තුළනය නොවූ තුළනාත්මක විමසුම

විපුල අබේසිංහ.

කාන්තාවක් නාන කාමරයේ ස්නානය කරමින් සිටී.එක්තරා පුද්ගලයෙක් (නවනන්දන විජේසිංහ) මෙය නරඹමින් විනෝද වෙයි.අවාසනාවකට ඔහුට පෙනෙන්නේ නාරිදේහයේ කොටසක් පමණි. සිද්ධිය අවසානයේ මිතුරා ඔහුගෙන් ඒ ගැන විමසයි.ඔහුගේ පිළිතුර වන්නේ උඩ කෑල්ල නම් මරු යටකෑල්ල නම් අන්තිමයි යනුවෙනි.මෙය මා කුඩා කල නැරඹූ සිනමා පටයක කොටසකි.මෙය මට නැවත මතක් වූයේ චින්තක රණසිංහ මහතාගේ එල්ලා මැරීම තුළනාත්මකව විමසමු ලිපිය කියවීමෙන් අනතුරුවය.ලිපිය කියවීමෙන් අනතුරුව මට සිතුනේත් උඩ කෑල්ල නම් මරු යටකෑල්ල නම් අන්තිමයි යනුවෙනි.

චින්තක මරණ දඬුවම සුදුසු බව යෝජනා කරයි.තුළනාත්මක විමසුමක් යනුවෙන් නම්කොට තිබුණද ලිපිය පුරා ඇත්තේ මරණ දඬුවම යෝජනා කිරීමත් එයට විරුද්ධ වන මානව හිමිකම් ක්‍රියාකාරීන්ට පහර දීමත්ය.එය සාධාරණීකරණය කිරීම සඳහා ඔහු යොදා ගන්නේ ළමා අපචාරය.සියලු අපරාධ අතර මිනිසුන්ට ඉතාම සංවේදී වන්නේ ස්ත්‍රීදූෂණයයි.එයින්ද ළමා අපචාර ජනයාට වඩාත් සංවේදී වේ.චින්තක තමාගේ යෝජනාවට පාඨකයාගේ මනාපය ලබා ගැනීම සඳහා මෙම සංවේදී බව යොදා ගනී.පාඨකයාගේ සංවේදිම නිලය අල්ලා උත්තේජනය කරයි.ඉන්ද නොනැවතී දූෂණයට ලක් වන පවුල්වල අගහිඟකම් කියාපායි.චින්තක මෙසේ කියයි. “ඔවුන් උදයට හවසට නොකා පාසල් යන දරුවන්ය බොහෝ විට ඔවුන් දූෂණයට ලක්ව තිබෙන්නේ දවල්ට බස් නැති නිසා පයින් ගොසිනි.නැතහොත් බස් එකේ යාමට මුදල් නැති නිසා කැලෑ පාරවල් වල යාමෙනි”. චින්තක මෙහිදී බොහෝවිට යන වචනය යොදා ගනී.චින්තක බොහෝවිට යන නිගමනයට එන්නේ නිසි අධ්‍යයනයකින් පසුවද? එසේනම් පිළිතුර පහසුය.මෙම බස්රථ නැති පාරවල් සඳහා බස් රථ ධාවනය කරවීමෙන් මෙම බොහෝවිට කොටස අවම කරගත හැක.ඒ සඳහා රියදුරන් හා කොන්දොස්තරවරුන් ලෙස යුද්ධය නිම වීමෙන් පසු කරන්නට වැඩක් නැතිව ශ්‍රමය අපතේ යවමින් සිටින හමුදා භටයින් යොදා ගත හැකිය.මේ නිසා රජයට ඒ සඳහා දරන්නට සිදු වන වියදමද අවම වේ.චින්තක බොහෝවිට යන නිගමනයට එන්නේ කෙසේදැයි ඊළඟ ඡේදය කියවීමෙන් වටහා ගත හැක.මෙන්න බලන්න චින්තක කියන දෙය.ඇහැලියගොඩ එල්ලාවල පිටකන්දේ දැරියක් දූෂණය වූවේ පිටකන්දට බසයක් නොයන නිසාය.චින්තක බොහෝ විට යන නිගමනයට එන්නේ මේ තොරතුර මතය.එක්තරා අපරාධයක අපරාධකරු නීතියට හසු වන්නේ සිද්ධිය සිදු වූ ස්ථානයේ වැටී තිබූ අපරාධකරුගේ කෙස්ගසකිනි.අනතුරුව පොලිස් නිලධාරියා නිගමනයකට පැමිණේ.එසේ නම් තට්ට හිසක් ඇති උන් කොතරම් අපරාධ කර ඇද්ද යනුයි.සියලු තට්ට හිස් ඇති මිනිසුන් පොලිස් නිලධාරියා විසින් අත්අඩංගුවට ගනු ලබයි.චින්තකගේ බොහෝවිට යන නිගමනය එන්නේද මේ ආකාරයෙනි.

චින්තකට ඇති ඊළඟ ගැටලුව වන්නේ දූෂකයා දූෂණයට ලක් වූ දරුවාගේ ගේ අසලින් උජාරුවට ගමන් කිරීමයි.ඒ නිසා දූෂකයා මරාදැමිය යුතුයි යන්න චින්තක නොකියා කියයි.බලන්න චින්තකගේ චින්තනයේ ඇති දුප්පත්කම. චින්තක මෙය ස්ථාන කීපයක සිට නිරීක්ෂණය කළ දෙයක්ද? අගතියට පත් පාර්ශ්වයේ ඇති බිඳුනු මානසික තත්ත්වය නිසා මෙය ඔවුන්ට පෙනුණු දෙයක් හෝ හිතේ මවාගත් දෙයක්ද වන්නට හැකිය.විත්තිකරුවන් පැමිණිලි කරුවන්ට තර්ජනය කිරීම බිය වැද්දීම සන්ධ්‍යා එක්නැලිගොඩගේ සිට සාමාන්‍ය දුප්පත් මිනිසා දක්වා ඕනෑම සමාජ තීරුවක මිනිසෙකුට අත්දැකීමට සිදු වන තත්ත්වයක් විය හැකිය. මෙය බහුල වශයෙන් සිදුවන දෙයකි.සන්ධ්‍යා එක්නැලිගොඩ යනු නිර්ප්‍රභූ පැලැන්තියේ කෙනෙක් නොවේ.මරණ දඬුවම නියම කිරීමෙන් මෙම උජාරුවට යාම නැවතිය හැකිද?

අනතුරුව චින්තක මෙසේ කියයි.මානව හිමිකම් පිළිබඳව කොළඹ සිට කෑගසන මහත්වරුන්ගේ හා නෝනාවරුන්ගේ දරුවන් කිසිවෙක් මේ දරුවන් ගොදුරු වන ශෝචනීය ඉරණමට ගොදුරු වන්නේ නැත.ඔවුහු තමන්ගේ වාහන වලින් හෝ පාසල් වෑන් වලින් පාසල් ගොස් ගෙදරට පැමිණෙති.මෙසේ කියන්නේ ලිපියේ මුල් කොටසින් මානව හිමිකම් රකින්නන්ට අපහාස උපහාස කිරීම වහා නතර කළ යුතුයි කියන චින්තකමයි.මුළු ලිපියම චින්තකගේ වුවද කියවීමේදී චින්තකයින් දෙදෙනකු මතු වේ.මුළු ලිපියේම ඇති ඉතාම සාහසිකම කොටස වන්නේද මෙයයි.චින්තකට ඇත්තේ ළමයින් දූෂණය වීමේ ගැටලුව නොව ප්‍රභූ පවුල් වල දරුවන් දූෂණය නොවී නිර්ප්‍රභූ පවුල් වල දරුවන් දූෂණය වීමේ ගැටලුවයි.වෙනත් ආකාරයකට පවසන්නේ නම් මුළු ලංකාවේම දරුවන් ප්‍රභූ සහ නිර්ප්‍රභූ වශයෙන් කොටස් දෙකකට බෙදා සම කෝටා ක්‍රමයකට දූෂණය කරනු ලබන්නේනම් චින්තකට ගැටලුවක් නොවන බවයි.පාසල් වෑන් රථ වලින් පාසල් යන කටේ කිරිසුවඳවත් නොගිය ළමයින් දූෂණය වීම දිනපතා නොවූවත් ඉඳහිට හෝ ඇසේ. ගෝනවල සුනිල් අතින් දූෂණය වන්නේ වෛද්‍යවරයකුගේ දියණියකි.කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ පිරිමි විදුහලක ඉගෙනුම ලබන ළාබාල පිරිමි ළමුන් පිරිසක් සංගීත ගුරුවරයා අතින් වරින් වර අපයෝජනයට ලක් වේ.මේ ළමුන් ගැන කිසිවක් මා නොදන්නා නමුත් මේ ළමයින් අපයෝජනයට ලක් වන්නේ පාරේ බස් නැති නිසාවත් බස් එකේ යාමට මුදල් නැති නිසාවත් නොවේ.ඔවුන් උදයටද නොකා දවල්ටද නොකා පාසල් යන පහළම ආර්ථිකයේ දරුවන්ද විය නොහැක.මෙවැනි උදාහරණ ඕනෑතරම් අපට සොයාගත හැකිය.ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය දූෂණය වුවද ප්‍රභාකරන්ගේ දියණිය දූෂණය වුවද බණ්ඩයියාගේ දියණිය දූෂණය වුවද අපට එක ලෙසින් දැනිය යුතුය.එය අපට දැනෙන්නේ දූෂණයට ලක් වූ දරුවාගේ පියාගේ හෝ මවගේ තරාතිරම එසේත් නැතිනම් එම පවුලේ තරාතිරම අනුව නම් අපගේ දැක්මේ ලොකු අවුලක් ඇතිබව අපි අවබෝධ කරගත යුතුය.චින්තක මේ දෙස බලන්නේ ඉතා දුෂ්ඨ සහ වෛරී සහගත ආකාරයටය.

එල්ලා මැරිම නොකළ යුතු දෙයක් නම් දිය යුතු දඩුවම් කීපයක් චින්තක යෝජනා කරයි.එයින් එක යෝජනාවක් වන්නේ පිටුවහල් කිරීමය.පිටුවහල් කිරීම යන්නෙන් ඔහු අදහස් කරන දෙය පැහැදිලි නැතත් චින්තක අදහස් කරන්නේ වෙන රටකට පිටුවහල් කිරීම විය යුතුය.එම යෝජනාවේ ඇති හාස්‍යජනක ස්වභාවය නිසාම මම ඒ ගැන කතා කිරීමෙන් වැලකෙමි.නමුත් අවස්ථාවක් ලැබෙන්නේ නම් පිටුවහල් කළ යුත්තේ.බුරුමයේ රොහින්යා ජාතිකයින් සිටින ප්‍රදේශයටයි.අප ඔවුන් ආදරයෙන් පිළිගත්තා සේ ඔවුන්ද අපව ආදරයෙන් රැකබලාගනු ඇත.
මරණ දඬුවම මේ අවස්ථාවේදී යෝජනා වී ඇත්තේ පටු සීමාවක් තුළය.එනම් මත්ද්‍රව්‍ය ජාවාරම් කොට මරණ දඬුවම නියම වී බන්ධනාගාරය තුළ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින අතර තුර එහි සිට නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සිරකරුවන් සඳහා පමණක්ය.එහෙත් රජය කිසිම අවස්ථාවකදී එය ක්‍රියාත්මක කරන ආකාරය නැත හොත් ක්‍රමවේදය හෙළිකර නැත.ඇත්තේ ක්‍රම දෙකකි.පවතින සාක්ෂි මත නැවත අධිකරණ ක්‍රියාවලියකට යාම සාධාරණම ක්‍රමයයි.පුද්ගල නිර්දේශ මත අත්හිටවූ මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම දෙවන ක්‍රමයයි.දෙවන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් සිරකරුවා බරපතළ ආකාරයට පලිගැනීමේ අවධානමට මුහුණ දේ ඉන්ද නොනැවතී නිර්දේශ ඉදිරිපත් කරන පුද්ගලයාට පලිගැනීමේ පහසු අවස්ථාවද උදාකර දෙයි.මේ තත්ත්වය ඉතා බරපතළ හා කාලකණ්ණි තත්ත්වයක් උදා කරනු ලබයි.මෙය ශිෂ්ඨාචාරයේ ආපසු ගමන් කිරීමකි.
එහිදී මතු වන අනෙක් වැදගත් කාරණය නම් අධි ආරක්ෂිතව සිටින සිරකරු පිටත ලෝකය හා සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම කරන්නේ කෙසේද යන්නයි.නිසැක වශයෙන්ම මෙහි අතරමැදියා වශයෙන් ක්‍රියා කරන්නේ බන්ධනාගාර නිලධාරියායි.පළමුව දඩුවම් කළ යුත්තේ ඔහුටයි.රජය නැවතත් වල්ගය පාගාගෙන ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නම් එය විය යුත්තේ අවංක චේතනාවෙන් විනා පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා නොවේ.චින්තක කතා කරන්නේ මරණ දඬුවම ගැනය. නමුත් මේ අවස්ථාවේ යෝජනා වී ඇත්තේ මරණ දඬුවමට යටත් වී නැවත සිරමැදිරි තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පිරිස් සඳහා පමණක්ය යන පටු සීමාව තුළය.චින්තක මේ ගැන කිසිවක් නොකියයි. එයින් මතු වන ගැටලුචින්තක විග්‍රහ කරන්නේ නැත.සිරිසේන මහතාගේ මරණ දඬුවම සහ චින්තකගේ මරණ දඬුවම එකක් නොව දෙකකි.
නීතිය යනු කුමක්ද? මගේ අදහස නම් යම්කිසි ආකාරයකට පුරවැසියා බියට පත් කොට හික්මවීමයි.අසවල් වේගයට වඩා වැඩි වේගයකින් රථය ධාවනය කළ හොත් අසවල් දඩය ඔබට ගෙවීමට සිදුවනු ඇත.රියදුරා රථය හික්මීමෙන් යුතුව ධාවනය කරයි.මේ නිසා රිය අනතුරු අවම වේ.එහෙත් සෑම රියදුරෙක්ම නීතිය පිළිපදින්නේ නැත.ලංකාවේ නියම අර්ථයෙන් ක්‍රියාත්මක නොවුවද සිරදඬුවම යනු යම්කිසි ආකාරයක පුනරුත්ථාපනය කිරීමකි.නීතියට ඉහත ආකාරයෙන් බියට පත් නොවී දිගින් දිගටම නීති විරෝධී කටයුතු වල නිරත වන්නන් යම්කිසි කාලයකට සිරගත කරනු ලැබේ. විය යුත්තේ ඒ කාලය තුළ ඔවුන් පුනරුත්තාපනය කිරිමයි.ඉහත ආකාර දෙකටම නිවැරදි කළ නොහැකි පුද්ගලයන්ගෙන් සමාජයට වන හානිය වැලැක්වීම සඳහා ඔවුන් ජීවිත කාලයටම සමාජයෙන් වෙන් කර තැබීම ජිවිතාන්තය දක්වා සිරදඩුවමේ හරයවේ.මිනිසුන්ට සපාකනු ලබන බල්ලා බැඳ හෝ කූඩුකර තබයි.ප්‍රධාන ගැටලුව වන්නේ මිනිසකු ජීවිත කාලයටම වන සේ සමාජයෙන් වෙන් කොට සිරගත කරනු ලබයි නම් ඔහු හෝ ඇය මරා දමන්නේ ඇයිද යන්නයි.

මා නීති විශාරදයකු නොවේ.එහෙත් මා සිතන ආකාරයට මරණ දඬුවම නියම වූ සිරකරුවකු ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස පහළ දමනු ලබන්නේ නීතිමය පියවරයන් ගණනාවකට පසුව විය යුතුය.කිසිම ආකාරයකින් මෙම පියවරයන් නැවත ආපස්සට ගත නොහැකිය.දඬුවම ලිහිල් කිරීමකදී එය කළ හැකි වුවත් නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශයක් තිබිය නොහැකිය.වරදකරුට කළ වරද සඳහා දැන් දඬුවමක් නියම වී අවසානය.එය දැන් අවසන් වී ඇත.එම වරද සඳහාම නැවත දඬුවම් නියම කිරීම කිසි සේත් කළ නොහැකිය.සිරකුටියේ සිට එම වරදම නැවත සිදුකරන්නේ නම් නැවත අධිකරණ ක්‍රියාමාර්ගයකට යා යුතුය.එකම වරද වුවත් එය වෙනම සිද්ධියකි.එසේ නොකොට හිතුවක්කාරී ලෙස මරණ දඬුවම ක්‍රියාවට නගන්නේ නම් එය අධිකරණ ක්ෂේත්‍රයේ බරපතළ අවුලක් ඇති කරනු ලබන අතරම හිතුවක්කාරී ලෙස මරණ දඬුවම ක්‍රියාවට නැගූ වැඩවසම් යුගයට රට නැවත රැගෙන යාමකි.
මාගේඊළඟ නිරීක්ෂණය නම් සිරිසේන මහතා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරනු ලබන්නේ පටු දේශපාලන අර්ථයෙන් බවයි.කඩාවැටෙන ඔහුගේ ජනප්‍රියත්වය යළිත් ගොඩනගා ගැනීම අරමුණ විය හැකිය.යම්තාක් දුරට මෙය සාර්ථක වූවත් සිරිසේන මහතාගේ කඩා වැටීම වැලැක්වීමට මෙම මුක්කුව සමත් නොවනු ඇත.ගහගෙන යන සිරිසේන මහතා පිදුරු ගහේ එල්ලී ඇත.
ලංකාවේ සැම ක්ෂේත්‍රයකම ඇති බරපතළ කඩාවැටීම හමුවේ පුරවැසියන් බොහෝ දෙනකුගේ සිතිවිල්ල වන්නේ දැන් රටට අවශ්‍ය දැඩි නායකයකු බවයි.උපාලි හාමුදුරුවන් හිට්ලර් ඉල්ලීමද විජයකලා මහේශ්වරන් ප්‍රභාකරන් ඉල්ලිමද මෙම සිතිවිල්ල නිසාම හටගන්නකි.අංක ගණිතයෙන් ප්‍රකාශ කළ නොහැකි මුත් පුරවැසියන්ගෙන් සැලකිය යුතු කොටසකගේ පරමාදර්ශී චරිතය වී ඇත්තේ ගෝඨාභයයි.ගෝඨාගේ දැඩිබව විසින් සියලු ප්‍රශ්නවිසඳා රට ගොඩගනු ඇතැයි ඔවුහුවිශ්වාස කරති.සිරිසේන මහතා මෙය හොඳින් දනී.රටවැසියන් පෙම් කරන්නේ ගෝඨාගේ දැඩි ගතියට බව සිරිසේන මහතා විශ්වාස කරයි.සිරිසේන මහතා මරණ දඬුවම නැවත ගෙන එන්නේ “මමත් ගෝඨා වගේ තද පොරක්” යන පණිවිඩය පුරවැසියන්ට ලබා දීමටය.
සේයාගේ මරණයේදී පළමුව ඇඟිල්ල දිගු වන්නේ සේයාගේ පියාටය.දෙවනුව පාසල් සිසුවකුට වන අතර තුන්වනුව කොණ්ඩයාටය.ඉන් පසු කොණ්ඩයාගේ සහෝදරයාටද වේ.පොලිස් පරීක්ෂණයේදී සිදු වන අතපසුවීමකදී හෝ නීතිඥයා වෙතින් සිදු වන වැරැද්දකදී එසේත් නැත්නම් විත්තිකරුවාගේ එක් පිළිතුරක ඇති දෝෂ සහගත බවකින් එසේත් නැත්නම් උසාවි යාන්ත්‍රණයේ ඇති තාක්ෂණික දෝෂයකින් කොණ්ඩයා වැරදිකරු වූවේ නම් මරණ දඬුවම ක්‍රියාත්මක කරන පසුබිමක කොණ්ඩයාට මරණය හිමි වේ.මෙය නැවත නිවැරදි කළ නොහැකි අවස්ථාවකි.කෙතරම් දියුණු මෙවලම් තිබුණද කෙතරම් දක්ෂ පොලිස් නිලධාරීන් සිටියද අධිකරණය කොතරම් අපක්ෂපාතී වුවද මිනිසා අතින් සිදුවන එක් වැරැද්දකින් නිවැරදිකරුවකු මරණයට පත් විය හැක.මරණ දඬුවමේ ඇති අභාග්‍ය එයයි.කොණ්ඩයා වාසනාවන්ත වුවත් එසේ නොවූ කීදෙනෙක් සිරමැදිරි තුළ ඇත්ද?

චින්තක මෙසේද කියයි.දියුණු බටහිර රටවල් මරණ දඩුවමට එරෙහි වන්නේ දිගුකාලීනව ගොඩනගාගත් ශිෂ්ඨාචාරයක් ඔවුන් සතු වන නිසාය.මා චින්තකට යෝජනා කරන්නේ මෙම වාක්‍ය උඩුයටිකුරු කර කියවා බලන ලෙසයි.එවිට එය මෙසේ වනු ඇත.මරණ දඩුවම වැනි අමානුෂික දඩුවම් ක්‍රමයෙන් ඉවත් කිරීම නිසා ඔවුන්ගේ ශිෂ්ඨාචාරය විශිෂ්ට ශිෂ්ඨාචාරයක් බවට පත් විය.චින්තක, ඇත්ත වශයෙන්ම විය යුත්තේ මෙයයි.එහෙත් චින්තකගේ චින්තනය විසින් අප ගෙනයනු ලබන්නේ අවුරුදු සියගණනක් ආපස්සටය.
ලංකාවේ පොලිසිය අපරාධ පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විද්‍යානූකූල ක්‍රම උපයෝගීකොටගෙන නොව සැක සිතෙන සෑම කෙනකුටම දසවද දී තොරතුරු ලබාගැනීමෙනි.මේ නිසා ලංකාවේ එක් දිනක් තුළ අහිංසකයින් විශාල ප්‍රමාණයක් පොලිසිය තුළදී අමානුෂික වද බන්ධන වලට ලක්වේ.අත්අඩංගුවේදී මිය යාමද දුලබ කාරණයක් නොවේ.ඉතාම පැරණි ක්‍රම භාවිත කරන අධිකරණයේ තාක්ෂණ දෝෂද ටොන් ගාණකි.මේවාද සාධාරණ විනිශ්චයන්ට අවහිර වන දෑය.මරා දැමීමට පෙර මේ ගැනත් සිතා බැලිය යුතුය.
විත්තිකරුවා පැමිණිලිකරුගේ නිවසටම පැමිණ බැන තර්ජනය කරයි.මේ දැක අසල්වාසීන් මෙසේ කියනු ඇත.“බලපල්ලකො මුං වැරැද්දත් කරල තව ගහන්නත් එනවා.මුං ඔක්කොම එකට බැඳල පුස්සල දාන්න තියෙන්නේ” චින්තකගේ ලිපිය සුභාෂිතයෙන් පෝෂණය වුවද චින්තක කියන්නේද මුං ඔක්කොම එකට තියා පුස්සා දැමිය යුතුය යන නූගත් ග්‍රාම්‍ය කතාවයි.
ජාත්‍යන්තර වශයෙන් මෙහි ඇති බලපෑමද සලකා බැලිය යුතුය.රාවය වාර්තා කරන අන්දමට මරණ දඩුවම ක්‍රියාත්මක නොවන රටවල් ගණන 142 කි.එය විශාල ප්‍රමාණයකි.යුරෝපා සංගමයද මින් ඉවත් වී බොහෝ කල්ය.යුරෝපා සංගමය විසින් අපට ලබා දෙන G.S.P. ප්ලස් සහනය ගැනද නැවත සලකා බලන බව යුරෝපා සංගමය දැනටමත් අනතුරු අඟවා ඇත.වසර 40 ක් පුරා මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමෙන් ශ්‍රී ලංකාව ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයටද මෙයින් බලවත් හානි සිදුවිය හැකි අතරම ඉදිරි මානව හිමිකම් සැසිවාර වලදීද ගැටලු මතුවිය හැකි බවට සමහර අංශ පෙන්වා දෙයි.

මරණ දඬුවමේ හරය වන්නට ඇත්තේ මිනිසා තුළ දැඩි බියක් ජනිත කර හික්මවීමයි.එහෙත් මෑත යුගයේ මරණ දඬුවම දැඩි විවාදාපන්න මාතෘකාවක් බවට පත් විය.මරණ දඬුවමට විරුද්ධ වන්නන්ගේ මතය වූයේ මරණ දඬුවම නියම කිරීමෙන් අපරාධ අඩු නොවන බවයි.අපරාධ අඩු නොවන්නේ නම් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වන අතරම ජීවිතාන්තය දක්වා අපරාධකරු සිරකළ හැකිනම් මරා දැමීමද නිෂ්ඵල ක්‍රියාවක් වේ.මරණ දඬුවමේ ඇති කෲර හා වෙනස්කළ නොහැකි බවද දැඩි කතාබහට ලක් වූ කරුණකි.කොතරම් දියුණු ක්‍රමවේද භාවිතා කෙරුණද සෑම දෙයක් පිටුපසම සිටන්නේ මිනිසාම වන බැවින් අතපසුවීම්ද බොහෝ සිදුවිය හැකිය.