රාවය

ඕඑම්පී විරෝධය, කිළිනොච්චිය සහ ජිනීවා

ඕඑම්පී විරෝධය, කිළිනොච්චිය සහ ජිනීවා

සුනන්ද දේශප්‍රිය

ඕඑම්පී යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පසුගිය සති අන්තයෙහි යාපනයෙහි සහ කිළිනොච්චියෙහි මූලික අදහස් විමසීමේ සැසිවාර දෙකක් පැවැත්වීය. මෙම සැසිවාර දෙක ම එම ප්‍රදේශයන්හි තරමක ආන්දෝලනයකට මඟ පෑදුවේ ය.
යාපනයෙහිදී මෙන්ම කිළිනොච්චියෙහිදීද අතුරුදන්වූවන්ගේ කාර්යාලයට විරුද්ධව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි. යාපනයෙහි එම සැසිවාරය පැවැත්වූ වීරසිංහම් ශාලවෙහි විදුලි බලය රැස්වීම ආරම්භ කිරීමට පෙර කපා හැර තිබුණේ විදුලි ජනක යන්ත්‍රයක් ද තිබියදී ය. විදුලිය සපයන වයර් කවරකු හෝ විසින් කපා දමා තිබුණි.
විරෝධතාකරුවන්ගේ සටන් පාඨය වූයේ ඔවුන්ට අවශ්‍ය අන්තර්ජාතික පරීක්ෂණයක් මිස දේශීය පරීක්ෂණයක් නොවන බවයි. තමන් අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිනොගන්නා බවට දැන්වීම් පුවරු ඔවුහු ඔසවාගෙන සිටියහ. එමෙන්ම රැස්වීමට සහභාගිවීමට පැමිණි මා පියවරුන්ට වීරසිංහම් ශාලාවට ඇතුළුවීමට ඉඩ නොදීම ඔවුන්ගේ උපාය වී තිබුණි.

එසේ වෙතත් 500 ඉක්මවූ මාපිය පිරිසක් යාපනයෙහි රැස්වීමට එක්වූහ. ඔවුහු සිය දුක්ගැනවිලි මෙන්ම විවේචනයන්ද ඉදිරිපත් කළහ. ඉන් එකක් වූයේ දෙපැයක කාලයක් මෙවැනි අභ්‍යාසයකට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. තවද සභාවෙහි කටයුතු එකවරම ද්විභාෂාවෙන් කිරීමට නොහැකිවීම නොසන්සුන්තාවට මඟ පාදා තිබුණි. එසේ නමුත් කාර්යාලයෙහි ප්‍රධානී සාලිය පීරිස් සහ සාමාජිකා නිමල්කා ප්‍රනාන්දු විසින් දක්වන ලද හිතෛෂී ප්‍රතිචාර යම් දුරකට විශ්වසනීයත්වයක් ඇතිකර ගැනීමට දායක විය.
විරෝධතාකරුවන් බහුතරය පැමිණ සිටියේ කිළිනොච්චියෙනි. ඔවුන් මෙහෙයවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය නැතිකර දැමීම සිය අරමුණ බව ප්‍රසිද්ධියේ කියන දෙමළ දේශපාලනඥයෙකි. ටික වේලාවකට පසු විරෝධතා පිරිස් ඔහු සමග ඉවත්ව ගියේ ඉරිදාට නියමිත කිළිනොච්චියේ සභාව පැවැත්වීමට ඉඩ නොදෙන බව කියමිනි.
ඇත්ත වශයෙන්ම කිළිනොච්චියෙහි ඕඑම්පී සාකච්ජාව අසාර්ථක කිරීමට ඔවුහු සමත් වූහ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කණ්ඩායම නැවැතී සිටි හෝටලයෙහි විදුලිය ද රාත්‍රියෙහි කපා හැරුණි. උදෑසන ඔවුන් රැස්වීම් ශාලාව කරා යන විට එහි ගේට්ටුව අවහිර කරමින් සිය ගණනාවක් දෙමළ පිරිස් රැස්ව සිටියහ. ඒ වන විට එහි ඇතුළු වී සිටි දහදෙනකු පමණ වූ මාපියන් හැරුණුවිට අන් කිසිවකුට ඇතුළුවීමට මෙම විරෝධතාකරුවෝ ඉඩ නොදුන්හ.
යාපනයෙහිදීත් රැස්වීම් ශාලාව තුළට කඩා වැදී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් පැමිණ සිටි පිරිස් බිය වැද්දවීමට මෙකී විරෝධතාකරුවන් උත්සාහ දරා තිබුණි. එහිදී අසැබි වචන පවා දමා ගැසූ බව කියනු ලැබේ. කිළිනොච්චි පොලීසිය බලා සිටියේද රැස්වීම කඩාකප්පල් වනතුරුය. අතුරුදන්වූවන් පිළිබඳව මාපියන් විසින් කරුණු ඉදිරිපත් කිරීම කවරකු හෝ විසින් වළක්වනු ලබන්නේ නම් පොලීසිය ඊට කැමැත්තෙන් සිටියා වැනි විය.

යාපනයේදී මෙන්ම කිළිනොච්චියෙහිදී සිවිල් සමාජ කණ්ඩායම් සමග වඩා සාර්ථක අදහස් හුවමාරු සාකච්ජා දෙකක් පැවැත්වීමට ඕඑම්පීය සමත් විය. මාපියන් සමග පැවැත්වූ රැස්වීම් මෙන්ම සිවිල් සමාජ කණ්ඩායම් සමග පවත්වන ලද රැස්වීම්වලදීත් මතුවූ එක් තීරණාත්මක කාරණයක් විය. එනම් 2009 මැයි 18 සහ 19 යන දිනයන්හි යුද හමුදාවට බාරදෙන ලද එල්ටීටීඊ ප්‍රධානීන් සහ සටන්කාමීන්ට කුමක් වූයේද යන ප්‍රශ්නයයි. මෙම පිරිස් භාරදෙන ලද්දේ ඔවුන්ගේ ඥාතීන් විසින් කිළිනොච්චියේදීය.
මෙසේ බාර දෙන ලද එල්ටීටීඊ ප්‍රධානීන් යුද හමුදාව බාරයේ සිටින බවට දිවයින පුවත්පත හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් එකී එල්ටීටීඊ නායකයින්ගේ නම් ගම් පවා ඇතිව වාර්තාවක් 2009 මැයි මාසයේදී ම පළ කරන ලදි. එහෙත් ඒ කිසිවකුට වූ දෙයක් කීමට රජය හෝ යුද හමුදාව තවම සමත් වී නැත. හමුදා අත්අඩංගුවට පත් ළාබාල බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ට අත්වූ ඉරණම ම ඔවුන්ට ද අත් වූ බවට සැකයක් නැත.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය මුහුණ දෙන එක් කඩඉම් ප්‍රශ්නයක් වනු ඇත්තේ මෙම බාරවූ පිරිස්හි ඉරණම පිළිබඳ කවර හෝ හෝඩුවාවක් සොයා ගැනීම යි.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය තමන් පිළිගන්නේද නැත්ද යන්න නොසලකා අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමග සාකච්ජාවක නිරතවූයේ නම් එය වැදගත්ය. අනෙක් අතට තමන් කොපමණ දුරට අව්‍යාජව සිය මෙහෙවර ඉටුකරන්නේද යන්න පෙන්වාලීම ඕඑම්පීය සතු කාර්යයක් වේ.
තවත් පුදුමාකාර කරුණක් සඳහන් කළ යුතුමය. ඕඑම්පීය යාපනයෙහි සහ කිළිනොච්චියෙහි පවත්වන ලද සාකච්ජා සභා වාර්තා කිරීමට රජයේ කිසිදු ජනමාධ්‍ය ආයතනයක් ප්‍රමාණවත් පියවර ගෙන තිබුණේ නැත. මෙම දින දෙකෙහිදීම රජයේ රූපවාහිනී ආයතන සිය පුවත් ප්‍රකාශනයන්හි ඕඑම්පී සාකච්ජා සභා වාර්තා කළේ නැත. රජයේ මුද්‍රිත මාධ්‍යයන්හි හෝ කිසිදු අදාළ වාර්තාවක් නොදුටුවෙමි. ඉන් පෙන්වන්නේ අතුරුදන්වූවන් සොයා ගැනීමට දැරෙන ප්‍රයත්න පිළිබඳ ආණ්ඩුවේ නොසැලකිල්ල ය.
ඉහත කී විරෝධතාකරුවන් සහ කාරියන්ගේ නියෝජිත පිරිස් පසුගිය මාර්තු සහ ජූනි මාසයන්හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර හමුවෙහි කරුණු ඉදිරිපත් කිරීම පිණිස ජීනීවා බලා පැමිණියහ. මෙම අවස්ථා දෙකෙහිදීම ඔවුන්ගේ ස්ථාවරය වූයේ ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි තමන්ට විශ්වාසයක් නැති බැවින් අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

මෙම පිරිස් අතුරින් සමහරෙක් සිටින්නේ යථාර්ථවාදී නොවන අන්තවාදී මතවලය. මෙම වසර මුලදී අප කිළිනොච්චියෙහිදී මුණ ගැසුණූ අවස්ථාවකදී සිංහලයින් සමග තමන්ට කිසිවක් කිරීමට අවශ්‍ය නැතැයි ඔවුහු අපට කීවෝ ය. අප බියවැද්දවීමට මෙන් අපගේ ඡායාරූප ගැනීමට පිරිස් කැඳෙව්වෝ ය. ඔවුන් පෙන්වූයේ සහමුලින්ම පසමිතුරු ආකල්පයකි.
ජිනීවාහි ඔවුන්ගේ නායකයා වන්නේ ගුප්ත පුද්ගලයකු වන බොස්කෝ නොහොත් ඇන්තනි මරියදාස් නමැති අයෙකි. ඔහු පෙනී සිටින්නේ ‘ජිනීවාහි සහ පැරිසියේ තමිල් ඊලාම් නියෝජිතයා’ ලෙසය. ඔහු සතුව අන්තර් ජාතික සංවිධාන ගණනාවක් තිබේ. මුදල් ප්‍රතිපාදනද ඇති තරම් තිබෙන බවක් පෙනේ. එහෙත් මෙම පුද්ගලයා කිසිදු දෙමළ ඩයස්පෝරා සංවිධානයක් සමග එළිපිට සම්බන්ධයක් නොපෙන්වයි. ලොව අනෙක් කලාපයන්හි වෙනම රාජ්‍යයන් සඳහා සටන් කරන විවිධ සංවිධාන සමග එක්ව ශ්‍රී ලාංකික සහ දකුණු ඉන්දියානු දෙමළ ක්‍රියාධරයන්ගේද සහභාගිත්වයෙන් මානව හිමිකම් කවුන්සිලයෙහි සමාන්තර රැස්වීම් සංවිධානය කිරීම ඔහුගේ විශේෂ කාර්යයයි. දැන් දැන් සමහර දේශපාලනඥයින් පවා ජිනීවා බලා එන්නේ මේ බොස්කෝගේ පිහිටෙනි.

බොස්කෝ සමග එක්ව මෙම විරෝධතාකරුවන්ගේ ජිනීවා ගමන සංවිධානය කරන්නේ කොළඹ පවත්නා නීති ආධාර සංවිධානයක් විසිනි. යාපනයේ සහ කිළිනොච්චියෙහි පැවැති ඕඑම්පී රැස්වීම් වර්ජනය කරන ලෙස ප්‍රචාරයක් ගෙන යෑමට ද කොළඹ පිහිටි මෙම සංවිධානය කටයුතු කළේ ය.
මෙම කිසිදු ක්‍රියාවක් නීති විරෝධී ඒවා නොවේ. ඔවුන් ක්‍රියාවට නගන්නේ මෙරට පුරවැසියන් සතු මානව අයිතීන්ය. විරෝධය පෑමටත් එක්සත් ජාතීන් වෙත කරුණු දැක්වීමටත් සරත් වීරසේකරට මෙන්ම මෙම කිළිනොච්චි විරෝධතා කාරියන්ටත් අයිතියක් තිබේ.
යුද්ධයේ විපාක වශයෙන් මෙරට දෙමළ ජනයාට අත්වූ විපත් වෙනුවෙන් යුක්තිය ඉටුකරගත හැක්කේ අන්තර් ජාතික මැදිහත්වීමක් මගින් පමණක් යැයි යාපනයේ සහ කිළිනොච්චියේදී ඕඑම්පීයට විරෝධතා පෑ මාපියන් විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. දේශපාලනඥයින් නම් එම සටන් පාඨය පාවිච්චි කරන්නේ තමන්ට ඡන්ද වැඩිකර ගැනීමටය. අන්තර්ජාතික මැදිහත්වීමක් මගින් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලබාගත හැකියැයි යන මිථ්‍යාව වැපිරවීම මත පවත්වාගෙන යන දෙමළ සංවිධාන මෙරට මෙන්ම එතෙර ද තිබේ. ඔවුහු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිට නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන යායුතු බව ද කියති. ඉහත කී විරෝධයන්ට එක්වන පිරිස් ඉල්ලා සිටින්නේ ද එවැනිම ඉල්ලීම් ය.

එහෙත් ඇත්ත යථාර්ථය නම් එවැනි අන්තර්ජාතික මැදිහත්වීමක් වර්තමාන ලෝක තත්ත්වය තුළ සිදුවිය නොහැක්කක් බවයි. ජිනීවාහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැරෙන ප්‍රකාශ තවදුරටත් වචන ඉක්මවා යන්නේ නැති තරම්ය. අතුරුදන්වූවන්ගේ කාර්යාලය වර්ජනය කරන දෙමළ පිරිස් එමගින් කරන්නේ අන්තර්ජාතික තලයෙහි ශ්‍රී ලංකාණ්ඩුව තවත් ශක්තිමත් කිරීමය. මෙවැනි ක්‍රියා මගින් අන්තර්ජාතික හොඳ හිත තමන්ට දිනා ගැනීමට හැකියැයි විරෝධතාකරුවන් සිතා සිටින්නේ නම් එය මහ ම මුලාවක් වනු නිසැක ය.
කවර හෝ රටක මානව හිමිකම් සම්බන්ධයෙන් ඵලදායක අන්තර්ජාතික මැදිහත්වීමක් ඇතිවිය හැක්කේ දේශීය වශයෙන් මානව හිමිකම් ඔසවා තැබෙන ආණ්ඩුවක් ඇතිවිට පමණක් බව අත්දැකීම් පෙන්වා දෙයි. රාජපක්ෂ සමයෙහි එක්සත් ජාතීන් යෝජනා සම්මත කර වාර්තා ඉදිරිපත් කළ නමුත් ඉන් මෙරට දෙමළ ජනයාට ප්‍රායෝගික සෙතක් අත්වූයේ නැත. ඔවුන්ට කවර හෝ නිදහසක් ලැබී යුක්තියක් ඉටුවූයේ රාජපක්ෂ පාලනය අවසන් ව ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ පමණි.
දේශීය සාධකය අමතක කර අන්තර්ජාතික මැදිහත්වීමක් ගැන පමණක් විශ්වාස කිරීමට මෙරට දෙමළ ජනයා පෙළඹවීම දේශපාලන අපරාධයකි. අන්තිමේදී එල්ටීටීඊය විනාශයෙන් වන්දි ගෙවූයේ එවැනි අන්ධ විශ්වාසයන්ද හේතුවෙනි. අද අතුරුදන්වූවන්ගේ ඥාතීන් එවැනි කළු කුහරයක් කරා මෙහෙයවන කවරකු වුවත් යළි ඒ ගැන සිතා බැලීම වටී.