ලංකාවට පුනරුදය උදා කිරීම පල්ලෙවත්ත පිළිතුර ගැන

වික්ටර් අයිවන්

මීට පෙර ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක් යන හිසින් රාවයේ පළවූ මාගේ ලිපියට ජනාධිපතිවරණයට තරග කරන්නට අපේක්ෂා කරන අපේක්ෂකයකු ලෙස සැලකිය හැකි ඉතාමත් ධනවත් හා දක්ෂ ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත මහතා වෙනුවෙන් ප්‍රධාන පෙළේ හිටපු රාජ්‍ය නිලධාරියකු වන ලැසිල් ද සිල්වා මහතා ලියන ලද පිළිතුරක් රාවයේ පළවිය. ඒ ලිපියෙන් මගේ ප්‍රශ්න පත්‍රයේ එන කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සැලකිය හැකි ලංකා රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුන ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයක නම්, තේරී පත්වන ඉතා හොඳ අවංක ජනාධිපතිවරයකුට වුවත් ඒ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති නොකොට කිසිදු යහපත් විපර්යාසයක් ඇති කළ නොහැකි බව පෙන්වාදෙමින් එම තත්ත්වය ජයගැනීමට අපේක්ෂා කරන ක්‍රමය මහජනයාට පැහැදිලි කරන ලෙස පල්ලෙවත්ත මහතාගෙන් ඉල්ලා සිටියෙමි. එය රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුන කුණුවීම ආශ්‍රයෙන් රාජ්‍යයේ ඇතිවී තිබෙන විශේෂ තත්ත්වය පැහැදිලි කිරීම සඳහාත් එම විශේෂ තත්ත්වය යටතේ තේරී පත්වන ජනාධිපතිවරයකුට ඒ ආශ්‍රයෙන් මුහුණදෙන්නට සිදුවන අභියෝග ගැනත් ලියන ලද ලිපියක් ලෙස සැලකිය හැකිය. ඒ ලිපියට ලැසිල් ද සිල්වා මහතා ලියන ලද පිළිතුරක් ‘ලංකාව ව්‍යාපාරයක් නම් රටට අවශ්‍ය නිර්පාක්ෂික ප්‍රධාන විධායක නිලධාරියෙක්’ යන හිසින් පසුගිය කලාපයේ පළවී තිබුණි. එම පිළිතුර පළකොට තිබුණේද ‘රොහාන් පල්ලෙවත්තගෙන් පිළිතුරක්’ යන අතුරු මාතෘකාවක්ද සහිතවය.

එම පිළිතුරෙන් පල්ලෙවත්ත පාලනයක් යටතේ කරන්නට අපේක්ෂා කරන බොහෝ ලස්සන දේවල් ගැන ලියා තිබුණද මා නගන ලද කේන්ද්‍රීය ප්‍රශ්නයට පිළිතුරක් ලබාදී තිබුණේ නැත. එම පිළිතුරට ඇතුළත්ව තිබූ කරුණු අනුව පල්ලෙවත්ත මහතා තරග කරන්නට යන්නේ සමාජ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙනි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පල්ලෙවත්ත මහතා වෙනුවෙන්ම පිහිටුවා ගන්නා ලද පක්ෂයක්ද නැතිනම් එම පක්ෂය පිහිටුවා ගැනීමෙන් පසු පක්ෂයට පල්ලෙවත්ත මහතා හමුවීද යන්න පැහැදිලි නැත. රටේ ඇතිවී තිබෙන වැරදි නිවැරදි කිරීමට පල්ලෙවත්ත මහතා ජනාධිපති ධුරයට පත් කළ යුතු බව පක්ෂයේ විශ්වාසය වන බවත් “අපගේ ජනාධිපතිවරයා තෝරා පත්වූ වහාම ස්වාධීන පුද්ගලයකු වශයෙන් කටයුතු කළ යුතු බව දැනටමත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ලැබ ඇති බවත් එහි සඳහන් වේ. පක්ෂය එම තීරණය අකුරටම පිළිපදින්නේ නම් පල්ලෙවත්ත මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද පාර්ලිමේන්තු මැතිවරණයකදී තම පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව පල්ලෙවත්ත මහතාට හිමිවන්නේ නැත.

අවශ්‍ය තරම් දේශපාලන පරිණතභාවයක් නැති අලුත් පක්ෂයකට හෝ ව්‍යාපාරයකට විසඳා ගැනීමට බැරි තරමේ දුෂ්කර ප්‍රශ්න පවා පහසුවෙන් විසඳාගත හැකි සරල දේවල් ලෙස පෙනීයා හැකිය. විජේවීර පවා වැදගත් කොට සැලකුවේ බලය අල්ලා ගැනීම පමණය. බලය අල්ලා ගැනීමෙන් පසු කළයුතු දේ ගැන ඔහුට හා ඔහුගේ පක්ෂයට යථා අවබෝධයක් නොතිබුණි. සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය පවා වැදගත් කොට සැලකුවේ තමන් තෝරාගත් නායකයකුට බලය ලබාදීම පමණය. 19 වැනි සංශෝධනය ඇතුළු එම ව්‍යාපාරයේ සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන මට පෙනුණේ රටේ තිබුණු අරාජිකත්වය වර්ධනය කරන මනෝරාජික වැඩසටහනක් ලෙසය. ඒ ගැන වන මගේ විවේචනය සැලකිල්ලට ගැනීමට අවශ්‍ය කරන ශික්ෂණය එම ව්‍යාපාරයට නොතිබුණි. අවසානයේ ඒ වරද වෙනුවෙන් ඔවුන් බලයට ගෙනා ආණ්ඩුවට හා ඔවුන්ගේ ව්‍යාපාරයට පමණක් නොව රටටද ලොකු වන්දියක් ගෙවන්නට සිදුවිය.

රාජ්‍ය අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන මහා කුණුවීම ජයගන්නේ කෙසේද? එම තත්ත්වය ජයගැනීමෙන් තොරව යහපත් ඉදිරි ගමනක් යන්නේ කෙසේද යන ප්‍රශ්නය ලංකාවේ සමාජය – දේශපාලන විශේෂඥයන් සේ ම රාජ්‍ය බලය ගැන සිහින දකින දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂද සලකා බැලිය යුතුව තිබෙන ලංකාවේ රාජ්‍යයට අදාළ කේන්ද්‍රීය ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඉතාමත් අවාසනාවන්ත දේ වනුයේ තවමත් ඒ ප්‍රශ්නය ගැන ඒ කිසිවකුගේ බැරෑරුම් අවධානය යොමුවී නොතිබීමය.
ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුනම තිබෙන්නේ උපරිම මට්ටමකට දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. එම විසම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමෙන් තොරව රටට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකිය. ක්‍රමය අභ්‍යන්තරයෙන් බලයට පත්වන කවර තරම් හොඳ පාලකයකුට වුවද එම විසම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකි තත්ත්වයකට ක්‍රමය කුණුවී තිබෙන්නේ යැයි කිව හැකිය.

රාජ්‍යයේ ඉහළ නිලධරතන්ත්‍රයෙහි විශාල බහුතරයක් දූෂිතය. ඔවුන් දූෂණයට හොඳින් අනුගතවූ ඊට ගැළපෙන ජීවන ක්‍රමයකට හුරුපුරුදු වූ එම ජීවන ක්‍රමය අත්හැරීමට පහසු නැති පිරිසක් ලෙස සැලකිය හැකිය. මේ ගණයට වැටෙන දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා ඔවුන්ගේ අඹු දරුවන් පවත්වාගෙන යන වියදම් අධික ජේත්තුකාර ජීවන ක්‍රමයට අවශ්‍ය වියදමෙන් වැඩි කොටසක් ඔවුන් උපයාගන්නේ යථා ලෙස උපයාගන්නා ආදායමෙන් නොව අයථා ලෙස උපයාගන්නා ආදායමෙනි. යථා ලෙස උපයාගන්නා ආදායමෙන් පමණක් ඔවුන්ට ජීවත්වන්නට සිදුවුවහොත් දැන් ගතකරන වියදම් අධික සුඛෝපභෝගී ජීවිත වෙනුවට ඔවුන්ට ගතකරන්නට සිදුවනු ඇත්තේ දුප්පත් ජීවිතයකි. එවැනි තැනකට මාරුවීමේ හැකියාවක් ඔවුන්ට නැත.
රාජ්‍යයේ දූෂණයට හුරුපුරුදු වී සිටින මේ පිරිස ඉතා බලවත්ය. බලයට පත්වන කවර පාලකයකු හෝ ඔවුන් අයථා ලෙස උපයමින් තිබෙන ආදායම් ඔවුන්ට අහිමි කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණවලට යන්න ගියහොත් රාජ්‍යයේ ඉතා බලවත් ස්ථානවල අරක් ගෙන සිටින දූෂිත ස්ථරය එකට එකතු වී එම පාලකයාට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය.

තේරී පත්වන ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාදායක විධායකයේ හා අධිකරණයේ සහාය නැතිව පැවතිය නොහැකිය. දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන ජනාධිපතිවරයකුට එරෙහිව එම බලමණ්ඩල තුනේ දූෂිතයන් එකට එකතු වී බලවත් ලෙස නැගී සිටින තත්ත්වයක් ඇතිවීමද නොවැළැක්විය හැකිය. රාජ්‍ය දූෂණයට ගොදුරු වී තිබෙන තරම අනුව ක්‍රමය අභ්‍යන්තරයෙන් බලයට පත්වන නායකයකුට ඒ විසම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමේ ඇත්ත හැකියාවක් නොපවතී. රාජ්‍ය දූෂිත වී තිබෙන තරම අනුව ක්‍රමය ඇතුළින් පැමිණි පාලකයකු දූෂණයට එරෙහිව දැඩි පොදු ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළහොත් එම රාජ්‍ය නායකයාට රාජ්‍ය තුළ මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වන දූෂිත බලවේගයන් අතින් මැරුම් කරන්නට පවා සිදුවිය හැකිය. එම විශේෂ තත්ත්වය තුළ බොහෝවිට විය හැක්කේ රාජ්‍යයේ තිබෙන දූෂණය මුලිනුපුටා දැමීමේ අවංක අදහසින් බලයට පත්වන අවංක පාලකයකු පවා දූෂිත බලවේගයක් සමග සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යොමුවීමය. ඒ මගින් සිදුවනු ඇත්තේ බලයට පත්වන අවස්ථාව දක්වා අවංක තත්ත්වයක සිටි පාලකයාද එතැන් සිට කුණුවෙන පාලකයකුගේ තත්ත්වයට පත්වීමය.

පුනරුද ප්‍රවේශය

සාම්ප්‍රදායික අච්චුවෙන් බලන හා ඒ අනුව ක්‍රියාකරන නැතහොත් මජර ගලන තරමට කුණුවී තිබෙන ක්‍රමය තුළ ඉඳිමින් ප්‍රශ්න විසඳා ගැනීමට කල්පනා කරන යල්පැනගිය දේශපාලන නායකයන් හෝ දේශපාලන පක්ෂවලට ලංකාවේ රාජ්‍යයට අදාළ එම කේන්ද්‍රීය ප්‍රශ්නය විසඳා ගැනීමට ක්‍රමවේදයක් තිබිය නොහැකිය.

එහෙත් පුනරුද ව්‍යාපාරය දේවල් බලන කෝණය ඊට වෙනස්ය. පුනරුද ව්‍යාපාරය දේවල් දෙස බලන්නේ යල්පැනගිය පරණ අච්චුවෙන් නොව අලුත් අච්චුවකිනි. ඒ නිසා පුනරුද ව්‍යාපාරයට රාජ්‍යයට අදාළ එම කේන්ද්‍රීය ප්‍රශ්නය පෙනෙන්නේ ලංකාවේ ජාතික රාජ්‍යයේ අක්‍රමවත් පරිණාමය තුළ ඇතිවී වර්ධනය වූ විශේෂ ඓතිහාසික තත්ත්වයක් ලෙසය.

ලංකාවට සේ අසල්වැසි ඉන්දියාවටද නූතන ජාතික රාජ්‍යය ලැබුණේ බි්‍රතාන්‍යයන්ගෙනි. ඒ රටවල් දෙකේම ජාතික රාජ්‍යයක් ගොඩනගා තිබුණේ බි්‍රතාන්‍ය අවශ්‍යතාවන් සලකාය. යටත්විජිත තත්ත්වයක තිබී නිදහස් තත්ත්වයකට මාරුවීමේදී බි්‍රතාන්‍යයන්ගෙන් ලැබී තිබුණු ජාතික රාජ්‍යය ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිසංවිධානය කරගත යුතුව තිබුණි. ඒ සමග එම ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නැතුවම බැරි සාධකයක් ලෙස සැලකිය හැකි නූතන ජාතිය ගොඩනගා ගත යුතුව තිබුණි. ඉන්දියාව තමන්ට ලැබී තිබුණු ජාතික රාජ්‍ය සිය ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගත්තේය. ඒ සමග සමාජයේ ඒකාග්‍රතාවට බාධාවක් වී තිබුණු කුලභේදය, වර්ග භේදය හා ආගම් භේදයට තිබුණු පිළිගැනීම දුර්වල කොට භේදයකින් තොරව සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන පදනමක් මත එම ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය නූතන ඉන්දියානු ජාතිය ගොඩ නගා ගත්තේය. එහෙත් ලංකාවේ ඒ දෙකම සිදු නොවීය. ජාතික රාජ්‍ය නැවත ප්‍රතිනිර්මාණය කරගැනීමක් සිදු නොවූ අතර නූතන ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමක්ද සිදු නොවීය. නීතියේ පාලනය මුළුමනින් බිඳ වැටී වර්ග, කුල, ආගම් භේද මත මහා ලේ වැගිරීම් ඇතිවන තත්ත්වයක් ඇතිවූයේද රාජ්‍ය සේ ම සමාජයද දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්වූයේද ඒ නිසාය.
අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසු නිදහසේදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ ඓතිහාසික අවශ්‍යතාවක් සේ ම රටේ ඇතිවූ ලේ වැගිරීම් සමාජය කෙරෙහි ඇති කර තිබුණ විනාශකාරී බලපෑම්ද සැලකිල්ලට ගනිමින් රාජ්‍යයත්, සමාජයත් ලොකු ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතුව තිබුණද එම ඓතිහාසික අවශ්‍යතා සම්පූර්ණ කිරීමක් සිදු නොවීය. රාජ්‍යයේ කුණුවීම උපරිම තත්ත්වයකට වර්ධනය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දැන් රාජ්‍ය තිබෙන්නේ ක්‍රමය අභ්‍යන්තරයෙන් තේරී පත්වන අවංක හා හොඳ පාලකයකුට වුවද ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකි තත්ත්වයකය.
එවිට විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නය වනුයේ ක්‍රමය තුළින් බිහිවන පාලකයකුට රාජ්‍යයේ පවතින එම කේන්ද්‍රීය දෝෂය නිවැරදි කළ නොහැකි නම් හා රට තිබෙන්නේ එම දෝෂය නිවැරදි කරගැනීමෙන් තොරව එක අඩියක්වත් ඉදරියට යා නොහැකි තත්ත්වයක නම් එම දෝෂය විසඳාගත යුතුව තිබෙන්නේ කවර ආකාරයකටද යන ප්‍රශ්නයයි. ඒ ගැන පුනරුදය ව්‍යාපාරය දරන මතය වන්නේ රාජ්‍යයට අදාළ එම උභතෝකෝටික ප්‍රශ්නය ක්‍රියාකාරී මහජන මැදිහත්වීමකින් පමණක් විසඳාගත හැකි හා විසඳා ගතයුතුව තිබෙන ප්‍රශ්නයක් වන බවය.

එය කළ නොහැකි දෙයක් නොව කළ හැකි දෙයකි. ඉන්දියාව නිදර්ශනයට ගතහොත් නූතන රාජ්‍ය සේ ම නූතන ජාතියද මහජනයා විසින් ඔවුන්ගේ ක්‍රියාකාරී මැදිහත්වීමකින් ගොඩනගන ලද දේවල් ලෙස සැලකිය හැකිය. ඒ වෙනුවෙන් මහජනයා කරන ලද කැපවීම්වල ප්‍රමාණය අතිවිශාලය. ඉන්දියානු සමාජය නවීන සමාජයක් බවට පත්වන්නේද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

අප, අපේ මාපියන් හෝ අපේ ආච්චිලා, සීයලා රාජ්‍යය හා සමාජය ගොඩනැගීමෙහිලා සාමූහික සමාජ ක්‍රියාකාරීත්වයක කොටස්කරුවන් ලෙස ක්‍රියාකර නැත. ජාතික රාජ්‍ය ලංකාවේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගැනීමට නොහැකි වූයේද ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට නොහැකි වූයේද ඒවා ගොඩනැගීම අරමුණු කරගත් සමූහ සමාජ ක්‍රියාකාරීත්වයක් ලංකාවේ ක්‍රියාත්මක නොවීම නිසාය. දීර්ඝකාලීන ලේ වැගිරීම් ඇතිවී රාජ්‍ය හා සමාජය කුණුවූ තත්ත්වයකට පත්වූයේ ඒ නිසාය. දැන් රාජ්‍ය තිබෙන්නේ එහි අභ්‍යන්තරයෙන් වෙනස් කළ නොහැකි තරම් කුණුවූ තත්ත්වයක නම් ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් ඇති කිරීමේ නියම බලය හා අයිතිය තිබෙන්නේ මහජනයාට නම් මහජනයා එම යුතුකම ඉටුකළ යුතුය. නිදහසේදී ලංකාවේ මහජනයා සම්පූර්ණ කිරීමට අසමත් වූ එම ඓතිහාසික කාර්යභාරය තවත් කලකට පසුව ඉතිහාසය විසින් මහජනයා අතට ලබාදෙන ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

ඉන්පසු විසඳා ගැනීමට ඉතිරි වන අවසාන ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අරමුණ වෙනුවෙන් මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත යුතු ක්‍රමවේදය කුමක්ද යන්නය. මෙහිදී අප සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත්ම සිද්ධාන්තයක් වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුවත් රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාට වන බවය. මහජනයා තෝරාපත් කරගන්නා දේශපාලනඥයන්ද ඔවුන් හරහා රාජ්‍ය නිලධාරීන්ද පාවිච්චි කරනුයේ මහජනයා සතු එම පරමාධිපත්‍ය බලයයි. රාජ්‍යයේ බිඳ වැටීමක් ඇත්නම් හා රාජ්‍යයේ ඇතිවී තිබෙන බිඳ වැටීම තිබෙන්නේ සිය ඡන්ද බලයෙන් මහජනයා තෝරා පත්කර ගන්නා නියෝජිතයන්ට විසඳිය නොහැකි තත්ත්වයක නම් බිඳ වැටී තිබෙන රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය හා බලය තිබෙන්නේ මහජනයාටය. මීට පෙර මහජනයා සිය පරමාධිපත්‍යය බලය අභ්‍යාස කළේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ඒ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මොහොතකට වෙන්වී රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා තමන්ට තිබෙන පරමාධිපත්‍යය බලය සමූහ වශයෙන්ද විනයගරුකව හා නිර්මාණශීලී ලෙසද අභ්‍යාස කරන තැනකට මහජනයා යායුතුය. එම කාර්යභාරය සඳහා සුදුසු ආයතන රාමුවක් මහජනයා අතර සිටින බුද්ධිමතුන් මැදිහත් වී මහජනයාට ගොඩනගා දිය යුතුය.

පුනරුද ව්‍යාපාරය ඒ ගැන දරන මතය වනුයේ රටේ ඇති කළයුතු ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙනුවෙන් සියලුම වර්ගයේ මහජන සංවිධාන එකට එකතු කර ගනිමින් මහජන සංවිධානවල බලමණ්ඩලයක් ජාතික මට්ටමෙන් ඇති කරගත යුතු බවය. එය සියලු මහජන සංවිධානවලට දොරටු විවෘත කෙරුණු ආයතන ක්‍රමයක් විය යුතුය. එම ආයතන ක්‍රමයේ ප්‍රධාන අරමුණ වියයුත්තේ නූතන ලාංකේය ජාතිය ගොඩනගා ගන්නා අතර ලංකාවේ සියලු මිනිසුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන, දූෂණයෙන්, අකාර්යක්ෂමතාවෙන් හා පරපීඩාකාමයෙන් තොර නූතන රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංස්කරණ මූලධර්ම හඳුනා ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගික මාර්ග සැලැස්මක් ඇතිකර ගැනීමය.

එසේ ඇති කරගන්නා මහජන සංවිධානවල බලමණ්ඩලයට දේශපාලන පක්ෂවලට තිබෙන බලය ඉක්මවා ගිය මහජන බලයක් ඇතිකර ගැනීමට හැකිවේ නම් හා නූතන ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට හේතුවන රාමුවක් ඉදිරියට ගන්නා අතර නූතන රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික න්‍යාය පත්‍රයක් හදාගනිමින් මහජනයා එම වැඩසටහනේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත්කර ගැනීමට හැකිවේ නම් නිසැක වශයෙන්ම මහජන සංවිධානවල එම බල මධ්‍යස්ථානයට රටේ ගමන් මග හසුරුවන ප්‍රධාන බලමධ්‍යස්ථානය බවට පත්වනු ඇත්තේය.
එම මහජන වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි වෙතොත්, රෝගී හා විකෘති තත්ත්වයට පත්ව තිබෙන සමාජය නිරෝගී කිරීමට හේතුවනු ඇතිවා පමණක් නොව සමාජය නවීන ලෙස හිතන පතන නවීන සමාජයක් බවට පරිවර්තනය කිරීමටද හේතුවනු ඇත.
මෙම මාර්ගය හැර ලංකාව මේ වනවිට ඇද වැටී තිබෙන කාලකණ්ණි හා අවලස්සන තත්ත්වයෙන් ගොඩනැගීමට වෙනත් සාම්ප්‍රදායික මාර්ගයක් ඇතැයි පුනරුදය විශ්වාස කරන්නේ නැත. ඒ නිසා පුනරුද ව්‍යාපාරය ඊළඟ ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය රට ගලවා ගැනීමට ලැබෙන වැදගත් අවස්ථාවක් ලෙස සලකන්නේ නැත. සමස්ත දේශපාලන ක්‍රමය තිබෙන්නේ උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයකය.

ක්‍රමය කුණුවී තිබෙන තරම අනුව ක්‍රමය සකස් වී තිබෙනුයේ ක්‍රමය තුළින් බලයට පත්වන කවර තරමේ හොඳ හා අවංක නායකයකුට වුවද රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම වෙනස් කළ නොහැකි තත්ත්වයකටය. බලයට පත්වන පාලකයා එම කුණුවූ තත්ත්වයෙහි ඇත්ත වෙනසක් ඇති කිරීමට වෙර දරන පුද්ගලයකු නම් ඔහු එම දූෂිත බලවේගයන්ගේ රුදුරු ගොදුරක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. එසේ නොවී ඔහු එම දූෂිත බලවේගයන් සමග වැඩ කරන තැනකට ගියහොත් ඔහුද කුණුවූ පුද්ගලයකු බවට පත්වීමද නොවැළැක්විය හැකිය.
රාජ්‍ය ඇද වැටී තිබෙන එම සුවිශේෂී තත්ත්වය තුළ එම කුණුවූ තත්ත්වයෙහි සැබෑ හා ගැඹුරු වෙනස
ක් ඇති කිරීමට අවශ්‍ය නම් මහජනයා දැනුවත් කොට ඔවුන් ජාලගත කොට නූතන රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් ඔවුන් සතු පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරන තැනකට ඔවුන් යොමු කළ යුතුය. සංවිධානාත්මක මහජනයාට ඔවුන් සතු පරමාධිපත්‍යය බලය සාමකාමී, විනයානුකූල හා නිර්මාණශීලීව අනන්‍ය කරන තැනකට යොමු කරන වැඩසටහනක් මගින් රටේ සාමකාමී ඵලදායී ගැඹුරු වෙනසක් ඇති කළ හැකිය. මෙය කිරීමට දුෂ්කර සංකීර්ණ දෙයක් ලෙස පෙනෙනු ඇතත්, කළ නොහැකි දෙයක් ලෙස සැලකිය නොහැකිය.

පුත්තලම සම්මේලනය

පුත්තලම දිස්ත්‍රික්කය සඳහා වන පුනරුද ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්මේලනය පසුගිය 22 වැනිදා මාදම්පේදී ඉතාමත් සාර්ථක හා උත්කර්ෂවත් ආකාරයකින් පවත්වන ලදි. මීට පෙර මහනුවර දිස්ත්‍රික් සම්මේලනය සාර්ථක ලෙස පවත්වන ලද අතර ඊළඟ දිස්ත්‍රික්ක සම්මේලනය කුරුණෑගලදී පැවැත්වීමට නියමිතය.

මෙම දිස්ත්‍රික්ක තුන හා ඊට අතිරේකව කළුතර දිස්ත්‍රික්කය පුනරුදය ව්‍යාපාරයට ඓතිහාසික අර්ථයෙන් ඉතා වැදගත්ය. ආරම්භක අවස්ථාවේදී පුනරුදය ව්‍යාපාරය ගොඩනැගුණේ ප්‍රධාන කොට මෙම දිස්ත්‍රික්ක හතරේය. ලංකාව ඓතිහාසික අර්ථයෙන් අරාජිකත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව හා එම තත්ත්වය ජයගැනීම සඳහා නූතන ලංකා ජාතිය හා රාජ්‍ය තනන සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ වැදගත්කම විග්‍රහ කිරීම සඳහා මා 2010 වසර අවසානයේදී ‘ලංකාව ගලවා ගැනීම’ නමින් පොතක් ලියන ලද අතර එම පොත පළකරන ලද්දේ 2011 වසරේ ජනවාරිවලදීය. ඉන්පසු යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගොඩනැගෙමින් තිබෙන අරාජිකත්වය ජයගැනීම සඳහා සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් හා ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙස රාවය පාඨකයන්ට ආයාචනා කරන ලිපි පෙළක් ලියන ලද අතර ඊට ලැබුණු ප්‍රතිචාර අතර මාරවිලට පැමිණ සාකච්ඡා සභාවක් පවත්වන ලෙස ප්‍රථම ආරාධනය ලැබුණේ මාරවිල චින්තකගෙනි. එහි පැවති සාකච්ඡා සභාව පුනරුද ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමෙන් පවත්වන ලද පළමු සාකච්ඡා සභාව ලෙස සැලකිය හැකි අතර පසුදින පොල්පිතිගමද, ඊටපසු දින මහනුවරද තවත් සාකච්ඡා සභා දෙකක් පවත්වන ලදි.

ඉන්පසු මේ දක්වා පැමිණ තිබෙන දුර හිතාගන්නවත් බැරිතරම්ය. අපට මුල සිටම අවශ්‍ය වූයේ විදේශ රටවලින් හෝ කළු සල්ලිකාරයන්ගෙන් මුදල් නොගෙන ස්වශක්තියෙන් දුවන ව්‍යාපාරයක් ඇතිකර ගැනීමය. ලොකු අරමුදලක් නැතිව මෙවැනි වැඩසටහනක් පවත්වාගෙන යා නොහැකියි කියන අයද අප අතර සිටියේය. දැන් අවුරුද්දකුත් මාස 8ක් තරම් කාලයක් අප වැඩ කර තිබෙන්නේ සාමාජිකයන් හා ආධාරකරුවන්ගෙන් ලැබෙන ආධාරවලිනි. අවංක හා අව්‍යාජ සමාජ ව්‍යාපාරයකට ස්වශක්තිය මත පිහිටා ක්‍රියා කළ හැකි බව දැනටත් පුනරුද ව්‍යාපාරය විසින් හොඳින් සනාථ කර තිබෙන්නේ යැයි කිව හැකිය. ඒ කාලයේදී අසන්නට ලැබුණු තවත් තර්කයක් වූයේ ගම දූෂිත වී තිබෙන බවත්, රැස්වීම්වලට එන ගම්මුන්ට කන්න බොන්න හා වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභ නොදෙන ව්‍යාපාරයකට ගම්වල වැඩ කිරීමේ හැකියාවක් නැති බවය. එම තර්කයද කිසිදු පදනමක් නැති බොරු තර්කයක් බව සනාථ කිරීමට පුනරුද ව්‍යාපාරය සමත් වී තිබෙන බව කිව යුතුය. අපි වැඩි වශයෙන් වැඩ කර තිබෙන්නේ නගරවල නොව දුෂ්කර ගම්වලය. ගම්මුන්ගෙන් අප ඉගෙන ගෙන තිබෙන දේවල් ප්‍රමාණය අතිවිශාලය. අප මොනම තැනකටවත් ආරක්ෂක භටයන් සමග ගොස් නැත. ආරාධනා ලැබෙන ඕනෑම තැනකට යන ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළෙමු. මොනම තැනකින්වත් අපට තර්ජන ගර්ජන එල්ල වී නැත. දුෂ්කර ගම්වලට යන ගමන්වලදී ගම්වල ඇතිවී තිබෙන විනාශය හා පරිහානිය දැක බලාගැනීමේ හැකියාව අපට ලැබුණි. සියලු දේශපාලන ව්‍යාපාර වැඩ කරන්නේ කොළඹය. ඔවුන් ඒ සියලු දේ කරන්නේ රූපවාහිනී නාලිකාවලට පෙනෙන ලෙසය. අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගම්වල වැඩ කර ඇත්තේ ප්‍රචාරවලින් තොරව හා පෝස්ටරවලින් තොරවය. අපි තාප්පවල පෝස්ටර් අලවන ප්‍රතිපත්තියක් වෙනුවට මිනිසුන්ගේ හදවත්වල නොමැකෙන ලෙස පෝස්ටර් අලවන ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමු. අපි යන ගමන දුෂ්කර වුවත් හොඳ මිනිසුන්ගෙන් සමන්විත විකල්ප සමාජයක් ගොඩනගා ගැනීමේ අරමුණ කරා අප වේගයෙන් ගමන් ගනිමින් සිටින්නේ යැයි කිව හැකිය.

පුනරුද ව්‍යාපාරය තෝරා ගත් මාර්ගය දුෂ්කරය. එහෙත් පුනරුද ව්‍යාපාර එම දුෂ්කර මාර්ගයේ සාර්ථක ලෙස ඉදිරියට ගමන් ගනිමින් සිටින්නේ යැයි කිව හැකිය. එය වපුරමින් තිබෙන මතවාදී බීජ පැළවෙමින් තිබෙන අතර පුනරුද ව්‍යාපාරයට එකතුවෙමින් සිටින මහජනයාගේ සිත් සතන්වල හා ආකල්පවල සැබෑ වෙනසක් ඇති කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. පුනරුදයේ ඉලක්කය සමාජය භේද කිරීම නොව ඒකාග්‍ර කිරීමය. වර්ග, කුල, ආගම් භේදවලට හා මිථ්‍යා විශ්වාසයන්ට තිබෙන පිළිගැනීම දුර්වල කොට ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාවක් ඇති සමාජයක් ඇති කිරීමය.