අල්ලසේ කලාව

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

අල්ලස් නැතහොත් පගාව නොදී කිසිවක් කරගත නොහැකිවීම සහ අල්ලස් ලබා නොගෙන මිස කිසිවක් කර නොදීම, ශ්‍රී ලංකාව මේවනවිට මුහුණ දී සිටින ඛේදජනක ම ඉරණමකි. රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියා, කාර්යාල කාර්ය සහායකයාගේ සිට අමාත්‍යංශ ලේකම්වරයා දක්වා තත්ත්වය එබඳුය. මෙරට සියලු පුරවැසියන්ගේ හෘදය සාක්ෂියෙන් විමසා සිටියහොත් අල්ලස් ලබා නොදුන් අයකු හෝ අල්ලස් ලබා නොගත් අයකු සොයා ගැනීම, නොමළ ගෙයකින් අබ මිටක් සොයාගන්නා වැනි දුෂ්කර කාර්යයක් වීම වැළැක්විය නොහැකිය. රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ පවා අල්ලස පිළිකාවක් සේ පැතිරෙමින් පවතී. එක්තරා අවස්ථාවක ජනප්‍රිය තරුණ සංගීත ශිල්පියකු, ගුවන්විදුලි නාලිකාවකට චෝදනා කළේ ගීත ප්‍රචාරය කිරීමට මුදල් ලබා ගන්නා බව පවසමිනි. එහෙත් පෞද්ගලික අංශයේ සිදුවන අල්ලස් ලබා ගැනීම් හෝ අල්ලස් ලබාදීම් නීතියේ රැහැනට හසුවන්නේ නැති තරම්ය.

අල්ලස සංස්කෘතියක් වීම

ඛේදජනක ම තත්ත්වය වන්නේ අල්ලස සංස්කෘතියක් බවට පත්ව තිබීමය. එය සාමාන්‍ය දෙයක් මිස වරදක් නොවන බව ඇදහීම එහි භයානක ම තත්ත්වයයි. කුණු කසළ එකතු කරගෙන යාමට නිවෙස් කරා එන නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ සේවකයන්ට සන්තෝෂම් දීමට බොහෝ පුරවැසියෝ පුරුදුව සිටිති. මුදලක් නොදුනහොත් එම කසළ රැගෙන නොයාමට, නැතහොත් ඒවා අතපසු කිරීමට නගර සභා සේවකයෝ ද පුරුදුව සිටිති. නිවසක/ගොඩනැගිල්ලක සැලසුමක් නියමිත කාලයට අනුමත කරවා ගැනීමට, පානීය ජලය ලබා ගැනීමට, විදුලිය ලබා ගැනීමට වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා අල්ලස් ලබාගැනීම හා ලබාදීම එදිනෙදා සිදුවන ප්‍රසිද්ධියේ කතා කරන සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව තිබේ. පොලිස් නිලධාරීන්ට මුදල් ලබා දුනහොත්, මාර්ග නීති කඩකර ඇති අවස්ථාවක වුවත් රටේ නීතියෙන් බේරී යා හැකි බව සමාජයේ ඇති පොදු පිළිගැනීමකි. සමහරු සිය නිවස සුඛෝපභෝගී ලෙස ගොඩනගා ඇත්තේ ද ,හොඳ වාහනයක් ගෙන ඇත්තේද, තමන් කළ රැකියාවෙන් ලැබුණ මුදලින් පමණක් නොවන බව පිළිගනිති.
පසුගිය දා පළ වූ එක් වර්තාවක දැක්වුණේ රජයේ ආයතන රැසක අල්ලස් ගනුදෙනු ඊෂි කෑෂ් ක්‍රමය හරහා සිදුවන බවය. මෙලෙස සිදුවන අල්ලස් දීම් හා අල්ලස් ගැනීම්, නීතියේ රැහැනට හසුකර ගැනීම දුෂ්කර ව්‍යායාමයකි. විශේෂයෙන් ආගමන-විගමන සේවා දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව තුළ අල්ලස් සිද්ධීන් බොහොමයක් සිදුවන්නේ, ඊෂි කෑෂ් ක්‍රමය හරහා බව එම වාර්තාව සඳහන් කර තිබිණි. අල්ලස් සම්බන්ධයෙන් ඉහත රාජ්‍ය ආයතනවලට ඇත්තේද අපකීර්තිමත් වාර්තාවකි.

කුසුමදාස හා පියදාස

රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් සම්බන්ධයෙන් මෑතකදී කතාබහට ලක්වූ බරපතළ ම සිද්ධිය වූයේ රුපියල් මිලියන 540ක් අල්ලස් ලෙස ඉල්ලා එය 100 දක්වා අඩුකර එයින් 20ක් ලබාගෙන එම මුදල වාහනය තුළ සිට ගණන් කරමින් සිටියදී, එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි කුසුමදාස මහානාම හා එවකට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිව සිටි පියදාස දිසානායක අත්අඩංගුවට ගැනීමය. කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරණ පවරා දීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇතිබව කියවෙන්නේ ඉන්දීය ජාතික ව්‍යපාරිකයකුගෙන්ය. මෙහි ඇති ඉතා වැදගත් කරුණක් වන්නේ මෙම මහානාම මහතා ඊට පෙර ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමය.
එවැනි ම ඉහළ රාජ්‍ය නිලධාරියකු සම්බන්ධයෙන් තවත් අල්ලස් සිද්ධියක් ඉන් අනතුරුව වාර්තා විය. ඒ, ලක්ෂ දෙකක අල්ලසක් ගැනීමට යාමේ දී, ආනයන-අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක, මහානාමගේ ගාමිණී, අත්අඩංගුවට ගැනීමය. වසර 10ක් පැරණි වාහන දෙකක් නීත්‍යනුකුලව ජපානයෙන් ගෙන්වා ගැනීමට අදාළ නිර්දේශ ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවද අනාවරණ වී තිබිණි.

මහින්ද, පුෂ්පා හා පේස්ලි

චාමර සම්පත් දසනායක ඌව මහ ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මුදල්,වාහන හා සල්ලි ලබා දී පළාත් සභාවේ මන්ත්‍රීවරුන් බැලන්ස් කරගන්නා බවය. මෙය සත්‍යයකි. පළාත් සභාවේ පමණක් නොව, පාර්ලිමේන්තුවේ ද තත්ත්වය ද ඊට වෙනස් නොවේ. මහ ඇමතිවරයාගේ කතාව පිළිබඳ පළාත් සභාවේ වාදයක් පැන නැගුන අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් චෝදනා කළේ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වී දිවුරුම් නොදී ඉල්ලා අස්වූයේ, මනාප ලයිස්තුවේ ඊළඟට සිටි ලක්ෂ්මන් සෙනෙවිරත්න පත් කිරීම සඳහා, විශාල මුදලක් ලබාගෙන බවය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගැන ”නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පතේ පළ වූ වාර්තාව අදාළ වන්නේද මෙම විෂයටමය. එම වාර්තාව අනුව එජාපය හා ජවිපෙ චෝදනා කරන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය භාර දුන් චයිනා හාබර් සමාගමෙන් රුපියල් බිලියන 7.6 ක් 2015 ඡන්දය සඳහා ඔහු ලබාගෙන ඇති බවටය. මේ පිළිබඳ පැවති පාර්ලිමේන්තු විවාදයේ දී, පැවති ආණ්ඩුව, දකුණු කොළඹ වරාය ජැටිය චීන සමාගමකට ලබාදීමෙන් පසුව එක් කෝටි නව ලක්ෂ දස දහසක මුදලක්, බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂගේ ගිණුමකට බැරකර ඇති බවටද ජවිපෙ නායක අනුර දිසානායක කියා සිටියේය.

මීට අමතරව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී ඉයන් පේස්ලි (Ian Paisley) හා පවුලේ අයට ශ්‍රී ලංකාවේ සංචාර සඳහා රුපියල් දෙකෝටියකට අධික මුදලක් (පවුම් ලක්ෂයකට අධික මුදලක්) ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 2013 වසරේ දී වියදම් කර ඇතැයි ලන්ඩනයේ “ද ටෙලිග්‍රාෆ්” පුවත්පත හා බි්‍රතාන්‍යයේ “ද ඉන්ඩිපෙන්ඩන්ට්” වෙබ් අඩවිය වාර්තා කළේය. බි්‍රතාන්‍ය මන්ත්‍රී අචාර ධර්මවලට අනුව පවුම් 300කට වැඩි මුදලක් ආධාර ලෙස ලැබේ නම් ඒ බව පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු වුවත් පේස්ලි එවැන්නක් කර නැත. එමනිසා ඔහුට පාර්ලිමේන්තු සභාවාර දින 30ක තහනමක් ද පනවනු ලැබීය. රාජපක්ෂ ආණ්ඩුව කුමන අරමුණකින් මෙම මන්ත්‍රීවරයාගේ පෞද්ගලික සංචාර සඳහා මුදල් වියදම් කළේද යන්න පැහැදිලි නැතත් එයද අල්ලස් ගණයට නොගැනෙන්නේ යැයි කිව හැකිද?

අල්ලස් නඩු තීන්දු

අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය ආසන්නතම කාලයේ ලබාදුන් නඩු තීන්දු කීපයක් කෙරෙහිද අවධානය යොමු කළ යුතුයැයි සිතමි. 2012 වසරේ ප්‍රාදේශීය ලේකම්වරයකුව සිටියදී ගල් කොරියක ගල් පුපුරුවා හැරීමට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය බලපත්‍රයක් ලබා ගැනීමට නිර්දේශ ලබාදීම සඳහා රු. 50,000ක අල්ලසක් ගත් ඉහළ රාජ්‍ය නිලධාරියකුට බරපතළ වැඩ සහිත, වසර 5කින් ගෙවී යන පරිදි ලබාදුන් වසර 10 ක සිර දඬුවම ඒ අතර වූ නොසලකා හැරිය නොහැකි තීන්දුවකි.

එමෙන්ම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 2015 වසරේ සිටි ධාවන කළමනාකරුනවකු ද අල්ලස් ලබා ගැනීම නිසා අධිකරණය වසර 5 කින් ගෙවී යන පරිදි වසර 40 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලබා දුන්නේය. ඔහු වරදකරු වූයේ බස් රථ ධාවන බලපත්‍රයක් කඩිනමින් ලබාදීම සඳහා රු. 10,000 ක අල්ලසක් ඉල්ලා එය ලබා ගත්තේයැයි කියන චෝදනාවටය.

ප්‍රාදේශීය ලේකම්වරයාට දඬුවම් නියම කිරීමට පෙර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ රුවනි වික්‍රමසිංහ නීතිඥවරිය කොළඹ මහාධිකරණය ඉදිරියේ දැක්වූ කරුණු ද සැලකිල්ලට ලක්විය යුතුය. අල්ලස් ගැනීම ශ්‍රී ලංකාව තුළ මේ වනවිට එක්තරා කලාවක් බවට පත්වී ඇති බව පැවසූ ඇය අල්ලස සමාජය වෙලාගත් පිළිලයක් බවද පෙන්වා දුන්නාය. අනෙක් රාජ්‍ය සේවකයන් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකිවන ආකාරයේ, සමාජය අල්ලසින් බේරා ගැනීමට හැකිවන ආකාරයේ දැඩි දඬුවමක් විත්තිකරුට ලබා දෙන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

රජයට බදු ගෙවන පුරවැසියාට නියමිත පරිදි සේවා ඉටුකර දීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම වන්නා සේම අපහසුවකින් තොරව ඒවා ඉටුකර ගැනීම පුරවැසියන්ගේ අයිතියකි. එහෙත් විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන ප්‍රධාන ආයතන තුනේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා ම ඇත්තේ පිරිහීමක් නම් එවැනි සමාජයක් යළි ගොඩ ගත හැක්කේ කෙසේද? අත්අඩංගුවට ගන්නා පොලිසිය මෙන්ම දඬුවම් දෙන අධිකරණය ද ජනතා විශ්වාසය පළුදු කළ දූෂිත ආයතන බවට පත්ව ඇත්නම් නීතියේ පාලනය පමණක් ඒ සඳහා සෑහේ ද? සාමාන්‍ය රජයේ සේවකයා, උසස් රාජ්‍ය නිලධාරියා මෙන්ම දේශපාලන නායකයන් ද තමන්ට පැවරී ඇති රාජකාරියට අවංක විය යුතුවාක් මෙන්ම පුරවැසියා ද ගමන් කළ යුත්තේ කෙටි වැරදි මං ඔස්සේ නොව කොතරම් දිගු වුවත් නිවැරදි මාවත් ඔස්සේය.