රාවය

කාලකණ්ණිභාවය රජකරන පාරාදීසය

කාලකණ්ණිභාවය රජකරන පාරාදීසය

වික්ටර් අයිවන්

සති අන්ත දිනවල පුනරුද ශාඛා ගොඩ නැගීම සඳහා විවිධ ප්‍රදේශවලට යන එන ගමන්බිමන්වලදී හා පුනරුද සාකච්ඡාවලදී අපූරු දේවල් අසන්නට සේම දකින්නටද ලැබෙන්නේය. පසුගිය සති අන්ත දෙක තුනදී අසන්නට ලැබුණු හෝ දකින්නට ලැබුණු තෝරාගත් දේවල් කිහිපයක් පාඨකයන්ගේ දැනගැනීම සඳහා ලිවිය යුතු යැයි මට සිතුණි. එය ලංකා සමාජ දේශපාලනය තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

වඩා වැදගත් කවුද?

කොට්ටුකච්චියේ ප්‍රදේශයේ පවත්වන ලද පුනරුද සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයකු අලින් ආශ්‍රයෙන් සිදුවී තිබෙන අපූරු සිද්ධියක් පැහැදිලි කරමින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ කොට ප්‍රශ්නයක් මතු කළේය. ඒ ගමට හානිකරන කිසියම් අලියකුට වැඩක් දිය යුතු යැයි කියන මතයක් සමහර ගම්මුන් අතර ගොඩනැගී තිබෙන බව ආනමඩුව පොලිසියට කාගෙන් හෝ දැනගන්නට ලැබී එම පොලිසිය වහාම ක්‍රියාත්මක වී කොට්ටුකච්චියේ පුරාණ ගම ආශ්‍රයෙහි ජීවත් වූ එම අලියාගේ ආරක්ෂාව සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. සාකච්ඡා සභාවේදී ඒ ගැන කතා කළ පුද්ගලයා මගෙන් අසා සිටියේ අලින් මිනිසුන්ට බරපතළ තර්ජනයක් වන අවස්ථාවකදී මිනිසුන්ට පොලිස් ආරක්ෂාව නොදෙන පොලිසිය අලියකුගේ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවන්නේ කෙසේද යන්නය. මෙය මෙම අලියාට පමණක් සීමාවූ ප්‍රතිපත්තියක් නොව වන සතුන් සම්බන්ධයෙන් පොලිසිය පමණක් නොව වනජීවී නිලධාරීන්ද පවත්වාගෙන යන ප්‍රතිපත්තියකි. වනජීවී නිලධාරීන් සේ ම පොලිසියද හුරුපුරුදු වී සිටින්නේ මිනිසුන් හා වන සතුන් අතර ගැටුම්වලදී මිනිසුන් දෙවැනි කොට සලකා වන සතුන් රැකීම තම පළමු වගකීම ලෙස සලකා ක්‍රියාකරන පිළිවෙතකටය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය බලය තිබෙන්නේ පුරවැසි මිනිසුන්ට වුවත් භාවිතයේදී පුරවැසි මිනිසුන්ට නැති තරම් පරමාධිපත්‍යය බලයක් වන සතුන්ට ලබාදී තිබෙන්නේ යැයි කිව හැකිය.

සමහර ප්‍රදේශවල ගංගා ප්‍රධාන කොට වෙන්කර තිබෙන්නේ මිනීකන කිඹුලන් සඳහාය. ගංගාවේ ලොකුම පංගුව කිඹුලන්ගේ පරිහරණය සඳහා වෙන්කර තිබෙන අතර මිනිසුන්ගේ අවශ්‍යතාවන් සඳහා ගඟේ තැනින් තැන දැල් ගැසූ කොටු වෙන්කර තිබේ. කිඹුලන්ට මිනිසුන් ඇති කරන සතුන් පමණක් නොව මිනිසුන්ද කන්නට ඉඩ ලබාදී තිබෙන අතර ආත්මාරක්ෂාව සඳහා හෝ කිඹුලන්ට පහර දෙන මිනිසුන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වන ක්‍රමයක් දක්නට ලැබේ. ගම් වදින වන සතුන් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මකවන්නේ ඒ සමාන ප්‍රතිපත්තියකි.

පරිසරවේදීන්ට මේ ප්‍රශ්නයට විසඳුමක් නැත. ඔවුන් කියන්නේ සතුන් දඩයම් කිරීමට ගම්මුන්ට ඉඩදීම මේ ප්‍රශ්නයට විසඳුමක් නොවන බවය. ඔවුන් මෙම ප්‍රශ්නය විග්‍රහ කරන්නේ මිනිසුන් හදාගත් ප්‍රශ්නයක් ලෙසය. කැලය හෙළි පෙහෙළි කිරීම නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නයක් ලෙසය. දඩයම් යුගය තෙක් ඊට පෙර මිනිසුන් ජීවත් වූයේ වනාන්තරවල එහි ජීවත් වන වන සතුන් සමගය. ඒ යුගයේ පවා මිනිස්සු සිය ආහාර අවශ්‍යතා සඳහා සතුන් දඩයම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. මිනිස් ජනාවාස ඇතිවීම ආරම්භවන්නේ මිනිසුන් කෘෂිකර්මයට යොමුවීමත් සමගය. වන සතුන් සමග කැලෑවල ජීවත් වූ මිනිසුන් ජනාවාසවල ජීවත්වීම ආරම්භවන්නේ එතැන් සිටය. ඒ කාලයේ පවා මිනිස් ජනාවාසවල ව්‍යාප්තිය කැලෑවල පරිමාව සීමා කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. කැලෑවලට වෙන් කරන ඉඩම් ප්‍රමාණය අඩුවීම වර්තමානයේ ඇතිවූ දෙයක් නොව, ඒ කාලයෙන් ආරම්භ වී ක්‍රමානුකූලව වර්ධනය වූවකි. කර්මාන්ත විප්ලවයත් සමග ඇතිවන නාගරීකකරණය, ජනගහන වර්ධනය හා ජනාවාසවල වේගවත් වර්ධනයත් වනාන්තරවල පරිමාවේද ශීඝ්‍ර අඩු කිරීමක් ඇති කිරීමට හේතුවිය.

මිනිසුන් හා වන සතුන් අතර ගැටුම විසඳීම සඳහා නැවත මිනිසුන් දඩයම් යුගයට ගෙනයා නොහැකිය. පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා වනාන්තර සඳහා වෙන් කොට තබාගත යුතු අවම ඉඩම් සීමාව ආරක්ෂා කරගනිමින් එම සීමාවට නොගැළපෙන සත්ව ගහණයකට ඉඩ නොදෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම රජයේ වගකීමකි. රජයට තිබෙන එම වගකීම ගැන ලංකාණ්ඩුවට කිසිම අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. වනාන්තරවල ප්‍රමාණයට නොගැළපෙන තරමේ විශාල වන සත්ව ගහණයක් රටේ සිටිති. ලංකාවේ වනාන්තරවල ප්‍රමාණය අනුව ඒවාහි ජීවත් විය හැක්කේ අලින් 2000කට පමණය. ලංකාවේ අලි ගහණය ඒ ගණන මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. වඳුරන්, රිලවුන්, වල් ඌරන්, මොනරුන් වැනි වන සතුන් සම්බන්ධයෙන් පවත්නා තත්ත්වයද ඊට සමානය. මෙම ප්‍රශ්නය සාර්ථක ලෙස කළමනාකරණය කරගෙන තිබෙන බොහෝ රටවල් කැලෑවල තරමට ගැළපෙන වන සතුන් ප්‍රමාණයකට මිස ඊට වැඩි වන සතුන් ප්‍රමාණයක පැවැත්මට ඉඩ දෙන්නේ නැත. කවර වන සතුන් වර්ගයක හෝ ගහණයේ වර්ධනයක් ඇතිවන විට එම සතුන්ගේ වර්ධනය පාලනය කිරීමට අවශ්‍ය සීමාවට එම සතුන් මස් පිණිස දඩයම් කිරීමේ අයිතිය මහජනයාට ලබා දෙන්නේය. ලංකාව තෝරාගත යුත්තේද එවැනි ප්‍රායෝගික ප්‍රතිපත්තියකි.

වන සතුන් ගම් වදින්නේ වනාන්තරවල වපසරිය කුඩාවීම නිසා පමණක් නොවේ. ගම දුප්පත් වුවත් වන සතුන්ට ආහාර සපයා ගැනීමේදී කැලෑවලට වඩා ගම් පොහොසත්ය. සතුන්ගේ කෝණයෙන් බලන විට වනාන්තරවලට වඩා ගම්වල ආහාර සුලබය. ගම්වල ආහාර වගා කෙරෙති. වනාන්තරවල ආහාර වගා කරන්නේ නැත. ඒ නිසා ගමට හුරු පුරුදු වූ වන සතුන් වනාන්තරයේ ගතකරන ජීවිතයට වඩා ගමේ ගත කරන ජීවිතයට කැමතිය. ගමට හුරු පුරුදු වූ වන සතුන් නැවත කැලෑවලට පලා හැරියත් උන් නැවත ගම් වදින්නේ ආහාරවලදී වනාන්තරයට වඩා ගම පොහොසත් නිසාය. වන සතුන් වනාන්තරවලට සීමා කොට තබන ප්‍රතිපත්තියක් සාර්ථක කරගැනීම සඳහා වනාන්තරවල ජීවත් වන වන සතුන්ට වනාන්තරවලින් ප්‍රමාණවත් තරම් ආහාර ලබාගත හැකි තත්ත්වයක් සහතික කිරීමද අත්‍යවශ්‍යය. වනාන්තරවල ජීවත් වන වන සතුන්ට එහි ප්‍රමාණවත් තරම් ආහාර නැතිවිට උන් තමන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගම් වැදීම නොවැළැක්විය හැකිය. එහිදී උන් ආහාරයට ගන්නේ ගමේ ගොවීන් සිය පරිභෝජනය හා වෙළෙඳාම සඳහා වගා කරන ආහාරය. එසේ ආහාර සඳහා ගම් වදින වන සතුන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වන විට ගොවීන්ගේ ජීවිත කාලකණ්ණි වීම නොවැළැක්විය හැකිය. රට තිබෙන්නේ මෙවැනි සරල ධර්මතාවක් පවා තේරුම් ගැනීමට බැරි තරම් මුග්ධ තත්ත්වයක නම් ඒ රට කාලකණ්ණි වීම පුදුමයට හේතුවක් වන්නේ නැත.

අපනයනකරුවන්ගේ ගෙල මිරිකීම

ලංකාවේ දියුණුව සඳහා අපනයන ආදායමේ ශීඝ්‍ර වර්ධනයක් අත්‍යවශ්‍යය. ලංකාවේ ගොවීන්, කර්මාන්තකරුවන් හා හස්ත කර්මාන්තකරුවන් දේශීය වෙළෙඳපොළට අතිරේකව විදේශ වෙළෙඳපොළට නිපදවන ගොවීන්, කර්මාන්තකරුවන් හා හස්ත කර්මාන්තකරුවන් බවට පත්කිරීම ලංකාවේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. එහෙත් අපනයන නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදකයන් උනන්දු කරවන, ඔවුන්ට මගපෙන්වන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන පරිසරයක් රටේ නොපවතී. හැම තැනකම දක්නට ඇත්තේ දියුණුවට අතහිත දෙන වටාපිටාවක් නොව දියුණුවට බාධා කරන අශීලාචාර වටාපිටාවකි.

මා පසුගිය සති අන්තයේ පුනරුදය වැඩසටහන් කිහිපයක් සඳහා වයඹ පළාතේ ගමන් ගනිමින් සිටියදී සඳලංකාවේ තිබෙන දුලබ ගණයේ ඕකිඞ් එකතුවක් පවත්වාගෙන යන තැනක් හා නාත්තන්ඩියේ අපනයනය සඳහා දැවැන්ත පැළ තවානක් පවත්වාගෙන යන තැනක් බලන්නට ගියෙමි.

සඳලංකාවේ සුබසිංහ පවුලේ සාමාජිකයකු විසින් ඔහුගේ වලව්ව පිහිටි ඉඩමේ පවත්වාගෙන යන ඕකිඞ් එකතුව බලන්නට ගියේ පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභිකයකු හා කෘෂි විද්‍යාඥයකු වූ දංකොටුවේ ජයසිරි සමගය. ආචාර්ය ලලිත් සුබසිංහ ලංකාව බිහිකර තිබෙන වර්ණවත්ම පුරා විද්‍යාඥයකු ලෙස සැලකිය හැකි ශිරාන් දැරණියගලගේ මාමාය. ඔහු ළඟ අතිවිශාල ඕකිඞ් එකතුවක් තිබෙනවා සේ ම එය දුලබ ඕකිඞ් එකතුවකි. දුලබ ගණයේ තුරුලතා එකතුවක්ද එහිදී දක්නට ලැබුණි. ඔහු එම ඕකිඞ් හා වෘක්ෂලතා එකතුව පවත්වාගෙන යන්නේ වෙළෙඳාම සඳහා නොව ආත්ම තෘප්තිය සඳහාය. ඔහු විසින්ද කියන ආකාරයට හා බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන ආකාරයට ඔහු ළඟ තිබෙන ඕකිඞ් එකතුව ලංකාවේ තිබෙන ලොකුම හා දුලබ ඕකිඞ් එකතුව ලෙස සැලකිය හැකිය. දැන් සුබසිංහ මහතාගේ වයස අවුරුදු 72ක් පමණ වන්නේ යැයි සිතමි. ඔහුගේ දුවට හා පුතාට මේ එකතුව පවත්වාගෙන යෑම සඳහා ලොකු කාලවේලාවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ලංකාවේ උද්භිද උද්‍යාන භාර අමාත්‍යාංශයට සේ ම විශ්වවිද්‍යාලවල කාෂිකර්ම විද්‍යා පීඨවලටද මෙවැනි දුලබ ශාක එකතුවක් තිබෙන ස්ථාන ගැන අවබෝධයක් තිබිය යුතු අතර මෙවැනි විශේෂ තැන්වලට ඔවුන්ගේ ආධාර සේ ම උපදෙස්ද ලැබිය යුතුය. එහෙත් එවැනි ක්‍රමයක් අප රටේ ක්‍රියාත්මක වන්නේම නැති තරම්ය. මා හිතන්නේ සුබසිංහ මහතාගේ දුලබ ඕකිඞ් එකතුව ආරක්ෂා කරගත යුතු වැදගත් ජාතික සම්පතක් ලෙස සලකා ආණ්ඩුව හෝ ඒ සඳහා වැය බර දැරීමේ හැකියාවක් ඇති පුද්ගලික සමාගමක් මගින් සංරක්ෂණය කළ යුතුය.

මාගේ දෙවැනි කතාව මෙම විෂයටම අදාළ වෙනත් පැත්තක් ගැන කියැවෙන කතාවකි. එදිනම සවස මම අපනයනය සඳහා විසිතුරු මල් හා පැළෑටි වවන නාත්තණ්ඩියේ ඇති ගොවිපොළක් නැරඹීමට ගියෙමි. ඒ ගැන මා තුළ උනන්දුවක් ඇති කළේ මාරවිල චින්තකය. ඔහු මාරවිල ලස්සන වැවක් ඉස්මත්තේ ඔයැ ඛ්නැ නමින් අවන්හලක් පවත්වාගෙන යන්නෙකි. පුනරුද සාකච්ඡා සභා වැඩසටහන අත්හදා බැලීමක් ලෙස කරන්නට තීරණය කරගෙන සිටි අවස්ථාවකදී පළමු පුනරුද සාකච්ඡා සභාව පවත්වන්නට මට ආරාධනා කළේ ඔහුය. ඒ වනවිට වැව ඉස්මත්තේ ඇති ඔහුගේ ඉඩමේ අවන්හලක් නොතිබුණු අතර පළමු පුනරුද සාකච්ඡා සභාව පවත්වන ලද්දේ එම ස්ථානයේය. ලංකාවේ සිටින අංක එකේ සූපවේදියකු ලෙස සැලකිය හැකි සුමිත් සුබසිංහ හා පුනරුද ව්‍යාපාරයේ දිස්ත්‍රික් නායකයකු ලෙස ක්‍රියාකරන සරත් ප්‍රනාන්දු පුනරුද ව්‍යාපාරයට එකතු වූයේ එම සාකච්ඡා සභාවෙනි.

අප නාත්තණ්ඩියේ බලන්නට ගියේ අපනයනය සඳහා ඕලන්ද ජාතිකයකු පවත්වාගෙන ගිය පැළ ව්‍යාපාරයකි. ඉඩමේ වපසරිය අක්කර 10ක් තරම් විශාලය. මුළු ඉඩමේ හතර පැත්තත්, එහි උඩ කොටසත් නෙට්වලින් ආවරණය කර තිබුණි. අප එහි යන විට ටික කලකට ඉහතදී එම පැළ ගොවිපොළ පවත්වාගෙන ගිය ඕලන්ද හිමිකරුවා ගොවිපළේ අයිතිය දේශීය පුද්ගලයකුට විකුණා රට අතහැර ගොස් තිබුණි. ගොවිපොළ නරඹන අතර එය පවත්වාගෙන ගිය ප්‍රධාන පුද්ගලයා හා එහි නව හිමිකරුවා සමග කතාබහක යෙදීමේ අවස්ථාව අපට ලැබුණි. එය සරුවට පවත්වාගෙන ගොස් තිබෙන ව්‍යාපාරයකි. එම ගොවිපොළේ වැඩ කිරීමෙන් ජීවත් වූ ප්‍රදේශවාසීන් සංඛ්‍යාවද විශාලය. ගොවිපොළ හිමි අයිතිකාර ඕලන්ද ජාතිකයා ගොවිපොළ විකුණා ආපසු ගොස් ඇත්තේ යල්පැනගිය නීති කරපින්නාගත් ශාක නිලධාරීන්ගෙන් එල්ල වන සම්බාධක ඉවසිය නොහැකි තත්ත්වයකට වර්ධනය වීම නිසාය. මේ ඕලන්ද ජාතිකයා පමණක් නොව ඒ අවට අක්කර 25ක එවැනිම ශාක ගොවිපොළක් පවත්වාගෙන ගිය නෝර්වේජියන් ජාතිකයන් දෙදෙනකුද ඔවුන්ගේ ගොවිපොළද දේශීය පුද්ගලයකුට විකුණා ලංකාවෙන් පිටවූ බව අසන්නට ලැබුණි. ගොවිපොළ මිලදී ගත් නව දේශීය හිමිකරුවා අපට කීවේ ඕලන්ද ජාතිකයාගෙන් මිලදී ගත් විදේශ ගැනුම්කරුවන් දැන් තමන්ගේ මල් ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි.

අපනයනය සඳහා විසිතුරු පැළෑටි වගාව ලංකාවේ දියුණු කළ හැකි විදේශ විනිමය උපයාගත හැකි වැදගත් ආර්ථික මාර්ගයක් වන අතර එම විෂයයට අදාළව ලංකාවේ පවත්නා යල්පැනගිය නීති එම ආර්ථික වගාව දියුණු කිරීමට තිබෙන ඉඩ ප්‍රස්ථා වළකන ලොකු සම්බාධකයක් ලෙස ක්‍රියා කරයි.

බෝ කුලයට වැටෙන පැළෑටි අපනයනය තහනම් කොට ඇත්තේ ඒ මගින් ශ්‍රී මහා බෝධියට හානියක් ඇතිවීම වැළකීම සඳහාය. පාම් වර්ගයට අයත් තුරුලතා අපනයනය තහනම් කොට ඇත්තේද පොල් වගාවට ඉන් හානියක් ඇතිවීම වැළකීම සඳහාය. විසිතුරු තුරුලතා ගණයට වැටෙන තුරුලතා වැඩිම ගණනක් අයත්වන්නේ මෙම කුලක දෙකටය. මෙම වර්ග දෙකට අයත් තුරුලතා වගා කිරීමට සුදුසු පසක් සේ ම සුදුසු දේශගුණයක්ද රටේ පවතී. අපනයනය සඳහා විසිතුරු තුරුලතා වගා කිරීමට වැදගත් ආර්ථික මාර්ගයක් බවට පත්කළ හැකිවනු ඇත්තේ එම විෂයයට අදාළ එවැනි යල්පැනගිය නීති වෙනස් කිරීමෙනි. විසිතුරු පැළ මිලට ගන්නා රටවල් කැමැත්තක් දක්වන විසිතුරු පැළ වගා කිරීමට ලංකාවේ නීති අනුව ඉඩක් නැතිනම් විසිතුරු පැළ වගාව වැදගත් අපනයන මාර්ගයක් බවට පත්කිරීමේ හැකියාවද තිබිය නොහැකිය.

ශාක නිරෝධනයට අදාළ නීති රීති යල්පැනගිය තත්ත්වයක පවතිනවා පමණක් නොව එම විෂයට අදාළ නිලධාරීන්ගේ ආකල්ප හැඩගැසී තිබෙන්නේද රටේ දියුණුවට බාධා කෙරෙන ආකාරයටය. වල්ලපට්ටා සම්බන්ධයෙන් එම නිලධාරීන් අනුගමනය කළ පසුගාමී ආකල්පය ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. වල්ලපට්ටා විකුණන හෝ විකිණීම සඳහා ළඟ තබා ගන්නා අයට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ අතර වල්ලපට්ටා විකුණන්නට උත්සාහ කරන මිනිසුන් ජනමාධ්‍ය විසින් රටට හඳුන්වා දෙන ලද්දේද රටට ලොකු හානියක් කරන මිනිසුන් ලෙසය. වල්ලපට්ටා ගස ඉතාමත් දුලබ ගණයට වැටෙන ශාක විශේෂයක් නොවේ. වල්ලපට්ටාවලින් ලොකු ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් තිබේ නම් ඒවා විකුණා ගැනීමට තිබෙන අයිතිය මිනිසුන්ට දිය යුතුව තිබුණු අතර ආණ්ඩුව ඉන් බද්දක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒවා විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කිසියම් සාධාරණ කොටසක් බද්දක් වශයෙන් ලබාගැනීමේ හැකියාව තිබුණි. වල්ලපට්ටා දුලබ ශාක විශේෂයක් වුවත් ඉන් ලොකු ආදායමක් ලබාගැනීමේ හැකියාවක් ඇත්නම් වල්ලපට්ටා වගා කිරීමේ හැකියාව ලංකාවට තිබුණි. වල්ලපට්ටා විකිණීම ලංකාවට ආදායම් ලැබෙන මාර්ගයක් කරගන්නවා වෙනුවට ලංකාව කළේ ග්‍රාමීය සමාජයේ කිසියම් පිරිසක් අතට ආදායම් ගලා එන මාර්ගයක් වසා දැමීමය. ඔවුන්ට බාධා නොකොට එම වෙළෙඳාමට ඉඩ දුන්නේ නම් වෙනත් ආයෝජන කාර්යයක් සඳහා ආරම්භක ආර්ථික ශක්තියක් ඇති මිනිසුන් කිසියම් පිරිසක් ඇතිවන්නට ඉඩ තිබුණු අතර එය රටේ දියුණුව කෙරෙහිද ගමේ දියුණුව කෙරෙහිද බලපාන්නට ඉඩ තිබුණි. එම වෙළෙඳාමට අවහිර කිරීමෙන් රටට සිදුවූ වාසියක් නැත. රාජසන්තක කරන ලද වල්ලපට්ටාවලට කුමක්වීද, ඒවා විකිණීමෙන් රජයට ආදායමක් ලැබුණේද? නැත්නම් ඒවා කොතනක හෝ තවමත් වැඩක් නැති ලෙස පස්වෙමින් තිබේද යන්න අදාළ බලධාරීන් රටට පැහැදිලි කර දිය යුතුය.

විවිධ වර්ගයේ හූනන් වැනි සතුන් හොරෙන් පිටරටවලට යවන්නට හෝ විකුණන්නට යන අවස්ථාවලදී සිදුකරන්නට යන අත්අඩංගුවට ගැනීම් ගැන වරින් වර ජනමාධ්‍යවලින් අසන්නට ලැබේ. විශේෂ වර්ගයේ හූනන්ට හා කටුස්සන්ට අපනයන වෙළෙඳපොළේ ලොකු ඉල්ලුමක් ඇතිනම් එවැනි වෙළෙඳාම්වලට බාධා කළයුත්තේ ඇයි? ඒ වෙනුවට වියයුත්තේ ඒ වර්ගයට අයත් හූනන් හා කටුස්සන් ඇති කරන ගොවි පොළවල් ආරම්භ කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. මුහුදු කූඩැල්ලාද අපනයන වෙළෙඳපොළේ ලොකු මිලක් ලැබෙන මුහුදු සත්ත්ව විශේෂයක් ලෙස සැලකිය හැකිය. මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සැලකෙන්නේද නොකළ යුතු තහනම් දෙයක් ලෙසය. පිසින ලද මුහුදු කූඩැල්ලකු හෝටලයක විකිණෙන මිල ඩොලර් 100ක් පමණ වන අතර එය සැලකෙන්නේ ඉතාමත් පෝෂ්‍යදායක හා රසවත් ආහාරයක් ලෙසය. මුහුදු කූඩැල්ලන්ට ඒ සා විශාල ඉල්ලුමක් ඇති නම් ලංකාව මුහුදු කූඩැල්ලන් වගා කොට විකුණන තැනකට නොයන්නේ ඇයි? මුහුදු කූඩැල්ලන් පමණක් නොව ගෙම්බන් හා සර්පයන් පවා අපනයන වෙළෙඳපොළට විකිණිය හැකිය. එම සතුන් අප කනවාද නැද්ද යන ප්‍රශ්නය වැදගත්වන්නේ නැත. වැදගත් වන්නේ ඒවාට අපනයන වෙළෙඳපොළේ ඉල්ලුමක් තිබෙනවාද කියන ප්‍රශ්නය පමණය. ඉන්දියාව හරක් මස් කන්නේ නැතත් හරක් මස් අපනයනය කරනවා පමණක් නොව ලෝකයේ ලොකුම හරක් මස් අපනයනකරුවා වන්නේද ඉන්දියාවයි. දියුණුවීමට අවශ්‍ය නම් ලංකාව තෝරාගත යුත්තේද එවැනි මාර්ගයකි. නයි විස ඉතා වටිනා ඖෂධ නිපදවීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයකි. නයි ගොවිපොළවල් ඇති කොට උන්ගේ විස ලොකු මිලකට විකිණිය හැකිය. රටක් දියුණු කිරීමට මහා පරිමාණයේ ආයෝජන අවශ්‍ය වන්නේ නැත. විචක්ෂණභාවය ඇති නම් ලෝක වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇති වෙනත් රටවල් නිපදවන්නේ නැති සමහර දේවල් නිපදවීමෙන්ද රටකට සරු ආදායම් ඉපැයිය හැකිය. අප වැනි ප්‍රාග්ධන හිඟයක් ඇති ලංකාව වැනි රටක් එවැනි ආර්ථික මාර්ගවලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය.

වෙනත් කතා

මට අසන්නට ලැබුණු තවත් කතා කිහිපයක් මෙසේය. අවන්හල් හිමියකු මට කීවේ අයවැයෙන් අවන්හල්වලට පනවා තිබෙන බද්ද පිරිවැටුපෙන් සියයට 17ක් වන බවය. මේ බද්ද අයකරනුයේ ලාභයට නම් එය තේරුම්ගත හැකි බවත් එහෙත් එම බද්ද අයකරනුයේ පිරිවැටුමට බවත් එම බද්ද පාරිභෝගිකයා මත පැටවුවහොත් අවන්හල්වල ආහාර මිල උපරිම මට්ටමකට ඉහළ යන නිසා පාරිභෝගිකයන් අවන්හල්වලින් ආහාර ගැනීමේ ලොකු අඩුවීමක් ඇතිවනු ඇති බවත් ඒ බර අවන්හල් හිමියා සිය ගිණුමට බැරකර ගතහොත් අවන්හල් හිමියාට ව්‍යාපාරයෙන් ඉපැයිය හැකි ආදායමේ ශීඝ්‍ර පහත වැටීමක් සිදුවන බවත් කීවේය. ඔහු කියන ලද තර්කය මට තේරුම් ගත හැකිය.

ආණ්ඩුව ඉන්නේ කළමනාකරණය කරගැනීම පහසු නැති ලොකු මූල්‍ය අර්බුදයකය. ඒ නිසා මහජනයා මත උපරිම බර පටවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. බර පටවා තිබෙන ආකාරයේද ලොකු අක්‍රමවත් හා අවිධිමත්භාවයක්ද තිබෙනු දැකිය හැකිය. ලේඛකයකු වශයෙන් මා ජීවත්වන්නේ පොත්වලින් ලැබෙන ආදායමෙනි. මට ජීවත්වීමට වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැත. ලේඛකයන් පොත් ලිවීමෙන් ලැබෙන ආදායම සඳහා පනවා තිබෙන බද්ද සමස්ත ආදායමෙන් සියයට 14කි. පොත්වලින් රුපියල් ලක්ෂයක ආදායමක් උපයන කෙනකු ගෙවිය යුතු බද්ද රුපියල් 14,000කි. එයද අය කරන්නේ අන් සියලුදෙනාට ලබාදී තිබෙන රුපියල් ලක්ෂ 5හේ කඩඉමද අදාළ නොවන ආකාරයටය. වෙනත් අය බදු ගෙවිය යුත්තේ වසරකට උපයන ආදායම රුපියල් ලක්ෂ පහේ සීමාව පසු කළ පසුය. ඒ කඩඉම ලේඛකයන්ට ලබාදී නැති අතර ලේඛකයා පොත්පත් ලිවීමෙන් කොතරම් අඩු ආදායමක් ඉපැයුවද ඔහු හෝ ඇය උපයන ආදායමින් 14%ක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවිය යුතුය. මෙම බදු ප්‍රතිපත්තිය ලේඛකයන් තුළ පොත් ලිවීමට ඇති උනන්දුව දුර්වල කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. පොලීකාරයන් සඳහා පවා ආණ්ඩුව අනුගමනය කර ඇත්තේ ලේඛකයන් කෙරෙහි දක්වා තිබෙන දරදඬු ප්‍රතිපත්තියට වඩා සානුකම්පික ප්‍රතිපත්තියකි. පොලී ආදායමට පනවා තිබෙන බද්ද ලාභයෙන් සියයට 5කි.

රටේ ලොකු ආර්ථික දුෂ්කරතාවක් තිබේ නම් හා එම දුෂ්කර තත්ත්වය ඉදිරියේ බදු පැනවීම් උපරිම මට්ටමකට ඉහළ දැමීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබේ නම් ඵලදායී හා සකසුරුවම් වියදම් ප්‍රතිපත්තියක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත් විය යුතුය. එවැනි අවස්ථාවකදී මහජනයා පමණක් නොව ආණ්ඩුවේ නායකයන්ද පටි තද කරගෙන සිටින බව මහජනයාට පෙනෙන්නට තිබිය යුතුය. මහජනයාගෙන් බදු වශයෙන් අයකර ගන්නා හැම සතයක්මත් අත්‍යවශ්‍ය දේවලට පමණක් ඵලදායී ලෙස වියදම් කරන බව පෙනෙන්නට සැලැස්විය යුතුය.

එහෙත් ආණ්ඩු තමන්ගේ නාස්තිකාර වියදම් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් ඇති කර තිබෙන බවක් පෙනෙන්නට නැත. දැන් රටේ යුද්ධයක් නැතත්, ආණ්ඩුවේ නායකයන් ගමන් බිමන් යන්නේ යුද්ධයක් පැවති කාලයේ ගමන් බිමන් ගිය ආකාරයටය. දේශපාලකයන් යන ගමන් බිමන් සඳහා කිලෝමීටරයක් සඳහා දරන වියදම රුපියල් දහසකටත් වැඩිවිය හැකිය. ලොකු ආර්ථික අර්බුදයක් තිබියදීත් මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා දරන වැය බර අඩු කරනවා වෙනුවට වැඩිකර තිබේ. විනිශ්චයකාරවරුන්ගේ පඩි වැඩි කරන ප්‍රතිපත්තියක් ඔස්සේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයෙන් තමන්ගේ වැටුප් සාමාන්‍ය ප්‍රමාණයකට නොව ඉතාමත් අසමාන ප්‍රමාණයකින් වැඩිකර ගනිමින් තිබේ. දැන් මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රු. ලක්ෂයක මාසික ගෙවීමක් කරනු ලැබේ. එම ගෙවීම ලබා ගැනීම සඳහා නිල කාර්යාලයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ නැත. මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා ගෙන්වන වාහන සඳහා පනවා තිබූ ඩොලර් 25,000 සීමාවද ඩොලර් 35,000 දක්වා වැඩි කර තිබේ. තමන්ට බෙදා ගන්නා මෙම වැඩපිළිවෙළේදී සියලු පක්ෂ අතර අපූරු පොදු එකඟතාවක්ද තිබෙන බව පෙනේ.

ආණ්ඩුවක් සාමාන්‍යයෙන් කරනු ලබන නාස්තිකාර වියදම්වලද පාලනයක් සිදුකර තිබෙන බව පෙනෙන්නේ නැත. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන පාලනය කරන්නන් කරනු ලබන දූෂිත ක්‍රියා නිසා පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබෙන එම ගණයට වැටෙන බොහෝ ආයතන නඩත්තු කරන්නට සිදුවී තිබෙන්නේද මහජනයාටය. ලොකු මූල්‍ය දුෂ්කරතාවක් තිබෙන අවස්ථාවක පූජනීය ස්ථානවලට ලක්ෂ ගණනින් මුදල් බෙදා දෙන ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද?

හලාවත, තොඩුවාවේ අඹකඳවිලට ගිය විට අසන්නට ලැබුණු අපූරු කතාවක් මෙසේය. කිසියම් ආයතනයක් මීට කලකට පෙර අඹකඳවිල ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සිලිකන් නිධියක් ඇති බව ප්‍රකාශ කරමින් සිලිකන් ලබාගැනීම සඳහා වන ව්‍යාපෘතියකට බලධාරීන්ගේ අවසරය ඉල්ලා තිබේ. එය සිලිකන් නිධියක් බවට අසන්නට ලැබීම නිසා බලධාරීන් එම ව්‍යාපෘතියට අවසර ලබාදී නැත. ඉන් තවත් කලකට පසුව එම ආයතනයම සිලිකන් නිධිය තිබෙන ස්ථානයේම මාළු ඇති කරන ව්‍යාපෘතියක් සඳහා අවසර ලබාගෙන තිබෙන අතර ඒ මගින් සිදුවී තිබෙන්නේ මාළු ටැංකි ඉදිකිරීම සඳහා ලොකු වළවල් හාරන මුවාවෙන් එහි තිබෙන සිලිකන් වැලි හාරා ගැනීමයි. මෙම ව්‍යාපෘතිය සමග ප්‍රදේශවාසීන් ඇති කරගත් ගැටුමක් නිසා දැන් එය උසාවිය මගින් විසඳා ගතයුතු ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන අතර ඒ නිසා වැලි හෑරීමේ මුවාවෙන් සිලිකන් වැලි අත්පත් කරගැනීමේ වැඩසටහන නැවතී ඇතත්, එම සිලිකන් නිධියට සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. ඉතා වැදගත් දේ මේ ස්ථානයේ ඇත්තේ සිලිකන් නිධියක් බව ආයෝජකයා හඳුනාගෙන ඒ බව බලධාරීන්ට දැනුම් දී තිබීමය. ඉන්පසුව හෝ යථා තත්ත්වය හඳුනාගෙන එය හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමට බලධාරීන් සමත් වී නැත. සිලිකන් නිධියක් බව ප්‍රකාශ කරමින් එහි තිබෙන සිලිකන් ලබාගැනීමට අවසර ඉල්ලූවිට ඊට අවසර නොදුන් බලධාරීන් තවත් කලකට පසුව ඒ ආයෝජකයාටම ඒ ස්ථානයේම මාළු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවසර දුන්නේය. මාළු ටැංකි සඳහා ලොකු වළවල් කපන මුවාවෙන් සිදුවන්නට යන්නේ සිලිකන් වැලි කොල්ලයක් බව බලධාරීන්ට නොපෙනුණේ කෙසේද?
රටේ බොහෝ දේවල් සිදුවන්නේ කොල්ලකාරී ස්වරූපයෙනි. දේශපාලකයන් හා උසස් රාජ්‍ය නිලධාරීන්ද එම කොල්ලකරුවන්ට ආධාර අනුබල දෙන ප්‍රතිපත්තිය මගින් සිය මඩි තරකර ගනී. ඒ අර්ථයෙන් ලංකාව සැලකිය හැක්කේ කොල්ලකරුවන්ගේ පාරාදීසයක් වශයෙනි.