ලංකාව ව්‍යාපාරයක් නම් රටට අවශ්‍ය නිර්පාක්ෂික ප්‍රධාන විධායක නිලධාරියෙක් රොහාන් පල්ලෙවත්තගෙන් පිළිතුරක්

ලැසිල් ද සිල්වා

‘ජනාධිපතිවරණය : රොහාන් පල්ලෙවත්ත දැක්ම යනුවෙන් මාගේ ලිපියට අවධානය යොමු කරමින් වික්ටර් අයිවන් මහතා සැපයූ ලිපියට මා බෙහෙවින් ස්තුති වන්ත වෙමි. පසුගිය කලාපයන්හි පළවු මාගේ ලිපි දෙක ඇත්තෙන්ම ඒ සඳහා ප්‍රවේශයක් ගැනීම සඳහා සැපයූවෙමි. ඒවා ශ්‍රී ලංකාවට සිදු වූ හානිය කුමක්ද යන්නත් ජනතාව පාගා ගෙන වරප්‍රසාද භුක්ති විඳින ආකාරය පිළිබඳ ජනතාවට යථාර්ථය විදහා පෑමට ලියන ලද්දකි. අපේ මව් රට අවංක පාලකයන් නොමැති වීම නිසා පුරවැසියන්ගේ අභිවෘද්ධිය මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් පවා අහිමි වී ඇත. දිගින් දිගටම අසාර්ථක පාලකයන් රට තුළ අවිචාරමත් ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වට පිටාවක් බිහි කිරීමට මග පාදා ඇත. රට කෙලෙසමින් තිබෙන නිසා මහජන සුභ සාධනය හා ආර්ථික වර්ධනය සලසා ගැනීමට නොහැකිවී ඇත. පවතින දේශපාලන අස්ථාවර බව නිසා නිර්මාණය වී ඇති අසාර්ථකත්වය පිටු දැකීම උදෙසා නව බලවේගයක් තැනීමත් ඒ සඳහා හිඩැස පිරවීම පිණිස නව පාලනයක් ස්ථාපිත කිරීම අපගේ අරමුණ වේ.

අපට අවශ්‍ය වන්නේ කියන දේ කරන, කරන දේ කියන අවංක නායකයෙකි. මේ දක්වා සිදුවී ඇත්තේ වැදි බණ කියමින් රට පාලනය කිරීමට වෙර දැරීමකි. එනිසා පාලකයන් කෙරෙහි විශ්වාසය ගිලිහී ගොස් ඇත. එනිසා පාලනය ඉතාම බැරෑරුම් කාර්යයක් වී ඇති බව පෙනේ. ඕනෑම රටක ජනතාවගේ එකම ප්‍රාර්ථනාව සැමදෙනා සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීම සඳහා, පාලකයන් තමාට පැවරී ඇති යුතුකම් හා වගකීම් විශ්වාස වන්ත ලෙස නිහතමානිව ඉටු කරනු ඇති යන්න දැක ගැනීම බව පැවසිය යුතුය. එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ කඩා දැමුණු ආයතන හා ආර්ථිකය තුළ විනාශ කළ රටක් හා අනාගතයක් නොමැති ජනතාවක් අපේක්ෂා බිඳ දමා ඇති ලොවක අතරමන් කර ඇති ආකාරයක් නොවේද? එබැවින් අතීතයේ සිදුව ඇති සියලු නොපනත්කම් වෙනුවට අපට සිදුව ඇත්තේ සැලසුම් සහගත වැඩ පිළිවෙළක් හරහා රටට හා ජනතාවට හිතැති පාලනයක් ගොඩ නැගීම සඳහා කටයුතු සැලසීමයි. එබැවින් ඒ සඳහා සුදුසු වටපිටාව ප්‍රවේශම් සහිත ලෙස සැලසුම් ගත හා නිශ්චිත වැඩසටහනක් තුළින් හඳුන්වා දීම අපගේ අරමුණ බව පැවසිය යුතුය. මූලික වශයෙන් රටේ පවතින දේශපාලනමය වාතාවරණය තුළ ශ්‍රී ලංකාව ව්‍යාපාරයක් සේ සලකන්නේ නම් අප කළයුත්තේ දක්ෂතාවයෙන් හෙබි අවංක, කාර්යශූර, ප්‍රධාන විධායක නිලධාරියෙක (CEO) තෝරා පත්කර ගැනීම සඳහා කටයුතු කිරීම වේ.

අපගේ දැක්ම අනුව ජනාධිපතිවරයා දක්ෂ දුර දක්නා නුවණ සහිත උපායශීලී ජනතා හිතවාදී පෙරගමන් කරුවකු වශයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (1) සඳහන් පරිදි ‘ ජනාධිපතිවරයා, රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානයාද, සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයාද වන්නේය.’ ජනාධිපතිවරයා ඒ අනුව රටේ අති දක්ෂ CEO වීම වැදගත්ය. එසේම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරෙන කාර්යභාරය වර්තමානයේ අපේක්ෂිත ආකාරයට ඉටු නොවන බව පැවසිය යුතුය. ඔහු රාජ්‍ය පාලනයෙහි නොව දේශපාලනයේ නියැලීමට බෙහෙවින් දක්වන්නේ දැඩි ඇල්මකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට 33 ව්‍යවස්ථාවේ දැක්වෙන නිශ්චිත කාර්යයන් කිහිපයකි. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමටත් ආරක්ෂා කිරීමටත් බැඳී සිටි, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන හෙයින්ද, ව්‍යවස්ථා 43 (1) සඳහන් පරිදි ‘ අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හිදී, අගමැතිවරයාගේ අදහස විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ, අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද, අමාත්‍යාංශ සංඛ්‍යාවද ඒ අමාත්‍යවරුන්ගේ විෂය සහ කාර්යයද නිශ්චය කළ යුතු බැවින් ජනාධිපතිවරයා පැහැදිලිවම අමාත්‍ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට කටයුතු කළ යුතු දක්ෂ CEO කෙනකු විය යුතු වේ. අවශ්‍ය වෙතොත් මහජන යහපත සඳහා සුදුසු වෙනස්කම් කිරීම ජනාධිපතිවරයාගේ කාර්යභාරය වේ. එම වෙනස් කිරීම් සියල්ල ජනතා සුභ සිද්ධියට විය යුතුය. බලය රඳවා ගැනීමට නොව ජනතා සුභ සුද්ධිය සඳහා රාජ්‍ය පාලනය සිදු නොවීම නිසා පැන නැගී ඇති ගැටලු රාශියකි. තෝරා පත් කළ මහ ජන නියෝජිතයින් රට භාර දුන් ජනතාවට පා පහර ගසා ඇත.

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ ආකාරයද ව්‍යවස්ථාවට අනුකුල නොවේ. කළයුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා අලුත් පාර්ලිමේන්තුවක් තුළින් රට ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීම නොවේද? පල්ලෙවත්ත රජයක් ව්‍යවස්ථා විරෝධීව මෙන්ම රටේ කුමන හෝ නීතියකට පටහැනි ආකාරයට කටයුතු නොකරනු ඇත. ව්‍යවස්ථා අංක 27 (1) සඳහන් පරිදි රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී ධර්මිෂ්ඨ නිවහල් සමාජයක ඇති කිරීම සඳහා නීති පැනවීමේදීද ශ්‍රී ලංකා රාජ්‍යානුශාසනයේදී පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා අකුරටම ඇප කැපවනු ඇත. ව්‍යවස්ථාමය අවශ්‍යතාවන් අකුරටම ඉටු කරනු ඇත. මෙම කටයුතු එපරිද්දෙන්ම වර්තමානයේ සිදු නොවේ. එබැවින් අලුතින් බිහිවන පක්ෂයක් වශයෙන් වැරදි නිවැරදි කිරීමට පල්ලෙවත්ත මහතා ජනාධිපති ධුරයට පත්කළ යුතුව ඇත යන්න අපේ විශ්වාසය වේ. ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැඩි කැප වීමකින් යුතුව කටයුතු කරනු ඇත. අයුක්තියට, අසාධාරණයට, දූෂණයට අවනීතිය ආදියට එරෙහිවීම අපගේ කාර්යභාරයයි.

අපගේ ජනාධිපතිවරයා තෝරා පත්වූ වහාම ස්වාධීන පුද්ගලයකු වශයෙන් කටයුතු කළයුතු බවට දැනටමත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ලැබ ඇත. ජනාධිපතිවරයාට පැවරෙන ව්‍යවස්ථාපිත කාර්යභාරය කෙටියෙන් පහතින් සදහන් කරමි.

(අ) සියලු තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරාලීම,

(ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරු කොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇතිකර ආරක්ෂා කරදීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ධනය කිරීම.

(ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුවද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනයද, විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම.

(ඈ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍ය වන සැලසුම් සහ පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ්‍ර ලෙස මුළු රට සංවර්ධනය කිරීම.

(ඉ ) පොදු ජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරිම.

(ඊ ) නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ට සමාජ ක්‍රමයක් පිහිටුවීම.

(උ) ජනතාවගේ සදාචාරයෙහිත් සංස්කෘතියෙහිත් තත්ත්වය වැඩි දියුණු කිරීම සහ පෞරුෂත්වයෙහි පූර්ණ වර්ධනය තහවුරු කිරීම සහ

(ඌ) නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.

කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය රඳා පවතින්නේ පාලකයන්ගේ ආකල්ප මත බව පැවසිය යුතුය. එබැවින් ව්‍යවස්ථාපිත වගකීම් ආදියද පැහැර හරිමින් යහපාලන රජය පවා කඩා දමා ඇත්තේ යහපාලකයන්ම විසිනි. රටේ දියුණුව සඳහා දේශපාලකයා කළ හැකි සියලුම පරිත්‍යාගයන් කළ යුතුවේ. අද සිදුවන්නේ පාලක මහජන නියෝජිතයින් රාජ්‍ය මුදල් නිරපරාදයේ කා දැමීමය.

අප විසින් යෝජිත වැඩපිළිවෙළ අනුව පල්ලෙවත්ත පාලනය ඊට ඉඳුරාම වෙනස් මුහුණුවරක් ගනු ඇත. ජනාධිපති ධුරය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයකට මුණ දීම අපේ අරමුණ වේ. එම මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී විවිධ කුසලතාවන් සහිත ප්‍රවීණයන්ට පමණක් දොර විවෘත කරන ලබනු ඇත. දුෂිතයන් සඳහා දොර මුඵමණින්ම වසා තබනු ඇත. දැනට රාජ්‍ය මුදල් නාස්ති කරමින් සිදුවන රාජ්‍ය පාලනයට තිත තබනු ඇත. විශාල බදු බර ආදිය නිසා ජන ජීවිතය ඉතා ගැටලුසහගත බවට පත්වී ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පදනම් කරගනිමින් ස්ථිතික මතවාදයක් වෙනුවට උපයෝගීතාව සහිත දේශපාලන, සාමාජයීය හා ආර්ථික ප්‍රවේශයක් ගනු ලබනු ඇත. නියෝජිත හා ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ වන ප්‍රතිපත්ති සහිත ජනහිතකාමී රජයක් වශයෙන් පොදු අවශ්‍යතාවන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ප්‍රතිපත්ති ගරු කරන සංවේදී, කාර්යක්ෂමතාව ගරු කරන පක්ෂයක් වශයෙන් භෞතික ඒකාග්‍රතාව රකින දැඩි විනයානුකූල රජයකට අප නායකත්වය ලබාදෙනු ඇත.

විගණකාධිපතිවරයා විසින් 2016 වසරේ නිකුත් කළ විගණන වාර්තාවක් අනුව ඇමතිවරයකු සඳහා වසරක් තුළදී රජය වැය කරනු ලැබ ඇති මුදල රුපියල් තුන්කෝටි හැත්තෑ දෙලක්ෂ හැත්තෑ හත්දහස් අටසිය පනස් හතක් (රු.37,277,857/=) වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා වැය කරනු ලැබ ඇති මුදල රුපියල් අසූ පන්ලක්ෂ හැත්තෑ පන්දහස් හාරසිය හතරක් (8,5,75,404/=) බව සඳහන් කර ඇත.

අපගේ උත්සාහය මේ සා විනාශයන් සහමුලින්ම නවතා දැමීම සඳහා බව පැවසිය යුතුය. පාර්ලිමේන්තුවේ සංයුතිය හැකි ඉක්මනින් 130කට ආසන්න ප්‍රමාණයකට පහත දැමීම සඳහා කටයුතු කරනු ඇත. අමාත්‍ය මණ්ඩලයේ සංබ්‍යාව 15ක් ද නියෝජ්‍ය ඇමතිවරු සංබ්‍යාවද 15 වශයෙන් දැනටමත් අප යෝජනා කරනු ලැබ ඇත. පාර්ලිමේන්තු සංයුතිය අඩු කිරීම සලකා බැලීමට හේතු රාශියකි. 13වන සංශෝධනය හඳුන්වා දීම (1987) හරහා පළාත් සභා ස්ථාපිත කිරීමෙන් අනතුරුව 1988 වර්ෂයේ දී 14වන සංශෝධනය ඉතා කුප්‍රකට ලෙස හඳුන්වා දෙමින් පාර්ලිමේන්තුවේ සංයුතිය 196 සිට 225 දක්වා ඉහළ නැංවීම හෙළා දැකිය යුතු කරුණකි. (මේ සම්බන්ධයෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම සංශෝධනය අවලංගු කළ යුතු බවට දැනටමත් නඩු මගට පිවිස ඇති බවට සඳහන් කළ යුතුව ඇත.) මහාද්වීපයක් වන ඔස්ටේ්‍රලියාවේ පවා මන්ත්‍රීන් සංඛ්‍යාව 150 කි. 2016 වර්ෂය තුළ පාර්ලිමේන්තුවේ රැස්වීම් වාර 101ක් පැවැත්වීමට කටයුතු යොදා තිබු නමුත් පාර්ලිමේන්තුව පවත්වා ඇත්තේ දින 97ක් පමණි. පාර්ලිමේන්තුවේ මෙන්ම මැති ඇමතිවරුන් නඩත්තු කිරීම සඳහා වැයවන මුදල් ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එබැවින් රටේ ආර්ථික සංවර්ධනය කිරීම උදෙසා පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ දැමීමද අත්‍යවශ්‍ය කරුණකි. ආර්ථික වර්ධනය සඳහා මෙන්ම රටට අවශ්‍ය වී ඇත්තේ නිවැරදි ආණ්ඩුකරණයක් වේ. ඒ සඳහා පාලකයින් ධාර්මිකව කටයුතු ඉටු කරන විට සමෘද්ධිය සෞභාග්‍යය උදා වීම සිදුවේ. ධර්මිශ්ඨ සමාජයක් උදා කිරීමට පොරොන්දු ලබාදුන් ජයවර්ධන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවටද බලපෑම් කරමින් සිදු කරනු ලැබුවේ විශාල හානියකි. මහජන නියෝජනය නිවැරදි නොවන මගකට යොමු කිරීමද, අණපනත් සඳහා විවිධාකාරයෙන් සංශෝධන හඳුන්වා දෙමින් රජය මෙන්ම දූෂිතයින් ශක්තිමත් කිරීම ජයවර්ධන සමයේ සිට නිර්මාණය කිරීම හරහා බිහිකර ඇත්තේ දැඩි අර්බුදයකි. කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ බදු කුලී සඳහා වැය කළ මුදලට අමතරව යූරියා ආනයනයේදී කෝටි 22 ක ගැහිල්ලක් ගැන කරුණු අනාවරණය වී ඇත. කොළඹ මහ නගර සභාවේ මහජන නියෝජිතයන්ගේ දීමනාද කඩි මුඩියේ දෙගුණයකට ඉහළ දමා ඇත. එමෙන්ම පාතාලයේ පස් දෙනකු ඇමැතිවරයකුගේ රැකවලුන් බවට පත්කර ඇති බවද පැවසේ. කොටිකාවත්ත ගම් වාසීන්ගේ ගං වතුර ආධාර වසර දෙකක් ගතවී ඇතත් මේ දක්වා රජය එම ආධාර ලබා නොදී ඇති හෙයින් ඔවුන් මහ මග විරෝධතාවයක් දියත් කර තිබුණි. මැති ඇමතීන් සහන සපයන රජය ජනතා ගැටලු සම්බන්ධයෙන් මුනිවත රැකීම සිදු කරන්නේ ඇයි?

රජයේ වර්තමාන වියදම, දූෂණය, නාස්තිය, අවනීතිය, ජනවාර්ගික ගැටලු, ආගමික, සංස්කෘතික, හා සමාජ ආර්ථික ව්‍යූහය තුළ පවතින තත්ත්වය නිසා පාලනය දෙදරා ගොස් ඇත. අනෙක් අතට ආර්ථික වර්ධනය නොසලකා හරිමින් රජයේ අධික බදු බර, මැති ඇමතිවරුන්ගේ රාජ්‍ය සම්පත් පිළිබඳ අරපරිස්සම, නො සැලකිල්ල, ඉතා මිළ අධික සුඛෝපභෝගී වාහන ආදිය නිසා ජන ජීවිතය බරපතළ සේ විනාශ වී ඇත. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදිව ව්‍යවස්ථාව ගරු කරමින් කටයුතු කරන සාධාරණ, ප්‍රතිපත්ති ගරුක ආදර්ශමත්, දුර දක්නා නුවනින් යුත්, කාර්යශූර, කොඳු නාරටිය සහිත ප්‍රධාන විධායකයකු (CEO) අත්‍යවශ්‍ය වේ. පාලකයෝ අවංක, ආදර්ශමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, ප්‍රඥාවන්ත, උගතුන් වීම රටේ දියුණුවට මහෝපකාරී වන්නෝය. පුද්ගලික අංශයේද, විදේශ රැකියා අවස්ථාද පුඵුල් කිරීම, ස්වයං රැකියා මෙන්ම ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැංවීම හරහා රැකියා අවස්ථා බහුල කිරීම අප යටතේ සිදු වනු ඇත. 2020 ජනාධිපතිවරණය දී ජය ගැනීමෙන් පසු වසර පහකදී ඉටු කළ යුතු වෙනස, එනම් පරිපාලනමය, ආර්ථිකමය, දේශපාලන වශයෙන් කළ යුතු කාර්ය භාරය සියල්ල උඩු යටිකුරු කිරීමක් විය හැකිය. එබැවින් එය ඉතා සීරුවෙන් කිරීම සදහා අප පෙළ ගැසී සිටිමු.

අප දැනට ප්‍රවිෂ්ට වී ඇති අවධිය කුමක්ද? රටේ ජනතාව හඩ නගා පවසන්නේ කුමක්ද? රටටම අවශ්‍ය වී ඇත්තේ උඩුයටිකුරු වී ඇති පාලනය නිවැරදි කරමින් රටේ ස්ථාවරත්වය භෞමික අඛණ්ඩතාව, සහජීවනය, සාමය හා ආර්ථික සංවර්ධනය කරා යොමු විය හැකි ආණ්ඩුකරණයක් හැකි ඉක්මනින් බිහි කිරීමයි.

එනමුත් 30වසරක යුද්ධය අවසන් කළ රජයද අසමත් වූ කාර්යභාරය අපට ඉටු කළ හැකිය. ගමන් ගන්නා මඟ වෙනස් කළ හැකි ශක්තිමත් ආණ්ඩුකරණයක් තුළින් රට ගොඩ නැගීම අපේ අභිලාෂය බවද පැවසිය යුතුය. මහා බැංකුවේ බැඳුම්කර වංචාව මෙන්ම දශක ගණනාවක් තිස්සේ සිදු කළ දුෂණ වංචා නිසා රට අගාධයකට ඇද දමා ඇත. අවශ්‍යතාවය නම් සීමිත සම්පත් නිසි ආකාරයට රටේ යහපතට යොදවමින් රට ගොඩ නැගීමට කැපවුණු ජනතා පරමාධිපත්‍ය කුමක්ද යන්න පැහැදිලිව අවබෝධ කරගත් ප්‍රජාතාන්ත්‍රීය ආණ්ඩුකරණය හිස් මුදුනින් පිළිගන්නා ප්‍රවීණයන් ආණ්ඩුකරණය සඳහා යෙදවීම වේ. ඔවුන් ඇත්තෙන්ම ස්ථාපිත කළ යුත්තේ කෙටියෙන් ම පහත සඳහන් අවශ්‍යතාවන් සපුරන ධාර්මික පාලනයකි.

*මහජනතාවගේ හිත සුව පිණිස මිස අතලොස්සකගේ යහපත පිණිස කටයුතු කරන දුෂිතයන් නොවිය යුතුය.

* බලය ක්‍රියාත්මක කිරීමේදී නීතියට අනුකුලව කටයුතු කරමින් හිතුවක්කාර පාලනයෙන් තොරව රට ගොඩ ගැනීම පිණිස කටයුතු කළ යුතුය.

* මහජන හිතුම් පැතුම්, අවශ්‍යතා වලට මුල් තැන දෙමින් අවබෝධයෙන් කටයුතු කිරීම කළ යුතුය.

* ප්‍රජාතාන්ත්‍රීය ලෙස මහජන මතය හෙළි කිරීම සඳහා අනිවාර්ය ඉඩකඩ සලසා දීම සඳහා කටයුතු කිරීමද අත්‍යවශ්‍ය වේ.

* චන්ද විමසීම ආදිය නිසි ආකාරයට නියමිත දිනයන්හිදී පැවැත්වීම කළ යුතුය.

*ජනතාවට වග කියන නියෝජිතයින් පමණක් තෝරා පත් කිරීම සඳහා කටයුතු කිරීම.

නීතියේ රැකවරණය සැමට සමානව ලබා දෙමින් සියලු පුරවැසි අයිතීන් රකින රටක් බිහි කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ජනතාව අපේක්ෂා කරනු ලබන්නේද සමාජයේ තමන්ට හැකි උපරිම තත්ත්වයට තම උත්සාහයෙන් නැගී සිටීමට සම අවස්ථා සහිත සමාජයක් රජය විසින් නිර්මාණය කළ යුතු බවකි. එවැනි රටක් අපට අහිමි කර ජනතා අපේක්ෂාවන් බිඳ වැටී ඇත.

අයිවන් මහතා තම ලිපියේ සඳහන් කර ඇති ආකාරයට සියලු විනාශයන් සිදු වී ඇත්තේ පසුගිය අශිලාචාර සමය තුලදීය. එසේ නම් අපගේ වගකීම වන්නේ ශිලාචාර සමාජයක් බිහිකිරීම සඳහා ශිලාචාර, උගත්, බුද්ධිමත් රටට හිතැති ආණ්ඩුකරණයක් කිරීමට අවශ්‍ය හැකියාවක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත නව රජයක් බිහි කිරීමයි.
අප විසින් යහපත් ආණ්ඩුකරණයක් ස්ථාපිත කිරීම සඳහා ඉලක්ක කිහිපයක් හඳුනා ගෙන ඇත. අපට පළමුව අවශ්‍යවී ඇත්තේ ආර්ථික වශයෙන් ශක්තිමත්, සුපිරි දක්ෂතාවන් ගෙන් අනූන පල්ලෙවත්ත මභතා ජනපති කරවීමයි. දෙවැනිව කළ යුත්තේ ඒ හා සමාන දක්ෂයින් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කිරීමයි. ප්‍රජාතන්ත්‍ර වාදය විකෘති කරමින් හඳුන්වා දුන් 19 වන සංශෝධනයේ දැක්වෙන ආකාරයට වසර හතර හමාරේ කාලය ඒ වන විට ඉක්මවා ගොස් නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වඩා යෝග්‍යතම පියවර සේ සැලකිය හැකිය. අපේ පාර්ලිමේන්තුවක් හරහා සියලු වැරදි නිවැරදි කිරීමේ කාර්යභාරය වසර පහක් තුළදී කළ හැකිවේ.

මතු සම්බන්ධයි