රාවය

යළි කියවමු: කළු ජූලියේ වැලිකඩ ඝාතන

යළි කියවමු: කළු ජූලියේ වැලිකඩ ඝාතන

සුනන්ද දේශප්‍රිය

කළු ජූලිය සිදුවී දැන් පන්තිස් වසරකි. එනමුත් ඒ සා කුරිරු මිනිස් ඝාතන සමූදායකට වගකිය යුතු එකදු අපරාධකරුවකු හෝ දඬුවමක් ලබා නැත. දණ්ඩ මුක්තිය යනු ශ්‍රී ලාංකික මානව හිමිකම් සංස්කෘතිය වසා පැතිර ඇති කළු වලාවයි.
කළු ජූලිය අතරතුර වැලිකඩ බන්ධනාගාරයෙහිදී දෙමළ සිරකරුවන් 52 දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පහත පළවන විස්තර ඇතුළත් වන්නේ 1981- 1984 කාලයෙහි ඇතිවූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති සත්‍ය කොමිසමෙහි වාර්තාවෙහිය. එය පළකරන ලද්දේ 2002 වර්ෂයේදී ඉංග්‍රීසි බසිනි.

“බන්ධනාගාරය තුළ කිසිදු රහසක් නොතිබූ බවට සාක්ෂි තිබුණි. උතුරෙහිදී සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීම දැන සිටි සිරකරුවන්ට එම 24 වැනි ඉරිදා රාත්‍රියෙහි බොරැල්ලෙහි සිදුවෙමින් තිබූ දේ එලෙසම මවාගත හැකිව තිබුණි. පසුදා එනම් 25දා අනීතික දාමරික රංවු ‘ත්‍රස්තවාදීන්’ ඉල්ලමින් බන්ධනාගාරය තුළට ඇතුළුවීමට උත්සාහ දරා තිබුණි.

බන්ධනාගර තාප්පවලට පිටින් රටෙහි සිදුවූ දේ සහ හොඳින් ආරක්ෂාකර තිබූ එම තාප්ප ඇතුළත සිදුවූ දේ අතර කැපී පෙනෙන වෙනසක් විය. එනම් පිටත මෙන් නොව බන්ධනාගාරය ඇතුළත එම සිදුවීම් වැළැක්වීමටත් වින්දිතයින් ආරක්ෂා කිරීමටත් ක්‍රම සහ විධි පහසුවෙන්ම ක්‍රියාත්මක කළ හැකිවීමයි. පනාගොඩ යුද හමුදා කඳවුරෙහි සිට දෙමළ සිරකරුවන් ගෙන ඒමෙන් පසු, අත්‍යවශ්‍ය ස්ථාන යුද හමුදාව විසින් මුර කරන ලද බන්ධනාගාරය ඉතා ආරක්ෂිත විය. බන්ධනාගාරය තුළද බන්ධනාගාර නිලධාරීන්ට පාවිච්චි කිරීම පිණිස ආයුධ ගබඩාවෙහි ගිනි අවි ද තිබුණි. බන්ධනාගාරය තුළ ඇතිවන එවැනි තත්ත්වයකට මුහුණදීමට ඔවුන්ට පුහුණුවක්ද දී තිබුණි.

කොමසාරිස්වරුන් වන අපි 1983 ජූලි සිදුවීම් නිරීක්ෂණය කරනු පිණිස වැලිකඩ බන්ධනාගාරයට ගියෙමු. මරන දඬුවම ලබා ඇති සිරකරුවන්ද රඳවා ඇති චැපල් නම් අංශය වැලිකඩ බන්ධනාගාරයෙහි ඉතාම ආරක්ෂාකාරී අංශයයි. පනාගොඩ සිට ගෙන ආ දෙමළ සිරකරුවන් ද රඳවා සිටියේ එහිය.
සාක්ෂි අනුව ජූලි 25 දා සවස් වරුවෙහිදී 200 – 1000ත් අතර වූ සිරකරුවන් පිරිසක් සකස්කර ගත් ආයුධ ඇතිව චැපල් අංශයට කඩා වැදී තිබේ. ඔවුහු බී කොටසෙහි ඉබි යතුරු කඩා ඊට ඇතුළු වූහ. ඉබි යතුර මත සිය පාදය තබා තමා මරා දමා මිස ඇතුළුවීමට ඉඩ නොදෙන බව කී සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු විසින් ඊට යාබදව තිබූ සී3 කොටසට ඔවුන් ඇතුළුවීම වළක්වන ලදි. සාක්ෂි මගින් සනාථ කරන ලද මේ සිදුවීම පෙන්නුම් කළේ සිය රාජකාරිය ඉටු කිරීමට කැපවී ඇති නිලධාරියකුට දුෂ්කර තත්ත්වයක් යටතෙහි පවා ජීවිත හානි වැළැක්විය නොහැකි වුවත් අවම කරගත හැකි බවයි. එකී ජූලි 25 දා සී3 කොටසෙහි සිටි දෙමළ සිරකුරුවන් 28 දෙනෙකුගේ දිවි රැකුණේ එවැනි නිලධාරීන් නිසාය.
බන්ධනාගාර කොමසාරිස් ජෑන්ස්, අධිකාරී ලියෝ සිල්වා සහ තවත් නිලධාරීන් කිහිපදෙනකු තත්ත්වය පාලනය කිරීමට ප්‍රයත්න දැරූ බවට සාක්ෂි තිබුණද ජූලි 25 දා සහ 27දා දෙමළ සිරකරුවන්ට එල්ල කළ ප්‍රහාරයන්ට සමහර බන්ධනාගාර නිලධාරීන් සහභාගි වූ බව තීරණය කිරීමට කරුණු තිබේ.

බන්ධනාගාර නිලධාරීන් ප්‍රහාරයන් වැළැක්වීමට සංවිධිත හෝ සම්බන්ධීකරණයකින් යුතුව පියවර ගත් බවට සාක්ෂි නැත. බොහෝ නිලධාරීහු අන්දමන්දව සිටියහ. උදාහරණයක් වශයෙන් 27 දින සිදුවීමෙහිදී සිරකරුවන්ට කඳුළු ගෑස් දමා ගැසීම මගින් හමුදාව මරණයෙන් බේරි සිටි දෙමළ සිරකරුවන් සමූළ ඝාතනය වීම වළක්වන ලදි. එවැනි තත්ත්වයක් පාලනය කිරීමට ප්‍රමාණවත් තරම් ක්‍රම සහ විධි තිබූ බන්ධනාගාර නිලධාරීහු තත්ත්වය පාලනය කිරීමට කිසිදු සංවිධිත පියවරක් ගෙන තිබුණේ නැත.

ඇත්ත වශයෙන්ම නම් ආණ්ඩුව කලින් සැක කළ පරිදි සිදුවීමට ගියේ දෙමළ සිරකරුවන්ට පහරදීම වෙනුවට බන්ධනාගාරයෙන් පලායාමක් නම් බන්ධනාගාර නිලධාරීන් ලෙහෙසියෙන්ම ඊට මුහුණ දෙන්නට තිබුණි. කටයුතු සිදුවූයේ ඊට වෙනස්ව ය.
බන්ධනාගාර ගේට්ටුවෙහි රඳවා සිටි යුද හමුදාව ප්‍රහාරය මැඬපැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන්ට සහායවීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව එදින පසු භාගයෙහිදී ජයවේවායැයි කෑගැසීම මගින් සිරකරුවන්ගේ ‘තෘප්තිය’ බෙදා ගත් බවක් පෙනුණි. බන්ධනාගාරයෙන් පලායාමේ උත්සාහය පිළිබඳ කතාව ගෙතූ එකකි.

බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය පියවර ගත්තේ නම් ජූලි 25දා නැති වූ ජීවිත 25 බේරාගත හැකිව තිබුණි.
රටපුරා පැතිරගිය කලබල හමුවෙහි ජූලි 25දා පොලීසියේ උදව් ගැනීම ඉතා දුෂ්කර විය හැකිව තිබූ නමුත් බන්ධනාගාරය වටා සිටි යුද හමුදාව ජූලි 25දා කඳුළු ගෑස් විදීම මෙන් කිසිදු පියවරක් නොගෙන සිටීම හමුදාවෙහි රාජකාරිය බරපතළ ලෙස පැහැර හැරීමක් ලෙස පෙන්වා දිය යුතුය.
ජූලි 25දා සහමුලින්ම අප්‍රමාණවත් නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම යම් යම් පියවර ගෙන තිබූ නමුත් ජූලි 27දා වඩා භයානක අවිආයුධ ඇතිව සිදුකළ සමූළ ඝාතනය වැළැක්වීමට අසමත්වීම රාජ්‍යයේ බරතපළ අසමත්වීමක් ලෙස සඳහන් කළ යුතුය. ඝාතනය කරන ලද සැකකරුවන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එස්. සල්ගාදු සාක්ෂිදෙමින් කියා සිටියේ 27වන දින මෙන් නොව ජූලි 25න දින යොදා ගන්නා ලද්දේ වැඩි දියුණු කරගත් ඔවුන්ගේම ආයුධ බවයි.

නියෝජ්‍ය කොමසාරිස්වරයා වූ සී.ටී. ජෑන්ස් සාක්ෂිදෙමින් කියා සිටියේ 25වන දින ඝාතනයෙන් පසු රාජ්‍ය භාරයේ සිටි සැකකරුවන් 35 දෙනකු ඝාතනය කරන ලද බව තමා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට දැනුම් දුන් බවයි. එවැනි ඝාතනයක් යළි ඇතිවීම වැළැක්වීම පිණිස පියවර ගන්නේ දැයි විමසනු ලදුව ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ ඔවුන් කොළඹින් පිටට මාරු කිරීමට පියවර ගන්නා බවයි. එනමුත් එදින ඔවුන් මාරුකරන ලද්දේ තරුණ අපරාධකරුවන්ගේ අංශයටය. අතිශය තුච්ඡ සහ අමානුෂික ඝාතනය වූයේ තරුණ අපරාධකරුවන්ගේ අංශයෙහි සිටි දෙමළ සිරකරුවන් ප්‍රථම සමූල ඝාතනයෙන් දෙන ලද අනතුරු හැඟවීම් තිබියදී තරුණ සිරකරුවන් 18 දෙනකු සමූල ඝාතනය කිරීම මගින් පෙන්නුම් කැරුණේ දෙමළ සිරකරුවන්ට ආරක්ෂාව ලබාදීමට රාජ්‍යය අසමත් වූ හැටිය.

ඉතාම වැදගත් මූලික අයිතිවාසිකම වනුයේ පුද්ගලයකුගේ ජාතිකත්වය පිළිබඳව ඇති අයිතියය. පුද්ගලික නිදහස අහිමි කරන ලද සිරකරුවකුට නීතිය මගින් ඉවත් කරන ලද ඒවා හැර අන් සියලු අයිතීන් අයත්ය. යුක්තිය බන්ධනාගාර ගේට්ටුව ළඟ නතරවන්නේ නැත. සිරගත කිරීම නිසා ‘අත්‍යවශ්‍යයෙන්’ නැතිවූ අයිතීන් හැර අන් අයිතීන් සිරකරුවන්ට අහිමි නොවේ. 13 (4) වගන්තිය සෑම පුද්ගලයකුගේම ජීවිතාරක්ෂාව තහවුරු කරයි. මෙම අයිතිය රාජ්‍යය සහ රාජ්‍ය ආයතනයන්ගෙන්ද රැකවරණය සහතික කරයි. මෙම අයිතීන් රැකීමට පියවර ගැනීම රාජ්‍යයේ සහ රාජ්‍ය ආයතනයන්හි වගකීම වේ. ජෑන්ස් විසින් ජූලි 25දා සිදුවූ සමූල ඝාතනය දැනුම්දීමෙන් පසුත් ජූලි 27වන දින දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයා අසමත්වීම රාජකාරිය දරුණු ලෙස පැහැර හැරීමකි. එවැනි සිදුවීම් යළි ඇති නොවීම වැළැක්වීමට ඔහු පියවර ගත්තේ නම් වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටි දෙමළ සිරකරුවන් 18 දෙනා ඝාතනය වන්නේ නැත.දෙමළ සිරකරුවන්ගේ ජීවිත රැකගැනීමට ආරක්ෂාකාරී පියවර ගැනීමට රාජ්‍ය නායකයා ලෙස සිය වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා අසමත්වීම කනගාටුවට කරුණක් වන අතර එමගින් රාජ්‍යය අමාරුවේ වැටුණි.

වැලිකඩ සිරගෙදර සිදුවූ සමූළ ඝාතනයන් සඳහා බාහිරින් පුද්ගලයින් සහභාගි වූ බවට සාක්ෂි නැත. ප්‍රහාරයන්ට සම්බන්ධ වූයේ බන්ධනාගාර නිලධාරීන් සමහරකුගේ අනුබලය ලද සිරකරුවෝය. එම ඝාතන කිරීමට ඉඩ ලැබුණේ එකී නිලධාරීන්ගේ අනුග්‍රහය නිසාය. දිවි ගලවාගත් සිරකරුවෝ එම ඝාතනයන් ගැන සාක්ෂි දුන්හ. ජූලි 25 සහ 27 දින සිදුවූ සමූල ඝාතනයන්ට සම්බන්ධ සියලුම සාක්ෂි අප වෙත ඉදිරිපත් නොකරන ලද බව කිව යුතුය.

ප්‍රහාරය සිදුවන විට බන්ධනාගාර නිලධාරීන් හත්අට දෙනෙක් එය බලා සිටියහ. බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන් ගැන හොදින් දන්නා නමුත් සාක්ෂි දුන් ඔවුන් කිසිදු සිරකරුවකු චූදිතයකු ලෙස නම් කළේ නැත. කුට්ටුමනී එළියට ඇද ගත් සිරකරුවෝ ජයවේවා කියමින් ඔහුට පිහි පහර දුන්හ. යුද හමුදාව පිටත සිට ජයවේවා යැයි ඝෝෂා කළහ. ජූලි 25 වන දින ඝාතනය කරන ලද සිරකරුවන් 35 දෙනා බන්ධනාගාර ලොරියක පටවා හදිසි අනතුරු වාට්ටුවට යැවීමට සූදානම් කරන ලද නමුත් ජෑන්ස් සතුව පොලිස් ආරක්ෂාවක් තිබුණද යුද හමුදාව ඊට ඉඩ දුන්නේ නැත. එම සිරුරු අතර මිය නොගිය පුද්ගලයෝ සිටියහ.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට දඬුවම් නොපැනවීම ගැන අපි කනගාටුවෙමු. බන්ධනාගාර අධිකාරී ලියෝ සිල්වා විසින් ආරම්භ කරන ලද අභන්තර පරීක්ෂණය අතරමග නතර කරන ලදි. බොරැල්ල පොලීසිය විසින් ආරම්භ කරන ලද පරීක්ෂණය මරණ පරීක්ෂණයන්ගේ එපිටට ගිය බවට සාක්ෂි නැත. පොලිස් වාර්තා ලබා ගැනීමට කොමිසම දරන ලද උත්සාහය අසාර්ථක වූයේ පොලිස්පතිවරයා එම වාර්තා සොයා ගැනීමට නැතැයි කී නිසාය. ආණ්ඩුවක වගකීම වන්නේ අපරාධයන්ට වගකිවයුතු පිරිස්වලට දණ්ඩ මුක්තිය නොදී දඬුවම් කිරීමය. එදා පැවැති ආණ්ඩුව එහිලා අසමත් විය. මරණ පරීක්ෂණය කළ විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරී ලියෝ සිල්වාගේ සාක්ෂිය වක්‍ර ලෙස ප්‍රතික්ෂේප කරන ලදි.

(ඍජු පරිවර්තනයක් නොවන බව සලකන්න)