යෝජිත රංග කලා අධිකාරිය අසාර්ථක වෑයමක්

එම්.ඒ.යූ. චන්ද්‍රසිරි

රාවය පුවත්පතේ ‘ජාතික රංග කලා අධිකාරිය හා අභියෝග’ යන මැයෙන් ලියැවුණු ලිපිය කියවූ මට, එක්වරම මතකයට නැංවුණේ, “අටුව කඩා පුටුව හැදුවා වගෙයි” යන, ප්‍රස්තාව පිරුළය. මෙම ප්‍රස්තාව පිරුළ වත්මන් ගැමියන්ගේ වාග් කෝෂයේ නිරන්තරයෙන් කියැවෙන්නකි. අටුව තියෙන්නේ වී මෙනේරී යනාදී ධාන්‍ය වර්ග වියළා, මතු පරිභෝජනය උදෙසා රැස්කර තැබීමටය. අටුව කඩා හදන පුටුවේ වාඩිගන්නේ එක්වරක එක් අයෙකි. එහෙයින් එතැන ඇත්තේ පුටුවට පොරකෑමේ මහා සටනකි, නැත්නම් තරගයකි. එහෙන් පුටුවට වින්නැහිය අත්වන විට, මෙහෙන් ධාන්‍ය රැස්කර තබන අටුමැස්ස අහිමිවීමේ වේදනාව දැනෙන්නේ, ගෙහිමියන්ගේ බඩටය.
මෙම ප්‍රස්තාව පිරුළෙන් මතු කෙරෙන අයුරු, අටුව කඩා හදන පුටුව ඩැහැ ගැනීමේ මහා සටන සේම, ධාන්‍යවලට සිදුවන විනාශය හා සමාන විනාශයක්, ‘ජාතික රංග කලා අධිකාරිය’ පිහිටුවීමෙන්, ශ්‍රී ලාංකේය නාට්‍යය හා රංග කලා ක්ෂේත්‍රයට සිදුවනු නියත බව ලියුම්කරුගේ කියැවීම වෙයි. රංගකලා අධිකාරිය මතට තවරා තිබෙන අයිසින් නිසා, බැලූ බැල්මට එක්වරම, කොයිකාගේත් ඇසට දිස්වෙන්නේ, අයිසින් තවරනු ලබන එහි බාහිර ආටෝපය පමණි. නාට්‍යය ක්ෂේත්‍රයේ මහා විප්ලවයක් මෙම අධිකාරිය පිහිටුවීමෙන්, ශ්‍රී ලාංකීය නාට්‍ය කලා ක්ෂේත්‍රයට සිදුවන බව රාවය පුවත්පතේ පළවී තිබෙන ලිපිය කියවූ අයට වැටහෙනුය. එහෙත් ලියුම්කරුට දැනෙන්නේ, යෝජිත අධිකාරිය පිහිටුවීමෙන් අනාගතයේ ශ්‍රී ලාංකේය නාට්‍ය ක්‍ෂේත්‍රයේ නොසිතූ අයුරු අර්බුද රාශියක්, මතුවනු නියත බවය.

මා, මෙම කියමනට ප්‍රවේශ වන්නේ, හේතු සාධක ඇතිවය. යෝජිත මෙම අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ලියැවිල්ල පිළිබඳව ප්‍රවීණ නාට්‍යවේදියකු සමග කතා කළ විට ඔහු මට කියුවේ, ලියවිල්ලේ අඩංගුව තිබෙන අයුරු ජාතික රංග කලා අධිකාරිය පිහිටුවීමෙන් ශ්‍රී ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රයට අත්වන්නා වූ සුවදායක තත්ත්වයයි. ඔහු ඒ බව කියන්නේ නාට්‍ය කලා ක්ෂේත්‍රයට තිබෙන ඇල්ම නිසාමද? නො ඒසේ නම්, වෙනත් අභිලාෂයක් නිසාද යන්න, මගේ සිත සමග තර්ක කරන විට එක්වරම වැටහුණේ, අටුව කඩා හදන ලොකු පුටුවේ වාඩිවීමේ අනාගත අපේක්‍ෂාව ඔහුගේ සිතට දැන් සිට තදින්ම බලපා තිබෙන බවය.

අදාළ ලියවිල්ලේ සඳහන් වන ජාතික රංග කලා අධිකාරිය පිහිටුවීමේ පනතේ 03 ප්‍රකාර, මෙහි මහා මණ්ඩලයේ සංයුතිය, ජනාධිපති හා අගමැති ඇතුළුව සංස්කෘති, අධ්‍යාපන හා පළාත් පාලන යන අමාත්‍යවරුන් රොත්තකගෙන් සමන්විත වෙයි. මෙයින් පෙනී යන්නේ, මෙම අධිකාරිය තනිකරම දේශපාලනඥයින්ගෙන් සැදුම්ලත්, දේශපාලන වියමනක් බවය. ප්‍රවීණ කලාකරුවන්ගෙන්ද මෙහි මහා මණ්ඩලය සමන්විත වුව, දේශපාලන බලපෑම් පරිදි, පිටතදී සිංහ වෙස්ගන්නා කලාකරුවන්ට සිදුවන්නේ, තම තමන්ගේ මුඛ තදින් වසා ගෙන සිටීමටය.
ටවර් හෝල් රඟහල පදනමේ පාලක මණ්ඩලයේ සභාපති පුටුව වෙන් වී තිබෙන්නේ, රටේ අග්‍රාමාත්‍ය ධුරය දරන අයටය. පසුගිය වසර තුනක කාලයේදී මෙහි පාලක මණ්ඩල රැස්වීම් පවත්වා තිබෙන්නේ, දෙවතාවකදී පමණි. යෝජිත රංග කලා අධිකාරියේ මැදිහත්කරුවෙක් සහ ජනාධිපති සංස්කෘතික අධ්‍යක්‍ෂ ජනරාල් යන දෙදෙනා, ටවර් හෝල් රඟහල පදනමේ පාලක මණ්ඩලය නියෝජනය කරති. එහි රැස්වීම් පැවැති අවස්ථා දෙකේදී නාට්‍ය හා රංග කලා ක්‍ෂේත්‍රයට අදාළ ගැටලුකාරී ප්‍රශ්න මතුවූ අවස්ථාවේදී, මණ්ඩලීය සාකච්ඡාවේදී ඔවුන් මුනිවත රැක සිට, එළියට බැස්ස කල්හි මුඛයෙන් පිටවී තිබෙන්නේ, “අනේ අපිත් මෙම කමිටුවල ඉන්නවා නේද?” යන්නයි. පිටතදී මහා ලොකුවට පම්පෝරි ගැහුවාට අධිකාරිය පිහිටුවා ගැනීමෙන් වුව පෙරටුවන්නේ කලා ක්ෂේත්‍ර විසින් අපේක්‍ෂා කරනු ලබන කරුණු කාරණා නොව, දේශපාලනමය කරුණු කාරණාය. එය එසේ නොවන්නේයැයි කාටනම් කිව හැකිද?

රාජ්‍ය අංශයේ පවතින අකාර්යක්‍ෂමතාව, වැඩවල ප්‍රමාදවීම, උකටලීබව නිසා, ඒ යටතේ තිබුණු සේවා සැපයීම් මෙන්ම, නිෂ්පාදන කාර්යය යන ක්ෂේත්‍ර රාජ්‍ය අංශයෙන් ගලවා, “අධිකාරිය” යන නාමය ඔසවා ගත් නාම පුවරුව යටතේ, ඒවායේ කාර්යයන් ස්වාධීන පාලනයක් යටතට පත් කළ බව, කවුරුත් දන්නා ප්‍රසිද්ධ කරුණකි. එසේම, ඇමති විසින් පත්කරනු ලබන ඔහුට හිතවත් සභාපති හා අධ්‍යක්‍ෂවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් යටතේ, ඒවායේ පාලනය ගෙන යන බව, ඉතා පැහැදිලිය. මෙම ස්ථාන, දේශපාලකයිගේ රැකියා සපයන රැකීරක්‍ෂා කාර්යාල බවට පත්වී, දේශපාලකයින්ගේ හෙංචයියන් සහ ඇම්බැට්ටයින්ගෙන් එම අධිකාරී, ඉස්මුරුත්තාවට පිරීතිරී තිබෙන බව නොදන්නා කිසිවෙක් නැත. මේවා බිහිකිරීමේදී දර්ශනය වුණු සුබවාදීත්වය වර්තමානයේ අපට ඒවායේ දක්නට තිබෙන්නේද? තනිකරම දේශපාලන ගැතිකම් කරන නිවට නියාලූ කාර්ය මණ්ඩල විසින්, අදවන විට මෙම අධිකාරි සියල්ලම ගිලගෙන තිබෙන බව කවුරුත් හොඳාකාරව අත්විඳින කරුණකි.
ඉදින් අපේ රටේ තිබෙන අනෙක් අධිකාරිවලට සිදුවී තිබෙන සැන්තෑසියම, යෝජිත නාට්‍ය හා රංග කලා අධිකාරියටත් සිදුනොවන්නේ ම යැයි, කැට තැබිය හැකි කිසිදු ශ්‍රී ලාංකිකයෙක් වෙත් ද? එසේ නම්, රාවය පුවත්පතේ පළවූ ලිපියේ සඳහන් කර තිබෙන අයුරු, බිහිකිරීමට අපේක්‍ෂා කරන රංග කලා අධිකාරිය යටතේ, නාට්‍ය ශිල්පීන්ට මෙන්ම නාට්‍ය කලාවට සුභවාදී අපේක්‍ෂා සිදුවන්නේ ද? සැබෑවකි, එය සිදුවෙයි, නාට්‍ය කලාවට කෙසේ වුවත්, දේශපාලකයින්ට කඬේ යන ඉතා සීමිත පිරිසකට නම් මෙම යෝජිත අධිකාරිය නිධානයක් බවට පත්වෙයි. ඔවුන්ට නම් අර්ථයක් සිදුවන්නේමය. මෙම ලිපියේ මා මුලින් සඳහන් කළ පරිදි, මෙම ලියවිල්ල දුටු පමණින් ඊට කැමැත්ත පළ කළ නාට්‍යකරුවා, දැනට බලයේ නැති වූවත්, ඉදිරියේදී තමන් සහයෝගය ලබාදෙන දේශපාලන පක්‍ෂය බලයට එන්නේ යැයි අපේක්‍ෂාවෙන් සිටින අයෙකි. කතාවෙන් මට හැඟුණ පරිදි, මෙම යෝජිත අධිකාරියේ මුල් පුටුවට පත්වීම, ඔහුගේ අපේක්‍ෂාවය.

බැලූ බැල්මට රංග කලා අධිකාරිය පිහිටුවීමේ ක්‍රියාවලියේ මතුපිටින් පෙනෙන අන්තර්ගතය ඉතා රසවත්ය. සියලුම රංග ශාලා ප්‍රමිතිකරණය කිරීම, නවීණ තාක්‍ෂණය අනුව අංගසම්පූර්ණ ජාතික රංග ශාලා සහ ප්‍රාදේශීය රංග ශාලා දිස්ත්‍රික්ක මට්ටමින් වහ වහා ඉදිකිරීමට අවශ්‍ය පියවර ගැනීම, දැනට තිබෙන සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානය කිරීම, විදේශීය නාට්‍යකරුවන් මෙහි ගෙන්වා ගෙන, ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි නාට්‍ය වැඩමුළු පැවැත්වීම. ජාතික නාට්‍ය කණ්ඩායමක් ස්ථාපිත කිරීම, නාට්‍ය නිෂ්පාදනයේදී නිෂ්පාදකයින්ට මූල්‍ය ආධාර ලබාදීම, නාට්‍ය අධ්‍යාපනය නංවාලීම, ජාතික සහ ජාත්‍යන්තර නාට්‍ය උත්සව පැවැත්වීම සහ ගෝලීය නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වීම යන වැඩපිළිවෙළ, යෝජිත රංග කලා අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන යෝජනා, බැලූ බැල්මට ඇති වරදක් නැත.

එහෙත් මෙම ක්‍රියාකාරකම් සිදුකරනුයේ, නාට්‍ය කලාව වෙනුවෙන් මෙතෙක් දරදිය ඇද්ද, ඒ වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ඇප කැපවුණු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නාට්‍ය අනුමණ්ඩලය සහ ටවර් හෝල් රඟහල පදනම සුන්නත් දූවිලි කර දමමිනි. මෙම පනත ක්‍රියාත්මක වුවහොත්, ටවර් හෝල් පදනම වසා දමනු ලැබේ. ටවර් හෝල් පදනම භාරයේ තිබෙන එල්පින්ස්ටන් සහ ටවර් හෝල් යන රංග ශාලා දෙක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන ජෝන් ද සිල්වා, රඟහල ඇතුළු රංග ශාලා තුන යෝජිත අධිකාරිය යටතට ගැනෙනු ඇත. එපමණක් නොව දිවයිනේ පිහිටා තිබෙන සියලුම රංග ශාලා, මෙම අධිකාරිය යටතට පත්වන්නේය.
මෙම අධිකාරිය පිහිටුවීමෙන් බලාපොරොත්තු වන තවත් ක්‍රියාවක් වන්නේ, ජාත්‍යන්තර තලයේ නවීන තාක්‍ෂණයට අනුව දිස්ත්‍රික්ක මට්ටමින්, දිවයිනේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වන පරිදි රංග ශාලා ඉදිකිරීම ය. ඉහත සඳහන් කර තිබෙන අයුරු, විදේශීය නාට්‍යකරුවන් ලවා සිදුකරන නාට්‍ය වැඩමුළු පැවැත්වීම සඳහා විශාල මුදලක් දැරීමට සිදුවෙයි. යෝජිත වැඩසටහනේ දක්වා තිබෙන පරිදි මේ සඳහා අරමුදල් එක් කර ගැනීමට යෝජනා කර තිබෙන ක්‍රමවේදය ඉතාමත් පටුය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන රාජ්‍ය නාට්‍ය උත්සව සඳහා, ව්‍යාපාරිකයින්ගෙන් මූල්‍ය අනුග්‍රහය ලබාගැනීමට කිහිප අවස්ථාවක වෑයම් කළද ඒවා ව්‍යර්ථ වූ අවස්ථා බොහෝ වෙත්. ජාතික නාට්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ එක් මැදිහත්කරුවකු වන පරාක්‍රම නිරිඇල්ල මහතා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වශයෙන් 2002 වර්ෂයේ සිට කටයුතු කළ වසර හතරක කාලය තුළ මේ අයුරු රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වීම සඳහා මුල්‍ය අනුග්‍රහ ලබාගත් බවක් නම් අප අසා නැත.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ජෝන් ද සිල්වා රඟහල දැනට වසර හයක (6) කාලයක් තිස්සේ ඉදිකර ගැනීමට නොහැකිව තිබේ. එහි කටයුතු අවසන් කිරීමට වැයවන රුපියල් මිලියන 1400 ක ප්‍රතිපාදන මෙතෙක් ලබාදී නැත. මරදානේ එල්පින්ස්ටන් රඟහල සංවර්ධන කටයුතු අවසන් කිරීමට මූල්‍ය ප්‍රතිපාදන නොමැතිව වසර හතක (7) පමණ කාලයක් තිස්සේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ගැනීමට නොහැකිව තිබේ. කලාකරුවන් වෙත පසුගිය දා තිළිණ කළ, කුණ්ඩසාලේ පිහිටි ජාතික කලා නිකේතනය, (National Arts Academy) මිලියන 465 ක වියදමකින් වසර හතක කාලයක් තිස්සේ ඉදිවූවකි. අපේ රටේ වෙනත් වියදම් සේම කලාව වෙනුවෙන් රාජ්‍ය මුල්‍ය අනුග්‍රහ දැක්වීම සිදුවන්නේ මේ අයුරින්ය. ඉදින් පෙර සඳහන් කර තිබෙන, යෝජිත රංග කලා අධිකාරිය පිහිටුවීමෙන්, අතනතුරුව දිවයිනේ රංග ශාලා ඉදිකිරීමේ වියදම් පාර්ශ්වය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ, සක්දෙවිඳුන් දැයි විමසීමට සිදුවෙයි.

මෙම රංග කලා අධිකාරිය පිහිටුවීමෙන්, එහි නියමුවන් විසින් තවත් අභිප්‍රායක් ඉටුකර ගන්නේය. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා විසින් ටවර් හෝල් රඟහල පදනම වෙත පවරා දුන්, ජාත්‍යන්තර රංග කලා ආයතනයේ (International Theatre Institiute) සාමාජිකත්වය, ටවර් හෝල් රඟහල පදනම නිශේධනය කිරීමෙන් අනතුරුව, ඉබේම කලා අධිකාරියේ බුක්තියට සවි කෙරෙන්නේය. මෙහි සාමාජිකත්වය ඩැහැ ගන්නේ කෙසේද යන්න කාලයක් තිස්සේ, මොවුන්ගේ සිත් තුළ කැසකවමින් තිබුණු ගැටලුවකි.

මෙයට වසර තුනකට පෙර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නොමඟ යවමින්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ තිබුණු, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග අනුමණ්ඩල සියල්ලම (10ක) සහ ටවර් හෝල් රඟහල පදනම, අධ්‍යාපන අමාත්‍යාංශයට පැවැරීමෙන් අනතුරුව, වසර තුනක (3) පමණ කාලයක් තිස්සේ එම ආයතන අක්‍රීයව පැවැති බව කවුරුත් දන්නා කරුණකි. කලා මණ්ඩලය විසින් 2016 වර්ෂයේ පැවැත්වූ එකම රාජ්‍ය නාට්‍ය උළෙල අතිශය අසාර්ථක මෙන්ම, රජය අප්‍රසාදයට පත්කළ සම්මාන උළෙලක් විය. රංග කලා අධිකාරියක් පිහිටුවා ගෙන සම්මාන උළෙල පවත්වන්නේ කෙසේද යන්නට හොඳම සාධකය, 2016 වර්ෂයේ පැවැත්වූ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතට දෙපාර්තමේන්තුව යටතේ පැවැති කලා මණ්ඩලය සහ අනුමණ්ඩල පවරා ගත් 2016 වර්ෂයේ, සංස්කෘතික අධ්‍යක්‍ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය, ක්ෂණික තීරණයක් ගෙන අනුමණ්ඩල වෙනුවට, උපදේශක මණ්ඩල දහයක් පිහිටුවා කලා කටයුතු විධිමත්ව සක්‍රීය නොකරන්නට, රාජ්‍ය නාට්‍ය, ළමා නාට්‍ය, ටෙලි නිර්මාණ, ඡායාරූප, නර්තන, සංගීත ආදි රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වීම වසර තුනක කාලයක් ඇන හිටින්නේය. මෙයින් කලාකරුවන්ගෙන් රජයට එල්ලවන අපවාද බොහොමයකි. එය වැළැකුණේ අධ්‍යක්‍ෂතුමිය ගත් ක්ෂණික ක්‍රියාමාර්ගය නිසාය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය භාර නව අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා පත්කිරීමෙන් පසුව, 2018 වර්ෂයේ මැයි මාසයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා දී තිබු කලා මණ්ඩලය සහ අනුමණ්ඩල සියල්ල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට නැවත පවරා ගෙන තිබේ. ‘ජාතික නාට්‍ය ප්‍රතිපත්තියක් උදෙසා’ වූ ලේඛනය සකස් කර ‘ජාතික රංග කලා අධිකාරියක්’ පිහිටුවීමට කටයුතු කරන, මෙම කලාකරුවන්ගේ යෝජනාවල තිබෙන අසාර්ථකත්වයට, හොඳම නිදසුන මෙය වේ.

ජාතික නාට්‍ය ප්‍රතිපත්තියක් උදෙසා සකස් කර තිබෙන යෝජනාවලියේ පවතින සුභදායක යෝජනා, නාට්‍ය කලාවේ ප්‍රගතිය හා පැවැත්ම සම්බන්ධව කටයුතු කරනු ලබන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ටවර් හෝල් රඟහල පදනම වෙත කේන්ද්‍රගත කිරීමෙන් කල්ලිවාදයෙන් හා කට්ටිවාදයෙන් තොරවූ විපුල සේවාවක් නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකළ හැකි බව, ලියුම්කරු දරන මතයයි.

සංවාදයට විවෘතය