නව බදු පනතට සංශෝධන කුමකටද?

විපුල කරුණාතිලක

“පසුගිය වසර 30 තුළදී ශ්‍රී ලංකාවේ ඉහළ අය වැය හිඟයක් සමග ඉහළ ණය මට්ටමක් වාර්තා වී ඇත. මෙම කාල පරිච්ඡේදය තුළදී අය වැය හිඟයෙන් සාමාන්‍ය දල දේශීය නිශ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස 7.5%ක් පමණ සහ වැය මට්ටමෙහි සාමාන්‍ය දල දේශීය නිශ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස 90%ක් පමණ විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම රජය විසින් දරන මුළු වියදමට වඩා බොහෝ අඩු අගයක් ගන්නා අතර අවම වශයෙන් පුනරාවර්තන වියදම් ආවරණය කිරීමට පවා එය ප්‍රමාණවත් නොවේ.” (මහ බැංකු වාර්තාව 2017 පිටුව 199) මහ බැංකු වාර්තාවේ මේ කෙටි ඡේදයේ පෙන්නුම් කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ඇති ඛේදනීය තත්ත්වයයි.
රජයේ එදිනෙදා වියදම් එනම් පුනරාවර්තන වියදම් පවා සපුරා ගැනීම සඳහා දේශීය විදේශීය ණය ගැනීමට සිදු වී ඇත. ශ්‍රී ලංකාව වැනි පහළ මධ්‍යම ආදායම් ලබන රටක් අවම වශයෙන් රාජ්‍ය ආදායම සාමාන්‍ය දල දේශීය නිශ්පාදනය 20%ක් මට්ටමක පවත්වා ගත යුතු වුවත් එය 13% මට්ටමවත් පවත්වා ගැනීමට හැකි වී නැත. ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය, වැනි ශ්‍රී ලංකාව හා තරඟකාරී මට්ටමක ඇති රටවල් සියල්ලම තම ආදායම් ප්‍රතිශතය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 20% එහා ගිය මට්ටම පවත්වා ගෙන යයි. සමහර රටවල ණය ගැනීම හා ණය වීමේ සීමාවන්ද පවත්වාගෙන යයි. බොහෝ රටවල් ණය සීමාව වශයෙන් පවත්වාගෙන යන්නේ ද.දේ.නි. 60%ක සීමාවය. ලංකාව එය පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළ 90% දක්වා වැඩි කර තිබුණි. ඊට සාපේක්ෂව රාජ්‍ය අදායම 10% දක්වා අඩුකර තිබුණි. මෙවැනි අවාසිදායක තත්ත්වයන් තුළ රටකට විය හැකි හානිකරම ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වීම, පොලි අනුපාතය වැඩි වීම පෞද්ගලික ආයෝජකයන් අයෝජනය කිරීම අවම වීම, දේශීය ඉතිරි කිරීම් ප්‍රතිශතය අඩු වීම, උද්ධමනය වැඩි වීම මේ සියල්ලගේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරව රටේ මූල්‍ය විශ්වසනීයත්වය බිඳ වැටීමයි. ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසය හා මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් රටක පිස්කල් ප්‍රතිපත්තිය හා බදු පරිපාලනයෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

I. ආණ්ඩුව හා පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පොදු ජන සේවා පවත්වා ගෙන යෑමට අවශ්‍ය ආදායම රැස් කිරීමයි. මෙය ලංකාව සම්බන්ධව ගත් කල ඇත්තේ ඉතා කනගාටුදායක තැනකය. අවශ්‍ය පොදු ජන සේවා සම්බන්ධව විධිමත් හා ප්‍රමාණාත්මකව පවත්වා ගැනීමට අවශ්‍ය අරමුදල් රජයට සපයා දීමට හැකියාවක් නැත.

II. රාජ්‍ය ආදායම් හා වත්කම් සාධාරණ ලෙස රටේ පුරවැසියන් සියලු දෙනා වෙත ගලායෑමේ ක්‍රමවේදයක් සැකසීම ශ්‍රී ලංකාව තුළ මෙය සිදුවනවාද යන්න ගැටලු සහගතය. එයට හේතු වන්නේ ශ්‍රී ලංකාවේ දුප්පත්ම 20% ලබන්නේ ද.දේ.නි.4.4%, ධනවත්ම 20% ද.දේ.නි. 53.5% ලබන අතර සමස්ත දුප්පත් 40% ලබන්නේ ද.දේ.නි. 13.3%, එසේ නම් මෙහි සමතුලිත තාවයක් ඇතිවිය යුතුව ඇත. සාධාරණ ක්‍රමය වන්නේ ඉහළ ආදායම් ලාභීන්ගෙන් වැඩි බදු ප්‍රමාණයක් ද අඩු අදායම් ලාභීන්ගෙන් අඩු බදු ප්‍රමාණයක් ද අය කිරීමය. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙමින් ඇත.

III. යම් යම් සමාජ ශෝධන පරමාර්ථ වෙනුවෙන් යම් යම් භාණ්ඩ හා සේවා පරිහරණය අවම කිරීමට බදු පැනවීම සිදු කරයි. උදාහරණ ලෙස මiසාර, දුම්කොළ, සූදුව හා අධි සුඛෝපභෝගී භාණ්ඩ වෙත පනවන විශේෂ බදු ආදිය පෙන්විය හැක.

දෙවන තලය තුළදී මහජන ඉතිරිකීරීම් හා ප්‍රාග්ධනය රැස් කිරීම, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම විදේශ වෙළෙඳපොළෙන් එන තරගකාරීත්වය සීමා කිරීම, විදේශීය, දේශීය ආයෝජකයන් දිරි ගන්වමින් ආයෝජනය කිරීමට අවශ්‍ය විධි විධාන සකස් කරමින් සමස්ත ආර්ථික සම්පත් සාධාරණ අයුරින් නියාමනය කිරීම බදු ප්‍රතිපත්තියේ හා මූල්‍ය ප්‍රතිපත්තියේ අපේක්ෂාව වෙයි.

ඉහත පරමාර්ථ කර ගැනීමට නව බදු ප්‍රතිපත්තිය සමත් ද. එසේ නැත්නම් ඉදිරි සති 6 තුළ නව පනතට ගෙන එන සංශෝධන සමත් වෙයිද? නව සංශෝධන ධවල පත්‍රිකාවක් ලෙස හෝ සැසි වාර්තා ලෙස සංවාදයට එක් වෙයිද. නිදහසේ සිට අද දක්වා (1955 බදු කොමිෂම 1968 බදු විමසීම් කොමිෂම 1990 ජනාධිපති බදු කොමිෂම 2010 ජනාධිපති බදු කොමිෂම, 2016 රාජ්‍ය මූල්‍ය අරමුදල් වාර්තාව ඊට අමතරව Downs  වාර්තාව 1955  Kaldor  වාර්තාව 1960 හා  Cox  වාර්තාව 1986) රාජ්‍ය ආදායම ස්ථාවර හා වැඩි කිරීම වෙනුවෙන් පත් කරන ලද මෙම කොමිෂන් සභා වලින් බලාපොරොත්තු වූ අනෙත් අපේක්ෂාව වූයේ රාජ්‍ය ණය සීමා කිරීම පොදු දේපළ හීන තාවය අවම කිරීම, රාජ්‍ය ආදායම් හා සම්පත් බෙදී යෑමේ අසමානතාව අවම කිරීම. හා රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමත්ය. ඛේදනීය තත්ත්වය වන්නේ මෙම කොමිෂන් වාර්තා වලින් කරන ලද නිර්දේශ දේශපාලන තීන්දු මත වෙනස් වීමයි. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය මූල්‍ය දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් විශාල අනතුරක හෙළා දමා තිබුණි. නව යහපාලන ආණ්ඩුව ද දැන් දේශපාලන තීන්දු මත රාජ්‍ය මූල්‍ය සමග අපරික්ෂාකාරීව කටයුතු කරනු පෙනෙන්නට ඇත. දැන් ලංකාව ඇත්තේ ආර්ථික වශයෙන් අර්බුදකාරී තැනකය. බදු ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබී නැත. බදු පරිපාලනයේ සංකීර්ණ බව අඩු කරනවා වෙනුවට තවත් සංකීර්ණ වී ඇත. නව සංශෝධන වලින් අපේක්ෂා කරන්නේ කුමක් ද කියා කවුරුත් නොදනිති. සාමාන්‍ය ජනතාවට බදු සම්බන්ධව ඇත්තේ විශාල පිළිකුලකි. ඊට හේතු වී ඇත්තේ දේශපාලනඥයින් ගෙවන සුඛෝපභෝගී දිවි පෙවෙතයි.
රාජ්‍ය ආදායම අඩු වීම සම්බන්ධව අදායම් වැඩි කිරීම සම්බන්ධව රටේ සංවාදයක් ඇති විය යුතුය. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබා ගත යුතුව ඇත. නැත්නම් සිදු වන්නේ අතීතයේ සිදු වූ ආකාරයටම රාජ්‍ය මූල්‍ය ආණ්ඩු පක්ෂයේ වගකීමක් බවට පමණක් පත් වීමය.