රාවය

”මලට සුවඳ සේ යොවුන් ජීවිතේ…” ඉතිරි පේළිය තහනම් ද?

”මලට සුවඳ සේ යොවුන් ජීවිතේ…” ඉතිරි පේළිය තහනම් ද?

අනුරාධා තිඹිරියාගම

ගුවන්විදුලි නාළිකාවක ප්‍රචාරය වූ මෙම ගීය අහම්බෙන් ඇසීමෙන් පුදුමයට පත් වුණෙමි. සැබැවින් ම එවැනි ගීයක් කලකට පෙර ඇසූ බව අමතක වී සිටියෙමි. ඊට පැය කිහිපයකට පෙර එක්තරා ස්ථානයක මඳක් රැඳී සිටීමට සිදු වූයෙන් පත්තරයක් පෙරළාගත් විට දක්නට ලැබුණේ පසුගිය දිනයක ඝාතනයට ලක් වූ පාසල් සිසුවා සම්බන්ධව තවත් ලිපියකි. එම ලිපිය තුළ ද වූයේ ඒ සිද්ධිය හා සම්බන්ධව මා දුටු අනෙකුත් සෑම ලිපියකම සඳහන් ව තිබූ එකම වචන හා එකම වාක්‍ය ස්වල්පය යි.

ශිෂ්‍යාවකගේ දිවි නසා ගැනීමක්, දරුවකුට සිදුවූ ලිංගික අපයෝජනයක්, රූපලාවන්‍යාගාරයක් පෙනෙන තෙක්මානයේ හෝ සිදු වූ මරණයක්, කලින් කලට මාධ්‍ය වලට කටගැස්ම බවට පත් වේ. මෙවන් සිද්ධියක් වූ විට කුණු කන්දකට බට කාක්කන් මෙන් හැසිරෙන මාධ්‍යකරුවන්ගෙන් ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත ය. මේ සිද්ධිය අළලා එතරම් පිළිකුල් සහගත හැසිරීමක් දක්නට නොලැබුණත්, ඒ හා සම්බන්ධව ලියවුණු සියලුම ලිපි වල දක්නට ලැබුණේ එකම කතාන්දරය සහ එකම වාක්‍ය කිහිපය යි. එනම්, මියගිය සිසුවා ශිෂ්‍ය නායකයකු, විනයධර ශිෂ්‍යයකු, දීප්තිමත් දරුවකු, අනෙක් සිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වූවකු වූ බව යි. මේ දරුවාගේ මරණය පුවතක් ලෙසත්, ඉන් පසු මේ වන තෙක් ඊට අදාළව පළ වූ සෑම ලිපියකමත් වූයේ, අගතියට පත් මව්පියන්, ඥාතීන් සහ ගුරුවරුන්ගේ ඉහත සෝ ප්‍රකාශනය යි. මියගිය සිසුවාගේ ශිෂ්‍යනායක භාවය, විනයගරුක භාවය සහ ‘පෙම් සබඳතා පවත්වන්නන්ට සමාවක් නොදෙන‘ බව, යන කරුණු හේතුවෙන් බොහෝ දෙනා මොහු සමඟ උරණව සිටි බවත්, සිසුන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වූ බවත්, අවසන එය ඝාතනයක් දක්වා දුරදිග ගිය බවත්, පුන පුනා වාර්තා කර තිබුණි. ඉන් පසුව මරණීය ප්‍රහාරය එල්ල කළ සිසුවා පුනරුත්ථාපන භාරයට යොමු කෙරුණු බව වාර්තා කරන මාධ්‍යවේදීන්, මේ හා සමාන තවත් සිද්ධියක් ද දක්වා, මෙම ‘සිසුන් විසින් සිසුන්ට පහර දීමේ/ඝාතනය කිරීමේ වාතාවරණය’ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රකාශ කිරීමට ද පියවරක් ඉදිරියට ගොස් තිබුණි.
පුද්ගලයකු වැඩිවිය පැමිණීම වයස 12, 13දී පමණ සිදු වන බවත්, ඒ ආශ්‍රිතව පළ වන ද්විතියික ලිංගික ලක්ෂණත්, පාසල් අච්චු පොතේ දශක ගණනාවක සිට කියවමු. ලිංගිකත්වය යනු අදාළ ප්‍රදේශ ආශ්‍රිතව රෝම හට ගැනීමත්, ශ්‍රාවයන් නිකුත් වීමත් පමණක් ද? කායිකව දක්නට ලැබෙන අවයව වල ස්වරූප වෙනස්වීම් පමණක් ද? වයස 12, 13දී ස්වභාවිකව ලිංගිකව සක්‍රිය සත්වයකු බවට පත් වන මිනිසාට ලංකාව තුළ, ලිංගික සබඳතාවක් තබා අලිංගික ප්‍රේමයක් පවත්වා ගැනීමට අයිතිය තිබේද? පාසලෙන් ඉවත් වන තුරු, වසර 18ක් හෝ 19ක් වන තුරු, මුළු නව යොවුන් අවධියම (teen age) පුද්ගලයින්ව ලිංගිකහරණය කොට තිබේ. ලිංගික ක්‍රියාවක් තබා පෙම් හසුනක් ලිවීම ද අපරාධයක් ලෙස සලකනු ලැබේ.
සතියකට මුද්‍රණය වන පුවත්පත් 10ක් ගතහොත් ඉන් කීයක, ‘ලිංගික අධ්‍යාපනය’ යන වචන දෙක හෙඩිම හෝ අන්තර්ගතය කර ගත් ලිපි දක්නට ලැබේද? වසර 10කට පමණ පෙරත්, මා පාසල් ශිෂ්‍යාවකව සිටියදීත්, මෙවැනි ම ලිපි, මෙවැනි ම රූපවාහිනී වැඩසටහන්, උගුරට හොරා බෙහෙත් කමින්, ඉහත වචන දෙක උඩටත් යටටත් පුනරුච්චාරණය කරමින්, කිසිවක් නොකියා කුමක්දෝ කියනු දැක ඇත්තෙමි. සැබැවින් ම අපි ලිංගිකත්වය හෝ ආදරය ගැන හෙළුවෙන් වනමු ද?

සත්‍ය නම්, අප/තරුණ ප්‍රජාව, ලිංගිකත්වය විග්‍රහ කරගෙන ඇත්තේ අලියකුගේ හැඩරුව විස්තර කරන අන්ධයින් රැළක් මෙන් යන්න නොවේ ද? අවිවාහක සම වයස් තරුණියන්, විවාහ වූ පසු ස්වාමියා හෝ යම් දිනෙක පෙම්වතා, අදාළ කාර්යය සිදු කරනු ඇතැයි ද, එතෙක් බලා සිටිනු හැර කුමක් කරන්න දැයි ද, විසුළුවෙන් පවසන අවස්ථා කොපමණ ද? එවිට එම අදාළ පුරුෂයා ද මේ සමාජයේ ම සාමාජිකයකු වන බැවින්, ඔහු ද එම කාර්යය හඳුනා ගත යුත්තේ අවිධිමත් ක්‍රමයකින් නොවේද? එම අවිධිමත් ක්‍රමය මගින්, අදාළ කාර්යය සිදු කිරීම පිළිබඳ ප්‍රාථමික අදහසක් හැරුණු කොට, ලිංගිකත්වය දැනුමක් වශයෙන් ලැබේ ද?

වයස අවු. 6-18 අතර කිසිවකු, එනම් පාසල් ශිෂ්‍යයකු, විරුද්ධ ලිංගිකයකු සමඟ කතාබහ කරනු දක්නට ලැබීම ද ව්‍යසනයක් ලෙස සලකනු ලැබේ. පෙම් සබඳතාවක් හෙළිදරව් වීම පාසල් ජීවිතයට ම සමු දීමට හේතුවක් විය හැකි ය. විවාහයකට පෙර ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත් රටේවත් විසිය නොහැකි වනු ඇත. මෙසේ අන්ධයන් මෙන් ඇවිදින අප සහකරුවකු/සහකාරියක තෝරා ගන්නේ බොහෝ විට එම අත්දැකීමෙන් තොරව ය. මුළු යෞවනය ම මව්පියන්ගේත් පාසලේත් ලිංගිකහරණ නීති වලට යටත්ව ජීවත් වන තරුණිය/තරුණයා, තම තනිකඩ ජීවිතයේ ඉතිරි කොටස ‘ගැහැනු ළමයින්ට නවාතැන්’ සහ ‘පිරිමි ළමුන්ට කාමර කුලියට’ දෙන ඇන්ටිලා, අන්කල්ලා ගේ ඇඳිරි නීතියට යටත්ව ජීවත් වෙයි. ඉන්පසු හරියටම වයස 25 සම්පූර්ණ වන විට පාරේ යන බල්ලා පූසාගේ සිට ඩිස්පැන්සරියේ වෛද්‍යවරයා දක්වා සියලුදෙනා, “තාම බැඳල නැද්ද? බඳින්නැද්ද?” යි අසන්නට පටන් ගනියි. උපන් දා සිට ‘ආදරය වරදක්’ බවත්, ‘ලිංගිකත්වය අපරාධයක්’ බවත් ඉගැන්වූ මව්පියන්, වැඩිහිටියන්, එක රැයින් යළි ඉපිද සල්ලි හදිස්සියක් මෙන් ‘මඟුල්’ හොයන්නට පටන් ගනියි. යම් රෝගයකට වෛද්‍යවරයකු හමු වුවහොත්, “දැන් බැන්ද නම් හරි. ඔය ගොඩක් ලෙඩ බැන්දට පස්සෙ හරියනව. ටෙස්ට් කරන්න විධියකුත් නෑ බැඳල නැති නිසා,” යැයි අනිවාර්යයෙන් අසන්නට ලැබේ.

සැබැවින් ම වෛද්‍යවරයාගේ පැනය විය යුත්තේ, “ඔබ ලිංගිකව සක්‍රීය ද?” යන්න නොවේ ද? විවාහය යනු ලිංගිකත්වට කියන තවත් නමක් ලෙස සැලකීම නිවැරදි ද? වැඩිහිටියන්ටත් වෛද්‍යවරුන්ටත් අනුව මෙලෙස ‘හරි’ කාලය ආ විට විවාහ වූවා යැයි පවසමු; ඉන්පසු හරියටම වසරක් ගත වන විට දරුවකුට උපත දීමේ කාලය ‘හරි’ යයි. දරුවකු බිහි කිරීමට කාන්තාවකගේ සුදුසුම කාලය වයස 26 ආසන්නය බව පවසන වෛද්‍යවරුන්, පුද්ගලයකු ලිංගිකව සක්‍රිය විය යුතු වයස ගැන කතා නොකරන්නේ ඇයි? ලිංගිකත්වය මූලික අවශ්‍යතාවක් බවත්, අයිතිවාසිකමක් බවත් කිසිවකු නොපවසන්නේ ඇයි? ස්වභාවධර්මයෙන් පුද්ගලයකුව ලිංගිකව හැසිරිය හැකි අයකු බවට පත් කළ පසු, ඔහු/ඇය සක්‍රීය ලිංගික ජීවිතයක් ගත නොකිරීම, මානසික මෙන්ම ශාරීරික ගැටලු රැසක් ඇති කරන බව දන්නේ කීයෙන් කීදෙනා ද?

ඒ අනුව අප ඇතුළත් සමාජයේ බහුතරයක්, තාරුණ්‍යයෙන් 99%ක්, තමන් රෝගීන් බව නොදන්නා රෝගීන් වෙමු. ලිංගිකත්වය තබා හුදු මානුෂීය සබඳතාවකට පවා ඉඩ නොදෙන, අස්වාභාවික, විකෘති සමාජයක් බිහිකර පවත්වාගෙන යන අප, බලධාරීන්ගේ අවධානය ඉල්ලන්නේ කුමක් සඳහා ද? පාසල් ශිෂ්‍යයා මිලිටරි රෙගුලාසි වලටත් වඩා තද නීතිවලින් බැඳ තබමින්, සියලු ස්වභාවික චර්යා මර්දනය කරමින් විකෘතියක් නඩත්තු කරන පාසල් පද්ධතියේ, ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට අමතරව සිසුන්ගේ විනය නිර්ණය කිරීමට ඔවුන් අතරින්ම තවත් සිසුන් පත්කර, එම අහිංසක ශිෂ්‍යයින් ප්‍රචණ්ඩත්වයට ලක්වන වාතාවරණය විමර්ශනය කිරීමට ය. මේ මනෝභාවය එතරම් ප්‍රහේළිකාවක් ද? මේ නම්, “මලක සුවඳ සේ යොවුන් ජීවිතේ, පිළිගමු අපි නැවුම් ආදරේ” අනියමින් තහනම් කළ සමාජයක ප්‍රතිබිම්භය නොවේද? වසර 13ක් වධ කඳවුරක මෙන් ගතකරන පාසල් ජීවිතයෙහි, කෝටියක් නීතිරීතිවලට අමතරව පාසල් ශිෂ්‍යයාට ප්‍රේමයත් තහනම් කළ යුතු ද? අස්වාභාවික, අසහනකාරී, විකෘති සහ පීඩිත සමාජයක් ගොඩනගා, හුදෙකලා සිද්ධිවලට හඬා වැළපී පළක් තිබේද? ශිෂ්‍යයකුගේ විනය පාලනය කිරීමට තවත් ශිෂ්‍යයකු පත් කිරීම සුදුසුද? එය අන්ධයා විසින් අන්ධයාට මඟපෙන්වීමක් නොවන්නේ ද? ශිෂ්‍ය නායක භූමිකාවෙහි සීමාවන් තිබිය යුතු නොවේද?

ශිෂ්‍යයකු ඝාතනය කිරීම/ශිෂ්‍යයකුට පහර දීම, තවත් සිසුන් පිරිසක් නොව කවුරුන් කළ ද අපරාධයකි. එහෙත් මෙතරම් කුහක සදාචාරයක් නඩත්තු කරන පාසල් සමාජයක, ප්‍රචණ්ඩත්වය පුදුමයට කරුණක් ද? පාසල් පද්ධතිය කාලයත් සමග තව තවත් දරදඬු නීති, ප්‍රතිපත්ති, හඳුන්වාදෙමින් ක්‍රියාත්මක වෙයි. ශිෂ්‍යයන් අපරාධකරුවන් බව ප්‍රකාශ කරමින්, මියගිය සිසුවා වෙනුවෙන් වැළපෙයි. මෙහි පහරකෑමට ලක් වූ සිසුවා මෙන්ම, පහරදුන් සිසුන් ද වින්දිතයන් බව කිසිවකුට නොපෙනෙන්නේ ඇයි? වසර කිහිපයකට පෙර එක්තරා සිදුවීමක් හේතුවෙන් විදුහල්පතිවරයකුගේ අපහාසයට සහ පාසලින් නෙරපා දැමීමේ තර්ජනයකට ලක් වූ වයස 13ක පාසල් ශිෂ්‍යාවක් සිය දිවි නසා ගත්තා ය. ඒ දිනවලද මාධ්‍යවේදීන් කාක රැළක් මෙන් ඒ සිද්ධිය නොයෙක් අතට වර නගනු දක්නට ලැබුණි. එක් මාධ්‍යවේදිනියක තම ෆේස්බුක් පිටුවේ ද ලියා තිබුණේ, මියගිය ශිෂ්‍යාවත් වර්තමාන සිසු පරපුරත්, දුර්වල පෞරුෂයකින් යුත් පිරිසක් බවයි. ජීවිතය යනු ඔයිට වඩා බොහොමයක් අසීරු අවස්ථාවලට මුහුණදීමට සිදුවන්නක් බව අවබෝධ කරගැනීමටත් ප්‍රථම, එතරම් ළාබාල වියේදී සියදිවි හානිකර ගැනීම බොළඳ බවත්, ස්ත්‍රියක් ලෙස එම නොසවිමත් බව පිළිබඳ කනගාටු වන බවත් ඇය ලියා තිබුණි. වයස 13ක් වූ මියගිය ශිෂ්‍යයාවට විදුහල්පතිවරයාගේ තර්ජනය දරාගත නොහැකිවීම තේරුම්ගත හැකි වූ මට, තේරුම්ගත නොහැකි කරුණ වූයේ, ඊට දින කිහිපයකට පෙර පෙම්වතා සමග වූ ආරවුලක් හේතුවෙන් සියදිවි හානි කර ගැනීමට ගිය අර ශක්තිමත් පෞරුෂයකින් හෙබි මාධ්‍යවේදිනියගේ විවේචනය යි.

ජීවිතයේ කවර හෝ අවස්ථාවක සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ලක් පහළ නොවූ මිනිසකු, ගැහැනියක, ලොව සිටිය නොහැක. එහෙත් ජීවත්වීමට ඇති කැමැත්ත ස්වභාවිකව ඉස්මතුවීමෙන් එම සිතුවිල්ල යටපත් වීම හෝ, එම අවස්ථාවට මුහුණදී සිටින පුද්ගලයා වටා සිටිනවුන් ඔහුගේ/ඇයගේ ක්‍රියාව මැඬ පැවැත්වීමෙන්, එය වැළකීම සිදු වේ. මේ කවර අයුරකින් හෝ එදා දිවි නසා නොගෙන ඉතිරි වූ, වයස තිස් ගණනක ශක්තිමත් ගැහැනිය, ඊට දින කිහිපයකට පසු ජීවිතයේ වඩා තීරණාත්මක සිද්ධියකට මුහුණ දුන්, අහිංසක පෙම් සබඳතාවක් හෙළිදරව් වීම නිසා පාසලෙන් නෙරපීමේ තත්ත්වයකට භාජනය වූ, සමාජයට හා මව්පියන්ට මුහුණදිය නොහැකි ලෙස අසාධාරණ විනිශ්චයකට ලක් වූ, එකම සිතුවිල්ල පහළ වූ, ඇය තරම් තැලී පොඩිවී ජීවිතයේ ඉතිරි නොවුණු 13 හැවිරිදි කෙල්ලකගේ මරණය ‘බොළඳ තීරණයක්’ ලෙස හෙළා දකියි.

තරුණියකගේ යම් පුද්ගලික අවස්ථාවක් රහසින් වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර, ඇයගේත්, මුළු ස්ත්‍රී සංහතියේත් ආත්මය වනසන්නට වූවන්ගේ සහ, මාධ්‍යවේදීන් යැයි කියා ගත් කුහකයින්ගේත් මෙවැනි විගඩම් බලා සිටිය නොහැකිව ෆේස්බුක් පිටුව වසා දැම්මෙමි. එහෙත් දිනපතාම තරුණයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයත්, සමාජයක් ලෙස විකෘතියක් තහවුරු වීමත්, නොදැක සිටීමට දෑස් පියා සිටීම ද ප්‍රමාණවත් නොවේ. සමාජයක හෝ පද්ධතියක වෙනසක් සිදු කිරීමට, රජයකටත් වඩා ශක්‍යතාව ඇත්තේ මාධ්‍යයටයි. මාධ්‍යකරුවන්ටයි. ඝාතනයට ලක් වූ සිසුවා ගැන ගුණ ගැයීම් නැවත නැවත මුද්‍රණය කිරීමට වඩා මාධ්‍යයෙන් සිදුවිය යුත්තේ; මෙම කුහක සදාචාරය නඩත්තු කරන්නන්, සිසුන් ලවා සිසුන් පාලනය කරවන්නන්, තරුණයින්ගේ ස්වභාවික අවශ්‍යතා තලා පෙළා මර්දනය කරමින්, අස්වාභාවික, ප්‍රචණ්ඩකාරී පරිසරයක් නිර්මාණය කරන්නන්, ‘ශිෂ්‍යයාට පහරදුන් ශිෂ්‍යයා’ට පෙර පුනරුත්ථාපනය විය යුතු බව ප්‍රකාශවීමයි.