ක්‍රීඩා නොකර ක්‍රීඩා කිරීම

ටිරන් කුමාර බංගගමආරච්චි

යකඩ පිළිස්සුණු ගෙදර පුළුන් ඉතිරිවන්නේ නැත. එබැවින් රටේ සමස්තයම අගාධයට තල්ලු වෙද්දී ක්‍රීඩාව පමණක් සුරක්ෂා විය නොහැකිය. අද දවසේ ක්‍රීඩාව ගැන කතාබහ එන්න එන්නම පිළුණු ස්වභාවයක් ගනී. එය පිළුණු වන්නට හැරියේ එය කරවන්නට භාර ගත් ඇමැත්තෝය. ඇමැත්තන්ට අත් උදව් සැපයූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලැග සිටින ඉහඳ පණුවෝ වන් නිලධාරීන්ය. මේ කාබාසිනි හැත්ත අදවන විට ක්‍රීඩාව නැත්තටම නැති කරමින් සිටිති. ඇත්ත එයය.

නොබෝදා කැබිනට් සාකච්ඡාවකදී අමාත්‍ය අර්ජුන රණතුංග සහ ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා අතර දැඩි වචන හුවමාරුවක් සිදුව ඇත්තේ ක්‍රිකට් විෂය සම්බන්ධයෙනි. අවසානයේ ජනපති මැදිහත්ව අර්ජුනට අවවාද කර ඇත්තේ ක්‍රිකට්වලට අත නොතබා තමන්ට අදාළ අමාත්‍යාංශයේ කටයුතු බලාගෙන පාඩුවේ සිටින ලෙසය. මීට සති කිහිපයකට පෙර අර්ජුන හිටපු ක්‍රිකට් සභාපතිවරු කිහිපදෙනකු සමග ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා හමුවී එළියට පැමිණ කීවේ තමන්ට විශ්වාස කළ හැකි ක්‍රීඩා ඇමති කෙනෙක් පැමිණ ඇති බවය. අද ඒ විශ්වාසයන් පුස්ස බින්ද ගාණය.

දයාසිරි ජයසේකර ඇදගෙන නාගත් පසු ක්‍රීඩා ඇමතිකමද අහිමි වූ නිසා ඒ තැන පිරවූයේ ෆයිසර් මුස්තාපාය. ඊට තාවකාලිකව ආදේශ කරමිනි. තාවකාලික පත්වීම පසුව ස්ථිර පත්වීමක් විය. ක්‍රීඩා ඇමති ලෙස ස්ථිර පත්වීම ගත් ෆයිසර් මුස්තාපා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවෙන්ම ලොකු චණ්ඩි රංගනයක් ඉදිරිපත් කළේය. හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඉවත් කළේය. අද ඔහු ඊට විරුද්ධව නීතිමය පිහිට සොයන බව සැලය. ඒ නිසා පළමු වැඩයම ෆයිසර් ඇනගෙන ඇති බවද ඉන්පසු ඔහු පියවරක් පසුපසට ගෙන ඇති බවද ආරංචිය. පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ කාබාසිනියකු වන ආර්.බී. වික්‍රමසිංහ ළඟ තබාගෙන ප්‍රශ්න කළ ඇමතිවරයා කල් නොයවා ඔහුට එරෙහිවද ක්‍රියා කරන බව මාධ්‍ය ඉදිරියේ රංගනයක්ද කළේය. අද මාධ්‍ය එකම දිනයක එකම විදිහට එකම ප්‍රවෘත්තිය මවමින් ආර්.බී. වික්‍රමසිංහ එලවන්නැයි ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලති. එය නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලගින තවත් හොරුන්ගේම වැඩක් බව පැහැදිලිය. වික්‍රමසිංහ එලවා ඒ තැනට එන්නට මාන බලන තවත් වික්‍රමසිංහලා ඕනෑතරම් සිටිති. මාධ්‍ය හවුල් වී ඇත්තේ ඒ කොන්ත්‍රාත්තුවටය. එය ඒ අයගේ වැඩකි. වික්‍රමසිංහ සමග අපට අතීතයේ සිටම ආරෝවක් තිබුණි. ඒ ඔහු එන එන ක්‍රීඩා ඇමතිවරුන් තමන් තරම් දන්නා කෙනකු නැතැයි පෙන්නා ඇන්දූ බැවිනි. දයාසිරි ජයසේකරත් වික්‍රමසිංහට ඇන්දුණේය. මුකුත් නොදන්නා ඇමතිවරු වික්‍රමසිංහලා වැනි චුට්ටක් දන්නා අය ඉදිරියේ අහුවීම සාමාන්‍යය.

ක්‍රීඩා ඇමති ලෙස පත්වන අය ක්‍රීඩාව ගැන දන්නේ නැත. ඒ අය ඒ ගැන ඉගෙන ගතයුත්තේ අමාත්‍යාංශයේ සිටින ක්‍රීඩාව භාර නිලධාරීන්ගෙනි.
ඒ අනුව වසර ගණනාවක් ඒ තැන්වල සිටින වික්‍රමසිංහලාගෙන් හැර ඒ ගැන අහන්නද අය නැත. එතැනදී ඇමතිවරු අනාථය. දයාසිරිට වූයේ එයය. අලි මදිවට හරක් කියන්නා සේ ඔහු වික්‍රමසිංහලාගේ ගොඩට ගියේ හොරුද ගෙනත් දා ගත්හ. ඒ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ මිල්ටන් අමරසිංහය. ලොකු වැටුපකට දයාසිරි ඔහුව උපදේශකයකු කර ගත්තේය. කලක් ඔහු ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය දරද්දී මෙතෙක් ආ ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ට වඩා වැඩක් කළ බවද කිව යුතුය. එමෙන්ම ඒ සියල්ලටම වඩා හොර වැඩ මෙන්ම ජඩ වැඩද කළ බව කිව යුතුය. එහෙව් මිල්ටන්ව දයාසිරි ලොකු මුදලකට උපදේශකයකු කරගත්තේය. අවසානයේ සිදුවූයේ විලිලැජ්ජා නැති මඟුල් වැඩ ටික පමණය. විශ්‍රාම දිවිය තුළ ඒ විදිහට පිනක් දහමක් කරගෙන නිවසේ ඉන්න නොදී මිල්ටන් ගෙන්වා කපුකම් කළ දයාසිරි ඇනගත්තේ මෙවැනි නාකි මනමාලයන්ගෙනි.

එවැනිම තවත් මනමාලයෙක් සිටී. ඒ ද කෞතුකාගාරයටම දැමිය යුතු බඩුවකි. ලංකාවට ක්‍රීඩා කෞතුකාගාරයක් කුමටද? ක්‍රීඩා කෞතුකාගාරයක තබන්නට තරම් ක්‍රීඩා සිහිවටන අපිට ගොඩ ගැසී ඇත්ද? ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ නාකි හොල්මන් ටික ඇර ඉතිරිව ඇත්තේ සුසන්තිකා, ඩන්කන් වයිට්, ක්‍රිකට් ලෝක කුසලානය අර මේ ක්‍රීඩාව විනාශ කළ අදටත් පාර්ලිමේන්තුවේද ලැග සිටින ක්‍රීඩා ඇමතිවරු තොගයය. මොවුන් අනාගතයේ කෞතුකාගාරයේ තැන්පත් කළ යුතුය. එවිට ක්‍රීඩාවට කළ හානිය වෙනුවෙන් මොවුන්ගේ රූපවලට අසූචි වුව ගැසිය හැකිය. නව ලේකම් ක්‍රීඩාව ගැන නොදනී. ඔහු ඒ ගැන උපදෙස් ගන්නේ සමන් අමරසිංහගෙනි. සමන් යනු එන ඕනෑම ක්‍රීඩා ඇමැත්තෙක් ළඟ දෙකට නොව හතරට පහට හෝ නැමී තම වැඬේ කරගන්නා රට කපටියෙකි. ජීවන් කුමාරතුංගගෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට රිංගූ සමන් අද ෆයිසර් මුස්තාපාටද උපදෙස් දෙමින් සිටිති. මේ තක්කඩිකම ජනාධිපති නීතිඥයන්ට කවදා වැටහේද? නව ලේකම්ද සමන් සරණයම යෑම කදිමය. නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාවට සමන් ගිය වසරේ සංචාරය කළේ කෞතුකාගාරයට අවැසි දැනුම ගෙන එන්නටය. ඒ ගෙනවිත් තවමත් තෙපරබාමින් සිටී. මේ හොර තක්කඩි සමග කුමන ක්‍රීඩා සංවර්ධනයක්ද?

අලුත් තැනට එමු

අප එතැනින් අලුත් තැනට එමු. අලුත් තැන යනු මුස්තාපාය. මුස්තාපා ජනාධිපති නීතිඥයෙකි. ඒ බව ඔහු ඕනෑවට වඩා කියමින් සිටී. එහෙත් නීතිඥයකු ලෙස රට දන්නා දක්ෂයා ඔහුගේ පියාය. ඇමති මුස්තාපාව රට දන්නේ වෙන ආකාරයටය. එනම් පළාත් සභා ඡන්ද පැවැත්විය නොහැකි ඇමති ලෙසය. ඔහු පහුගිය කාලය පුරාම අදටත් ඒ විෂයෙන් තුට්ටුවටම වැටී ඇත. පළාත් පාලන අමාත්‍යාංශයවත් හරියට කරගන්නට බැරි ෆයිසර් මුස්තාපාට ක්‍රීඩා අමාත්‍යාංශයද භාර දුන්නේය. කොරේ පිටට මරේය. දැන් සිදුව ඇත්තේ කට බලියාගෙන ඉන්නටය. අර්ජුනට අද තම අමාත්‍යාංශයේ වැඩ බලාගෙන ඉන්නැයි කියන ජනපති පළාත් පාලන අමාත්‍යාංශය ඇනූ ෆයිසර්ට ඒ අමාත්‍යාංශයත් සමග ක්‍රීඩා අමාත්‍යාංශයත් බෝනස් එකක් ලෙස භාර දුන්නේය. එකක්වත් හරියාකාරව කරගත නොහැකි කෙනා දෙකක් කරන්නේ කෙසේද? අද ක්‍රීඩා අමාත්‍යාංශයට ගොස් ෆයිසර් හමුවීම ලේසි නැත. ඔහු හමුවීමට නම් පළාත් පාලන අමාත්‍යාංශයට යා යුතුය. ක්‍රීඩා අමාත්‍යාංශයට එන්නටවත් අද ඔහුට වෙලාවක් නැත. එහෙව් අයකු ක්‍රීඩා ඇමති කළේ ඇයි? වෙන කිසිවක් නිසා නොව තිලංග ආරක්ෂා කර ගන්නටය. අද ක්‍රීඩා ඇමතිකම යනු ක්‍රීඩාව රැකගන්නට ඇති තනතුරක් නොව තිලංග රැකගැනීමට ඇති තනතුරකි. ක්‍රීඩා ඇමතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෙන ඇත්තේද එබැවිනි. යහපාලනය යටතේ පළමු ක්‍රීඩා ඇමති වූයේ නවීන් දිසානායකය. ඒ මාස අටකටය. ඔහුගේ පියාට ක්‍රීඩාව සම්බන්ධයෙන් වටිනාකමක් තිබුණද ඔහුට නම් ක්‍රීඩා ඇමති ලෙස කළහැකි කෙන්ගෙඩියක් නොවීය. ඔහුද ක්‍රිකට් ඇමතිම විය. එන සියල්ල ක්‍රිකට් ඇමතිවරුය. ක්‍රීඩා ඇමතිවරු නොවෙති. එස්.බී. දිසානායක මලල ක්‍රීඩා ඇමති වී නැටූ නැටිල්ල ඉතිහාසගතය.

නවීන් එජාප ඇමතිකමක් වුවද ඉන්පසු ක්‍රීඩා ඇමතිකම ශ්‍රී ලංකා එකට ගත්තේ දුර සිතාය. ඒ ජනතා ඡන්දයෙන් පරාජය වී ගෙදර සිටි තිලංග නැවත පාර්ලිමේන්තුවට ගෙනා නිසාය. ඔහුට ඕනෑ ක්‍රිකට් පුටුවය. ජනපති පුටුව දුන්නද ඔහුට එය වැඩක් නැත. අර්ජුනටත් ඒ ලෙඬේ බරපතළකම ඇත. එසේ නම් මේ ක්‍රිකට් පුටුව ලේසි පහසු පුටුවක් නොවන බව දැන් මේ රටේ පොඩි එකාත් දනිති. දයාසිරි ක්‍රීඩා ඇමති වූ පසු ඔහු කළේ තිලංග බදාගෙන ඉඹගැනීමය. ඒ හාදු කළ තරම හොඳටම ඇතිය. අද ෆයිසර් ක්‍රීඩාවට කරන කිසිවක් නැත. ඔහුද සුපුරුදු පරිදි ඔහුගේ ළඟ මිතුරෝ ගජ මිතුරෝ තනතුරුවලට දමමින් සිටිති. සුගතදාස ක්‍රීඩාංගණය භාර දුන්නේය. මේ සඳහා ඔහුට තිබූ එකම සුදුසුකම රාජකීය යාළුකමය. පන්ති මිතුරුකමය. ඔහු දන්නා ක්‍රීඩාවක් නැති නිසා ඔහු ක්‍රීඩාව යොහෝවාගේ සාක්ෂිකරුවන් නමැති ක්‍රිස්තියානි ආගමික නිකායේ මහ සමුළුවට දින තුනක් සුගතදාස ක්‍රීඩාංගණය කුලියට දුන්නේය. මේ දැනට ලංකාවෙ ඇති එකම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයය. එය ලබා දුන්නේ ජාත්‍යන්තර තරග සඳහා පුහුණුව අත්‍යවශ්‍ය මොහොතකය. එබැවින් ඒ ක්‍රීඩකයන්ට දෙයියන්ගේම පිහිටය. දෙවියන්ගෙන් මිලියන ගණනක් පිට්ටනිය ලබා දුන්නාට ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී ඇත. ෆයිසර් මිතුරා ආ සැණින් ලාභ උපයා ඇත. ක්‍රීඩකයන් පුහුණු වූවා කියා මිලියන ගණන් ලැබේද? ඒ මොහොතේ පැවති තරග සහභාගිත්වය මත දින තුනක් ආගමික මෙහෙයකට පිට්ටනිය වෙන් කිරීම මලල ක්‍රීඩකයන්ට කළ බලවත් වරදකි. ජනාධිපති නීතිඥ ෆයිසර්ට ඒ පිළිබඳ පුංචි කල්පනාවක් හෝ නොඒම පුදුමයක්ද නැත. ඒ ඔහු ක්‍රීඩාව ගැන මෙලෝ මළදානයක් නොදන්නා නිසාය. මලල ක්‍රීඩකයන්ට පුහුණුවීම් සඳහා මෙරට ඇත්තේ ට්‍රැක් දෙකකි. ඒ සුගතදාස ක්‍රීඩාංගණයේ ට්‍රැක් එක සහ අනෙක දියගම ට්‍රැක් එකය. දියගම ට්‍රැක් එක හදපු දවසේ සිට කැඩිලාය. එහි ඇති ජාත්‍යන්තර ප්‍රමිතියක් නැත. ඒ රාජපක්ෂ යුගයේ බාල වැඩක්ය. එය අදටත් අබලන්ය. එය දුවනවා වෙනුවට බාධක දිවීමට යොදා ගත හැකිය. ඒ තරමට වළවල්ය. මේ ක්‍රීඩා විනාශයට නම් දෙවියන්ටත් කරන්නට දෙයක් නැතිය.

එන ක්‍රීඩා ඇමතිවරු හිතන එකම දේ පනත වෙනස් කිරීමය. ක්‍රීඩා පනත සංශෝධනය නොකර කළහැකි දේවත් සංශෝධනය කිරීමෙන් පසුවූයේ නැත. මෙහි ඇත්තේ ක්‍රීඩා පනතේ අඩුවක් නොව පනත ක්‍රියාත්මක කරන්නට එන ක්‍රීඩා ඇමතිවරුන්ගේ මෝඩකමය. ජීවන් කුමාරතුංග ඔලිම්පික් කමිටුවේ නිල කාලයට සංශෝධන ගෙනාවේය. එය ඔහුවත් දන්නේ නැත. ඉන්පසු පුහුණුකරුවන්ට පාලනය දෙන්නට පනත සංශෝධනය කළේය. හැම ක්‍රීඩා ඇමතිම කළේ තම හිතවතකුට බලයේ ඉන්නටත් තමන්ට පාලනය කළ නොහැකි අය ගෙදර යවන්නටත් පනත සංශෝධනය කිරීමය. දයාසිරි ක්‍රීඩා පනත සංශෝධනය කර ගියේය. අද ඇතැම් ක්‍රීඩා සංගම් තවම නිලවරණ හෝ පවත්වා නැත. ඒවා පවත්වන දවසක්ද නැත. ඡන්දය පැවැත්විය නොහැකි ඇමතිටම ක්‍රීඩා අමාත්‍යාංශය දුන් කල ක්‍රීඩා සංගම් නිලවරණවලටත් වැඬේ හරිය. කෙසේ වෙතත් ෆයිසර් මිල්ටන් අමරසිංහලා ගෙදර යවා ඇත. ඒ වෙනුවට තම හිතවතුන් ගෙන්වා ගෙන ඇත. ඉතිරි කෙටි කාලයට ෆයිසර් සහ පිරිස මේ ක්‍රීඩාව කාබාසිනියා කරනු ඇත. කෙළින් වැඩ කිරීම යනු කාටවත් ඇහුම්කන් නොදී තමන්ට ඇති පට්ටමක් ගැන උදම් වෙවී එන පුද්ගලයන් හෑල්ලු කරමින් ක්‍රියා කිරීම නොවේ. ෆයිසර් සිතනුයේ ක්‍රීඩා ප්‍රශ්නයක් රැගෙන එන පුද්ගලයා තමාගේ සේවාදායකයෙක් ලෙසය. මෙලෙස ක්‍රීඩා ප්‍රශ්න විසඳිය නොහැකිය. ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවට එහි කඩා වැටීම තේරුම් ගන්නැයි අපි ඇමතිගෙන් ඉල්ලමු. ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉවත් කොට එය වෙනම තිලංගටම භාරදී සෙසු ක්‍රීඩා රැකගන්නා ක්‍රමයක් ජනපති හෝ ඇති කළ යුතුයැයි අපගේ හැඟීමය. තිලංගගේ ව්‍යාපාරය තිලංගටම දෙන්න. එය ඔහු ලාභ ලබන තැනට ගෙන ආවේය. එයම ආශ්චර්යයක් නොවේද? එසේ නැතහොත් ක්‍රීඩා අමාත්‍යාංශයද ක්‍රිකට් සේම තිලංගටම දෙන්න. එවිට ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද ලාභ උපයනු ඇත. අපට අවශ්‍ය ලාභය. කුණු බඩු විකුණා හෝ ලාභය රාජපක්ෂලාට වඩා යහපාලනය ක්‍රීඩාව කෑවේය. මේ අයට ක්‍රීඩාව ගැන අබමල් රේණුවක අවබෝධයක් නැත්තේය. ක්‍රීඩාව ගැන තැකීමක් නැතිවුන් ක්‍රීඩාව සංවර්ධනය කරන්නේ කෙසේද? මේ බීරි අලීන්ට අප වීණා වාදනය කළාට ඇසෙත්ද? නැත. අප කරනුයේ හෙණ්ඩුවෙන් ඇනීමය. බීරි වුවත් රිදුම දැනෙන බව අපි දනිමු. එබැවින් රිදෙන්නට අනිමු.