රාවය

මගේ කවියේ වස්තුව ගැමි සහ නාගරික ෆැන්ටසියයි- සරත් චන්ද්‍ර වල්පොළ

මගේ කවියේ වස්තුව ගැමි සහ නාගරික ෆැන්ටසියයි- සරත් චන්ද්‍ර වල්පොළ

දිනී ජයසේකර

ඔබ ලිවීමට පෙළඹුණේ කොහොමද?

මගේ ප්‍රකාශන මාධ්‍යය කවිය සහ නාට්‍යය. 1985 දී ඉසිපතනේ උසස් පෙළ සිසුවකුව සිටිය දී මං දිගු නාට්‍යයක් රචනා කරලා අධ්‍යක්ෂණය කළා“පිළිලය “ කියලා. ලුම්බිණියේ එක දර්ශන වාරයක් පමණක් පෙන්නුවා. 1988 දි“සම්ප්‍රාප්තිය” කෙටි නාට්‍යයට යෞවන සම්මාන ලැබුණා. මං රචනා කරල අධ්‍යක්ෂණය කරපු “මට ඉඩක් නැද්ද” කෙටි නාට්‍යයට 2016 දි රාජ්‍ය සම්මාන ලැබුණා. නාට්‍යකරුවෙක් විදිහට ස්ථානගත වෙන්න පුළුවන් වුණා. දැන් ඇතුල්වෙන්නම් කවියෙක්ගෙ භූමිකාවට. 1985 ඉඳන් සඟරා කවි පිටු වල සහ පත්තර කවි පිටු වල කවිය සමඟ සතතාභ්‍යාසයේ යෙදුණා. දැන් පත්තර කවි පිටු වල බොහොම කලාතුරකින් මම ඉන්නේ.ඒ මං පවත්වාගෙන යන්නෙ මන්දගාමි වේගයක් නිසා. හෘදය සංවේදී සීමිත මිත්‍ර සමාගමක් අතරේ පමණක් කවිය සමඟ ඒකාත්මික වෙමින් අධ්‍යාත්මික ගනුදෙනුවක යෙදෙනවා. ඒ අර්ථයෙන් මං කවියෙක් . ඒත් ඒ කවි එකතුවක් මේ දක්වාම පොතක් වශයෙන් සමාජගත නොවූ නිසා මං කවියෙක් විදිහට ස්ථානගත වෙන්නෙ නෑ. මගේ ප්‍රකාශය, රුවැති සහ ගුණැති පොහොසත් කවි ලියලා බොහෝ දුෂ්කරතා මධ්‍යයේ කවි පොත් සමාජගත කරපු සහ කරමින් ඉන්න සොඳුරු කවියන් හා කිවිඳියන් අවතක්සේරු කිරීමේ කුහක චේතනාවෙන් කරපු එකක් නෙවේ කියලා මම අවධාරණයෙන් කියනවා. මං ඉහත මතුකළ ප්‍රවාදය අතිශය දේශපාලනිකයි. සෑම පොහොසත් කලා කෘතියකම යටි පෙළක් තියෙනවා වගේ මං මතු කළ කාරණයටත් ඒක අ
දාළයි. බහුවිධ නිර්මාණකරුවෙක් වූ සිරිගුණසිංහ කවියාගෙන් පටන් ගෙන සේකර, පරාක්‍රම, රත්න ශ්‍රී, මොනිකා, ආරියවංශ රණවීර යනා දී කවිකිවිඳියන්ගේ ආභාසයෙන් පෝෂණය වූ කවිය අද අලුත් පරම්පරාවේ කවියන් අතින් සුපුෂ්පිත වී තිබෙනවා. ඒ ඔවුන් තෝරා ගන්නා වස්තු විෂයන්වල ඇති නැවුම්බව හා ඒවා වඩා ප්‍රබල ලෙස සංවේදනය කිරීමට හසුරුවන උචිත භාෂාව. ඒ අර්ථයෙන් අද කවිය සහ කවිකිවිඳියන් පෙරටුගාමියි, ජවසම්පන්නයි.

සරල භාෂාවක් උපයෝගී කර කවි රචනා කිරීම ඔබේ කලාවද?

මං ලියපු බොහොමයක් කවි සරල භාව කථනය මුහු වූ කටවහරින් ලියවුණත් එකම මාදිලියකට නතු වෙන්න කැමති නෑ. සරල භාෂාවද විදග්ධ භාෂාවද කියන බෙදීම ම අවුලක්. තමා අත්විඳපු දේ ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඒ අත්දැකීමේ දිග පළල අනුව තමයි කවියේ පිට කවරය සැරසෙන්නෙත් ඒ කවි නිමිත්ත ඇතුලාන්තයෙන් ඉල්ලා සිටින භාෂාව ගොඩනැංවෙන්නෙත්. උදාහරණයක් විදියට කියනවනම් පැරණි සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේදි මුණ ගැහෙන පඬිවරයෙක් වන තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. එකල විසූ පතිරාජ නමැති ඇමතියෙක්ගේ බිසවකට ආශාවක් ඇතිවුණාලු නාරි ලාලිත්‍යය වර්ණනා කරන රාහුල හමුදුරුවන්ගෙන් තමාටත් කවියක් ගොතාගන්න. ඒ අදහසින් ඇය ගියාලු තොටගමු විහාරයට. ඇය දුටු රාහුල හාමුදුරුවන්ගේ මුවින් “අනේ පනේ තනේ වැනේ” කියලා හිටිවන කවි පද කියවෙලා තියෙනවා. ඒ අවස්ථාව හා බැඳුණු ඖචිත්‍යය ගුණය තමයි ඒ. භාෂාව ග්‍රාම්‍යයි සරලයි කියනවද? පොදුවේ හැමෝටම සංව්දනය වෙන භාෂාව රහ නැද්ද? අන්තර්ගතය විසින් ඉල්ලා සිටින ආකෘතියකට පිටතින් දෙයක් එල්ලීමවත් ඇතුලතින් දෙයක් උදුරා දැමීමවත් සාර්ථක නෑ.

කවියො කවියට පුනරුත්ති භාවිතකරනවා අඩුයි. ඒත් ඔබ ඇයි ඔබේ සමහරක් කවි සඳහා පුනරුක්ති භාවිත කළේ?

පුනරුත් දෝෂ කවියට පමණක් නොවේ ඕනෑම කලා කෘතියක මුල් ව්‍යාකරණයට එකඟ නෑ. ව්‍යාකරණ බිඳිය යුත්තේ මූලික ව්‍යාකරණ පිළිබඳව අවබෝධයෙන් යුතුවයි කියලා සුගතපාල ද සිල්වා නම් වූ සොඳුරු ආඥාදායකයා පවසා තිබෙනවා. අංක ගණිතමය විදිහට කියනවා නම් මං කවියකට දෙකකට වඩා පුනරුත්ති යොදලා නෑ. එසේ යෙදුවෙත් කවියේ ශරීරය විසින් ඉල්ලා සිටින ඔක්සිජන් ලබා දීම සඳහා ම පමණයි. නිර්මාණයට උචිත පැහැයට සහ හැඩයට සාධාරණය ඉටු කරනවා වගේම අවංක වීමයි විය යුත්තේ. පොළොවේ තිබෙන මානව ප්‍රේමය කවියට විෂය වුණාම කවියා හෝ කිවිඳිය නිරායාසයෙන්ම ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් වෙනවා. ඉතින් ප්‍රේමය repeat වීමත් පෙම්වතුන් repeater වීමත් අතිශය ස්වභාවික පුනරුක්තියක්.

නාගරික ජීවිතය සහ ග්‍රාමීය ජීවිතය යන දෙවර්ගයෙන් ඔබ වැඩියෙන්ම කවි රචනාකර ඇත්තේ කුමක් ගැනද? ඒ ඇයි?

නාගරිකව හැදුණු වැඩුණු නිර්මාණකරණයේ නියැලෙන්නකුට ගම පිළිබඳ ප්‍රතිනිර්මාණයකට අවශ්‍ය අඩුම කුඩුම හොයාගන්න ඔහු හෝ ඇය නෛසර්ගිකව ගැමියෙක් විය යුතු නෑ. ඒ වගේම තමයි ගමක මූලයන් උරුමව නිර්මාණකරණයේ නියැලෙන්නකුටත් නගරය පිළිබඳ ප්‍රතිනිර්මාණයක් කිරීමේදී ඔහු හෝ ඇය නෛසර්ගිකව නාගරිකයෙක් විය යුතුම නෑ. එකී කාරණය මහා පොදු සාධකයක්. ගම සහ නගරය කියලා ඉරි ගහලා නොබෙදුවට නිර්මාණකරණයේ දී නිර්මාණකරුවා හෝ කාරිය අත්විඳපු හැඟීම් දැනීම් තමයි ප්‍රතිනිර්මාණය කරන්නේ. ප්‍රස්තූතයට අදාළ වස්තු විෂයේ භූමිය ආශ්‍රිත පරිසරය නාගරික වෙන්න පුළුවන් ග්‍රාමීය වෙන්න පුළුවන්. ඉන් ජනිත කරන ප්‍රකම්පනය තමයි වඩාත් වැදගත්. මගේ ගම කොළඹ 5, කිරුළපන නගරය වුණාට අනූව දශකයේ අවසානය තෙක්ම එහි භෞතිකව මෙන්ම ජීවත්වන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වලද පැලපදියම්වෙලා තිබුණේ ග්‍රාමීය බවක්. ඉතින් මගේ කවි බොහොමයක තියෙන්නේ ඊනියා නාගරිකයාගේ ගැමි ෆැන්ටසියත් ඊනියා ගැමියාගේ නාගරික ෆැන්ටසියත් කියන මිශ්‍රනයේ ඇති අලකලංචියයි.

බොහොමයක් කවියො ඇයි වැඩිපුරම අම්මා ගැන කවි රචනා කරන්නේ? තාත්තව මඟ හැරෙනවද?

අම්මා ගැන කවි ගීත රචනා කිරීමේ ප්‍රවනතාව තාත්තාට සාපේක්ෂව වැඩි වුණාට තාත්තා ගැනත් විවිධ මානයන්ගෙන් ලියවුණු පොහොසත් කවි නැතුවාම නොවේ. එකම වස්තු විෂයෙන් ප්‍රතිනිර්මාණය වන කලා කෘතියක් තම තම නැණ පමණින් සහ දැක්මෙන් දහදෙනෙක් දහ විදිහකට දකීවි. ඒ කෘති දහයම තම තම නැණ පමණින් දහදෙනෙක් දහ විදිහකට කියවාවි. අහඹු ලෙස සමානකම් දැකිය හැකි අවස්ථාද තියේවි. මේ සන්දර්භය මත රුසියානු සාහිත්‍යයේ මැක්සිම් ගෝර්කිගේ අම්මාගේ ඉඳලා විවධ භූ විෂමතාකලාපවලින් බිහිවෙන අම්මලාගේ දරු සෙනෙහස පිළිබඳ කියවීම එකක් වුණාට ඒ ඒ අම්මලාගේ හැඟීම් ප්‍රකාශනය වීමේ දී ඒ ඒ අම්මලාට අනන්‍ය ලක්ෂණ තියෙන්න පුළුවන්. තාත්තා සම්බන්ධයෙන් වුණත් ඔවැනි කියවීමක් තමයි මා තුළ තියෙන්නේ. අම්මා සහ තාත්තා කියන්නේ අහසයි මුහුදයි වගේ ඉහළ සහ ගැඹුරු සංකල්ප රූප දෙකක්. දකුණු ඉන්දීය දෙමළ සාහිත්‍යයේ දී හමුවෙන කන්නගී නමැති දෙමළ කාන්තාව ලංකාවේදී පත්තිනි අම්මා නමින් සිංහල බෞද්ධකරණය කරලා. පත්තිනි අම්මාගේ බැතිමතුන්ම උතුරේ සහ දකුණේ පුතුන් අහිමි වූ අම්මලාටත් ස්වාමි පුරුෂයන් අහිමි වූ බිරින්දෑවරුන්ටත් අතිශය ගෝත්‍රික පීඩනයක් මුදා හරිනවා. මෙලෙස නඩත්තු කරන පරස්පරය නිසා තාත්තව පමණක් නෙවෙයි අම්මවත් ඉබේටම මඟ හැරෙනවා.