රාවය

නියඟයේ භූ දේශපාලනය

නියඟයේ භූ දේශපාලනය

පන්නරය

පළමුවැනි ලෝක යුද්ධය (1914-1918) නීමාවීමත් සමඟ එතෙක් ලොව පැවති අධිරාජ්‍යන්හි බිඳ වැටීම හෙමි හෙමින් ආරම්භ විය. ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍ය යටතේ තිබූ රටවල් වූ ඕස්ටේ්‍රලියාව, හංගේරියාව, චෙකොස්ලෝවැකියාව සහ යුගොස්ලාවියාව ස්වාධීන දේශයක් ලෙස ලොව තුළ ස්ථාපිත විය. රුසියානු බල කේන්ද්‍රයට නතුව සිටි පින්ලන්තය, එස්ටෝනියාව, ලැට්වියා හා ලිතුවේනියාව පූර්ණ නිදහස දිනා ගත්තේය. ලෙබනන්, ඊජිප්තු, සිරියාව, ඉරාකය, ජෝර්දානය, සයිප්‍රස් සහ ඇල්බේනියාව, ඔටෝමාන් අධිරාජ්‍යයෙන් මිදුණු රටවල් සේ සැළකිය හැකිය. එකල අප්‍රිකානු කලාපයේ ජර්මන් අධිරාජයෙන් නිදහස් වූ දේශයක් වන්නේ නැමිබියාව හා ටැන්සානියාවයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ද (යටත් විජිත ලෙස පැවති) රටවල් 27කට අධික සංඛ්‍යාවක් ස්වාධීන දේශයන් ලෙස ලෝක සිතියම තුළ සනිටුහන් වීම නොවැලැක්විය හැකි විය. 1991 වසර අගදී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟ ඊට ඇඳී තිබු රටවල් 18කට වැඩි ගණනක් රුසියානු බල කේන්ද්‍රයෙන් වෙන් වී ගියේය.

කඳවුරු යුගලය

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ධනවාදී කඳවුර වන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කණ්ඩායම සමඟ ඉහත කී නිදහස් දේශයන්ගෙන් සමහරක් කල්ලි ගැසුණු අතර තවත් කොටසක් සෝවියට් දේශය උල්පන්දම් දුන් සමාජවාදී කඳවුරට එකතු විය. තමන්ගේ ගොඩට තව තවත් රටවල් එකතු කර ගැනීම පිණිස මෙකල ඇමරිකාව හා රුසියාව අතර විශාල බලු පොරයක් හටගෙන තිබුණි. මේ දෙකෙන් කවර පාර්ශ්වයකට එක් වුව ද අදාළ කඳවුරේ සාමාජිකත්වය ලබන දේශයට ඊට සම්බන්ධ රටවල් වෙතින් මහා පරිමාණයෙන් ආධාර හා ප්‍රාදාන ගලා ආවේය. ස්ව ශක්තියෙන් රට ගොඩනගන දිගු කාලීන සැලැස්මක් ඇති කිරීම අමතක කොට, බලවත් කඳවුරු දෙකෙන් පිරිනැමෙන ආධාර වලින් “ආතල්” ජීවිතයක් ගත කිරීමට ඒවා ලබන දේශයන්හි නායකයෝ හා සාමාන්‍ය පුරවැසියෝ අවිඥානිකවම පුරුදු වූහ. රජය පවත්වාගෙන යාම සඳහා වන තාක්ෂණික උපදෙස්, සීඝ්‍ර සංවර්ධනයට අවැසි යටිතල පහසුකම්, ආරක්ෂක උපදෙස් හා ආයුධ සැපයීම, අය-වැය හිඟය පියවීම සඳහා බිලියන ගණනින් රූබල් හෝ ඩොලර් පිරිනැමීම යන මෙකී නොකී සියලු දේ වොෂින්ටන් වෙතින් හෝ මොස්කව් වෙතින් නොමඳව ලැබිණි. සමාජවාදී කඳවුරට අයත් රටවල පුරවැසියන්හට රුසියාවේ ලුමුම්බා සරසවියේ නොමිලේ අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමෙන විට ධනවාදී කණ්ඩායමේ සාමාජිකයන් හට එවැනි සේවාවක් තිළිණ කළේ ඇමරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයයි. ගෝලිය චෙස් ලෑල්ලේ හැම කොටුවකම ස්ථාවරත්වය පවත්වාගෙන යාම උපායශීලී වශයෙන් තමන්ට වැදගත් බව රුසියාව මෙන්ම ඇමරිකාව ද දැන සිටියේය. ඊශ්‍රායලය සමග 1967,1973 හා 1982 දී යුදවැදී තෙවරක්ම නන්නත්තාරව සිටි සිරියානු යුද හමුදාව විශාල බර පැනක් යොදා නැවත ශක්තිමත් කළේ සෝවියට් සමූහාණ්ඩුවයි. ලතින් ඇමරිකානු කලාපයේ සිට පිලිපීනය දක්වා, බලයේ සිටි අන්ත දූෂිත ආණ්ඩු කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා උපායශීලී හා මූල්‍යමය අතින් අධාර කළේ ඇමරිකාවයි. බල කඳවුරු දෙකෙන් ආධාර ලබන රටවල විසූ ජන සංඛ්‍යාව අද තරම් විශාල නොවීමත්, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම හා ගෝලීය තොරතුරු දැන ගැනීමේ හැකියාව පහළ තත්ත්වයක පැවතීමත් නිසා දෙන දෙයක් වළඳා වෙමින් පවතින දේවල් දෙස බලා හිඳීමට ඔවුහු එදා පුරුදුව සිටියහ. 1980දී ඉරානයේ ජනගහනය මිලියන 40කි. වර්තමානයේ එය මිලියන 80 ඉක්මවයි.

බල කඳවුරු දෙක යටතේ පැවති රටවලට නිසි කලට වැසි ලැබීම ද, දැඩි ජනගහන වර්ධනයක් නොතිබීම ද ඒවා ලොකු අවුලකින් තොරව පවත්වාගෙන යාම පිණිස මහෝපකාරි විය. එකල චීනය තම දේශයේ දොරගුළු, අවට ලෝකය නොපෙනෙන පරිදි තදින් ක්‍රියාත්මක කොට සංවෘතව සිටි හෙයින් ලොව අනෙක් රටවල පැවති “ලාභ ශ්‍රමය” ට ඔවුන්ගේ කිසිදු තර්ජනයක් එල්ල නොවීය. අනෙක් අතට, දෙනුන්ගේ කිරි දොවන සහ කම්හල්වල ඇඟලුම් මහන රොබෝවරු ද එකල දක්නට නොවීය. එදා කාලගුණය ද අද මෙන් විපරීතකරණයට ලක්ව නොතිබුණි. වත්මනෙහි, වැස්ස යනු ගංවතුරයි. පෑවිල්ල යනු ලැව්ගිනි හෝ නියඟයයි.

අහසින් පොළවට

1991 දෙසැම්බරයේ, සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමග ලොව එතෙක් පැවති වම් හා දකුණු කඳවුරු ද වහාම වාෂ්ප වී ගියේය. 1990 වන විට කොමියුනිස්ට් චීනය වෙළෙඳපොළ බලවේග මත පදනම් වූ විවෘත ආර්ථිකය දෝතින්ම වැළඳගෙන සිටියේය. අඩු වැටුප් සහිත ශ්‍රමික රැකියා, ලොව අන් රටවලින් ක්ෂණීකව තමන් වෙත ඇද ගැනීමට චීනය හා වියට්නාමයට හැකි වූයේ ඔවුන් සිය ශ්‍රම වෙළෙඳපළ ලෝකයට විවෘත කළ හෙයිනි. ඇමරිකාව ෂෙල් ගෑස් සොයා ගැනීම සහ ලොව බොහෝ රටවල් ප්‍රවාහනය සඳහා පරිසර හිතකාමී විදුලිබලය වෙත යොමු වීම යනාදී කාරණා නිසා මෙතෙක් ඛණිජ තෙල් අපනයනය මතම යැපුණු රුසියාව, නයිජිරීයාව, වෙනිසියුලාව සහ සෞදි අරාබිය මේ වන විට බොහෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටියි. ඇමරිකානු හා රුසියානු ආධාර ඇන හිටීමට අමතරව, ලොව පුරා පැතිර යන කාලගුණික විපර්යාස ඉහත කඳවුරු දෙක මත යැපුණු රටවල් කබලෙන් ළිපට ඇද දැමීය. පසුගිය වසර 25 තුළදී ලෝකය ජය ගත්තේ ලාභම භාණ්ඩ හා සේවා ලෝක වෙළෙඳපළට නිපැයූ ව්‍යවසායකයින්ය. එහෙත් ඉදිරි අවුරුදු 25 තුළදී ජයග්‍රාහකයින් වන්නේ හුරුබුහුටි (Smart) දේවල් ලොවට හඳුන්වාදෙන තාක්ෂණඥයින්ය. කේතනය, රොබෝ තාක්ෂණය, සහ ත්‍රිමාණ මුද්‍රණය යනාදිය පාසැල් අධ්‍යාපනය තුළට ගෙන නොඑන රටවලට සුබ අනාගත සිහින දැකීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩුය. ‘නිව්යෝක් ටයිම්ස්’ මාධ්‍යවේදී තෝමස් ෆ්‍රීඞ්මන් 2014 වසරේදී ලොව දුප්පත්ම රටවල් දහයෙන් එකක් වන මැඩගස්කරය බලා ගියේය. මැඩගස්කර් දූපත ඇමරිකා-රුසියානු සීතල යුද්ධය පැවති අවදියේ මේ කඳවුරු දෙකෙන්ම වරින් වර ආධාර ලැබූ රටකි. දැන් අපි තෝමස්ගේ මැඩගස්කර් ගවේෂණ වෙත අවධානය යොමු කරමු.

“මැඩගස්කර් ජනගහනය පසුගිය දශක දෙක තුළ දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. දරුණු සුළි කුණාටු ගණනාවක් රට තුළට කඩාවැදුණු නිසා මැඩගස්කරයේ මහා මාර්ග, විදුලි බලය සහ ජල සැපයුම යනාදී සියලු යටිතල පහසුකම් කඩා වැටී තිබෙනු දැකිය හැකියි. ලොව යුදගිනි ඇවිලුනු ස්ථානවලට පවා මාධ්‍යවේදියකු ලෙස සැරිසරා තිබුණද, අලි වළවල් සහිත මෙතෙක් මා දුටු නරකම පාරවල් මා දුටුවේ මැඩගස්කරයේදියි.ජනගහනයෙන් 90% කගේම දෛනික අදායම ඩොලර් 02ට අඩුයි. මැඩගස්කර් ළමුන්ගෙන් ලක්ෂ 06 ක්ම පැසැල් නොයන්නේ, රටේ ආණ්ඩුවට අධ්‍යාපන පහසුකම් සැලසීමට මුදල් නැති නිසයි. ඇමරිකාව විසින් එකල දුන් නාසා චන්ද්‍රිකා මධ්‍යස්ථානය අද අතහැර දමා තිබෙනවා. ප්‍රංශය මැඩගස්කර් යුද හමුදාව ශක්තිමත් කිරීමට දුන් ආධාර අත්හිටෙව්වා. කියුබාව උදව්වක් ලෙස එවූ පාසැල් ගුරුවරු අද එහි දක්නට නැහැ. චීනය දුන් සීනි කම්හල දැන් සුදු අලියෙක්. වනාන්තර වලින් 90%ක්ම කපා දමා ඇති නිසා මැඩගස්කර් නිසරු පසෙහි කිසිදු වගාවක් සිදු කරන්නට බැහැ. රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා එහි සිටි ඇඟලුම් ආයෝජකයින් වියට්නාමයට ගියා. ආධාර මතම යැපුණු රටකට සිදුවිය හැකි භයානකම ව්‍යවසනය මා මැඩගස්කරයේදී දුටුවා.”

සිරියාව

වසර 2000 දී සිය පියාගෙන් සිරියාවේ ආණ්ඩු බලය තම අතට ගත් බෂාර්-අල්-අසාද් මුලින්ම කළේ විශාල කෘෂිකාර්මික ඉඩම් ඔහුගේ ගජ මිතුරන්ට පවරා දීමයි. සිරියාවේ සීමිත භූ ජල සම්පත් කිසිදු සංයමයකින් තොරව තම මහ පරිමාණ වගාවන් සඳහා උකහාගත් මේ හෙංචයියන් අතළොස්ස නිසා කුඩා හා මධ්‍ය පරිමාණ සිරියානු ගොවීහු, ගොවිතැන අතහැර නගර බලා සංක්‍රමණය වූහ. 2000ක පමණ ජනගහනයක් සිටි ඇලෙප්පෝ වැනි නගර, දශකයක් තුළදී මිනිසුන් ලක්ෂ 04කින් පිරී ඉතිරී ගියේය. අසාද්ගේ ගජ මිතුරන්ගේ අසීමිත ජල නාස්තිය හේතුවෙන් 2006 සිට 2011 දක්වා වන කාලය අතරතුර සිරියාවේ වගාබිම් වලින් 60%ක්ම දැඩි නියඟයෙන් විනාශ විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මිලියනයක් පමණ වූ ගොවීන්ට හා ගොපල්ලන්ට තම ප්‍රධාන ජීවනෝපාය අහිමි වී යාමයි. ගත වුණු වසර හැට තුළ සිරියාවේ ජනගහණය දෙගුණයක් වීම, ආහාර හා ජල අර්බුදය තව තවත් උග්‍ර කළේය. අසාද්ගේ ආණ්ඩුව මේ අර්බුදය විසඳීමට කිසිදු සාධනීය පියවරක් නොගත් හෙයින් නියඟයෙන් හා ආහාර හිඟයෙන් පීඩාවට පත් ජනතාව, සිරියානු නිදහස් හමුදාව ලෙස එක් රැස් වී රජයට එරෙහිව සන්නද්ධ සිවිල් යුද්ධයක් දියත් කළේය. වසර 07ක් පුරා ඇදී ගිය මේ යුද්ධයෙන් සිරියානුවෝ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වූහ. සීමිත ජල සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීමට සිරියානු රජය අපොහොසත් වූ නිසා මේ ව්‍යවසනය සිදු වූ බව සිරියානු අර්ථ ශාස්ත්‍රඥ සමීර් අයිටා පවසයි.

සරණාගතයින්ගේ විලාපය

කාන්තාරකරණයෙන් ලොව මුදවා ගැනීමේ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ප්‍රධානී මොනික් බාබුට්ගේ හඬට දැන් අපි සවන් දෙමු.
“මධ්‍යධරණීය මුහුද තරණය කරමින් යුරෝපය හෝ ඇමරිකාව බලා ගමන් කිරීම උදෙසා තම ජීවිත පරදුවට තබන්නේ සිරියාවේ, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ පුරවැසියනුයි. මීට අමතරව, අප්‍රිකානු රාජ්‍යන් වන සෙනෙගල්, නයිජිරීයා, නයිජර්, ගැම්බියා, සහ එරිටි්‍රයා වලින්ද සරණාගත බෝට්ටු තොග ගණනින් පැමිණෙනවා. මාෆියාකරුවන් සතු ප්‍රමිතියක් නැති බෝට්ටු වලින් ඉසුරු සොයා සංවර්ධිත රටවල් වලට පැන ගැනීමට මේ අය වැර වෑයම් කළත්, බහුතරයක්ම බෝට්ටු පෙරළි මහ මුහුදේ මිය යනවා. ඉහත කී රටවල් වරින් වර විසිත්ත කිරීමේදී මා දකින පොදු දෙයක් වන්නේ හාත්පස පැතිර ඇති දැඩි නියඟයයි. ඊට අමතරව ඒවායේ ගම්බිම්වල අද ඉතිරිව ඇත්තේ ළමයින්, ගැහැනුන් සහ මහල්ලන් පමණයි. අත පය හයිය තිබෙන තරුණයින් හා මැදිවියේ පසුවන පුද්ගලයින් සියල්ල කුමක් හෝ රැකියාවක් සොයාගනු පිණිස නීතිවිරෝධි මාර්ග ඔස්සේ විදෙස්ගත වෙනවා. හොඳ රටකට පැන ගැනීමට බැරි වූ පුද්ගලයින් අප්‍රිකාවේදී බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ට මැද පෙරදිග අල් කයිඩා හා අයි එස් මිලිටරි අංශවලටත් එකතු වෙනවා. පරිසරය සංරක්ෂණය කරමින්, කාලගුණික විපරීතකරණය වැළැක්වීමට ලෝ වාසීන් එකට එක් නොවුණොත් තව කෙටි කලකින් මුළු ලෝකයම යුධ පිටියක් බවට පත්වනු ඇතැයි මගේ අද්දැකීම් අනුව මට සිතෙනවා.”

කෘෂිකර්මය සඳහා පරිසරය සුරකින නව තාක්ෂණය යොදා ගැනීම, ජනගහන පාලනය සහ නවීන ලෝකයේ අවශ්‍යතාවලට ගැලපෙන හොඳ අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කිරීම ඔස්සේ මේ අර්බුදය විසඳිය හැකි යැයි මොනික් පවසයි.