රාවය

මුරුංගාණ්ඩුව

මුරුංගාණ්ඩුව

ශාන්ති දිසානායක

අප්පල්ලයක දැලි ඉවත් කර දමන්නට දෙහි බෑයක ඉස්ම මුසු කළ අළු සමත් වන්නා සේ මුත්තම්මාගේ මුහුණේ ඇඳිරිය අකා මකා දැමූ පියරු ඇබින්ද සියුම් සුගන්ධයක් ද විහිදුවයි. ළමිස්සියන් එක්ක හරි හරියට පොර බදා පමණට වැඩියෙන් පියරු උලාගෙන හුන් කෙල්ල කාටත් කලින් පොඩි ට්‍රැක්ටරයට නැංගාය. තාරාවියන්ද මොණරියන් ද සිහි ගන්වමින් ඇදී ආ බවලත්තු පළමුව ඔසරි පොට ඉඟටියේ රුවා ගත්තෝය.
“මාත් එනවා.” යි කොල්ලා නහයෙන් ඇඬුවේය.
“නෑ නෑ ඕන් නැ….. දැනුත් කට්ටිය වැඩියි. ආයේ ගමක සෙනග සේනාව යනවැයි මනමාලියක් බලන්ඩ.” යි විරෝධය දැක්වූයේ කිරි අම්මා මිස ලොකු මාමා නොවේ.
මේ සුබ ගමන වෙනුවෙන්ම මසන ලද ජාතික ඇඳුමින් සැරසුණු තරුණයා මැඩගත් කෝල සිනාවකින් යුතුව ට්‍රැක්ටරයට නැංගේය. ඔහුට ද එය අපහසුවකින් තොරව රැගෙන යාමට හැකි වුව ද “මනමාලයා ආයේ මොකටද මේ යකඩ කඳත්තෙක්ක ඔට්ටු වෙන්නේ…..නිස්කාංසුවේ ඉඳගෙන යනවා මිසක්කා.” යි කී ගල් වංගුවේ බාප්පා පොඩි ට්‍රැක්ටරය පැදවීමේ අසීරු කාර්යය බාරගත්තේය.
ගමන් අරඹද්දීම සාධුකාරයක් දුන්නේ ලොකු මාමාගේ ලේ නෑයෝය.
“වට වන්දනාවේ යනවා නෙවේ බොලල්ලා. හැමනෙන්ඩ ගෑනියෙක් ගේන්ඩ යද්දීත් ආයේ සාධුකාර දෙන්නේ තොපිට ඔල්මාදෙද…..?”
ගල් වංගුව ලබ්බ ගලේ ගහන්නා වගේ කී නොහොබිනා කතාවෙන් බවලතියන්ගේ මුහුණු එළිය කළ පියරු පවා අතුරුදන්ව ගියේය. මොහොතක නිහැඬියාවක් පැතිරිණ. ට්‍රැක්ටරයේ හඬ වඩාත් හොඳින් ඉස්මතු විය. මඟින් මඟ බිඳෙන් බිඳ මැඩගත් සිනා එක්වරම පිපිරී ගියේය. පුංචි අම්මලා කිරි අම්මලා ඒ හැටි හිනැහෙන්නේ මන්දැයි වටහාගත නුහුණු කෙල්ල කට ඇරගෙන බලා සිටියාය.
“මෙතන මේ පොඩි එකකුත් ඉද්දී ගල් වංගුවේ අයියා කියන කතා…..” යි එකියක් චෝදනා කළේ ද හිනැහෙමිනි.
“පොඩි උං මොකට එක්කාසු කරගත්තා ද ලොකු උංගේ ගමන්වලට.?”
ඥාතියෙක් නොමනාපයෙන් කී කල කෙල්ල තැති ගත්තාය. ඔහු තමා ට්‍රැක්ටරයෙන් බිමට ඇද දමන්නට බැරි නැතැයි බියෙන්ද තැතියෙන්ද වෙව්ලා යමින් සිය සියඹලාවේ පුංචි අම්මාගේ ඇකයේ මුහුණ හොවා ගත්තාය. කපුරු සුවඳත් ඒ ඇත්තිගේ රනින් බබළන අතත් එකට එක්ව කෙල්ල අස්වසාලූ ගානය.
“කඬේ අයියාගේ කෙල්ල….හරී ආසයි ට්‍රැට්ටරේ යන්ඩ….”යි තවත් ඥාතීවරියක කෙල්ල වෙනුවෙන් වග උත්තර බැන්දාය. දෙමංසලක දැවැන්ත නුග ගස අද්දර වාහනය නතර කෙරිණි. භාවනායෝගී තාපසයකු සිහි ගන්වන නුග ගස මත ඇලුණු ඇසින් කෙල්ල බලා සිටියේ ඉහළට ගත් හුස්ම පහළ හෙළන්නට පවා අමතක කර දමමිනි. මේ සා විශාල වෘක්ෂයක් ඇය මින් පෙර දැක නැත්තේය. ගමේ දේවාලයේ නුග ගස මීට වඩා ළාබාලය. කෙසඟය. මනුස්ස ඇසක් හිතක් එළිය කරන තරමට මේ නුග ගස මහළුය. ප්‍රෞඪය. සක්වල නිසල රහස් කැටි කරගත් ලෙසින් උඩඟු බැල්මක් හෙළන්නාක් බඳුය. මනමාලිය බලන්නට යාම පසෙක තබා මෙ මහළු තවුසා සමඟ පයුරු පාසානයකට පවා කෙල්ල ලක ලෑස්ති වූවාය. බියෙන් තැති ගන්වන අතරේම තමන් වෙත කෙනකු ඇද ගන්නා තරමේ ආකර්ශනයක් ද ඒ දැවැන්තයා වෙත විය. භීතියෙන් සසල කොට පලවා හරින්නට ද, අනුපමේය අනුරාගයෙන් මන්මත් කරන්නට ද එකම වස්තුවකට හැකි වීමම අරුමයක් නොවේ ද? හොඳ හැටි මහළු බව පෙනෙතත් විනාශයට හා අවසානයට තවත් අනන්ත අප්‍රමාණ කාලයක් ඇතැයි නිහඩව කියාපාන රූස්ස වනස්පතිය වෙතින් මේ අරුමෝසම් කණ්ඩායම ඉවත් වූයේ නිහඬව හා බිය රැඳි දෙනෙතිනි. පොළොවෙ රහස් සොයන අටියෙන් කිඳා බසින්නට නොඉවසිලිමත් වන නුග අරළු මත ඇළුණු ඇසින් පසුවූ කෙල්ලට ට්‍රැක්ටරය යළි පණ ගන්වන හඬ පවා නොඇසින. ඇය අඟුටුමිට්ටියක වාගේ කුඩාවට හිටගෙන ඒ උසම උස මහළුම මහළු වෘක්ෂය වටහා ගන්නට වෑයම් කළාය.
කොච්චරවත් කොමල වටා හදන, ගංගොඬේ බඩ ගැබ්බර වූ එකියක් නෑර සොයා ගොස් බෙදන කොමලි කුඩම්මා ගිරිය යටින් කෑ ගෑවේ ට්‍රැක්ටරයේ නැගී ඉන්නා සනුහරේ උං එකවරම යක්ෂ, ප්‍රේත, පිසාච වෙස් ගත් කලෙක පරිද්දෙනි.ඇගේ නම කවරක් වුව ද කවුරුත් දැන සිටියේ ද ආමන්ත්‍රණය කළේද, කොමලි යනුවෙනි. හරියට පෝයෙන් පෝයට බිබික්කං හදන බිබික්කං අක්කා වගේය. උන්දැගේ හරි නමද දන්නා කෙනෙක් නැත්තේය. බිබික්කං අක්කා කී කළ නොදන්නා කෙනකුත් අහළ ගං හතකවක් නැතුවාට සහතිකය.
මංගල ගමනක් යාමේ ප්‍රීති ආඩම්බරයෙන් දැවෙමින් හුන් ගල්වංගුවේ තව ඩිංගෙන් ට්‍රැක්ටරය පෙරළා ගන්නේය. ඒ තරමට ඔහු ද කළබල විය.
ඇයි…? මොකද….? මොකද වුණේ….?
පිරිස එක්වන්ව එක හඬින් ඇසූ කළ උත්තරක් දී ගන්නට බැරි තරමට කොමලි කුඩම්මා තක්කු මුක්කු වී සිටියාය. ඇය තවදුරටත් පිහිට නොවෙන කට අමතක කර දමා අත දිගු කළාය.
“කොයි? කොයි කෙල්ල?” යි ඒ විගසම නොවැටහුණ ද පිරිස අතර කෙල්ලගේ කෝටු මෝටු පංචස්කන්දය නොදැකීමෙන් තිගැස්සුණු මුත්තම්මා මුර ගෑවේය.
ඕක නවත්තපියෝ…..නවත්තපියෝ….. අපේ කෙල්ල නැතුවා….. දෙයියෝ මයෙ කෙල්ල…”
ඒ මැහැල්ල තුළ සිය මී මිනිබිරිය වෙනුවෙන් ඒ සා ආදර කරුණාවක් ඇතැයි කාට කාටත් පසක් කර දුන් මංගල ගමන මොහොතකට වේදාන්තයක් විය.
ගිනි වෙනුවට දුම පිට කරන මකරකු මෙන් ඇදී ගිය ට්‍රැක්ටරය සැනෙකින් නිහඬ විය. නිසල විය.
ඉස් ඉස්සෙල්ලාම එයින් බිමට පැන ගත්තේ කාටත් වඩා මහළු වුව ද සවි ශක්තියෙන් හීන නොවූ මැහැල්ලය. ඇය අනුගමනය කරමින් කොමලි කුඩම්මාද බිබික්කන් අක්කා ද සාරි ඔසරි උස්සාගෙන නුග ගස කරා දිව යන්නට වූහ.
අන්තිමේදී ඒ දෑතින් බදාගන්නට බැරි තරමට විසල් නුග කඳ තුළට රිංගා ගන්නට සිහින් සිදුරක් පැල්ලක් හොයන්නාක් මෙන් දෑස අයාගත් කෙල්ල වට කර ගත් තරුණ, තලතුනා හා මහළු බවලත්තු “චුට්ටියේ” යී බෙරිහන් දුන්හ. තිගැස්සුණ කෙල්ල ඒ විමතිය ද සංවේගය ද වටහාගත නුහුණුව වහ වහා ඇසිපිය සැළුවාය. ඇසිපිය නොහෙළා බලා ඉන්නා ඇස් දහයක දොළහක හිරිහැරයෙන් පීඩා වින්දාය.
“ඇහුනෙම නෑ ට්‍රැක්ටරය යනවා?”
බිබික්කන් අක්කා කඩා පැන්නාය.
“දැක්කෙම නෑ අපි යනවා?”
මල්වැල් එල්ලා හැලෙන ඇහැල ගහක් වාගේ රුවින් දිලුණද පළිඟු මැණිකා නැන්දම්මාගේ උච්ච ස්වරය ඕනෑම දෙකනක් රිදවන තරමට කර්කෂය. ගොරහැඩිය.
“එන්ඩෝ….. එන්ඩෝ…..”
ගල්වංගුවා හඬගාන්නේ නොඉවසිල්ලෙන් වගේම නොරිස්සුමිනි.
“මෙතෙන්ටම හරි කාලේ ….අනිච්චේ දුක්කේ සංසාරේ….”
මුත්තම්මා සුපුරුදු පරිදි සංසාරය සිහි කරමින් ඉස්සර වූවාය.
“මෙතනම තැපලා හරියනවෑ….. තව කොතෙක් දුර යන්ඩද අප්පේ…..”
“අර මිනිස්සු දාවලට උයා පියාගෙන මඟ බලාගෙන ඇති. යං….යං….”
කට්ටිය ට්‍රැක්ටරයට නැග්ගේ පෙර නොවූ විරූ කඩිසර කමකිනි. කවදාවත් නැතිව හැඩ වැඩ වූ ඉලංදාරියා නම් රස මිහිරෙන් අනූන බත් වේලකට වඩා රුසිරියෙන් දිලෙන මනමාලියක දැක බලාගන්නට නොයිවසිලිමත්ව නළියන්නාක් මෙනි.
“කෙල්ල තනි වුණා නේද අප්පේ එක ඩිංගකට හරි….”
ට්‍රැක්ටරයේ ගෝරනාඩුව පරයා කතා කිරීම පහසු කාර්යයක් නොවේ. මුත්තම්මාගේ බිය රැඳුණු ඇස් මී මිණිබිරියගේ කෝටු බෝටු සිරුර පුරා සක්මන් කරයි.
“ගිනි මද්දහනේ…..මහ නුගේ ගාව…. හැබෑටම මේකිට නූලක් මතුරෝලා දාන්ඩ වෙයිද අක්කණ්ඩි?”
පළිඟු මැණිකා නැන්දම්මා අහන්නේ ඇස්ගෙඩි උළුප්පා ගනිමිනි.
“කෙල්ල ඉන්නෙත් තක්කු මුක්කු වෙලා වගේ…..”
කොමළි කුඩම්මාගේ උකුසු ඇස්ද කෙල්ලගේ පංචස්කන්දයේ ඇඳී ඇළි ගැලී ඇතුවාක් වැන්න. ඒ අසිරිමත් වනස්පතියේ මහිමය හිතකින් හිතලා හමාර කරන්ට බැරි බව තේරුම් ගන්නා වාගේ කෙල්ල ඇසිපිය සැළුවාය. එය පවා කෙල්ලගේ තනිකම් දෝෂය කියාපාන බලගතු සාධකයක් ලෙස විශ්වාස කළ බවලත්තු හූල්ලා වැටුණෝය. මේ හැත්ත බුරුත්ත අස්වසාලන්නට තමා මුව විහිදා සිනාසිය යුතු ද නොඑසේනම් ඇස් ගෙඩි නෙරවා තවත් බය බීත කළ යුතුදැයි කෙල්ල මඳක් සිතා බැලුවාය. ඇය කොතෙක් තක්කඩි වීදැයි කිවහොත් ඒ හැටි කරදර නොවීම මේ සාර සුභාවට හැඳ පැළඳගත් සනුහරේ උං කෙරෙහි මඳ දයාවක් හෝ නැතිවම ඇස් දොට්ට දමාගෙන හිස කරකවන්නට පටන් ගත්තාය.
සාරි ඔසරි කොණ්ඩා අගස්ති මාල අමතක කර දැමූ ගැහැනු මහ හඩින් කෑ ගසන්නට පටන් ගත්හ. ගල් වංගුවා මහත් වෙර වෑයමෙන් ට්‍රැක්ටරය නවතා ගත් අතර මනමාලයා හනිකට ටේලරයට පැන්නේය.
“ඇයි මොකද? මොකද වුණේ?”
නොනවත්වා හිස කරකවන කෙල්ලම මිස එකියක හෝ ඔහුට උත්තර නොදුන්නාය.
“දෙයියෝ සාක්කි….” යි විස්මිත රාවයක් නැංවූයේ ගල් වංගුවාය.
“ය….යකෙක් වැහිලා…. යකෙක් වැහිලා….”
බිබික්කං අක්කා අඬා වැටුණාය.
කෙල්ල දෑතින් උස්සාගත් මිනිසා පාරට පැන්නේය. බයිසිකලයක් නැවතුණේද ඒ මත නැඟී හුන් තරුණයාගේ දෙනෙත විමතියෙන් පුළුල් වූයේත් මේ මොන විජ්ජුම්බරයක්දැයි තේරුම් බේරුම් කරගත නොහැකිව වාගේය.
“කට්ටඩියෙක් කිට්ටුවපාතක ඉන්නවාද?”
හිස සැලි ආගන්තුකයා බයිසිකලය හරවා ගත්තේය. කෙල්ල දෑතින් ගත් ගල් වංගුවා බයිසිකලයේ පසුපස හිඳ ගත්තේ ය. කළයුතු යමක් නිශ්චිතව නොදත් මනමාලයා මඳක් දුර ඒ පසුපස දිව්වේය.
“ඔය ගෑනු රොත්ත පාර දිගේ දුවගෙන එයි. සේරෝම දාගෙන ට්‍රැක්ටරේම වරෙං…..”
ගල් වංගුවා මහ හයියෙන් අණ කළෙන් ඔහු ආපසු හැරුණේය.
කට්ටඩියාගේ පත රැවුලට කෙල්ල බිය නොවුණා නොවේ. එහෙත් කොණ්ඩා රැවුල් වවාගත් කට්ටඩියන් ඇයට අරුමක්ද නොවේ. ඩිංග වැරදී ගිය තැන මුත්තම්මලා කිරි අම්මලා අම්මලා දුවන්නේ ඒ රැවුල් කරයෝ කරාය. කෙල්ල කොයි කවදත් ඒ දිගින් පළලින් අඩු වැඩි රැවුලින් රැවුලේ එල්ලී හීන මවන බව අමුතු අමුතු කතා ලතාදිය ගොතන බව කිසිවෙක් නොදත්හ.
මේ පත රැවුලාට කෙල්ල බිය වූයේ තමාගේ ව්‍යාජ රංගනය දැන හැඳින ගනු ඇතැයි සැකයෙනි. එහෙත් ඇටිකිච්චන් කෙල්ලකගේ තකතීරුකම වටහාගන්නට තරම් හෙතෙම බලසම්පන්න නොවීය. කෙසේ හෝ වේවා ජීවම් කළ නූල කරලෑමෙන් සුවපත් වූ කෙල්ල බාර ගනිමින් මුත්තම්මා කට්ටඩියාට ද බයිසිකල් කාරයාටද ගල් වංගුවාදට පිංපෙත් පැමිණෙව්වාය.
දිවා බත බුදින වේලාව ඉක්මවා ගියද මනමාලයා ඇතුළු පිරිස මහත් ගෞරවාදරයෙන් පිළිගන්නට මනමාලියගේ හැත්ත බුරුත්ත වග බලාගත්හ.
කෝල මනාවෙන් මුහුණ රතු කර ගත් මනමාලිය දෙස කෙල්ල ඇසිපිය නොහෙළා බලා සිටියාය. තමා ද අනාගතයේ එළඹෙන දවසක මව් උකුළ පළල් වී දෙතන මෝරා වැඩුණු පසුව බුලත් හෙප්පුවක් දෑතින් ගෙන මැද සාලයට පියවර මනින හැටි සිහි කළාය.
ක්‍ෂුධා ගින්දරේ දැවි දැවී හුන් පිරිස බුලත් හෙප්පුවක් නොව වතුර පිරුණු බන්දේසියක් බලාපොරොත්තු වූවාට සැක නැත. එක් කෙටි හා හදිසි බැලමකින් ද විළිබර හසරැල්ලකින්ද පස්සේ මනමාලිය යළි අතුරුදන් වූයෙන් කව්රුත් පුළ පුලා පුලා හුන් මොහොත එළඹිණ.
දුරු කතර ගෙවා නොපැතූ අතුරු අන්තරා ආදීයෙන්ද අඩුවක් නැතිව ගමනාන්තයට පැමිණි පිරිස කෑම මේසයට හිඳ ගත්තේ නොඉවසිල්ලෙනි. වට්ටි පෙට්ටිකා කෙසෙල් ඉරු අදියෙන් ආවරණය කර තිබූ බත් මාළු පිණි මත කෑදර ඇස් නතර විය.
කාගේ කාගෙත් බඩගින්නට කෝපයේ ද නොරිස්සුමේද ගිනිසිළු එක් වූයේ තසිමක් නෑර නොයෙක් ආකාරයෙන් පිස තිබුණේ මුරුංගා බව හදුනාගත් සැනිනි.
“මුරුංගා හොදි…..”
“මුරුංගා මදේ හූරලා හින්දලා”
“මුරුංගා තෙල් දාලා”
“ළපටි මුරුංගා හීනියට කපලා ඇඹුල හදලා…..”
“මුරුංගායි හාල්මැස්සොයි බැදුම”
වෙනස් ස්වර පරාස වලින් වුව කියවුණේ ඒ එකම නාමය. මුරුංගා….! මුරුංගා…..! ආහාර රුචිය සීඝ්‍රයෙන් පිරිහී යන අන්දමද විමතියෙන් හා කුකුසින් මෙන්ම නොරිස්සුමෙන්ද පපු කැනිති දැවෙන බවද කාට කාටත් වැටහිණි. ගෙය වටා උස්ව නැඟී හුන් සරුසාර මුරුංගා ගස් ගොන්න සලිත වූයේ සරදම් සිනා පාන්නාක් මෙනි.
“මදැයි කොළා…..”
ඒ උස් හඬ ගල් වංගුවාගේය.
එපරිද්දෙන්ම අද දවසේ ද අප කාට කාටත් “මදැයි කොළා” යි පශ්චාත්තාපයෙන් කැකෑරෙන්නට සිදුව තිබේ. මේසයක් පුරා තසිම් අරා මුරුංගා පමණක් බැබළි බැබළී තිබුණා වාගේ මේ යහපාලන රජය ද පසුගිය කාලය මුළුල්ලේම වැඩි වැඩියෙන් පෙන්නුම් කරන්නේ නොහැකියාවය. අසාර්ථක හා අසමත් බවමය. ඒ මදිවාට ඇඟ කිලිපොලා යන දැවැන්ත හොරකම් ය. වංචා දූෂණය. දූෂණය පිටු දකින්නය බලයට පැමිණි රජයක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පවා අල්ලස් දැලට කොටු වන කළ මහජනයා හිනැහිය යුත්තේ මුඛයෙන් නොව අධෝ මුඛයෙන් නොවේද?
ඒකාධිපති පාලකයන් වෙනුවෙන් දකුණ මෙන්ම උතුරද ආශක්ත වන කළ උතුරට පස් පඩංගුවේ බැණ වදිනවාට වඩා එවන් තත්ත්වයකට ඒකාධිපති පාලකයන් ඉල්ලා හඬ නගන තත්ත්වයකට රට පත් කරන්නට මහත් සේ ඇප කැප වූ මේ රජය තම වරද නොදකින්නේ මන්ද? පසුගිය කාලය තුළ යම් යම් සාධනීය වැඩ කටයුතු පවා ක්‍රියාවට නැගුණේ හුදෙක් රජයේ සත්භාවයෙන් නොවේ. ඒවා නොකර බැරි තැනට කටයුතු යෙදුණු නිසා මිසක.
හිට්ලර් ඉල්ලා දකුණද, ප්‍රභාකරන් ඉල්ලා උතුරද හඬනගන්නේ මන්දයි තේරුම් බේරුම් කර ගන්නවා වෙනුවට ඒ ඒ වචන වල එල්ලී හුදු වාග් සංග්‍රාමයන්හි නිරත වීමෙන් පලක් නොවේ. සියලුම අවුල් හා විපරීත විකෘති සහගත තත්ත්වයන් පවතින බව වටහා ගනිමින් සැමට එක ලෙසින් නීතිය ක්‍රියාත්මක වන නීතිගරුක හා විනය ගරුක රටක් නිර්මාණය කර ගන්නට වෙහෙස විය යුතු බව යහපාලනය යන වචනයට ද අවමන් කරන මේ මුරුංගාණ්ඩුව දැන්වත් වටහා ගත යුතුය.