රාවය

ගම්පෙරළියට අතිරික්ත ධනයක් තිබේද?

ගම්පෙරළියට අතිරික්ත ධනයක් තිබේද?

 

ඉකුත් 11 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුවේදී ලංකාවේ අගමැතිවරයා මෙරට තිරසර සංවර්ධනයට අදාළ වැදගත් මාතෘකා කිහිපයකට පිළිපන්ව තිබුණි. ඔහු එහිදී මතුකර තිබුණු බරපතළ කාරණය වන්නේ ගම්පෙරළිය නමැති වැඩසටහන මගින් ගම හදා තිරසර සංවර්ධනයට පසුබිම සකස් කළ යුතුය යන්නය. ගම්පෙරළිය යනු හුදු දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනක් බව නොකියැවෙයි. එය මූලික වශයෙන් ගමෙහි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත් අපේක්ෂා කරයි.
යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ජනයා නගා සිටුවීමත් එකිනෙකට තදනුබද්ධ ක්‍රියාවලියක් ලෙස සැලකීම තාර්කිකය. ජනසවිය, සමෘද්ධි, දිවි නැගුම ආදී වැඩසටහන් හුදෙක් දිළිඳුකම පිටුදැකීම උදෙසා ඇරඹුණු ව්‍යාපෘති වන අතර ඒවා ජන මනසෙහි තැන්පත් වී තිබෙනුයේ අසාර්ථකත්වය අත්කර ගත් වැඩසටහන් ලෙසය. සමෘද්ධි දිළිඳුකම වගා දිගා කළ ව්‍යාපෘතියක් ලෙස ලෝක බැංකු වාර්තා මගින් පෙන්වා දී තිබුණි. මාසිකව දිළිඳු ජනතාවට තුට්ටු දෙකක් දීමෙන් දිළිඳුකම පිටු දැකිය නොහේ. දිවි නැගුම වැනි වැඩසටහන් මගින් දිළින්දන්ගේ දිවි නොනැගිය හැකි බවත් පසුගිය කාලයේ තහවුරු කැරිණි. ගම්පෙරළිය එම පැරණි ව්‍යාපාර ගිය පාරේම යයිද? වෙනත් මාවතක ගමන් කරයිද යන්න ගැන ජනතාව විමසිලිමත් වීම වටී.

2015 ජනවාරි 08 පත්වූ ආණ්ඩුව සිය දින සියයේ වැඩසටහන මගින් ඉන්ධන මිල ඇඟට දැනෙන ප්‍රමාණයකින් අඩු කළේය. මීට සති දෙකකට පමණ පෙර ආණ්ඩුව මුල්වරට ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවේදී කීවේ එම වැඩි කිරීමෙන් ලබන ආදායමෙන් ඉදිරි කාලවකවානුව තුළ ගම්පෙරළිය නමැති වැඩසටහන දියත් කරන බවය. එනම් ගමෙහි යටිතල පහසුකම් වැඩි දියුණු කර ගැමි ජනයාගේ ආර්ථික ප්‍රබෝධයට තිරසාර පදනමක් දමන බවය. එය කියූ හැටියෙන්ම තනිකරම ජනයා මුලා කරන තවත් කයිවාරුවක් පමණක් බව පෙනී ගියේ ඒ කියන ඉක්මනින් සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පදනම් ප්‍රතිඵලයවත් ගැනීම සිදු නොකළ හැකි නිසාය. අනෙක් අතට යහපාලන ආණ්ඩුව වසර තුනහමාරක් තුළ නොකළ ගම්පෙරළියක් ඉදිරි වසර එකහමාර තුළ කරන්නේ කෙසේද? ඊළඟ කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ ඉන්ධන මිල වැඩි කැරුණේ දින සියයේදී ඉන්ධන අඩුවට දීමේ අලාභය තවදුරටත් දරා ගත නොහැකි නිසාය. එබැවින් මෙම මිල වැඩි කිරීමෙන් ගම්පෙරළිය සඳහා වැය කිරීමට අතිරික්ත ධනයක් ලැබේ යැයි සිතිය හැකිද?

අගමැති ඉහත සමුළුවේදී කීවේ ලංකාව තිරසර සංවර්ධනය පිළිබඳ කැනේඩියානු ආදර්ශය වැලඳ ගෙන සිටින බවය. රටේ පාලනයේ කේන්ද්‍රය හා ප්‍රාදේශීය තලය අතර බලය හුවමාරු කරගැනීමේ ආකෘතියක් අනුගමනය කරන බවද ඔහු එහිදී කියූවත් එවැන්නක් රටෙහි අභ්‍යාස වන බවක් නොපෙනෙයි. ඒ වෙනුවට වෙනදා සේ ම ඉහළින් ගන්නා තීන්දු හරි හෝ වැරදි වුවත් පහළට කාන්දු වන බවක් පෙනේ. මෙහිදී ආණ්ඩුව මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්නය වන්නේ ප්‍රාදේශීය දේශපාලන බලය තම ආධිපත්‍යයෙන් ගිලිහී යෑමය. මේ ප්‍රශ්නය ජයගැනීමට නම් රට එක අතකට මෙහෙයවා ගත හැකි හැකියාවක් හා දැක්මක් වත්මන් දේශපාලන නායකත්වයට අවශ්‍යය. තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම, උපාය මාර්ග සැකසීම මෙන්ම කලින් කලට ප්‍රතිපත්ති හා උපාය මාර්ග සමාලෝචනය කරන බව අගමැති කීවේය. ප්‍රශ්නය වන්නේ එම සුන්දර වදන්වලට පසුපසින් තත්‍ය ක්‍රියාවලියක් නොපැවතීමය. නිදසුනක් දෙකක් මෙබඳුය.

තිරසර සංවර්ධන වැඩසටහන යටතේ මිනිස් වාසයට සුදුසු නගර ඇති කරන බව අගමැති කියයි. මෙපමණ කලක් ගතවීමෙන් පසුව හා මහා ඛේදවාචකයක් සිදුවීමෙන් පසුවවත් මීතොටමුල්ල කුණු කන්දට ස්ථිර විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට හැකිවීද? එය කරන්නේ ගම්පෙරළිය යටතේද? කරදියාන කොළඹට තදාසන්නව ඇති තවත් වැදගත් ජෛව විවිධත්ව කලාපයකි. කරදියාන කුණු කන්ද දිනෙන් දින ව්‍යාප්ත වෙයි. එම සමස්ත කලාපය මිනිස් වාසයකි. එහෙත් කවර වැඩසටහනක් යටතේවත් කරදියාන කුණු කන්දට විසඳුමක් ඇති බවක් නොපෙනේ. ඊළඟට තවත් මීතොටමුල්ලක් කුරුණෑගලින් මතුව ඇත. මේ සෑම කුණු කන්දක් ආශ්‍රිතවම ජීවත් වන අතිවිශාල පිරිසක් වසර ගණනාවක් තිස්සේ තමන් අත්විඳින වේදනාව ගැන කරුණු කිව්වත් මෙරට පාලකයෝ බිහිරි අලි සේ සිටිති. මිනිස් වාසයට සුදුසු නගර ගැන අගමැති නින්දෙන් පිබිදුණු ගමන් මෙන් කතා කරන්නේ මෙවැනි පසුබිමකය.

කඩා වැටෙන ආර්ථිකයට පිළියමක් නොකොට ගම්පෙරළියක් කළ නොහැකිය. ඇඳගෙන යෑමට ඇඳුම් නැති නිසා හා ආහාර අහේනිය නිසා පාසල් වරම් අහිමි දරුවන් සිටින රටක් ගැන නායකයන් මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතු වෙයි. ශිෂ්‍යයන්ගේ, ගොවීන්ගේ, ධීවරයන්ගේ ප්‍රශ්න ඉහළ යන, තෙල් මිල සූත්‍රයක් ඔස්සේ තව ඉහළට යෑමට නියමිත රටක තත්ත්වය බරපතළ වනු මිස සැහැල්ලු විය නොහැකිය. ආර්ථික ඉලක්ක ජයගැනීමට කිසිදු පදනමක් නොදමා සිය පැවැත්ම පිළිබඳ දෛනික ප්‍රශ්න විසඳීම එකම පසුගාමී දේශපාලන ක්‍රියාවලියක් බවට පත් කරගත් ආණ්ඩුවකට මේ කියන තිරසර සංවර්ධනයට යන මාවත පාදා ගත හැකිද? අගමැතිතුමනි, ඉදින් තිරසර සංවර්ධනය යනු කුමක්ද?