රාවය

මේක වගකීමෙන් ලියූ කවියක්
ප්‍රියන්ත කොඩිප්පිලි

ප්‍රියන්ත කොඩිප්පිලි විසින් රචනා කළ ‘කොඩි’ නවතම කෘතිය ජනගතවීම මෙම ජූලි මස 31 අඟහරුවාදා දින සවස 3.00ට, කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ‘සුරස’ ප්‍රකාශනයක් වන මෙම කෘතිය ෆාස්ට් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණයකි. මෙම සංවාදය ඒ නිමිත්තෙනි.
සංවාදය – ෂර්ලි සමරසිංහ

‘කොඩි’ කාව්‍ය සංග්‍රහයේ තේමාව මොකක්ද?

ෆේස් බුක් එකට ලියපු හතරපද කවි ගොන්නක් තමයි පොතට එකතු කරලා ‘කොඩි’ කියන නමින් පොත නම් කළේ.
විශේෂයෙන් මේක සයිබර් අවකාශය තුළ නිර්මාණය වෙන්නේ. මොකද වඩාත් ජනප්‍රිය සහ බොහෝ දෙනා ඇසුරු කරන්නේ මේ සමාජ අවකාශයයි.
ඒ නිසයි මේ වැඬේට එය පාවිච්චි කළේ. එහි තවත් පියවරක් විදිහට තමයි ආපහු අච්චු අකුරුවලින් පොතක් විදියට එළියට එන්නේ.

කෘතියේ අඩංගුව කොහොමද?

ඇත්තටම මේ කවිවලට අඩංගු වුණේම අපි ජීවත් වන සමාජ, සංස්කෘතික කලාපයේ කැපී පෙනෙන වැඩ කරපු යම් යම් ක්ෂේත්‍රවල වැඩක් කරපු පුද්ගලයන්ගේ සංස්කෘතික ක්‍රියාකාරී ජීවිත දිහා මං කළ එබී බැලීමක්. එහි මේ මොහොතේ සමාජයේ සිදුවන සමාජ, දේශපාලන කාරණා පිළිබඳ සෝපාහාසාත්මක ස්වරූපයක් දකින්නත් පුළුවන්.

මා අතින් ලියැවුණු ධනාත්මක වගේම ඍණාත්මක කාරණාවල මගේ අදහස තමයි මෙහිදී මා මුදාහැරියේ. ඒ වගේම විවේචනය කිව්වොත් හරි,
ඔබ කරන පුද්ගලික මට්ටමේ විවේචනත් මෙහි තිබෙනවා.

මේ කවිවලට විවිධ වර්ගයේ ප්‍රතිචාර ආවා. හොඳ සහ නරක දෙකම ඒ අතර තියෙනවා. මේ වැඬේ සම්බන්ධව සමාජය දක්වපු අදහස් හා ආකල්ප කවිය අන්තර්ගත ෆේස් බුක් පිටුව තුළ ප්‍රතිචාර ලෙසින් කියවිය හැකියි.

ඒ කවිවලට අදාළ බොහෝ පුද්ගලයන් බොහෝවිට සුබවාදීව සිටි අවස්ථා තියෙනවා. ඇතැම්විට ඇතැම් කවිවලින් හිත රිදවාගත් අවස්ථාත් තියෙනවා.
ඒත් මේ කවි අදාළම නැති බොහෝ පිරිස් මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වලා තියෙනවා. මම හොඳ කියද්දි උද්දාමයට පත්වීම හෝ නරක ප්‍රතිචාර ලබද්දී සැලෙන්නවත් ගියේ නැහැ. මං පොඩි වැඩක් කළා. ඊට පස්සේ පසෙකට වී බලාගන ඉන්නවා. සමාජයේ බොහෝ දෙනා කතා කරන දේ සම්බන්ධව ඔවුන් මතුකරන කාරණා සම්බන්ධව එහිම සංවාද ප්‍රතිසංවාද ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන් දේශපාලන කාරණා සම්බන්ධයෙන්.
මෙතනදි මං කිසියම් සංවාදයකට මුලපුරන්න දායක වූ අවස්ථාත් තියෙනවා. කොහොම නමුත් විශාල ප්‍රතිචාරයක් මේ සම්බන්ධයෙන් මා ලැබුවා. ඒ සියල්ල දිහා මැදිහත් සිතිනුයි මා බලන්නේ.

සමාජ මාධ්‍යයට මුදාහැරිය අදහස් (කවි) යළි හකුළුවා ගත් අවස්ථා තිබුණාද?

නැහැ. ඒ වගේම පළ කළ අදහසක් නැවත සංස්කරණය කරන්නත් මා උත්සාහ කළේ නෑ. මොකද මම මේ වැඬේ කරන්නේ දවසකට එක් කවියක් පළ කරන්න ඕනෑ කියන අදහසින් නෙවෙයි.

මා අතින් පුද්ගලයකු ගැන සිදුවීමක් ගැන කිසියම් කාරණාවක් ගැන මගේ අතින් ලියවෙන්නේ ඉතාමත් කල්පනාකාරීව. ඒ වගේම හොඳින් හිතලා. ඒ නිසා ඒ කවිය ඇතුළේ මම ගොඩනගනවා තර්කයක් විශේෂයෙන්ම දේශපාලන කාරණාවලදී. ඒ සම්බන්ධයෙන් ලියන දේවල් පෙරළා ප්‍රශ්න කරනවා නම් මටත් ඒවාට මුහුණ දෙන්න පුළුවන් පසුබිම සලකලාම තමයි මම කවිය පළකරන්නේ.

ඒ නිසා කිසිම විටෙකත් මා කවිය නැවත සංස්කරණය කරන්න උත්සාහ කරලා නැහැ. හැබැයි මේ කවිය පළවුණාට පසුව ඊට එකතුවන සංවාදය සමග තවත් කාරණා එකතුවෙන්න පුළුවන්. මෙතනදි මා දකින කෝණයෙන් කිසියම් කාරණයක් පිළිබඳ පුද්ගලික අදහසකින් තමයි මගේ විග්‍රහයක් වන්නේ. වෙනත් කෙනකුට වෙනත් අදහසක් තියෙන්න පුළුවන්.

අපි හිතමු උදාහරණයකට අපේ රටේ සංඝ රත්නය ගැන ලියපු කවියකට දෙකකට දැඩි සංවාදයක් ඇතිවුණා. එතනදි මට විරුද්ධව ප්‍රතිචාර රාශියක් පෙළ ගැහුණා. ඒත් එයට බරපතළ විදිහට පිළිතුරු දෙන්න මා උත්සාහ කළේ නැහැ.
මගේ පැත්තෙන් වෙනත් ආකාරයකට මැදිහත්වීමක් අවශ්‍යයි කියලා එහිදී මට දැනුණා නම් මං මැදිහත් වෙනවා.

ඒ කියන්නේ?

මේක මගේ වැඬේ ඒ තුළ මං යම්කිසි සිද්ධියක් කවිය ඇතුළේ විවේචනය කරනවා වගේම මගේ අදහස එළියේ තව කෙනකුට විවේචනය කරන්න පුළුවන්. ඒක මට ඉවසන්න පුළුවන් වෙන්න ඕනෑ කියලයි මං හිතන්නේ. මොකද මම කරන විවේචනය යම්කිසි කෙනෙක් උහුලන්න සූදානම් වගේම එළියෙන් එන ඕනෑම විවේචනයක් ප්‍රතිචාරයක් උහුලන්න මට නම් හොඳ ශක්තියක් තියෙනවා. මම කොයි වෙලාවකදී කවුරුන් හෝ කියන මාතෘකාවකට කවියක් ලියන්න උත්සාහ කරන්නේ නැහැ, මේක ඉතාම කල්පනාකාරීව කරගෙන යන වැඩක්.

ඔබේ භාෂා භාවිතාව සම්බන්ධව මෙහිදී කතා නොකර බැහැ. ආකෘතිය අතින් වෙනසක් කරන්න ඔබට කිසියම් අවශ්‍යතාවක් පැවතියාද?

ඇත්තටම මේ විදිහේ වැඩක් ෆේස් බුක් එක ඇතුළේ මීට කලින් කෙරිලා තිබුණේ නැහැ. මං මේ වැඬේ පටන්න ගන්න කොට.
මට හිතෙන විදියට මේ වැඩෙන් පස්සේ බොහෝ දෙනෙක් මේ වැඬේ අනුකරණය කරන්න ගත්තා. මගේම කවියට යටින් කවිවලින් උත්තර දෙන රැල්ලක් ඇතිවුණා. ඒ දෙකම ඉතාම හොඳයි. මගේ වැඬේ අබිබවා යනවා නම් ඊටත් වඩා හොඳයි.
මේ සිව්පද කවි ජ්‍යෙෂ්ඨ කවියන් බොහෝ දෙනෙක් හරඹ කරපු කවියක්. කොළඹ යුගයේ කවියා ගත්තත් පැරණි සංදේශ කාව්‍ය ගත්තත් එළිවැට, එළිසමය කියලා හැඩ කරපු කවි පිළිවෙළක් අපිට තියෙනවා.

ඒවා බොහෝ වේලාවට ඇසුරු කරලා තිබුණු ගනුදෙනුව හේතුවක් වෙන්න ඇති. මගේ අතින් මේ විදිහේ වැඩක් සිද්ධ වෙන්නේ.
මේ ලිවීම් ගැන වගකීමක් දැනෙන්න ගත්තේ කොහොමද?

ඇත්තටම මේකට ගේන දේවල් සම්බන්ධයෙන් වගකීමක් හැදෙන්න ගත්තා. මට මේක ඇතුළේ ඕන විදියකට පිස්සු කෙළින්න බැරි තත්ත්වයක් ආවා. හැබැයි මට කොටුවක් ගහගෙන මං මේ විදියට සභ්‍ය වෙනවා වගේ එහෙම තැනක මං හිටියේ නෑ. භාෂාවේ තියෙන ඕන වචනයක් මට ඕනෙ නම් මගේ කවියට ඕන තැනකට මං පාවිච්චි කරනවා. ඒ සම්බන්ධයෙන් මට බාධක දාගෙන නැහැ. උදාහරණයක් ගත්තොත් මෑතකදී ගුවන්විදුලි වැඩසටහනකදී නිවේදිකාවක් මගෙන් ඇහුවා මගේ කවියක් දැකලා ‘බඩු බනිස්’ වගේ වචනයක් කොහොමද කවියට ගෙනාවේ කියලා.
ඇත්තටම මම ඒ වචනය පාවිච්චි කළේ අයිවෝ ඩෙනිස් ගැන ලියපු කවියකට. කෙනෙකුට හිතෙන්න පුළුවන් අයිවෝ ඩෙනිස් වගේ ජ්‍යෙෂ්ඨ කලාකාරයෙක් ගැන ලියපු කවි පද හතරකට කොහොමද මෙවැනි වචනයක් ගේන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වපු කිසිම කෙනකුගෙන් විරෝධයක් ආවේ නැහැ. ඒ වගේම මම හිතන්නේ ඉතාමත් සුදුසු තැනකට ඒ වචනය මම ගාල් කළා කියලා.

එදිනෙදා පාවිච්චි කරන බරපතළ සිංහල වචන වගේම ඕනෑම සමාජ පදාසයක භාවිත වන වචන මම භාවිතයට ගන්නවා. ප්‍රාදේශීය ව්‍යවහාර බස වගේම නාගරික සමාජයේ නියෝජනය වන භාෂා ව්‍යවහාරයත් මගේ කවිය තුළ ස්ථානගත වනවා. මේ වැඬේ සීරියස් වැඩක් විදිහට කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතනදි මම සවිඥාණිකයි. මොකද මේ වැඬේ පටන් ගත්ත කාලයට සාපේක්ෂවයි.

ඔබේ කවිය සංක්ෂිප්තයි. විටක පද පේළි දෙකකින් ඔබ නවතිනවා?

මට එහෙම හිතුණොත් මේකට පද පේළි දෙකක් ඇති කියලා ඒක දෙකම තමයි. මට හිතුණොත් තව පද පේළි දෙකක් ඕනෑ කියලා හතරපද පෙළකට යනවා. ඒ නිසා මම හිතන දේ සහ සමහරවිට චරිත විග්‍රහ කරන්න මට පද පේළි දෙකක් හොඳටම ඇති. ඒ නිසා බොහෝ දෙනා අහනවා දැවැන්ත චරිතයක් පද පේළි හතරකින් තලාගන්නේ කොහොමද කියලා. ඉතාම අමාරු වැඩක් නේද කියලා. ඒ නිසා මට ඕන වුණොත් පද පේළි දෙකටත් තලනවා.

ඔස්ටින් මුණසිංහ සංගීතඥයා ගැන මම ලියූ කවිය පද පේළි දෙකයි. එතැනින් එහාට මට ඔහු ගැන කියන්න වෙන දෙයක් නැහැ. ලියවිල්ලේ ප්‍රමාණ්‍ය ගැන කියද්දී මට කියන්න තියෙන්නේ කවියේ හැඩය වගේම ප්‍රමාණයත් වැදගත් නැහැ කියලා. කියන දේ තමයි කවියක වැදගත් වෙන්නේ.