උතුරට අවශ්‍ය තුවක්කු හෝ හෙරොයින් නොවේ

විමලනාත් වීරරත්න

“මා දේශපාලනයට පිවිසියේ නඩු මගට පිවිසි අයකු වෙත ඔහුගේ අද්වකාත් රැකවරණය සලසන්නාක් වගෙයි. නඩුව බාරගත් විට මාගේ සේවාදයකයාගේ ප්‍රශ්නය අවබෝධ වෙනවා. මා හැකි තරම් උත්සාහ කරන්නේ මාගේ ජනතාවට සැනසීමක් ලබා දීමටයි. එයින් මා සිංහල ජනයාට විරුද්ධ යැයි අදහස් කෙරෙන්නේ නැහැ.”

ඉකුත් සතියේ දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් එසේ කියා තිබිණි. එහෙත් ඔහු උතුරේ හා දකුණේ ප්‍රශ්නය දෙස තාක්ෂණික කෝණයකින් බලනවා නම් එය ප්‍රශ්නය පිළිබඳ අවබෝධාත්මක පිවිසුමක් වන්නට විදිහක් නැත. අනෙක් අතට උක්ත වෘත්තීයමය කෝණයෙන් බැලීම යනුම ඊට ආවේණික උප මාරු තුළ පාර්ශ්වීය තත්ත්වයක් ශේෂ කරන්නකි. එබැවින් විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රශ්නය දෙස බැලිය යුතුව තිබෙන්නේ නීති වෘත්තිකයකුගේ කෝණයෙන් නොව සම්භාව්‍ය දේශපාලනය අභ්‍යාස කිරීමට රිසි දේශපාලනඥයකුගේ කෝණයෙනි.

සිදුවන වරද කුමක්ද?

හාස්‍යය උපදවන මෙරට ඇතැම් ප්‍රකට නඩු තීන්දු ගෙන බැලුවහොත් ඒ සමහර ඒවායේ දිනුමට පදනම් වී තිබුණේ නීතිවේදියා කොපමණ මුඛරිද යන්නයි. තර්කය හැමවිටම යථාර්ථය නොවන අතර සත්‍යය යනු තුළනාත්මකව කරුණු පිරිසිඳ බලා විනිශ්චය කරගත යුත්තකි. උතුරේ ප්‍රශ්නයට හුදු නෛතික විසඳුමක් නැත්තේ එබැවිනි. එම විසඳුම ව්‍යවස්ථාවෙහි ප්‍රතිපාදනයක් විය යුතු වනවා සේම එය ජාතීන් දෙක අතර ඇත්ත සහයෝගීතාවෙන් පැන නගින එකක් විය යුතුය. ඇසට ඇසක් හෝ දතට දතක් න්‍යායෙන් කිසි දිනක මේ ප්‍රශ්නය විසඳාගත නොහේ. දැනට සිංහල දෙමළ එකිනෙකාගේ ගල්ගුහාවල සිට කරන වගඵලකීම් වලින් ප්‍රතිඵලයක් ඇති නොවන අතර ජාතීන් දෙකම උත්සාහ කළ යුත්තේ ගල්ගුහාවලින් එළිමහනට පැමිණිමටය. විග්නේෂ්වරන් වැනි නායකයන් දකුණේ නොසන්සුන් ජාතිවාදියකුට වඩා දැනුවත් වුවත් ඔවුන්ටත් මේ ප්‍රශ්නයේදී පාර්ශ්වීය ලෙස සිතන්නට සිදුව තිබීම කනගාටුදායකය. මෙම ප්‍රශ්නයට දෙන විසඳුම සඳහා මූලිකවම සිංහල දෙමළ ජනයාගේ අනුමැතිය අවශ්‍යය. එම අනුමැතිය හෝ එකඟතාව ලබාගත හැක්කේ ජාතික නායකයකුටය. ජාතික නායකයකු වීමට දෙමළ වීම බාධාවක් යැයි බැලූ බැල්මට පෙනී යා හැකිය. එහෙත් එය මුළුමනින්ම සත්‍යයක් නොවේ. වත්මන් යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා ඡන්දය දුන් ජනයා බොහෝ දුරට දෙමළ සිංහල භේදයෙන් තොරව මේ ප්‍රශ්නයේදී මැදහත්ව බලන පිරිසක් ලෙස සැලකිය හැකිය. ඔවුන් ජාතික ප්‍රශ්නය විසඳීම, අසාධාරණයට පත් දෙමළ ජනයාට සාධාරණය ඉටු කිරීම, උතුරේ ජන පීවිතයට අදාළ ඉඩම් හා දේශපාලන නිදහස, මානව හිමිකම් වැනි කරුණු සිය පරමාර්ථ ඉස්මත්තට ගත් පිරිසකි. ඔවුන්ට පිළිගත හැකි ජාතික නායකත්වයක් රටට මේ මොහොතේ අහිමිය. විග්නේෂ්වරන් එම පළල් තලයට ආමන්ත්‍රණය කරනවා නම් ඔහුට ජාතිවාදයෙන් තොරව සිතන දකුණේ මැදහත් ජනයාගේ සහය නිසැකවම ලැබෙනු ඇත.

විග්නේෂ්වරන් හා ගෝඨාභය

විග්නේෂ්වරන් ඉහත සම්මුඛ සාකච්ඡාවේදී තවදුරටත් මෙසේ කියයි. “ස්වර්ණාභරණයෙන් සැරසුණු තරුණ ගැහැනු ළමයකුට කොටි පාලනය පැවති සමයේ ඉර බැසීමෙන් පසුව වුවද මහා මාර්ගයේ ඇවිද ගොස් තම නිවසට කිසිවකුගේ හිරිහැරයක් නොමැතිව නිදහසේ ගමන් කිරීමට හැකියාව තිබුණා. හෙරොයින් ගැන ඒ කාලයේ අසන්නටවත් තිබුණේ නැහැ.”

එදා එසේ පැවතියේ සමාජය බියකර පවත්වාගෙන ගිය විනයකින් බව විග්නේෂ්වරන් නොදන්නවා නොවේ. බලහත්කාරී විනයක් සමාජය මත පවත්වාගෙන යනවිට ඇති අත්වීඳීම හා ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වාභාවික විනය අත්විඳීම යන්න දෙකක් බව විග්නේෂ්වරන්ට පහදා දිය යුතු නැත. බලහත්කාරී විනය අත්හැරුණු සැණින් උතුරේ මත්ද්‍රව්‍ය හා වෙනත් අපචාර ගහණ වූ බව පෙනුණි. ප්‍රජාතන්ත්‍රවාදයේ ආවේණික විනය යනු එසේ වන්නක් නොව, ජන සමාජයක් සංස්කෘතියක දිවි පෙවතකට බද්ධ කරන්නකි. විග්නේෂ්වරන් මෙහිදී පාර්ශ්වීය ලෙස එල්ටීටීඊ පාලනය පැවති සමයේ සමාජය විනයගරුක යැයි කියන්නට නීති වෘත්තික කාර්තව්‍යයක් ඉටු කරයි. එය නිරර්ථක තර්කයක් හා කරුණු දැක්වීමක් වනවා සේම කිසිදිනක මේ ප්‍රශ්නය විසඳා ගතහැකි මට්ටමේ බුද්ධිවාදී මැදිහත්වීමක්ද නොවේ. දකුණෙන් ඔහුට තවත් උදාහරණයක් පෙන්වා දිය හැකිය. ඒ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ පාලනයේ දස වසර තුළ දකුණේ පවත්වාගෙන ගිය නගර සුන්දර කරණයෙනි. ගෝඨාභයගේ සුන්දරකරණය තුළ ජනයා ඉරිගසා ජීවත් විය යුතු විනයක් අභ්‍යාස කැරිණි. විදුහල්පතිවරුන්ට හා සිසුන්ට හමුදා විනය එන්නත් කිරීමෙන් සමාජය විනයවත් කළ හැකි යැයි රාජපක්ෂවරු සිතුවෝය. උද්‍යාන මනරම්ව තිබුණි. එහෙත් එම උද්‍යානවල දුව පැන තණකොළ පොඩි කිරීම, පොඩිවුන්ට පවා තහනම් කැරුණි. උද්‍යානවල බංකු මත ලැප්ටොප් පරිහරණය කළ නොහැකි විය. මිනිස් නිදහසට රාජපක්ෂවරු එබී බැලූහ. අද වනවිට යහපාලනයට ඇවිදින මංතීරුවක්වත් හරිහැටි හදාගැනීමට බැරිව තිබෙනු දැක ජනතාව කියන්නේ එදා අරුන් ඒ වැඬේ ඉහළම නිමාවකින් කළ බවය. එය ඇත්තකි. එහෙත් රාජපක්ෂලාගේ සුන්දරකරණය හා විනයවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැත. එම සුන්දරකරණය යට මරබිය ඕනෑවටත් වඩා තිබුණි. නැත්නම් මේ තරම් රට සුන්දර කළවුන් පරාජය කරන්නේ මන්ද යන ප්‍රශ්නය විග්නේෂ්වරන්ගෙන් අප විමසිය යුතුය. එබැවින් එල්ටීටීඊ පාලනයේ විනය ගැන විග්නේෂ්වරන් අපට බණ දෙසීම නිරර්ථක ක්‍රියාවකි. කොහොමටත් ඔහු කියන ගැහැනු ළමයාට එල්ටීටීඊය හිටියා නම් ඔහේ ඇවිදීමට ඉඩ තබන්නේ නැත. ඇය ඊලාම් අරගලය වෙනුවෙන් දායක විය යුතුය. විග්නේෂ්වරන් කියන ඇගේ ස්වර්ණාභරණ එල්ටීටීඊයේ රන් එකතුවට හෝ ඒවා මුදල් කර අරමුදලට බැර කළ යුතුය. උතුරේ වුව දකුණේ වුව ප්‍රජාතන්ත්‍රවාදය විරහිත මිලිටරි බලහත්කාරයක යථාර්ථය එය නොවේද යන්නත් ඒ සමගම අප විග්නේෂ්වරන්ගෙන් විමසිය යුතුය.

එක් යථාර්ථයක්

විග්නේෂ්වරන්ගෙන් මෙන්ම විජයකලාගෙන් එළියට පනින්නේ එක්තරා නියත වේදනාවක් බවත්, දකුණ තේරුම්ගත යුතුය. එම වේදනාව අතිශයින් සාධාරණය. චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම සිය ඉනිඅවන් චිත්‍රපටය මගින් පෙන්නුවේ යුද්ධයෙන් පසු උතුරේ සමාජයෙහි සිදුවන එක්තරා විපරිවර්තනයකි. හෙරොයින් ආදිය ගැන එල්ටීටීඊ පාලන කාලයේ අසන්නටවත් ලැබුණේ නැත යනුවෙන් විග්නේෂ්වරන් කියන කතාවෙහි ඇත්තක් තිබේ. එල්ටීටීඊය දරමින් සිටි මිලිටරි ආධිපත්‍යය තුළ හඳගමගේ චිත්‍රපටයේ එන අර්ධ පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩක් තිබිය නොහැකිය. ලංකාවේ ජාවාරම්කාරයන්ටත් උතුරේ යුද්ධය මහින්ද රාජපක්ෂගේ ක්‍රමයට හෝ වෙන මොනයම් ක්‍රමයකට හෝ අවසන් කරගැනීමේ වුවමනාවක් තිබුණි. ඒ ජාවාරම් ආර්ථිකයට අලුත් වෙළෙඳපළක් සොයා ගැනීමේ අරමුණ පෙරදැරිවය. ඒ අනුව යුද්ධය අවසන් වූ සැණින්ම උතුරට මත්ද්‍රව්‍ය ආවේය.
නිශ්චිත ආදායම් මාර්ග හෝ අලුත් ජීවිත ප්‍රවේශයක් නැති නිසා ස්ත්‍රීන් පුරුෂයන් මෙන්ම පවුල් සංස්ථාව උතුරුකරයෙහි මුහුණ දෙන බිහිසුණු ප්‍රශ්නය හඳගම ඉනිඅවන් චිත්‍රපටයට තේමා කරගෙන තිබුණි. විජයකලා මෙන්ම විග්නේෂ්වරන් මතුකරන්නේ එම පසුබිමෙන් නිපන් වේදනාව බව කිව යුතුය. එම වේදනාව නිසා පැරණි මිලිටරි ආධිපත්‍යය තෝරා ගැනීමට කිසිවකු සිතුවා නම් එය අතාර්කිකය. එල්ටීටීඊයේ මිලිටරි පාලනයත් ඉන්පසු ජාවාරම් ආර්ථිකය හා පාතාලය පැලවුණු තත්ත්වයත් යන දෙකම හොඳ නැත. මෙහි සාපේක්ෂව හොඳ එකක් තේරීම අන්තිම මුග්ධ ක්‍රියාවක් බවද කිව යුතුය. උතුරට අද අවශ්‍යව ඇත්තේ එම අන්තවාද දෙකම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයකි. මිනිස් නිදහසට ගරු කරන සමාජයකි. එසේ නොමැතිව උතුරට අවශ්‍ය හෙරොයින් වෙනුවට තුවක්කුව නොවේ. තුවක්කුව වෙනුවට හෙරොයිනුත් නොවේ.

ප්‍රශ්නය ජාතියද

මුළු ලෝකයේම නොවිසඳෙන පන්ති ප්‍රශ්නයක් තිබේ. පංතීන් වෙනස් කළ නොහැකිමුත් පංතීන්වලට ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වැදගත් කාරණයකි. විශේෂයෙන්ම පීඩිතයන්ට එය අත්‍යවශ්‍යය. විද්‍යා දැරිය අපයෝජනයට ලක්කර ඝාතනය කැරුණේ එක්තරා ජාවාරම්කාර පන්තියක් විසිනි. විජයකලාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හේතුවූයේ සය හැවිරිදි දරුවාගේ මරණයයි. මේවා සමාජයක නිකම්ම සිදුවන දේවල් නොවේ. ජාවාරම්කාර ආර්ථිකය හා පුරවැසි අසංස්කෘතිය බලපවත්වන ඕනෑම සමාජයක බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. එසේ නම් වෙනස් කළයුත්තේ මේ වැරදි සංරචක දෙකය. ජාවාරම් ආර්ථිකය වෙනුවට සංවර්ධන ආර්ථිකයටත්, පුරවැසි අසංස්කෘතිය වෙනුවට සමාජ සංස්කෘතියටත් ලංකාවේ ජන සමාජය විතැන් කළ යුතුය. විග්නේෂ්වරන් මෙන්ම විපක්ෂ නායක සම්බන්දන් ලංකාවේ නායකයන්ට බලකළයුත්තේ ඒ සඳහාය.

සෙසු වගකීම්

අවසන් යුද්ධයේදී දෙමළ ජනයා ලක්ෂයක් පමණ ක්‍රෑර ලෙස ඝාතනය වූ බව විග්නේෂ්වරන් කියයි. එහිදී විශාල සංඛ්‍යාවක් ඝාතනය වන්නට ඇත. ඒ ගැන සොයා බැලීමට කොමිසමක් දැමිය යුතුය යනුවෙන් ඔහු කරන යෝජනාවටත් අප සමාජයක් හැටියට එකඟ විය යුතුය. දකුණේ ආණ්ඩු ඒවා නොවිමසා සිටින තාක් උතුරේ ජනයාට ජන සංහාරක සති පවත්වන්නට තිබෙන අයිතියත් අපට පිළිගැනීමට සිදුවෙයි. මන්ද අප ඒ කියන සංහාරයට සාධාරණයක් ඉටුකිරීමට තවමත් පියවර නොගෙන සිටින නිසාය. උතුරේ ජනයාගේ දේශපාලන නිදහස, ඉඩම් අයිතිය, රැකියා මාර්ග තහවුරු කරදී උතුරේ සමාජ ප්‍රගමනයට අවශ්‍ය යටිතලය නිර්මාණය කිරීම දකුණේ පුරවැසි දේශපාලන සංස්කෘතියේ අනුල්ලංඝනීය වගකීමක් විය යුතුය. එසේ නොවන තාක් එල්ටීටීඊ පාලනය හා වත්මන් පාරාජිකා සමය සංසන්දනය කර බැලීමට පෘථග්ජන දේශපාලනඥයෝ තැත් කරනු ඇත. එය වැළැක්විය නොහැකිය. පළමුව බිහිවූයේ කිකිළියද බිත්තරයද යන්න නොසොයා, එනම් ජාතිය නොසොයා ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී හා සංස්කෘතික අරුතකින් මේ ඔඩු දුවන ප්‍රශ්නය සමත කරගත යුතුය යන්න විග්නේෂ්වරන්ට මෙන්ම දකුණේ නායකයන්ට අවධාරණය කළ යුතු වෙයි.