එල්ලා මැරීම තුළනාත්මකව විමසමු

Sri Lankan Health Minister Mithripala Sirisena speaks during a news conference in Colombo November 21, 2014. REUTERS/Stringer

චින්තක රණසිංහ

මෙම ලිපියෙන් මා උත්සාහ කරන්නේ මරණ දඬුවම පැනවීම පිළිබඳ දැනට උද්ගතව ඇති සංවාදය සඳහා දායකත්වයක් සැපයීමටය. ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව සූදානමක් පෙන්නුම් කර ඇති අතර කැබිනට් අනුමැතිය ලබාගැනීම ආදී ඊට අදාළ මූලික සාධක සකස් කර ගනිමින් යන බව පෙනේ. මහා සංඝ රත්නයද එයට අදාළව තම මතය ඉදිරිපත් කර ඇති අතර මානව හිමිකම් පිළිබඳ සංවිධාන හා විවිධ මට්ටමේ මානව හිමිකම් ක්‍රියාකාරීන් මරණ දඬුවම ඉතා දැඩි ලෙස හෙළා දකිමින් විවිධ මැදිහත්වීම්වල නිරත වන බව පෙනේ. ඇතැම් පුවත්පත්වල ‘මිනිසුන් එල්ලා මරා ලංකාව අශිෂ්ට, ම්ලේච්ඡ දේශයක් නොකරනු’ වැනි අතිශයින්ම මරණ දඬුවමට එරෙහි ලිපි පළවෙමින් පවතින අතර තවත් පිරිසක් කිසිදු විචාර බුද්ධියකින් තොරව එල්ලා මැරීමෙන් සියලු ප්‍රශ්න විසඳේ යැයි සිතමින් අවිචාරයෙන් තුටු පහටු වෙති.
මේ සියලුම දෑ අන්තගාමී තත්ත්වයක් හා ප්‍රායෝගික බවින් තොර හුදු සංකල්පීය ලෝකවල ජීවත්වීමේ ප්‍රතිඵලයක් පමණි. රටේ පවතින ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණදීම වෙනුවට කිසි දින ළඟාවිය නොහැකි පරමාදර්ශී තත්ත්ව පිළිබඳ නන් දෙඩවීමත්, ජීවිත කාලය තුළම සංකල්ප ලෝකවල ජීවත්වෙමින් අප්‍රායෝගිකව බවට ප්‍රගුණ කිරීමත් බොහෝ දෙනාගේ සදාතනික භාවිතය බවට පත්ව තිබේ.

මානව හිමිකම් හා පෙනී සිටින්නන්

මානව හිමිකම් විශ්ව ප්‍රඥප්තියක් වන අතර ශිෂ්ටත්වය පිළිබඳ මෙන්ම සංවර්ධනය පිළිබඳ නිර්ණායකයක් ලෙසද යොදා ගැනේ. එනිසා විශ්වමය තලය තුළ එයට අභියෝග කිරීම හා ජාත්‍යන්තර පොදු මූලධර්මවලට පහර එල්ල කිරීමත්, මානව හිමිකම් රකින්නන්ට අපහාස, උපහාස කිරීමත් වහා නතර කළ යුතුය. රාජපක්ෂ රෙජීමයේදී සිදුවූ භයානක වරද මෙම ජාත්‍යන්තර සාධකවලට නිර්ණායකවලට අලජ්ජිත හා වගකීමෙන් තොරව පහරදීමත්, ඒ සඳහා ඉතා නොදියුණු කොටස්වලට බලතල ලබාදීමත්ය. මේ අනුව දැනට හිටපු මිලිටරියට සම්බන්ධ ඇතැම් පිරිස් ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජයට එරෙහිවන්නේ එම පැරණි අරුතිනි. එම විරෝධය භයානක එකකි. පසුගාමී මුග්ධ එකකි. රටේ යම් තීරණාත්මක දෙයක් සිදු කිරීමට බලාපොරොත්තු වන හා හැකියාවන් සහිත පිරිසකට යම් අන්තගාමී තර්ජනයක් එල්ල කිරීමකි. එය සමස්ත සමාජය විසින් එක හෙළා හෙළා දැකිය යුතුය. ඒ ගැන විවාදයක් නොමැත.

අප එපමණකින් නැවතිය යුතුද?

‘නැත’ යනු මගේ යෝජනාවයි. විශ්ව ප්‍රඥප්ති රැකීමෙන් හා එයට ගරු කිරීමෙන් පමණක් අපට නැවතිය නොහැක. අප ඒවා අපේ රටට අවශ්‍ය පරිදිත් ඒවායේ විශ්වීය ගුණය රැකෙන ආකාරයෙන්ද වෙනස් කරගත යුතුය. අපේ රටේ බුද්ධිමතුන්ගේ කාර්යය විය යුත්තේ එයයි. අපේ රටට අනන්‍ය වූ ප්‍රශ්න ඇත. විවිධ ගුණාංගද ඇත. ඒවා මුළුමනින්ම නොතකා හැර මානව අයිතිවාසිකම් කතා කිරීම ප්‍රයෝජනයක් නැත. හුදු සංකල්පීය සංවාදයකින් නිමවන එබඳු සංවාදයකින් මෙරට පොදු ජනතාවට පළක් නැත.

මරණ දඬුවම පිළිබඳ සංවාදය

මරණ දඬුවම පිළිබඳ සංවාදය මතු කිරීමේදී අපේ රටේ ඇතිවී තිබෙන තත්ත්වයත් සාකච්ඡාවට ගත යුතුය. සංකල්පීය සංවාදයෙන් ඔබ්බට ප්‍රායෝගික විය යුතුය. ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නේ වඩාත් ලිහිල් ලිබරල්කරණයක් සහිත ආණ්ඩුවක නායකයකු වශයෙනි. දේශපාලනඥයකු ලෙස තමා පත් කරගත් ප්‍රජාවට බරපතළ වරදක් සිදුකළමුත් ජනාධිපතිවරයකු ලෙස ඔහු ගන්නා සෑම පියවරකටම එරෙහිවීම වැරදිය. ඔහු මෙම තීන්දුවට පැමිණෙන්නේ සාපේක්ෂව සාධාරණ හේතු සහිතවය. එය හුදෙකලා තීන්දුවක් නොව දිගුකාලීනව රටේ පැවති ම්ලේච්ඡ තත්ත්වයත් දැක උපන් අසරණ මානසිකත්වයකින් උපන්නකි. ඒ තත්ත්වය අඩු වැඩි වශයෙන් අප කාටත් තිබේ. මහා සංඝයා මේ තීරණයට එන්නේ රටේ නීතිය හා සදාචාරය පක්ෂයෙන් ඔවුන් ඓතිහාසික වශයෙන් පරාද වී ඇතැයි යන සත්‍යය පිළිගනිමිනි. එසේ නම් එයද අනුකම්පා කටයුතු තත්ත්වයකි. එල්ලා මැරිය යුතුය. නැතහොත් රට ගෙනයා නොහැකිය. යන්නෙන් ගම්‍යවන්නේ රට අයාළේ යයි, අප කිසිවකුටද එය නැවැත්විය නොහැකිය යන අදහසයි. මෙය කනගාටුදායක වුවද යථාර්ථයකි. හුදෙක් මානව හිමිකම් පිළිබඳ ප්‍රයත්නයකින් හෝ ප්‍රඥප්තියකින් පමණක් මෙය විසඳිය හැකි නොවේ.

නිර්ප්‍රභූ ගම්බද දුගියා
සහ මානව අයිතිවාසිකම්

ලංකාවේ මානව අයිතිවාසිකම් බොහෝ සෙයින් අග නාගරික මධ්‍යම පන්තියේ ඉහළ කොටස්වල වරප්‍රසාදයකි. නැතහොත් ඇතැම්විට එන්ජීඕ මැදිහත්වීම් තුළ සුළු ජාතීන්ගේ අයිතිවාසිකමකි. රට මැද, කඳුකරය හා ඌව නැගෙනහිර පමණක් නොව සෙසු පළාත්වලද බොහෝ කොටස්වලට එහි අයිතිවාසිකම ගලා නොයන අතර එබඳු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට රාජ්‍යය මෙතෙක් සමත් වී නොමැත.

එහෙත් ඈත ගම්මානවල දැරියන් මතු නොව කුමර වියේ පසුවන දරුවන්ද විශාල වශයෙන් දූෂණය වෙති. ඝාතනය වෙති. ඔවුන් උදේට, දවල්ට නොකා පාසල් යන දරුවන්ය. බොහෝවිට ඔවුන් දූෂණයට ලක්වී තිබෙන්නේ දවල්ට ගෙදර යෑමට බස් නැති නිසා පයින් ගොසිනි. නැතහොත් බස් එකේ යාමට මුදල් නැති නිසා කැළෑ පාරවල්වල ගමන් කිරීමෙනි.

ඇහැළියගොඩ, එල්ලාවල පිටකන්දේ දැරියක් දූෂණය වූයේ පිටකන්දට බසයක් නොයන නිසාය. ඇයට යාමට සිදුවූ ගුරු පාරේ මාරයා රැක සිටියේය. බිබිලේ යල්වෙල ඈත ගම්මාන ගණනාවක පාසල් දරු දැරියන් විශාල ප්‍රමාණයක් දූෂණයට ලක් කොට ඝාතනය කෙරිණි. මෙයින් එක් දැරියකගේ මළකඳ තිබූ තැනකට මහේස්ත්‍රාත්වරිය බැස්සේ කඹයක ආධාරයෙනි. ඒ එතරම් දුෂ්කර ගල්හෙබකක්ය. එම දැරියගේ මළකඳ පිරික්සා බැලීමට යැවූ පොලිස් බල්ලා පාසලේ පන්ති භාර ගුරුවරයා වටේ කීපවරක් ඉව ඇල්ලුවේය. ඒ වෙන හේතුවක් නිසා නොව දැරියට ගෙදර යාමට මුදල් දුන්නේ ගුරුවරයා නිසාය. පසුව අසල්වැසියකු වූ මිනීමරු දූෂකයා අල්ලා ගනු ලැබීය. තවත් මෙබඳු සිදුවීම් බොහෝය. මේ බොහෝ සිදුවීම්වලට ගොදුරු වූ දරු – දැරියෝ අන්ත දුගීහුය. දෛනික කුලී වැඩවලින් උපයා ජීවත් වන ඔවුන්ගේ මව්පියන්ට තම දරුවාගේ මිනිය තබා ගැනීමට තැනක් නැත. දානයක් දීමටවත් මුදල් නැත. ඔවුන්ද මේ රටේ මිනිස්සුන්ය. දරුවන්ය. මව්පියන්ය.

ප්‍රශ්නය වන්නේ එයද නොවේ. තම දරුවාගේ දූෂකයන් මාස කීපයකින් පසු ඇප ලබාගෙන ඒ ගේ ඉදිරියෙන්ම උජාරුවට එහා මෙහා යෑමයි. බොහෝ විට පවුලේ සිටින අනික් දරුවන්ටද එම දූෂකයා ඉව අල්ලන අතර තම දරු දැරියන්ට සැබැවින්ම ආදරය කරන මව්පියන්ට සිදුවී තිබෙන්නේ මේ අය මරා දැමීමටය. මක්නිසාදයත් රටේ නීතියක් ක්‍රියාත්මක නොවන නිසාය.

මේ පීඩිතයන්ට මානව හිමිකම් නොමැත. මානව හිමිකම් කොමිෂන් ඔවුන්ට විෂය නොවේ. මානව හිමිකම් පිළිබඳ කොළඹ සිට කෑ මොර ගහන මහත්තුරුන්ගේ හා නෝනාවරුන්ගේ දරුවන් කිසිවෙක් මේ දරුවන් ගොදුරු වන ශෝචනීය ඉරණමට ගොදුරුවන්නේ නැත. ඔවුහු තමන්ගේ වාහනවලින් හෝ පාසල් වෑන්වලින් පාසල් ගොස් ගෙදරට පැමිණෙති. මේ යථාර්ථයද අප විසින් බැහැර කළයුතු නොවේ. මරණ දඬුවම අවශ්‍යවන්නේ මෙබඳු පසුබිමක් තුළය. රට මේ වනවිටත් ම්ලේච්ඡත්වයේ අන්තයටම ගමන් කර ඇති අතර අපරාධකරුවෝ දස අතේ නිදැල්ලේ යති. බොහෝවිට ඔවුහු මානව හිමිකම්වලට මුවාවෙති.
රටේ පාලකයා මෙබඳු තීරණාත්මක අවස්ථාවලදී ඍජු නිර්භය තීරණය ගත යුතු අතර මරණ දඬුවමෙන් නොනැවතී අධිකරණ පද්ධතිය හා නීතිය ප්‍රබල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමටද වහා කටයුතු කළ යුතුය. මෙය අප වටා තිබෙන යථාර්ථයයි.

ජාත්‍යන්තර බලපෑම

දියුණු බටහිර රටවල් මරණ දඬුවමට එරෙහිවන්නේ දිගුකාලීනව ගොඩනගා ගත් විශිෂ්ට ශිෂ්ටාචාරයක් ඔවුන් සතුවන නිසාය. අප රටට එවැන්නක් නැත. එල්ලා මරා හෝ සමාජය ආරක්ෂා කළ යුතුය යන නිගමනයට භික්ෂූන් එළැඹෙන්නේ ඔවුන්ගේ ‘දෙදහස් පන්සියේ උරුමය’ ව්‍යාජයක් ලෙස ඔවුන්ම පිළිගන්නා නිසා බව පෙනේ.
බටහිර රටවලින් අප ඉල්ලා සිටිය යුත්තේ එවන් ශිෂ්ටාචාරමය රාමුවක් නිර්මාණය කිරීම සඳහා අපටද උපකාර කරන ලෙසය. විශේෂයෙන්ම අපගේ අධිකරණ පද්ධතියත්, නීතියත් වහ වහා ප්‍රබල ප්‍රතිසංස්කරණවලට ලක් කළ යුතුව පවතින අතර රටේ ප්‍රශ්න පිළිබඳ ඉතා කැපවීමකින් වැඩ කළ හැකි තරුණ බලකායක් නිර්මාණය කිරීමට අප රටට උපකාර අවශ්‍ය වී තිබේ.

මරණ දඬුවමෙන් සියලු ප්‍රශ්න විසඳිය හැකිද?

රටේ සියලු ප්‍රශ්න මිනිසුන් එල්ලා මරා විසඳිය නොහැක. එහෙත් රට වැටුණු තත්ත්වය අනුව පවතින දණ්ඩන ක්‍රම හා ඒවා ක්‍රියාත්මක නොවීම බරපතළ තත්ත්වයක් උද්ගත කොට ඇති අතර එනිසා තාවකාලිකව හෝ මරණ දඬුවම යම් කලකට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාලකයකුට දැනී යෑම පුදුමයක් නොවේ. දණ්ඩන ක්‍රමයකින් තොරව කිසිදු සමාජයකට පැවැත්මක් නොමැති අතර මේ පවතින අසීමිත නිදහස් බව විසින් රට තුළ ඇති කර ඇත්තේ වල්බූරු නිදහසකි.

දඬුවම් දීමෙන්ම
සමාජය ගොඩගත හැකිද?

මරණ දඬුවම හෝ වෙනත් දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් සමාජයේ වැරදි සහමුලින්ම නැති කළ නොහැකි බවත් මෙම දඬුවම් ක්‍රම ක්‍රියාත්මක කරන සමාජවල පවා අපරාධ තිබෙන බවත් මරණ දඬුවමට එරෙහිව හඬ නගන්නෝ බොහෝ විට පවසති.

එය සත්‍යයකි. එහෙත් ප්‍රශ්නය පවතින්නේ දඬුවම් ලබාදෙන්නේ වැරදි පූර්ණ වශයෙන් මැඬපැවැත්වේය යන අදහසින් නොව අපරාධ පිළිබඳ සාධාරණීකරණය නැති කිරීමටත් ඒ පිළිබඳ යම් මට්ටමක පාලනයක් ලබාගැනීමටත්ය යන්න අවබෝධ කරගැනීමකි. ලාංකීය සමාජයේ නැතිවී තිබෙන්නේ එම පාලනයයි.
අපරාධකරුවන් ඇප ලබා (මේ ඇප ලබාගැනීම ගැන මානව හිමිකම්කරුවන් විවෘතව කතා කළ යුතුය.) අපරාධයෙන් සුළු කලකට පසු නිදැල්ලේ සැරිසරන අතර එය අපරාධයෙන් පීඩා විඳි අයටද ඒ දෙස බලා සිටි අයටද, රාජ්‍යය හා නීතිය කෙරෙහි විශාල අවිශ්වාසයක් හා පිළිකුළක් ජනිත කරවන තත්ත්වයක් බවට පත්වී තිබේ. මරණ දඬුවමට සමාජයෙන් ප්‍රබල විරුද්ධත්වයක් එල්ලවන්නේ නම් ජනාධිපතිතුමා මෙබඳු සිදුවීම් දෙස සියුම්ව බලා වහාම මේ තත්ත්වයත් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු යැයි අපි කියමු.
තවද යම් අපරාධකරුවකු විශේෂයෙන්ම කුඩු, ස්ත්‍රී දූෂණ හා රාජ්‍ය මුදල් විශාල පරිමාණයෙන් ගසාකෑම සම්බන්ධයෙන් එල්ලා මැරීම මෙතරම් මානව විරෝධී ක්‍රියාවලියක් නම් ඔහුගේ දේපොළ තහනම, රැකියාවේ ගරුත්වය නැති කිරීම, පුරවැසිභාවය නැති කොට පිටුවහල් කිරීම, සිවිල් අයිතිවාසිකම් නැති කිරීම වැනි තත්ත්වයන්ට ගමන් කළ හැකිය.

සමාලෝචනය

එල්ලා මැරීම හිට්ලර් යුදෙව්වන්ට කළාක් මෙන් පාර අයිනේ ලීවලින් තැනූ පෝරකයක සිදුවන්නක් නොව දිගු, සාධාරණ නඩු තීන්දුවකින් සිදුවන්නකි. පවතින නඩු ක්‍රියාවලියේ ගැටලු විශාල වශයෙන් පවතින නිසා එම ක්‍රියාවලිය වඩාත් සාධාරණ පදනමකට හැකි ඉක්මනින් ගෙන ආ යුතු අතර අපරාධකරුවන් බිහිවන සමාජ, දේශපාලන සාධකද ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුය. එහෙත් ඒ වනතෙක් දඬුවමක් නැතිව අහිංසක දරු දැරියන් දූෂණය කර මරා දැමීමට හෝ කුඩුවලින් තරුණයන් විනාශ වීමට හෝ ඉඩහැර බලා සිටිය නොහැක.

එනිසා අප මෙම තීන්දුවේ දෙපැත්තම සමබරව සිතිය යුතුය.