ආනන්ද කුමාරස්වාමි අධ්‍යාපනය පිළිබඳ පළ කළ අදහස් හා අපේ භාෂා ප්‍රශ්නය

සම්පත් බණ්ඩාර

“භාෂාවන් හැදෑරීම උදෙසා අප දැනට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතුය. ඉංග්‍රීසි භාෂාව, ඉතිහාසය සහ සාහිත්‍යය ලංකාවේ උගන්වන්නේ ඉතාමත් අසම්පූර්ණ ලෙසය. දැනට ක්‍රියාත්මක වනවාට වඩා බෙහෙවින්ම උසස් ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුය. තවද සිංහල, දෙමළ යන ඉමිහිරි ලාංකේය භාෂා හා ඒවාට අනුරූපව පවත්නා සංස්කෘතීන් පිළිබඳ අධ්‍යාපනය නොසලකා හැර තිබේ. පාසල් අධ්‍යාපනය නිම කිරීමේ සියලු විභාගවලදීත්, ඉන්පසුව වෘත්තීය කාර්මික හා වෙනත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලදීත් ඉංග්‍රීසි මෙන්ම ලාංකික භාෂා හා සංස්කෘතීන් පිළිබඳ එක සමාන අධ්‍යාපනය හා දැනුම අනිවාර්ය කළ යුතුය….”

ආචාර්ය ආනන්ද කුමාරස්වාමි – කලාව හා ස්වදේශිකත්වය
(Dr. Ananda Coomaraswami ‘Art and Swadeshi’ 1911)
ඉහත සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම විශ්ව සම්භාවනාවට පත්වූ පුද්ගලයා ලෙස සැලකෙන ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ මෙයට වසර එකසිය හතකට පෙර නිකුත් වූ ‘Art and Swadeshi’ (කලාව හා ස්වදේශිකත්වය) නම් කෘතියට ඇතුළත්ව ඇති ලංකාවේ අධ්‍යාපන අර්බුදය හා ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගැටලු සිය වසරකට පෙර කල්තියා දකිමින් ලියූ අතිශය වැදගත් ලේඛනයක කුඩා කොටසක සිංහල අනුවාදයයි.

ඉන් දශක කිහිපයකට පසු 1956 වසරේ සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වූ පසුව 1960 දශකයේ සිට ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් ලෙස නොසලකා හරිමින්, ඊළඟ දශකයේ සිට ඉතිහාසය හා සාහිත්‍යය පාසල් විෂය ධාරාවෙන් ඉවත් කරන ලදි. ලාංකේය භාෂා හා බැඳුණු සංස්කෘතික හර පද්ධතියද ඒ සමගම කෙමෙන් අභාවයට ගියේය. ආචාර්ය කුමාරස්වාමි මේ පිළිබඳ සඳහන් කරන යුගයට වඩා මේ අර්බුදයේ ‘සංස්කෘතිකමය පීඩනය’ දැනෙන්නේ අදය. ඔහු වසර සියයකට පෙර මේ ප්‍රශ්නය සියුම් ලෙස විනිවිද දුටු අයුරු විස්මයජනකය. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම පිළිබඳ සඳහන් කළ බවට සමාජගතවී ඇති (කර ඇති) බරපතළ විකෘතිය හා පට්ටපල් මුසාව මේ ප්‍රකාශයත් සමගම බිඳ වැටේ. (මේ පිළිබඳව මේ ලිපියේ අන් තැනෙක සාකච්ඡා කෙරේ.)

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ‘සරසවි පියසමර’ නමින් ලංකා විශ්වවිද්‍යාල චින්තනයෙහිලා පොන්නම්බලම් අරුණාචලම් භූමිකාව සහ වත්මන් සරසවි අධ්‍යාපනය පිළිබඳ කාලීන ලිපි පෙළක් රාවයට රචනා කළේය. මගේ මෙම ලිපියේ අරමුණ ඔහුට පිළිතුරක් සැපයීම නොව මෙම සංවාදය ඉදිරියට ගෙනයෑමේ ප්‍රවේශයක් ලෙස මේ කරුණ සම්බන්ධයෙන් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි දැක්වූ අද යුගයට අතිශය වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමය. ලාංකේය සරසවිය හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ආචාර්ය කුමාරස්වාමි දැක්වූ අදහස් සිය ඥාති සොහොයුරා වූ පොන්නම්බලම් අරුණාචලම් දැක්වූ අදහස් හා බොහෝ දුරට සමපාත වෙයි.

ලාංකේය විශ්වවිද්‍යාලයක් පිළිබඳ ‘Art and Swadeshi’ කෘතියේ එක් තැනක කුමාරස්වාමි දක්වා ඇති අදහස් මෙබඳුය.
“අපට අවශ්‍ය වනුයේ අපේම විශ්වවිද්‍යාලයකි. එය ජීවය අතින් වැඩි වශයෙන් යුරෝපීය විය යුතු අතර, ස්වරූපයෙන් යුරෝපීය විය යුත්තේ මඳ වශයෙනි. එක්තරා ප්‍රමාණයකට එංගලන්තයේ වුවද නූතන යුරෝපීය අධ්‍යාපනයේ ජීවය ජාතික මුහුණුවරකින් යුක්තය…”
කුමාරස්වාමිගේ මේ අදහස කේම්බි්‍රජ් හෝ ලන්ඩන් විශ්වවිද්‍යාලවල පාඨමාලා එලෙසින්ම ලංකා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම සඳහා ලංකාවේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පළක් නැති බවට අරුණාචලම් පළ කරන අදහසට සමානය.

කුමාරස්වාමි මෙම කෘතියේ විද්‍යා අධ්‍යාපනය පිළිබඳ දක්වන අදහස මෙබඳුය.

“බටහිර ලෝකයේ විද්‍යා විෂය තවදුරටත් යාන්ත්‍රික අධ්‍යයනයකට සීමා නොවී දර්ශනවාදී වී ඇත. පර්යේෂණ මෙන්ම නව සොයා ගැනීම් සමග ඉදිරියට යන චමත්කාර දනවන අධ්‍යාපන ක්‍රමයකින් තොරව කිසිදු ප්‍රයෝජනවත් අධ්‍යාපනයක් නොලැබෙනු ඇත….”
රටක අනාගතය භාරගැනීම පිණිස නායකයන් අවශ්‍යය, දක්ෂ, බුද්ධිමත් තරුණ නායකයන් බිහිකළ යුත්තේද අධ්‍යාපනය තුළිනි. ඒ පිළිබඳව ආචාර්ය කුමාරස්වාමි පවසන්නේ ‘අපට අවශ්‍යවන්නේ නායකයන් හැඩ ගැස්විය හැකි අධ්‍යාපන ක්‍රමයකි. නායකයන් හැඩගැස්වීම යනු අපම හැඩගැස්වීමයි.”
විශ්වවිද්‍යාලයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්වීය විද්‍යාලයක් විය යුතුය. කුමාරස්වාමි ඒ පිළිබඳ දරන අදහස මෙබඳුය. “අපේ විශ්වවිද්‍යාලය අපට පමණක් නොව ලොව නන් දෙසින් පැමිණෙන සිසුන්ට පෙරදිග ප්‍රඥා මහිමය ලබාදෙන ප්‍රාචීණ අධ්‍යාපන ආයතනයක් විය යුතුය…”
අපේ විශ්වවිද්‍යාල විදේශීය සිසුන්ගෙන් තොරය, ඒවායේ ලබාදෙනු ලබන්නේ ආසියාවේ කවර නොදියුණු රටකින් හෝ ලබාගත හැකි අන්දමේ සාමාන්‍ය මෙන්ම සාම්ප්‍රදායික අධ්‍යාපනයකි.

විභාග ඉලක්ක කරගත් ගිරාපෝතක අධ්‍යාපන ක්‍රමය, සාහිත්‍ය, ඉතිහාසය, නිර්මාණාත්මක රචනය නොසලකා හැරීම මෙන්ම විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන අදිසි දේශපාලන හස්තයන් සරසවි – භූමි සංස්කෘතික ආඝාත භූමීන් බවට පත්කරමින් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් වැනි ලාංකේය සරසවි පියවරුන් දුටු සිහින බොඳකර දැම්මේය. ශ්‍රීමත් අයිවර් ජෙනිංන්ග්ස් මේ රට සංස්කෘතික කාන්තාරයක් බව ප්‍රකාශ කළේ මෙයට දශක හතකට පමණ පෙරය. දැන් එය තවත් ශුෂ්ක නිරුදක කතරක් බවට පත්ව තිබේ. සරසවි සිසුන් යැයි කියූ විට දැන් අපේ මතකයට නැගෙන්නේ සාම්ප්‍රදායික සටන් පාඨ සමග මහපාරේ අරගල කරන, කැට සොලවමින් මහජනයාගෙන් මුදල් අයදින පිරිසකි. ඒ අතර සංස්කෘතික දරුවන් සෙවීම දුෂ්කරය. පසුගිය දශකයක කාලපරාසය තුළ රටට දැනෙන කලා නිර්මාණයක් කළ සංස්කෘතික මිනිසකු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිනොවුණු තරම්ය. (ඇතැම්විට මේ සීමාව දශකයෙන් ඔබ්බට බොහෝ ඈතට වුවද විහිදිය හැකිය.)
මා ආනන්ද කුමාරස්වාමි චරිතාපදානය රචනා කිරීම සඳහා සිදුකළ දිගු පර්යේෂණයේදී ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ කතා කළ අවස්ථා හමුවූයේ දෙකක් පමණි. ඉන් පළමුවැන්න ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා පැවති පළමු රැස්වීම සඳහා එවන ලද කෙටි එහෙත් අතිශය වැදගත් ලිපියයි. (මෙම රැස්වීම 1906 වසරේ ජනවාරි මාසයේ දිනෙක කොළඹ පිටකොටුවේ පුස්තකාල ශාලාවක පවත්වා ඇත) දෙවැන්න නම් 1911 වසරේ මදුරාසියේ ගනේෂ් ප්‍රකාශන සමාගම විසින් නිකුත් කළ ‘Art and Swadeshi’ නම් කෘතියට ඇතුළත් ‘Education in Ceylon’ නම් දීර්ඝ ලිපියයි. ආචාර්ය කුමාරස්වාමි සිය සුප්‍රකට ‘The Dance of Shiva’ කෘතියේ රචනා අතරටවත් අධ්‍යාපනය පිළිබඳ ලිපියක් ඇතුළත් කර නැත. ආචාර්ය කුමාරස්වාමි මේ කිසිදු තැනක ලංකාවේ අධ්‍යාපනය ස්ව භාෂාවෙන් සිදුකළ යුතුයැයි සඳහන් කර නැත. මෙම ලිපියේ මුල් ඡේදයේ සඳහන් පරිදි ඔහු ප්‍රකාශ කළේ දැනට වඩා බෙහෙවින් උසස් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ඇති කළ යුතු අතර, සිංහල දෙමළ භාෂා සමග බැඳී පවතින සංස්කෘතීන් පිළිබඳ බැඳීම අත් නොහළ යුතු බවත්ය. ආචාර්ය කුමාරස්වාමිගේ පුත් වෛද්‍ය රාම කුමාරස්වාමි ‘Art, Aesthetics and Philosophy’ කෘතියේ සඳහන් කරන අන්දමට තම පියාට භාෂා 36ක් ශබ්දකෝෂ පරිහරණයෙන් තොරව කියැවීමට, ලිවීමට හා කතා කිරීමට හැකිවී තිබේ. එවන් භාෂා ප්‍රාඥයකු සිංහලෙන් පමණක් අධ්‍යාපනය ලබාදීම පිණිස උනන්දුවේයැයි කිසිවිටෙකත් අපේක්ෂා කළ නොහැක. භාෂාව හා අධ්‍යාපනය පිළිබඳ මේ විශ්වීය පඬිවරයා පළ කළ අදහස් විකෘති කිරීමට භාජනය කරන ලද්දේ 1956 වසරේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් ලෙසය. 1954-56 වසරවල පළවූ ප්‍රධාන ජාතික පුවත්පත් පරීක්ෂා කිරීමෙන් මේ විකෘතිය සමාජ ගතවූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන් තොරව සිංහල භාෂාවෙන් ජාත්‍යන්තරය ජයගත නොහැකි බව ඉතා පැහැදිලි සත්‍යයකි. මේ අදූර්දර්ශී දේශපාලන තීන්දුවෙන් රටට වූ හානිය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ ඉතිහාසගත වරදෙන් කොටසක් මේ විශ්වීය ප්‍රාඥයා මත පැටවීම අපරාධයකි. පුදුමය නම් ඇතැම් විද්වතුන් අදත් මේ බරපතළ විකෘතිය පුනරුච්චාරණය කරමින් සිටීමයි. ලාංකේය අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් වැන්නන් දැක්වූ අදහස් ක්‍රියාවට නැංවිණි නම් අපේ භාෂා ප්‍රශ්නයද, ඒ ආශ්‍රයෙන් ගොඩනැගී ඇති සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලනික හා ජනවාර්ගික ගැටලුද බොහෝ පහසුවෙන් විසඳාගත හැකිව තිබිණි. එසේ වූයේ නම් තිස් වසරක් ඇදී ගිය ලේ වැකුණු යුද්ධයක් ඇති නොවන්නටද ඉඩ තිබිණි.

ලාංකේය විශ්වවිද්‍යාලයක් හා එහි අධ්‍යාපනය කෙසේ විය යුතුද යන්න පිළිබඳ වටිනා අදහස් පළ කළ ආචාර්ය ආනන්ද කෙන්ටිශ් කුමාරස්වාමි ලංකා විශ්වවිද්‍යාලයක් බිහිකිරීමේ ව්‍යායාමය සිය ඥාති සොහොයුරන් දෙදෙනාට (පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්) භාරදී සිය විශ්ව ශාස්ත්‍රීය සම්ප්‍රදානයෙහි නිරත විය. ලාංකේය විශ්වවිද්‍යාල කළලය මෝරා වැඩෙන්නටත් පෙරම මේ ශ්‍රේෂ්ඨයෝ දෙදෙන දැයෙන් සමුගත්හ. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් 1924 වසරේදීද, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ඉන් සය වසරකට පසු 1930දීද මිය ගියහ. ලංකා විශ්වවිද්‍යාල චින්තනයේ පුරෝගාමීන් අතර පෙරටුගාමියා ලෙස ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් හැඳින්වීම නිවැරදි වන අතර, ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරෝගාමියා ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් බව අවිවාදිතය. (පොන්නම්බලම් අරුණාචලම් සහ පොන්නම්බලම් රාමනාදන් යනු ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ නැන්දණිය (පියාගේ සොහොයුරිය)ගේ පුතුන් දෙපළය.

(මෙම ලියුම්කරු, ‘ආනන්ද කුමාරස්වාමි – විශ්වීය මිනිසකුගේ ජීවිතය හා නිර්මාණ’, ‘ආනන්ද කුමාරස්වාමි – සංස්මෘති’ (සංස්කරණ), ‘ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් සහ පේරාදෙණිය සරසවිය’ යන කෘතීන්හි කතුවරයාය.)