ඇස්මස්බෙක් බබා මාස 6ක් තුළ අට වතාවක් රෝහල්ගත කර තිබේ. 25 හැවිරිදි නර්සෝල් කියන්නේ 2017 සැප්තැම්බර් මාසයේ දී දරුවා බ්‍රොන්කයිටීස් (ශ්වසන ප්‍රදාහය) රෝගයෙන් පෙළුණු බවයි. ඉන්පසු ඔහුට නියුමෝනියාව වැළඳුණු හෙයින් 2017 නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකම රෝහලේ නේවාසිකව සිටීමට සිදු විය. සුව වී නිවසට පැමිණ දින 5ක් ගත කළ පසු ඇල්මස්බෙක්ව නැවත ඇතුළත් කෙරුණේ රෝහලේ දැඩිසත්කාර ඒකකයටය. වත්මනෙහි ඔහුට හැම පැය 8කට වරක්ම ප්‍රතිජීවක ඖෂධ අනිවාර්යයෙන්ම එන්නත් කළ යුතු වේ. ගමේ ඉපදුණු 4 හැවිරිදි වැඩිමහල් පුතාද දෙහැවිරිදි දුව ද බොහෝ විට මනා සෞඛ්‍යයෙන් පසුවීම සැනසීමට කරුණකි. කුඩා ඇල්මස්බේක් දැඩි සීතලෙන් ආරක්ෂා කිරීම පිණිස නිවසේ ගල් අඟුරු උඳුන දැල්විය යුතු නමුත් ඉන් නික්මෙන් දූෂිත වායුන් ඔහු යළි යළිත් ගිලන් කිරීම නොවැලැක්විය හැකිය.

දරුවන් ලෙඩුන් වීම

අග නගරය පුරා පැතිර යන ගල් අඟුරු දුම, තවමත් හොඳින් නොවැඩුණු කුඩා ළමයින්ගේ පෙනහළු හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්ෂණිකව ආක්‍රමණය කරයි. උලාන්බටාර්හි වාතයේ අඩංගු සියුම් අපද්‍රව්‍ය අංශු ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත අගයට වඩා දාහතර ගුණයකින් වැඩියැයි යුනිසෙෆ් ආයතනය පවසයි. ළමා පාරිසරික සෞඛ්‍යය පිළිබඳ කොළොම්බියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා වෛi ෆෙඞ්රිකා පෙරේරාට අනුව, දූෂිත වායුව අශ්වාස කරන ගර්භනී මව්වරුන්ගේ කුසේ සිටින දරුවෝ මොළයේ හා ශ්වසන පද්ධතියේ අබාධවලට අනිවාර්යයෙන්ම ගොදුරු වෙති. උලාන්බටාර්හි ගර්භනී මව්වරුන්ගේ 90%කගේම කුස තුළ සිටින දරුවන් විවිධ අසාමාන්‍යතා පෙන්නුම් කරන බැව් නගරයේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා වෙi උගන්ටිසෙට්සෙග් ගැනබට් අවධාරණය කරයි. ඇල්මස්බෙක්ගේ පියා වන ඇල්ජස්බයි ටොලටෝකාන් තම පුත්‍රයාට නිව්මෝනියා එන්නත දීමෙන් පසුව සිය හුන්ඩායි ට්‍රක් රථය පදවමින් නලේක් ගල් අඟුරු පතල වෙත ගමන් කරයි. ඉතා අවධානම් රැකියාවක වුවත් ගල් අඟුරු උකහාගෙන ගොස් නගරයේ නිවෙස්වලට අලෙවි කිරීම හරහා ඉහළ ආදායමක් ඉපැයිය හැකි වග ඇල්ප්ස්බයි කියයි. එක් නිවසක් උණුසුම් කිරීම පිණිස අවශ්‍ය (මාස 2ක) ගල් අඟුරු ප්‍රමාණය අලෙවි කරනුයේ ඇමරිකානු ඩොලර් 100 කටය. උලාන්බටාර්හි ගල් අඟුරු අවශ්‍යතාවයෙන් 70%ක් ම සපුරාලන්නේ තමා වැඩ කරන නලේක් පතලෙන් යැයි ඇල්ප්ස්බයි පවසයි. තමාගේ බබා ඇතුළු උපදින්නට සිටින දරුවන් ද මේ රැකියාව හේතුවෙන් (ගල් අඟුරු උකහා ඇලෙවි කිරීම) රෝගි වන බැව් දන්නා නමුත් කළ හැකි අන් කිසිවක් නැතැයි ඔහු කියයි.

ආර්ථික අවපාතය

මීට වසර 10කට පෙර ලොව ප්‍රධානම ගල් අඟුරු අපනයනකරු ලෙස ජයකෙහෙළි නැංවීමට මොගෝලියාව සමත් විය. ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරු වූයේ චීනයයි. අපනයන විවිධාංගීකරණය ගැන තඹයකට මායිම් නොකළ මොංගෝලියානු පාලකයෝ 2011 දී තම දළ දේශීය නිපැයුම 17.3% කින් වර්ධනය වුණු වග කියමින් උදම් ඇනූහ. ලෝක බැංකු පවා එදා කීවේ එය ලොව ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවයි. 2013 වන විට සියලු උලාන්බටාර් වාසීහු සුඛෝපබෝගී මහල් නිවාස වල පදිංචි කරන වග එදා එහි නගරාධිපතිවරයා විශ්වාසයෙන් යුතුව පැවසීය. එහෙත් පරිසර දූෂණය කරන ගල් අඟුරු දහනයෙන් ඉවත් වී චීනය ඇතුළු අනෙක් සංවර්ධිත රටවල් පරිසර හිතකාමී ඉන්ධන භාවිතයට යොමු වීමත් සමඟ 2016 දී මොංගෝලියාවේ ආර්ථික වර්ධන වේගය සීයයට එක (1%) දක්වා පහත වැටුණේය. ගල් අඟුරු අපනයන අදායම දෙගුණ තෙගුණ වූ අවස්ථාවේ එරට බුද්ධිමත් සමාජ ක්‍රියාකාරීන් මොංගෝලියානු දේශපාලනඥයින්ට කීවේ එම ඉපැයුම් යොදවා නොපමාව පරිසර හිතකාමී විකල්ප ඉන්දන වෙත යොමුවන ලෙසය. එහෙත් ආර්ථික වර්ධනයේ ජය ඝෝසාව මැද නායකයින්ට එම තාර්කික උපදේශයේ හඬ නෑසී ගියේය. 2050 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාව මෙගාවෝට් 34000ක් දක්වා වැඩි වනු ඇත. ඉන් මෙගාවොට් 15000ක් සුළං බලයෙන් ද, තවත් මෙගාවොට් 16000ක් සූර්යතාප බලයෙන් ද ජනනය කළහැකි වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. ඉතිරි මෙගාවොට් 3000 ජල විදුලිය ඔස්සේ ලබා ගත හැකිය. නමුත් මෙම ඉලක්කය කරා යාම සඳහා අත්‍යවශ්‍ය වන දේශපාලන ස්ථාවරත්වය කවදා රටට ලැබේ දැයි යන්න සැක සහිතය.