මම පාසැල හැර ගියෙමි

ක්‍රිෂ්ණජිනා අමරජීව

මම කුරුණෑගල ප්‍රසිද්ධ කාන්තා විදුහලක 17 හැවිරිදි ශිෂ්‍යාවක්ව සිට පසුගිය දෙසැම්බරයේදී අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටියෙමි. මම දැනට ඇමරිකාවට සිසුන් යොමු කරනු ලබන පුද්ගලික සරසවියක අධ්‍යාපනය ලබමි.

සාමාන්‍ය පෙළ සඳහා අධ්‍යාපන කටයුතු වල නිරත වීමේදී ගුරුවරුන්ට අනුව මම පීඩනයකින් යුතුව සියල්ල කළ බව කියයි. හොඳ ගුරුවරු සොයමින් අප උපකාරක පන්ති වලට ගියෙමු. ඒ තමයි අධ්‍යාපන කටයුතු කිරීම සඳහා අපට තිබුණු වටිනා කාලය අපට අහිමි වීමට බලපාන ලද ප්‍රධාන සාධකය. 10වන ශ්‍රේණිය දක්වාම මම උපකාරක පන්ති වලට නොගියෙමි. එහෙත් මගේ මිත්‍රයෝ බහුතරයක් ගියා. සමහරෙකුට එය හරිගියා. ඒත් සමහරෙකුට හරිගියේ නැහැ. එසේ වුව ද පවතින නැඹුරුතාව අනුවත් එමෙන්ම ඔවුන්ගේ මව්පියන්ගේ බලපෑම අනුව ද ඔවුන් ගියා.

ඇත්තෙන්ම 10වන ශ්‍රේණියෙන් පසුව වුව ද උපකාරක පන්ති වලට සහභාගී වීමට අවශ්‍ය නැහැ. පාසල් අධ්‍යාපනයක් අපට තියෙද්දී උපකාරක පන්ති අපට අවශ්‍ය වන්නේ ඇයි? එහෙත් මම උපකාරක පන්ති වලට සහභාගී වූ විට මගේ ලකුණු ඉහළ යාම නිසා එය සත්‍යයක් බවට පත් වුණා. ඒත් මුළුමනින්ම උපකාරක පන්නි නිසා එය සිදු වුයේ නැහැ. එය ඇත්තටම සිදු වූයේ මම ඇත්තටම ඉගෙන ගැනීමට පටන් ගත්තේ ඒ කාලයේ දී නිසායි. ඇත්තෙන්ම මගේ මව්පියෝ පසුපසින් සිට හෝ ඒ කාලයේදී ඉගෙනීම එපා වෙලා සිටි මට ඉගෙන ගැනීමට උපදෙස් ලබා දුන්නා.මගේ උපකාරක ගුරුවරුන් නිසා මගේ ලකුණු ඉහළ නගිනවා කියා පවසමින් මා සහභාගී වූ උපකාරක පන්ති වලට මගේ යාළුවෝත් සහභාගී වුණා. මම පැහැදිලි කිරීමට උත්සාහ කළ ද ඔවුන් එය පිළිගත්තේ නැහැ. මක්නිසාද? පන්තියේ කාලය නොමැතිව, පන්තියේ සිවුවන හා පළමුවන දරුවාත් පන්තියේ අවසාන දරුවාත් ගොඩ නැඟීමට හැකියාවක් ඇති උපකාරක ගුරුවරයා විසින් සියල්ල සිදු කරන බවට විශ්වාසයක් අප තුළ පවතින නිසයි.
ඒ නිසා අප ඉගෙන ගන්නා දේ පිළිබඳව පැහැදිලි අදහසක් අපට නොමැති වුව ද අප ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. විභාගය ළං වූ විට පාසලේ අධ්‍යාපන කටයුතු වලට අප යොමු වන්නේ නැහැ. මටත් එසේ වුණා. අවිට අපට පාසල් තියෙන්නේ ඇයි? පාසල් නොයෑම තුළින් අතපසු වන සටහන් සම්පූර්ණ කර ගැනීමට උපකාරක පන්ති අපට තිබෙන නිසා ඒ ගැන හිතන්නේ නැහැ.

මම ඇමරිකානු අධ්‍යාපනය මාස හතරක් මුළුල්ලේ හදාරමින් සිටින හෙයින් අධ්‍යාපන ක්‍රමවේද දෙකෙහි වෙනසක් මට දැනෙනවා. දේශීය බැඳීම් වලින් නිදහස්ව ජාත්‍යන්තර පුද්ගලයකු වීමට පළමුවෙන්ම මම ඇමරිකානු අධ්‍යාපනය හැදැරීමට පටන් ගත්තා. මගේ මව්පියෝ මේ මග තෝරා ගැනීමට උදව් කළා. ඇත්තෙන්ම මගේ මව ඊට ටිකක් එදිරිව සිටියදී මගේ තාත්තා මෙම පාරේ ගමන් කිරීමට මා උනන්දු කළා.

මගේ පාසැල් ජීවිතයේදී මට ලබා ගත නොහැකි වූ බාහිර විෂයමාලා ක්‍රියාකාරකම්වල නියැලෙමින් ක්‍රියාශිලී අධ්‍යාපනයක නියැලීමට මට උවමනා වුණා. දේශීය ජනතාව අපේක්ෂා කරනු ලබන සතුට වෙනුවට මගේ ජිවීතේ සැබෑ නිදහස හා සතුට සෙවීමට මට වුවමනා වුණා.

මේ දේශීය අධ්‍යාපනය තුළින් අප සියලු දෙනා ලබා ගන්නේ රැකියාවක් සහ දෛනික චර්යා ක්‍රමවේදයක්. අපගේ දේශීය අධ්‍යාපන ක්‍රමවේදය තුළ අපට තිබෙන්නේ ඉතා අක්‍රිය අධ්‍යාපන ක්‍රමයක්. අපේ ගුරුවරු හෝ පෙළ පොතේ කියවෙන දේ අප හදවතින් පිළිගන්නවා. සමහරක් වේලාවට අප ඉගෙන ගන්නේ කුමක්ද කියාවත් අප දන්නේ නැහැ. මෙම ක්‍රමය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් ඉගෙනීම හිස් දෙයක්. අවම වශයෙන් රසායන විiාව කොටසක්වත්, ප්‍රායෝගික අභ්‍යාසවල යෙදී සිටියදීවත් ඒ පිළිබඳ ඉගෙනීමට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙම ක්‍රමය තුළින් සෑම විටම දරුවකුට ඔහුගේ හෝ ඇයගේ අනාගතය ගැන තීරණය කිරීමට අවස්ථාවක් ලබා නොදෙනවා පමණක් නොව, ඒ තුළින් කායිකව හා මානසිකව දැඩි ආතතියක් ඇති කරනු ලබනවා. ඇත්තෙන්ම වේදනා විඳිමින් විෂයන් 9ක් හැදෑරීම තුළින් කළ නොහැකි කර්තව්‍යයක් කිරීමට යනවා. මෙම අක්‍රිය අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලය වන්නේ ඔහුගේ හෝ ඇයගේ සිහින සැබෑ කරගත් සාර්ථක පුරවැසියකු වෙනුවට රොබෝ කෙනකු බිහි වීමය.

මම උසස් පෙළ සම්පූර්ණ කර නොතිබීම නිසා මට පුද්ගලික සරසවියකට ඇතුළත් වූ පසු පළමුවෙන් මට යම් බියක් ද දැනුණා. ඒත් දැන් මට අක්‍රීය සහ ක්‍රියාශිලී අධ්‍යාපනයේ වෙනස දැකිය හැකියි. ඇමරිකානූ අධ්‍යාපනය, ඉගෙනීමට ඉතා නම්‍යශීලි මඟක්. අපට උසස් පෙළ හෝ සමාන්‍ය පෙළ තුළින් එය ආරම්භ කළ හැකියි. නමුත් ඊට සම්බන්ධ වූ සියලු දෙනා වයස් භේදයකින් තොරව අප ඉගෙන ගත් දේවල් වලින් එකම ලකුණු ලබා ගත යුතුයි.මම ඇමරිකානු අධ්‍යාපනය හැදෑරීමේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ වාසිය මට තිබුණා. ඉංග්‍රීසියෙන් ඉගෙනීමේදී ඉංග්‍රීසියෙන් හිතන්න එය උපකාරී වෙනවා. එමෙන්ම තාක්ෂණික වචන ඉගෙන ගැනීමට ද එය උපකාරී වෙනවා. ශිෂ්‍යත්ව විභාගය සමත් වී පිටිසරබද ප්‍රදේශවලින් පැමිණි සිසුන් සිංහල මාධ්‍යයෙන් ඉගෙනීමට යොමු වෙනවා. මක් නිසාද මුලින්ම ඊට යොමු වීමට ඔවුන්ට අපහසු වේවි කියා ඔවුන් සිතනවා. නමුත් මගේ අදහස අනුව අපට යමක් ලබා ගැනීම සඳහා අප ඒ සඳහා ආරම්භයක් ලබා දීම අනිවාර්යයක් වෙනවා. “පටන් ගැනීම සඳහා ඔබ ශ්‍රේෂ්ඨයකු විය යුතු නැහැ. නමුත් ශ්‍රේෂ්ඨයකු වීමට පටන් ගත යුතුයි.” යි කියා ඒබ්‍රහම් ලින්කන් කියා තිබේ.

කිසියම් දුරක් සඳහා පමණක්වත් සිසුවකුට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් අවශ්‍ය කෙරෙනවා. ඒ මඟ තුළින් ඔවුන් ගැන මෙන්ම විෂය කරුණු ගැන අවබෝධයක් ඔවුන් ලබා ගන්නවා. ක්‍රියාකාරී අධ්‍යාපන ක්‍රමය තුළ යම් දේවල් ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීමටත්, ඒ තුළින් පර්යේෂණ කිරීම පමණක් නොව , ඒ පිළිබඳ ඉදිරිපත් කිරීම් කිරීමට ද අපට හැකියාව ලැබේ. එම මග තුළ විෂය කරුණු මනාව අවබෝධ කර ගැනීමටත්, ඒ පිළිබඳ අපි හොඳ ද හා කොච්චර ප්‍රමාණයකින් හොඳ ද යන්න පිළිබඳව ඉගෙන ගත හැකි වෙනවා. එවිට අපට නිවැරදි මග සොයා ගෙන ඒ අනුව ඉදිරියට යා හැකියි. දේශීය අධ්‍යාපන ක්‍රමය තුළ අපට එම අවස්ථාව අහිමි වේ. කුමකට ඔවුන් සැබවින්ම හොඳ ද කියා බොහෝ සිසුන් නොදනී.

දේශීය අධ්‍යාපන ක්‍රමය තුළ පැවරුම් ඉදිරිපත් කිරීමේදී ගූගල් වෙබ් අඩවියේ තියන දේවල් උපුටා ගෙන ඉදිරිපත් කිරීමට අප යොමු වෙනවා. විශේෂයෙන් විකිපීඩියා. ඇමරිකානු අධ්‍යාපනය තුළ අනුන්ගේ අදහස් තමන්ගේ සේ සැලකීමක් ලෙස මතු කර පෙන්වීම මුළුමනින්ම තහනම් වේ. අනුන්ගේ අදහස් ගැන ලිවීමේදී අපට සඳහන් කිරීම මෙන්ම උපුටා ගත් කොටස් යනාදිය භාවිතා කිරීමට සිදු වේ. එම මඟ තුළින් ඡායාස්ථ ජීවපත් ලබා ගැනීම වෙනුවට සෑම දෙයකින්ම සහ සෑම පුද්ගලයකුගෙන්ම නව කුසලතා ලබා ගැනීමේ අවස්ථාව ලෝකය අත්කර ගනී.

අපට තිබෙන තරගකාරීත්වය තුළ නරකම ගැටලුවක් තිබේ. සාමාන්‍ය පෙළ පන්තියේදී මගේ විෂයන් සඳහා ලකුණු 70ක් හෝ 80ක් ලබා ගනු ලැබුව ද මගේ ස්ථානය විසි වැනියාට වඩා තහවුරු කර ගත නොහැකි විය. මෙම තරගකාරීත්වය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට විශේෂයෙන් 10වන හෝ 11වන ශ්‍රේණිවලදී නියැලීමට අපට හැකියාවක් නොලැබේ. අප 10වන ශ්‍රේණිය දක්වා කළ දේවල් අපට නතර කිරීමට සිදු වේ. අප එසේ සිදු නොකළොත් විෂයන් 9ක් හා ගැටෙන්නට අපට නොහැකිය. මෙම තරගය බහුල ලෙස පටන් ගනු ලබන්නේ මව්පියන්ගේ සහභාගීත්ය තුළිනි. එය සිසුන් පහ වසර තුළ ඉගෙනීම ලබමින් සිටියදී තිබෙන ශිෂ්‍යත්ව විභාගයෙන් ඇරඹේ. ඉතාමත් අඩු වයසකදී විෂය කරුණු බැඳීමක් ඇති කර ගන්නා ලෙසට ළමයින්ට උගන්වනු ලබන අය වනුයේ මව්පියෝය.

මගේ අදහස වන්නේ ළමයකුට විෂයන් 9ක් බරපතළ වැඩි බවත් විෂයන් නවයක් මතකයේ රඳා ගනිමින් එය සාමාන්‍ය පුද්ගලයකුටවත් කළ නොහැකි දෙයක් වන්නේය. නමුත් එය තමයි අප භාවිතා කරන මෙන්ම යොමු කර ඇති මාර්ගය වන්නේ. දැන් වුවද, දස වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මගේ කුඩා සහෝදරිය වුව ද එම පියවරයන් අනුගමනය කරන්නීය.