පළිගැනීම සඳහා සහන දෙන ක්‍රමය – අධ්‍යාපනය දේශපාලනීකරණය කිරීමක්

ඉල්මා ඩයස්

පළිගැනීම් තනතුරු

රටක අනාගතය තීරණය වන්නේ එම රටේ අධ්‍යාපනය ගමන් ගන්නා දිශාව අනුවය. පූර්ණ නිදහස් අධ්‍යාපනයකට හිමිකම් කියන අප අද ගත කරමින් සිටින්නේ බංග්ලාදේශය පවා අධ්‍යාපනය අතින් අප පසුකරගෙන යමින් සිටින අවදියකය. එසේම අප ජීවත්වෙමින් සිටින්නේ අන් රටවල් සමග ගත් විට වසර තිහක පිටුපසිනි. මෙම තත්ත්වයන් වගකිව යුතු අධ්‍යාපන ප්‍රබලයින් වටහා ගෙන ඇති බව විටින් විට ප්‍රකාශයට පත් කළ ප්‍රකාශවලින් මෙන්ම ඇතැම් ක්‍රියාමාර්ග වලින් ද පැහැදිලි විය. උදාහරණයක් ලෙස මෙම ආණ්ඩුව බලයට පත්ව විධිමත් ලෙස තරග විභාගයකින් බඳවා ගත් විදුහල්පතිවරු විසි එක්වැනි සියවසේ අධ්‍යාපනය සඳහා පෙර සූදානම් කිරීමේ විධිමත් පුහුණු ක්‍රමවේදයක් අනුගමනය කළ අතර විටින් විට ඔවුනට විදේශීය පුහුණුව ද ලබා දෙන ලදි. එසේම පාසල් නායකත්ව හා කළමනාකරණය සඳහා වූ ජාතික නිපුණතා රාමුව (NCFSLM) සකස් කරමින් එක් එක් පාසල් නායකයාගේ නායකත්වය සහ කළමනාකරණ නිපුණතා ඇගැයීම සංවර්ධනය කිරීම සහ තක්සේරුකරණය කිරීමට සැලසුම් කර ඇත. එය අධ්‍යාපනයේ සැබෑ දුර්වලතාවන් හඳුනාගත් හෙයිනි යැයි සිතිය හැකිය.

එවන් තත්ත්වයක් පෙන්නුම් කරමින් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය දේශපාලන පළිගැනීමට ලක්වූ ගුරුවරුන් යැයි කියාගන්නා පිරිසකට උසස්වීම් ලබාදීමේ මුවාවෙන් තම හිතවතුනට සිල් රෙදි වෙනුවට තනතුරු ලබාදීමේ ප්‍රයත්නයක මුල සිටම යෙදී ඇති බව පෙනෙයි. එය නම් කර ඇත්තේ 1994-2014 දේශපාලන හේතු මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීම යනුවෙනි. ලංකාවේ ආණ්ඩු මාරුවීමේදී මෙවන් සහන සැලසීම් නමින් ආණ්ඩු බලයට ගෙන ඒම සඳහා නිදිමරා පාප්ප තැවරූවන් පිනවීම පිණිස විදුහල්පති තනතුරු අධ්‍යක්ෂ තනතුරු පිරිනැමීම කලක සිට පැවතිණි. විරුද්ධ පාක්ෂිකයින් විසින් ගල් ගසා ගුරුවරයකුගේ නිවසේ රූපවාහිනිය බිඳුණු බැවින් අධ්‍යාපන අධ්‍යක්ෂ වී පළාත් අධ්‍යක්ෂ තනතුර පවා හෙබවූ අය සිටි නමුත් රටක් ලෙස අප ඉදිරියට යාමට නම් එවන් විහිලු සැපයීම නතර කළ යුතුය. යහපාලන ආණ්ඩුව ගෙන ඒමේ මධ්‍යස්ථ මතධාරීන්ගේ සැබෑ වුවමනාව වූයේද රටක් ලෙස ඉදිරියට යාම සඳහා සැලසුම්සහගත ක්‍රමවේදයක් විනා මෙවන් විහිලු සැපයීමක් නොවේ.

සහන සැලසීම

අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ දේශපාලන පළිගැනීමට ලක්වූ 12000ක් අතරින් 1014ක් තෝරා ගනු ලැබුවේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් අනතුරුව බවයි. එහෙත් සහන සැලසීමේ සමාලෝචන කමිටු නිර්දේශයට අනුව සැබෑ ලෙසම සහන සැලසීමට නිර්දේශිත පිරිස ලෙස දක්වා ඇත්තේ 31 දෙනෙක් පමණි. ඒ පහත ආකාරයෙනි.

උසස් වීමට නිර්දේශිත සේවය ගණන

ශ්‍රී.ලං.අ.ප.සේ.111 6
ශ්‍රී.ලං.ගු.අ.සේ.2-1 1
ශ්‍රී.ලං.වි.සේ.1 2
ශ්‍රී.ලං.වි.සේ.11 1
ශ්‍රී.ලං.වි.සේ.2-11 1
ශ්‍රී.ලං.වි.සේ.111 17
ශ්‍රී .ලං.ගු.සේ 1 –
ශ්‍රී.ලං.ගු.සේ. පත් කිරීම් 3
එකතුව 31

සමාලෝචන කමිටු නිර්දේශය මෙලෙස ලබා දී තිබිය දී එය 1014 දක්වා වර්ධනය වීම පිටුපස ඇත්තේ තවත් ශෝචනීය විහිලුවකි.

අගමැතිවරයා විහිලුවක් වීම

අගමැතිවරයාගේ 2016.02.18. අමාත්‍ය මණ්ඩල සටහන මගින් උසස්වීම් ලබාදීම සහන නිර්දේශ ලෙස ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලික ලිපිගොනු හා අනිකුත් අදාළ ලේඛන පරීක්ෂා කර පරිපාලන හා පත්වීම් බලධාරීන් විමසමින් අභියාචනා විමර්ශන කමිටු නිර්දේශ නිවැරදිදැයි තහවුරු කරගෙන කටයුතු කරන ලෙස දක්වා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම උපදෙස් අනුව කටයුතු නොකර අභියාචනා විමර්ශන කමිටු නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත. එවන් පසුබිමක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඇතිකර ගැනීමට දේශපාලන පළිගැනීම් පත්වීම්ධාරීන්ට හැකියාව ලැබුණේ දේශපාලන පළිගැනීම් සහන අපේක්ෂිත ලේඛනයේ නම් සඳහන් අතිරේක ලේකම්වරයාගේ බලපෑමෙන් විය යුතුය. අගමැතිවරයා මෙහි තවත් විහිලුවක් බවට පත් කරමින් දේශපාලන පළිගැනීම් මුවාවෙන් අධ්‍යාපනයේ ඉහළ තනතුරුවලට ඉව ඇල්ලීම විහිලුවක් බවත් එවන් විහිලු සැපයීමට යහපාලනයට ඉඩක් නැති බවත් දන්වමින් අගමැතිවරයා වෙත ලිඛිතව කරුණු දැක්වූ ජෝශප් ස්ටාලින් වැනි ගුරු සංගම් නායකයින් වෙත හැරෙන තැපෑලෙන් ලිඛිත කරුණු දැක්වීම් ලද බව දන්වා එවා ඇත්තේ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් තනතුර හොබවන පුද්ගලයෙකි. ඔහු දැනට සාදා ඇති දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ අංක 05 දරන තනතුරුලාභියාය. මෙරට පුරවැසියන් ලෙස අප තේරුම් ගත යුතු කරුණ වන්නේ අගමැතිධුරය යනු ජනතාවට වගකිව යුතු ධුරයක් විය යුතු බවයි.
මෙවන් තත්ත්වයක් තුළ සකස් වූ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවට එරෙහිව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද 128/2016 සහ 164/2016 නඩු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අධ්‍යාපන සේවා කමිටුව නීතිපති වෙත ලබා දුන් නිරීක්ෂණ පදනම් කරගනිමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සේවා ව්‍යවස්ථා සහ කැබිනට් තීරණවලට අනුකූලව කටයුතු කරයි යන තීරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කටයුතු නිෂ්ප්‍රභ කර ඇත. සේවා ව්‍යවස්ථාවල සුදුසුකම් උල්ලංඝනය කර සහ කැබිනට් පත්‍රිකා නොසලකා හරිමින් උක්ත දේශපාලන සහන පත්වීම් ලබාදීමෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ සිදුකරමින් සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නොසලකා හැරීමක් නොවේ ද?

මේ පිළිබඳව විමසිලිමත් වු අධ්‍යාපන සේවා කමිටුව 2016.0302 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි මූල්‍යමය ප්‍රතිලාභයක් ලෙස වැටුප් වර්ධක ලබාදීමට නියෝග කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ අධ්‍යාපන ඇමතිවරයා විසින් නැවත කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් අධ්‍යාපන සේවා කමිටුව ලබා දුන් තීරණය ගැන සෑහීමකට පත් විය නොහැකි බව දන්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අධීක්ෂණ කමිටුව නමින් නැවත කමිටුවක් පත් කර ගනිමින් 1014 යුත් ලැයිස්තුවක් කරළියට ගෙන ඇත.

උසස්වීමට නිර්දේශිත සේවය ගණ

ශ්‍රී.ලං.අ.ප.සේ.111 231
ශ්‍රී.ලං.ගු.අ.සේ.2-1 1
ශ්‍රී.ලං.වි.සේ.1 350
ශ්‍රී.ලං.වි.සේ.11 421
ශ්‍රී.ලං.වි.සේ.2-11 –
ශ්‍රී.ලං.වි.සේ.111 5
ශ්‍රී .ලං.ගු.සේ 1 3
ශ්‍රී.ලං.ගු.සේ. පත් කිරීම් 3
එකතුව 1014
අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයම අර්බුදයට ලක්කරමින් දැවැන්ත වැඩවර්ජනයක් දක්වා දිග්ගැස්සෙමින් යන්නේ අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන ත්‍රිත්වයම නොසලකා හරිමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මවාපාන ලද දේශපාලන පළිගැනීමකි.

දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ නම් සඳහන් පුද්ගලයින් පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීම සැලසුම් සහගතව වළක්වා ඇති අතර ඔවුනගෙන් බහුතරය විවිධ අපචාර චෝදනා මූල්‍ය වංචා විභාග වංචා ආදී කරුණු හේතුවෙන් යම් යම් දඬුවම්වලට ලක්වූවෝ වෙති. මේවා ප්‍රසිද්ධියට පත් වූ දිනක සැබෑ පුරවැසියන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ගල් ප්‍රහාර මෙන්ම කුණු බිත්තර ද එල්ල කරනු ඇත.