රාවය

අමෙරිකාව වෙළෙඳ යුද්ධයක

අමෙරිකාව වෙළෙඳ යුද්ධයක

එස්. නන්දලාල්

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලෝකය ආපස්සට හරවන්නට හැකි සෑම උත්සාහයක් ම ගනිමින් සිටින බව ඔහු බලයට පත් ව ගත වූ වසර එකහමාරක තරම් කාලයක් පුරා කෙරුම් – කියුම් ගැන සිතා බලන විට පැහැදිලි ය. අලුතින් ම ඊට එකතු වී ඇති සංසිද්ධිය වන්නේ ඔහු චීනයට එරෙහිව පනවා ඇති මහා පරිමාණ බදු ය. මේ බදු නිසා ලෝක වෙළෙඳ සම්මුති සියල්ල අවලංගු කාසි බවට පත්වනු ඇති අතර ලෝකයේ ආර්ථිකය ශීඝ්‍රයෙන් පසුපසට යනු ඇති බව විචාරකයන්ගේ අදහස වේ.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේ සිය රටට ආනයනය කෙරෙන වානේ සඳහා 25% සහ ඇලුමිනියම් සඳහා 10% බැගින් බදු පැනවී ය. (බලන්න: රාවය මාර්තු 11 මේ පිටුවේ පළවූ ලිපිය) එසේ කිරීමෙන් ඔහු නැෆ්ටා ගිවිසුමට අභියෝග කළ අතර හොඳ ගනුදෙනුකරුවන් වන කැනඩාව සහ මෙක්සිකෝව අමනාප කැර ගත්තේ ය. මෙය හුදෙක් බොරු පුරසාරමක් ද නොඑසේ නම් දිගටම ක්‍රියාත්මක වනු ඇති ආරක්‍ෂණවාදී වැඩපිළිවෙළක් ද යන්න එසමයේ ආර්ථිකඥයන්ගේ විමසුමට ලක්වී තිබිණි. බොහෝ දෙනා පෙන්වා දුන්නේ මෙයින් අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරවලට ද හානි සිදුවිය හැකි බවයි.

අමෙරිකා එක්සත් ජනපදය මේ බදු පැනවීම වරින්වර කල් දමමින් සිට ඇත්තටම ක්‍රියාත්මක කළේ මැයි 30 දින සිටය. ඒ දක්වා කාලය තුළ එය අත්හිටුවීමට එරට මූල්‍ය ලේකම් හෙවත් මුදල් ඇමති ස්ටිව් ම්නුචින් සහ ජාතික ආර්ථික සභාවේ නව ප්‍රධානී ලැරී කුඞ්ලොව් නොගත් උත්සාහයක් නැත. එහෙත් එරට වෙළෙඳ නියෝජක නම් තනතුර (U.S Trade Representative) දරන රොබර්ට් ලයිටයිසර් සහ වාණිජ ලේකම් හෙවත් වාණිජ ඇමති විල්බර් රෝස් යන දෙදෙනා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම බදු පැනවීම අනිවාර්යයෙන් ම කළයුතුයැ’යි බල කරන හෙයින් ප්‍රතිපත්ති පිළිබඳ අර්බුදයක් නිර්මාණය විය.

කෙසේවෙතත් මෙසේ විශේෂ තීරු බදු පැනවීම කනිෂ්ඨ බුෂ් සහ ඔබාමා යන ජනාධිපතිවරුන්ගේ පාලන කාලවල ද සිදුව ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි.

ඉහත සඳහන් තීරු බදු පැනවීම් මෙක්සිකෝවට හා කැනඩාවට පමණක් නොව යුරෝපා සංගමයට හා චීනයට ද බලපෑවේ ය. මෙහි දී අමෙරිකාවට වැඩිමනත් ගැටලුව ඇත්තේ චීනය සමග බව ප්‍රකට ය. චීනය සිය රටෙන් අමුද්‍රව්‍ය ලබාගෙන වානේ නිපදවා ආපසු තමන්ටම විකුණන්නේය යන වාණිජ ලේකම්ගේ හා වාණිජ නියෝජකගේ තර්කය බැහැර කරළිය නොහැක්කකි.

ජනවාරි මාසයේ ජනාධිපති ට්‍රම්ප් සූර්ය පැනල සහ සේදුම් යන්ත්‍ර සඳහා බදු වැඩි කළේ ය.
මේ කිසිවක් එක් රටක් ඉලක්ක කැර ගනිමින් කළ දේ නොවේ. ලොව කොතැනින් ගෙනාවත් බද්ද එකම විය.

ට්‍රම්ප්ගේ මේ බදු ප්‍රතිපත්තිවලින් අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන රටවලට රිදෙන්නට වැදුණි. කවුරුන් කෙසේ කීවත් තීරු බදු වැඩි කළා මිස අඩු කරන්නට ඔහු හිස පහත් කළේ නැත. මේවා ජනාධිපතිවරයාගේ තනි තීරණ නොවන අතර මේ පිටුපස යට කී දැඩි මතධාරී නිලධාරී දෙදෙනා සිටින බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් ලොව පුරා දෝෂදර්ශනයට ලක්වනුයේ ඔහු ය. කෙසේවෙතත් ඔහුගේ ‘අමෙරිකාව 1’ යන ආදර්ශ පාඨයත් සමග මේ ප්‍රතිපත්ති සීහෙන බව පැහැදිලි ය.

පසුගිය 15දා සීබීඑස් රූපවාහිනිය සමග පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ට්‍රම්ප් කීවේ සිය ප්‍රධානතම සතුරා යුරෝපා සංගමය බවයි. ඔහු ජනාධිපති පුටින් සමග හෙල්සිංකි හමුව යොදාගෙන තිබුණේ පසුදිනටය. එවිට ‘රුසියාවට සහ චීනයටත් වඩා යුරෝපා සංගමය සතුරුයි කියා ද ඔබ කියන්නේ?’ වැඩසටහන මෙහෙයවූ නිෂ්පාදක ජෙෆ් ග්ලෝර් ඇසූ විට සිය කියමන පැහැදිලි කරමින් ට්‍රම්ප් එය විස්තාරණය කළේ රුසියාව සහ චීනය සතුරන් බව තමා දන්නා බවත් ඒ නිසා ඔවුන් සමග කටයුතු කිරීමේ දී ප්‍රවේසම්වන බවත් එහෙත් යුරෝපා සංගමය එසේ නොවන බවත් ය. කෙසේවෙතත් යුරෝපා සංගමයේ සාමාජික රටවල නායකයන්ට තමා ගෞරව කරයි. එහෙත් ඔවුන් වෙන් වෙන් වශයෙන් ගත් කල වාණිජ කටයුතුවල දී සතුරන් ය. මේ කියමන යුරෝපා සංගම් නායකයන්ගේ කණස්සල්ලට හේතු වී තිබිණි. සිය රටේ දී තමා හමුවූ අවස්ථාවේදී යුරෝපා සංගමයට එරෙහි ව නඩු දමන ලෙස ඔහු තමාට උපදෙස් දුන් බව බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ යුරෝපා සමු`ඵවේ දී ප්‍රකාශ කළා ය.
යුරෝපා සංගමයේ රටවලට පනවන ලද බදු අඩු කැර ගන්නට නැතහොත් පෙර පැවැති තත්ත්වයට ගෙන එන්නට එම සංගමයේ සභාපති ශෝන් ක්ලෝඞ් ජන්කර් මෙම 25 වන බදාදා ධවල මන්දිරයේ දී ජනාධිපති ට්‍රම්ප් හමුවීමට යොදා ගෙන තිබිණි.

24දා ට්‍රම්ප් යෙදූ ට්වීටර් පණිවුඩයේ අරුත මෙසේ ය: ‘මාහැඟි දෙය වනුයේ තීරු බදු ය. කිසියම් රටක් වෙළෙඳ සංසන්ධි කතිකාවත් අනුව එක්සත් ජනපදයට අසාධාරණ ලෙස සලකන්නේ නම් ඒ රට තීරු බදුවලින් පහර කනු ඇත. එය සියලුදෙනාගේ කතාවට පාදක වන සරල දෙයකි. අප සියල්ල විසින් පහරනු ලබන ඌරු කැටය (piggybank) ය. සියල්ල මාහැඟි ය!’

අමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවේ අදහස සිය රට සමග ගනුදෙනු කරන සෑම රටක් ම ඔවුන්ට අවාසිසහගත ලෙස ගනුදෙනු කරන බවයි. බදු පනවන්නේ ඒ තත්ත්වය නැති කිරීම සඳහාය.

එහෙත් වානේවලට බදු පැනවීමෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වානේ නිෂ්පාදනවල මිල අධික වන බව වාණිජ දෙපාර්තමේන්තුව සිතන්නේ නැත. එය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ හෝ මුදල් දෙපාර්තමේන්තුවේ කටයුත්තක් ලෙස ඔවුන් සිතනවා වැනි ය. ඔවුන් අවශ්‍ය වෙළෙඳ හිඟය අඩු කැර ගන්නට පමණි.

මේ වෙළෙඳ හිඟය වැඩිපුරම ඇත්තේ චීනය සමග කෙරෙන ගනුදෙනුවලදීය. චීනයෙන් භාණ්ඩ වර්ග විශාල සංඛ්‍යාවක් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කෙරේ. 2017 වසරේ අමෙරිකා එක්සත් ජනපදය චීනයෙන් ඇඩො බිලියන 506ක් වටිනා දෑ ආනයනය කළ අතර චීනයට පැටෙව්වේ 130ක් වටිනා භාණ්ඩ පමණි. මේ වෙනස 376කි.

මෙලෙස කැනඩාව සමග ආනයන අපනයනවලින් අමෙරිකාවට සිදුවන පාඩුව හෙවත් වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් බිලියන 18ක් වන අතර මෙක්සිකෝව සමග 71කි. ජපානය සමග 69ක් වන අතර ජර්මනිය සමග 65කි. ඉතින් රටක් ඔළුව උස්සන්නේ කොහොමද? ට්‍රම්ප් අසන්නේ එයයි.
පසුගිය සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාව චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1ල102ක් සඳහා 25% නව තීරු බද්දක් එක් කොට ඇත. මෙයින් එරට අපේක්‍ෂා කරන ආදායම ඩොලර් බිලියන 50කි. ප්‍රතිප්‍රහාර වශයෙන් චීනය අමෙරිකාවෙන් ගෙන්වනු ලබන භාණ්ඩ 659කට බදු පටවා සමාන මුදලක් අය කැර ගන්නට සැලසුම් සකස් කොට තිබේ. මේ ලැයිස්තුවට මුල දී ගුවන් යානා ඇතුළත් කොට තිබුණත් පසුව ඉවත් කොට ඇති අතර මුලදී ඇතුළත් කොට නොමැති ෆොසිල ඉන්ධන ඇතුළත් කිරීම ගැන පසුගිය සතියේ සලකා බලමින් සිටියේ ය.

අමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන හාලේ ඬේවිඞ්සන් මෝටර් බයිසිකලය මෙන් ම ලෙවි ඩෙනිම් ද බෝබෝන් විස්කි ද යුරෝපා රටවල අතිශය ජනප්‍රිය ය. දැනටමත් ඒවාට එම රටවල තීරු ගාස්තු පනවා ඇත. සිය නිෂ්පාදන මත සිය රට පනවා ඇති බද්දේ බර සමාගමට ම දරාගන්නට සිදු විණි’යි හාලේ ඬේවිඞ්සන් පවසන බව බීබීසී වාර්තාවක දැක්වේ. මේ නිසා එම සමාගමේ ආදායමත් ඒ අනුව ලාභයත් අඩු වී ඇත.

මේ අතර තවත් වාර්තාවක දැක්වෙන්නේ අමෙරිකාවේ කෘෂි නිෂ්පාදන මත යුරෝපාදී රටවල් තීරු බදු පැනවීම නිසා ඒවා විකුණා ගැනීමේ අපහසුවයි. ඒ අනුව සත්ත්ව මාංශ නිෂ්පාදනවල මිල අඩු වී ඇති අතර නිෂ්පාදකයන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බව පැවසේ. විශාල මස් තොග ශීතාගාරවල ගබඩා කොට ඇති අතර මිල අඩු කොට අවන්හල්වලට නිකුත් කරන්නට පියවර ගැනේ. මේ නිසා සත්ත්ව නිෂ්පාදන කර්මාන්ත වැසී යන තරමට අවදානම් අඩියකට වැටී ඇත. ධාන්‍ය නිෂ්පාදන ද එසේ ම ය. ඒවායේ මිල ද පහළ වැටී ඇති අතර රජයට ඒවා මිල දී ගන්නට සිදුව ඇති බව වාර්තාවල සඳහන් ය.

වෙළෙඳාම මත චීනය සමග ඇති කැරගත් ආරෝව වෙළෙඳ යුද්ධයක මට්ටමට ම පැමිණ ඇති බව පැහැදිලි ය. අවසානයේ මෙය අවි භාවිතයෙන් කෙරෙන යුද්ධයක් වුවහොත් එය මු`ඵ ලොවටම බලපානු ඇත.