ආර්ථික ක්‍රියාකාරකම් අඩුවීම

ලංකාව ආර්ථික ක්‍රියාකාරකම් අඩුවෙමින් යන රටක් බවට පත්ව තිබේ. අධික බදුබර ඊට ඍජුව බලපා තිබෙන අතර බදු නිසා මහජනයාගේ මිලදී ගැනීම් අවම වී ඇත. අනෙක් අතට රට පෙළෙන අධික ණය බර ඉහළ ගොස් තිබීමෙන් ජනයාගේ බදු මුදල්වලින් ණය හා පොලී ගෙවන රටක් බවට ලංකාව පත්වීම හේතුවෙන් රට තුළ ආර්ථික ක්‍රියාකාරකම් හා මූල්‍ය සංසරණය සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ.

බරපතළම ප්‍රශ්නය වන්නේ ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට යොමු කරවීමට මෙරට නායකයන් නොසමත්වීමය. රටක නිෂ්පාදන ආර්ථිකයේ ස්ථාවරත්වය පියවරෙන් පියවර දියුණු විය යුතුය. එහෙත් ඒ වෙනුවට ලංකාව වසර තිහකට ආසන්න කාලයක් පුරාම තල්ලුවෙමින් සිටින්නේ සේවා ආර්ථිකයක් දෙසටය. සේවා ආර්ථිකය යනු ස්වාධීනත්වය වෙනුවට අනවරත වහල්භාවයක් වැලඳගෙන ජීවත්වීම බඳු ක්‍රියාවකි. රට නිෂ්පාදන ආර්ථිකයකට යොමුව තිබෙනවා නම් රටේ විනිමය අනුපාතය ඩොලරයට සාපේක්ෂව මේ සා පහළ යන්නේ නැත. අනෙක් අතට රට තුළ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවනවා නම් රුපියල අවප්‍රමාණ වීම පාලනය වෙයි. විනිමය අනුපාතයට වැදගත්කමක් ලැබෙන්නේ හා එය ස්ථාවරවන්නේ සේවා ආර්ථිකයකින් නොව නිෂ්පාදන ආර්ථිකයකින් බව මෙරට නායකයන්ට නොවැටහීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

මෙරට ආර්ථික ක්‍රියාකාරකම් බිඳවැටීමට බලපාන ප්‍රධාන හේතුවවන්නේ රට වෙලාගෙන තිබෙන ආර්ථික අස්ථාවරත්වයය. ජනතාවගෙන් එකතු කරන බදු මුදල් නිෂ්පාදන ක්‍රියාවලියකට ආයෝජනය කළ හැකිය. එහෙත් එම බදු මුදල් බොහෝවිට ණය ගෙවීමට යොදවන නිසා දේශීය වෙළෙඳපොළෙහි වියදම් කිරීමට තිබෙන ඉඩද ඇහිරෙයි. එම මුදල් මෙරට භාණ්ඩ, සේවා හා සුළු නිෂ්පාදන මිලදී ගැනීමට වැය කළා නම් එහි වාසිය මෙරට සුළු නිෂ්පාදකයාට හා ප්‍රාථමික වෙළෙඳපොළට ලැබෙයි. ආර්ථිකය සක්‍රියවීම යන්නෙහි එක් සාධකයක් වන්නේ රටෙහි ජනතාවට මුදල් වැය කිරීමට ලැබෙන ඉඩකඩය. ලංකාව දිගින් දිගටම ණය ලබාගන්නා රටකි. සැබැවින්ම රට තිබෙන්නේ ණය උගුලකය. රටේ සෑම පුරවැසියෙක්ම ණයකරුවෙක් වනවිට වියගසේ බැඳි ගොනු සදිසි දිවියක් ගෙවීම හැර ජනතාවට සුබ ප්‍රාර්ථනාවන්ගෙන් පිරුණු අනාගතයකට යෑම උගහටය. අනෙක් අතට මීට ඇති පිළිතුර නම් රටෙහි ආදායම් වැඩිකර ගැනීමය. ඒ ඔස්සේ අතිරික්ත ධනයක් පරිහරණය කළ හැකි රටක් බවට පත්වීමය. සියලු ආර්ථිකමය ක්ෂේත්‍රවල නිපදවීම් අවශ්‍ය ඒ සඳහාය.

ලංකාව ලබාගන්නා ණයවලින් මෙරට යටිතල පහසුකම් වර්ධනය කිරීම විෂයෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු පෙනේ. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් පසුව එම පහසුකම් භාවිතයෙන් ආයෝජන පුළුල් කළ හැකි අවස්ථා විමසා බැලීම අත්‍යවශ්‍යය. එය කරන බවක් නොපෙනේ. යටිතල පහසුකම් ඇතිකිරීමෙහි ද්විතීයික හා තෘතීයික අරමුණුවලට නොයා භෞතික සංවර්ධන ප්‍රදර්ශන කාමයෙන් සියලු ආණ්ඩු ආතුරවෙමින් සිටීමෙන් ආර්ථිකය අවගමනයට ලක්වූ බව කවුරුත් පිළිගත යුතුය. වත්මන් ආණ්ඩුවත් එල්ලී සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ එකී ව්‍යාජ සංවර්ධන වල්ගයේ මිස අර්ථවත් සංවර්ධන සිරසක නොවේ. මින් අදහස්වන්නේ හුදෙක් දෑස් නිලංකාර කරන සංවර්ධනය වෙනුවට ලංකාව ලබාගන්නා ණය, ආදායම් උපයන ක්‍රියාවලියකට යෙදවිය යුතුය යන්නය.

වත්මන් ආණ්ඩුව උක්ත විෂයෙහිදී එක්තරා ප්‍රශ්නයකට මුහුණ පා සිටියි. එය නම් අඩුම තරමින් පසුගිය රජය ප්‍රදර්ශනය කළ භෞතික සංවර්ධනයවත් මේ කාලය තුළ ප්‍රදර්ශනය නොකළහොත් ජනතාවගෙන් ඉක්මනින් අවලංගුවීමේ අනතුරට ආසන්න වී සිටීමය. එබැවින් ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ වහා නොලැබෙන යටිතල පහසුකම් සංවර්ධනය විෂයෙහි මහත් උනන්දුවක් දැක්වීමට සිදුව ඇත. එහෙත් වත්මන් රජය බලයට පත්වූ 2015 ජනවාරි සිටම ජනතාවට ඇත්ත තත්ත්වය පහදා දී රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට පදනම සකස් කළා නම් වසර පහක් ඇවෑමෙන් ජනතාවට බොරු නොකළ ආණ්ඩුවක් ලෙස යහපාලනයට ස්ථාවර වෙන්නට තිබුණි. 2001 පත්වූ එජාප ආණ්ඩුව මෙවැනි ක්‍රියාවක් කරන්නට ගොස් ඉක්මනින් මරු වැළඳ ගත් ඉතිහාසයක් තිබුණු බැවින් වත්මන් රජය එවැන්නක් ගැන නොසිතුවා විය හැකිය. 2001දී එම රජය උපාධිධාරීන්ට එක රජයේ රැකියාවක්වත් දුන්නේ නැත. එසේ නොදුන්නේ රජයේ රැකියාවන්ට සැලසුම් විරහිතව බඳවා ගත්තේ නම් ආර්ථිකයේ සිදුවිය හැකි අවුල වේලාසනම තේරුම් ගත් නිසාය.
ඕනෑම රටක ජන කොටසක් තරමක් දුරට හෝ සැප පහසුකම් විඳීමට රිසිය. එම පහසුකම් නොදී යථාර්ථය පෙන්වාදීමට ගොස් ඉල්ලන් කන ආණ්ඩු ලොව කොහේවත් නොතිබිය හැකිය. තත්ත්වය එසේ වුවත් රටක් ලෙස ආර්ථිකය විෂයෙහි අප සිටින්නේ මරණාසන්න තත්ත්වයක බව අමතක නොකළ යුතුය. රජය ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. ආර්ථිකය හැසිරවීම අගමැතිගෙන් ජනපතිට ගියත් ඒ කිසිවෙක් රටේ ආර්ථිකය දියුණු කරන තිරසාර මගකට නොපිවිසියහ. ආර්ථික උපදේශකයෝ රටට සිටිති. එහෙත් තීරණ ගන්නා බව පෙනෙන්නේ ආර්ථික විෂය ගැන නොදත් පිරිසකි. එසේ වන්නේ මන්ද යන්න හා සක්‍රිය ආර්ථිකයක් රටට ඇතිකර ගන්නේ කෙසේද යන්න ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුව ඇත. දේශපාලන ඉලක්ක හා සංවර්ධන ආර්ථිකය පටලවා නොගන්නේ නම් ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම අසීරු නැත.