මහනායක හිමිවරුන්ගේ මතය සංඝ සමාජයේ මතය නෙමෙයි

– පූජ්‍ය තීනියාවල පාලිත හිමි
සංවාදය – ශ්‍රීලාල් සෙනෙවිරත්න

රට තුළ බෞද්ධ භික්ෂුවගේ භූමිකාව විවාදාත්මකය. සැලකිය යුතු භික්ෂූන් සංඛ්‍යාවකට රටේ නීතිය උල්ලංඝනය කිරීම් සහ විවිධ අපරාධ චෝදනා එල්ල වී තිබේ. අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් සිරදඬුවම් විඳින භික්ෂූන්ද සැළකිය යුතු ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ. රාජ්‍යයේ සම්මත නීතියට අභියෝග කිරීමටත්, ඊට ඉහළින් සිටීමටත් භික්ෂු සමාජයේ යම් පිරිසක් උත්සාහ දරමින් සිටින්නේ මෙවැනි පසුබිමකය. මේ ආශ්‍රිතව මතුවෙන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

රටේ නීතිය, සාමය සහ දීර්ඝ කාලීන සංහිඳියාවට අදාළ ඇතැම් කාරණාවලදී පැවිදි සමාජයේ මැදිහත්වීම් බොහෝ විට ගැටලුකාරී ස්වභාවයක් ප්‍රකට කරනවා. ඒ පිළිබඳව ඔබවහන්සේගේ නිරීක්ෂණ සහ ආකල්ප කවරේද?

පැවිදි සමාජය කියලා ගත්තොත් ඒක සාංඝික වෙනවා. සමස්තයට අදාළ වෙනවා. ඔය ප්‍රකටව පෙනෙන බව කියන මැදිහත්වීම් එලෙස සමස්ත සංඝ සමාජයටම අදාළ වෙන්නේ නෑ. සංඝ සමාජයෙන් කොටසකට පමණයි අදාළ. ජනමාධ්‍ය යම් කිසි ප්‍රශ්නයකදී ගිහින් මයික් එක අල්ලන්නේ ස්ට්‍රයික් කරන, පිකටින් කරන, තාප්ප උඩින් පනින, උසාවිවලට ගිහිල්ලා නොයෙක් නීති විරෝධී කටයුතුවල නිරත වෙන, සමාජයේ ලොකු වැඩක් කරන්න පුළුවන් කියා හිතාගෙන ඉන්න ඒ අයගේ ශ්‍රී මුඛයටනේ. එතකොට ඒ අයගේ මතය මුළු සංඝ සමාජයේම මතය කියන ජනමතයක් ගොඩනැඟෙනවා. ලෝකෙට යන ජනමතය බෞද්ධ භික්ෂූන්වහන්සේලා මේ වගේ පිරිසක් කියන එකයි. ඕකට හේතුව පැවිද්දන් වුණත් රහත්වෙලා නැතිකමයි. ඒ නිසා පැවිද්දන්ගේ අසීමිත දුර්වලතා ඇතිවෙන්න පුළුවන්. ඒත් සිල්වත්, ගුණවත්, වැදගත්, ධර්මධර, ධම්මානුපන්න මහ තෙර වහන්සේලා අනන්ත අප්‍රමාණව සමාජයේ ඉන්නවා. අද පැවිදි සංස්ථාවේ විතරක් නොවෙයි ජනාධිපති, අගමැති, ඇමැතිවරුන්, මන්ත්‍රීරුන් ආදී දේශපාලන සමාජයේ උඩ ඉඳලා පහලට ගත්තත්, වෙනත් සමාජ සංස්ථා ගත්තත් ඒ හැම තැනකම විවිධ ගැටලු, ප්‍රශ්න, අර්බුද තියනවා. විවිධ පවුල්වලින්, විවිධ සමාජවලින් එකතුවෙච්ච විවිධාකාර පිරිසක්නේ මේ හැම තැනකම ඉන්නේ. භික්ෂූන්වහන්සේලා වුණත් විවිධ නිකායවල විවිධ අය ඉන්නේ. සියම්, අමරපුර, රාමඤ්ඤ කියලා නිකාය තුනක් තියනවා. සියම් නිකායේ පාර්ශ්ව අටක් තියනවා. අමරපුර නිකායේ පාර්ශ්ව විසිදෙකක් තියනවා. ඒ ඒ අයගේ විවිධ මත තියනවා. ඕක අලුත් දෙයක් නොවෙයි. වර්තමානයේ තරුණ භික්ෂූන්වහන්සේලා විශාල ප්‍රමාණයක් සංඝ සාරුප්‍යයට නොගැලපෙන වැඩ කරන බව පෙනී යනවා. අපට ඒක අනුමත කරන්න පුළුවන්කමක් නෑ. මම හිතන්නේ උන්වහන්සේලා වැඩිහිටි වෙනකොට ඒ අඩුපාඩු හරියයි කියලා. ඒක අලුත් දේකුත් නෙවෙයි. හරි දේකුත් නොවෙයි. වැරදි දේකුත් නොවෙයි. යථාර්ථය ඒකයි.

මහා සංඝරත්නයේ ගුණය බලාපොරොත්තු වෙන බෞද්ධ ගිහි සමාජයට අද අහන්න දකින්න ලැබෙන්නේ විවිධ අපරාධවලට වැරදිකරුවන් වුණ සැලකිය යුතු හාමුදුරුවරුන් පිරිසක් මේ වෙනකොටත් හිරගෙදර ඉන්න බවයි. සිරදඬුවම් ගෙවූ සහ ඇප පිට සිටින එවැනි ඇතැම් පුද්ගලයන් නැවත භික්ෂූන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිනවා නේද?

බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මේ වගේ නොයෙක් ප්‍රශ්න මතුවුණා. ඒ නිසාමනේ විනය නීති පනවන්නේ. දේවදත්ත උන්නාන්සේ බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරළුවානේ. බුදුහාමුදුරුවොත් යම් යම් වැරදි කළ අයට බ්‍රහ්ම දණ්ඩනය ආදී දඬුවම් පමුණුවලා තියනවා. හොඳ සීයට අනූනවයක් තිබුණත් සමාජයේ අවධානයට ලක්වෙන්නේ නරක එක. ඒක ලෝකේ ස්වාභාවයක්. ඒත් පැවිද්ද තුළ සංඝයාට හිතෙන හිතෙන විදිහට වැඩ කරන්න බෑ. අපිට සම්මත වූ ක්‍රමයන් තියනවා. විනයක් තියනවා. විනය පිටකයේ විනය නීති 227ක් ඇතුළත් වෙනවා. භික්ෂුණීන්ට තියනවා විනය නීති 311ක්. ඒවායින් පැවිදි සමාජය බැඳිලා තියෙන්නේ. වර්තමානයේ මේවා සීයට සීයක්ම ක්‍රියාත්මක වෙනවාද කියා කියන්නට පුළුවන්කමක් නෑ. ඒ වගේමයි ලංකාවේ භික්ෂූන් වහන්සේලාටත් අනෙකුත් පුරවැසියන්ට තියන මානව හිමිකම් සියල්ල තියනවා. රස්සාවල් කරන්න පුළුවන්. ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. ඒ වගේමයි වරදක්. අපරාධයක් කළොත් ඒකට අනුව හිරේ යන එකත් අමුතු දෙයක් නෙවෙයි. ඒකෙදි තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. ඒවාට කලකිරෙන්න දෙයක් නෑ. කලකිරෙන අයත් ඇති. පැහැදෙන අයත් ඉන්නවා. මීට කලිනුත් මිනීමැරුම් චෝදනා යටතේ මරණ දඬුවම් නියම වුණ භික්ෂූන්වහන්සේලා හිටියානේ.

හාමුදුරුවරුන්ට රටේ පොදු නීතිය අදාළ නොවිය යුතු බවටත්, හාමුදුරුවරුන්ට එරෙහි චෝදනා විභාග කළ යුත්තේ සංඝාධිකරණයන් මගින් බවටත් පිරිසක් කියා සිටිනවා?

රටක ජීවත්වෙන සෑම භික්ෂූන්වහන්සේ නමක්ම ඒ රටේ නීතියට යටත් විය යුතුයි. එයට ගරු කළ යුතුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙත් රාජ නීතියට අවනත වෙන්න කියලයි. දැන් බලන්න ජාතික ගීය කියන කොට භික්ෂූන්වහන්සේලා නැඟිටින්නේ නෑ. මම දකින්නේ ඒක පවා එතරම් සුදුසු දෙයක් නොවෙයි. සියලු දෙනාම රටේ ජාතික ගීයට ගරු කළ යුතුයි. යම් පුද්ගලයෙක් රටක නීතියට ගරු කරන්නේ නැත්නම් එයා ඒ රටේ සිටිය යුතු නෑ. වෙනත් රටකට ගිහිල්ලා ජීවත්වීමයි සුදුසු. භික්ෂූන්වහන්සේලා මිනිසුන් අතර සුවිශේෂ පුද්ගලයෝ වුණත් නීතිය ඉදිරියේ සුවිශේෂ පුද්ගලයෝ නොවෙයි. සංඝාධිකරණය හරිද වැරදිද කියන එක ගැන මම කතා කරන්නේ නෑ. හැබැයි සංඝාධිකරණයකට ගියත් විභාග කරන්න වෙන්නේ මේ පුද්ගලයන්ගේ මේ නඩුම නේද? හොඳයි සංඝාධිකරණයෙන් ලැබෙන තීන්දුවෙන් සෑහීමකට පත් නොවෙන පාර්ශ්වයකට අභියාචනයක් යොමු කරන්න වෙන්නේ කොතැනටද? අභියාචනාධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි නේද? ඒ අධිකරණයකින් සංඝාධිකරණයේ තීන්දුව අහෝසි කළොත් එතකොට මොකක්ද ඇතිවෙන තත්ත්වය. ඕනේම නඩුවකදී එක් පාර්ශ්වයක් අතෘප්තියට පත්වෙනවාමනේ. අපි උපකල්පනය කරමු යම් භික්ෂුවකගේ සිවුර හැර යවන්න සංඝාධිකරණය තීන්දු කළා කියලා. ඒ හාමුදුරුවෝ කොහොමටවත් ඒකට කැමති වෙන්නේ නෑනේ. එහෙම අතෘප්තියට පත් වෙන පාර්ශ්වයට ඉහළ අධිකරණයක අභියාචනා කිරීමට අවස්ථාවක් තිබිය යුතුයි. සංඝාධිකරණයේ තීන්දුව අවසාන තීන්දුව හැටියට පිළිගන්න පුළුවන්කමක් නෑනේ. අනික සංඝාධිකරණයකදි හාමුදුරුවරුන්ගේ නඩු හාමුදුරුවරු විසින්ම විභාග කිරීමෙන් අපක්ෂපාතීභාවයට හානිවෙන්න පුළුවන්. ඒත් අධිකරණයකදී එහෙම වෙන්නේ නෑ. අධිකරණයක විනිශ්චකාරවරුන්ට හාමුදුරුවරුන් එක්ක විශේෂ සම්බන්ධයක් නෑනේ. ඒ නිසා ස්වාධීන තීන්දු දෙන්න පුළුවන්. මම සංඝාධිකරණය ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. නමුත් සංඝාධිකරණයකින් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය මොකක්ද? ඒක ලැබෙනවාද කියන ගැටලුවක් තියනවා. අනෙක සංඝාධිකරණය දෙන තීන්දු ක්‍රියාත්මක කරන්නේ කවුරුන් හරහාද කියන ප්‍රශ්නයත් තියනවා.

සංඝාධිකරණ අදහස එන්නේ ලංකාව සිංහල-බෞද්ධ රාජ්‍යයක් කියන පදනමෙන් විය යුතුයි නේද? ‘පර සුද්දගේ අධිකරණ අපි පිළිගන්නේ නෑ’ කියන පිරිස්නේ පැවිද්දන්ගේ නඩු විසඳිය යුත්තේ සංඝාධිකරණවලින් කියලා කියන්නෙත්?

ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සහ තවත් ජන කොටස් ජීවත්වෙනවා. විවිධ ආගම් අදහන ජනතාව ජීවත් වෙනවා. බස්නාහිර පළාත අරගෙන බැලුවොත් සිංහල ජාතිකයන් 84.2% ක් ඉන්නවා. යෝනක 7.9%ක් ඉන්නවා. දෙමළ 6.8%ක් ඉන්නවා. වෙනත් ජාතීන් 1.2%ක් ඉන්නවා. මේක ඒ සියලු දෙනාගෙම රට මිස සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි. සිංහල බෞද්ධ ජනතාව වැඩියි කියන එකනම් අපිට පිළිගන්න පුළුවන්. ඒ අයගේ සිංහල බෞද්ධකම හදවතේ තිබුණාවේ. ඒක එළියට දාගෙන අනවශ්‍ය ගැටුම් ඇති කරගත යුතු නෑ.

දැනටත් අධිකරණ සංඝ නායක හාමුදුරුවරු ඉන්නවා නේද? පැවිදි විනය තහවුරු කිරීමේ කාරණයෙදි ඒ අයගෙ භූමිකාව මොකක්ද?

මම මෙහෙම කිව්වට උන්වහන්සේලාට කිසිසේත්ම අගෞරවයක් නොවේවා. තනතුර ප්‍රධාන අධිකරණ සංඝනායක වුණාට පන්සලේ ඉන්න කොල්ලවත් උන්නාන්සේ කියන දේ අහන්නේ නෑ. ඉතිං කොහෙද රටේ අනෙක් අය ඒක අහන්නේ? ඕකයි සැබෑ තත්ත්වය. තනතුරු තිබුණට බලයක් නෑ.

පැවිදි සමාජය රටේ නීතියට කරන බලපෑම ප්‍රකට කෙරෙන තවත් අවස්ථාවක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය. මේ කටයුත්තට අස්ගිරි පාර්ශ්වයෙන් ලොකු විරෝධතාවක් මතුවුණා. ‘ජනවාරි 8’ වෙනසේදී හැට දෙලක්ෂයක ජනවරමක් ලැබුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට තවමත් නොහැකිවීමට මේ බලපෑමත් ප්‍රධාන හේතුවක් වුණා නේද?

වරදක් දැකලා මෛත්‍රී සිතින් ඒක පෙන්නලා දෙන්න භික්ෂූන්වහන්සේලාට අයිතියක් තියනවා. ඒක බුදුහාමුදුරුවොත් අනුදැන තියනවා. හැබැයි ඉතිං තමන් නොදන්න දේවල් කතා කරන්න ගියාම අවුල් ඇතිවෙනවා. මම මේ කියන දෙයින් කිසිසේත්ම උන්වහන්සේලාට අගෞරවයක් අපහාසයක් නොවේවා. ඉතාමත්ම ගෞරවයෙන් මම මේ කියන්නේ. මල්වතු-අස්ගිරි මහනායක හාමුදුරුවරු බැහැ දකින්න ඕනෙම කෙනෙක් ගියාම උන්වහන්සේලා ඒ හැම කෙනාටම මොනවා හරි අදහසක් ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ගියාම ‘ඔබතුමාගේ කාලේ රට බොහොම හොඳට ගියා දැන් එහෙම තත්ත්වයක් නෑ වගෙයි පේන්නේ’ කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි ගියාම කියනවා ‘දැන් තමයි රට හරියට යන්නේ අපි බොහෝම සංතෝෂයි’ කියලා. තිස්ස අත්තනායක ගියාම එයාටත් ඔය වගේ මොනවා හරි කියනවා. මේවා අහන දකින මිනිස්සු අතරමං වෙනවා කොයි එකද පිළිගන්නේ කියලා. මහානායක හාමුදුරුවරු මේ විදිහට කියන දේවල් සමස්ථ සංඝයාගේ මතය නෙවෙයි. ඔය කියන අලුත් ව්‍යවස්ථාව මොකක්ද කියලා තවම හරියට කවුරුවත් දැකලත් නෑනේ. ඒක තාම එළියට ඇවිල්ලත් නෑ. එහෙම තියෙද්දි මේකෙන් රට බෙදනවා රට විනාශ වෙනවා කිය කියා පුද්ගලික හේතුමත කතා කිරීම සුදුසු නෑ. එහෙම කරන කතා සමස්ථ සංඝයාගේ මතයත් නොවෙයි. අලුත් ව්‍යවස්ථාව එළියට ආවම ඒ ගැන අධ්‍යයනය කරලා බලමු.

ඒත් මහානායක අනුනායක හාමුදුරුවරු කරන ප්‍රකාශ ජනතාවට සන්නිවේදනය වෙන්නේ සමස්ත සංඝයාගේ මතය විදිහට. ඒක රටේ අනාගතයට නරක විදිහට බලපානවානේ?

ඒක ඉතිං මාධ්‍යවේදීන් වාර්තා කරන විදිහේ වරද. දේශපාලනය කියන්නේ ටික දෙනෙක්ගේ යහපත සඳහා වැඩි දෙනෙක්ගේ පිස්සුවක් කියලා කියමනක් තියනවානේ. මේ පිස්සුව එකඑක්කෙනාට එක එක විදිහට වැළඳිලා තියනවා. එක කට්ටියකට ජේවීපී පිස්සුවක් තියනවා. එක කට්ටියකට ශ්‍රී ලංකා පිස්සුවක් තියනවා. තව කට්ටියකට යූඑන්පී පිස්සුවක් තියනවා. ඔය විදිහට පිස්සන් කොටුවට මෙහායින් නතර වුණ පිස්සු ගොඩක් තියනවා. ඒ ඒ අය අදහස් ප්‍රකාශ කරන්නේ තම තමන්ගේ මතයේ ඉඳගෙනනේ. ඉතිං අනෙක් පැත්ත කොච්චර හරි වුණත් තමන්ගේ මතයට වාසි වෙන විදිහට තමයි කතා කරන්නේ. හැබැයි එහෙම වුණා කියලා අමුතු දෙයක් සිද්ධ වෙන්නේ නෑ. දැන් නිදහස ලැබිලත් අවුරුදු හැටහතක් ගියානේ. එහෙම ප්‍රකාශ කෙරුණ අවස්ථාත් තිබුණා. රටත් තිබුණා. ආණ්ඩුත් තිබුණා. ශාසනෙත් තිබුණා.

‘අතීතයේ රජවරුන් රට පාලනය කළේ බෞද්ධ භික්ෂූන්ගේ උපදෙස් අනුව. ඒ වගේම අදත් රට පාලනය විය යුත්තේ ඒ අනුව’ කියලා හාමුදුරුවරු අවධාරණය කරනවා. රාජාණ්ඩු කාලයේ හාමුදුරුවරුන්ගේ උපදෙස් අනුව දූපත් රටක් පාලනය කරන්නට හැකියාවක් තිබුණා විය හැකි වුවත් අතිශය වෙනස් සහ සංකීර්ණ සමාජ දේශපාලනික තත්ත්වයක් පවතින වර්තමානයට ඒක කොයි තරම් දුරට ප්‍රායෝගිකද?

ඉතිහාසය බැලුවම නම් ඒ විදිහට තමයි වෙලා තියෙන්නේ. ඒත් පසුගිය අවුරුදු හතළිහක පනහක කාලය තුළ ඒගොල්ල බලයට පත්වීම සඳහා කහ සිවුර උපයෝගී කරගන්නවා. බලයට පත්වුණාට පස්සේ බලයෙන් සහ මුදලින් මත්වුණාම මේ එකක්වත් ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ නෑ. බොහෝ භික්ෂූන් වහන්සේලා මේක හොඳයි. මේක නරකයි කියලා පෙන්වා දෙන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නොවෙයි. රටට යහපතක් වෙයි කියලා හිතාගෙන සත්භාවයෙන්මයි. කවදාවත් භික්ෂූන් වහන්සේ නමක් පාලකයන්ට කියලා නෑනේ හොරකම් කරන්න, රටේ දේපොළ මංකොල්ල කන්න, පගා ගහන්න, මිනී මරන්න කියලා. අන්‍ය ආගමික නායකයෝ කියලත් නෑනේ. ඒ නිසා භික්ෂූන්වහන්සේලා ගේ අදහස් සැලකිල්ලට අරගෙන රට පාලනය කරන එක කොයි පාලකයා රට පාලනය කළත් නරකක් වෙන දෙයක් නෙවෙයි.

ගැටලුව වෙන්නේ එදා රජ කාලේට වඩා අද රාජ්‍ය පාලනය කියන එක ඉතාම සංකීර්ණ කාරණයක් නිසා. ඒවාට වෙනම විෂය දැනුමක් අවශ්‍ය වෙනවා නේද? ආගමික විෂය දැනුම මත රැඳෙන්න පුළුවන්ද?

එහෙම කියන්න බෑ. මේ සංඝ සමාජය තුළ උපාධිධාරී, ආචාර්ය උපාධිධාරී හාමුදුරුවරුන් ඉන්නවා. මහාචාර්ය හාමුදුරුවරුන් ඉන්නවා. දොස්තරවරු, නීතිඥවරු, විනිශ්චයකාරවරු, ඉංජිනේරුවෝ වගේ දැන උගත් විශාල පිරිසක් පැවිදි වෙලා ඉන්නවා. නක්ෂත්‍රය, දේශීය වෙදකම දන්න හාමුදුරුවරු ඉන්නවා. අපේ සංඝ සභාවේ පමණක් මහාචාර්යවරුන්ම හය හත්නමක් ඉන්නවා. ඒ නිසා සියලු දැනුමෙන් පරිපූර්ණ සංඝ සමාජයක් අද තුන් නිකායම නියෝජනය කරනවා. එවැනි සමාජයක් ගිහි සමාජය තුළ නෑ. ඒ නිසා රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න විෂය දැනුමක් භික්ෂූ සමාජයට නෑ කියන්න බෑ.

මේ අතරේ භික්ෂූ විනය තහවුරු කිරීමට ථේරවාදී කථිකාව නීතියක් ලෙසට සම්මත කරගැනීම ගැන නැවත රජයේ අවධානය යොමුවෙලා තියනවා. ඔබ වහන්සේ ඒගැන මොනවගේ අදහසක්ද දරන්නේ?

අපිට අමුතුවෙන් කථිකාවත් අවශ්‍ය වෙන්නේ නෑ. භික්ෂුව කිව්වම පොදු වචනයක්. සියම් භික්ඛු, අමරපුර භික්ඛු, රාමඤ්ඤ භික්ඛු කියලා නෑ සියලු දෙනා ඊට අයිතියි. මේ තුන් නිකායට සංඝ සභා කථිකාවන් තිස් දෙකක් තියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12, 13 වගන්ති අනුව සමානයන් අතර අසමානතාවක් තියෙන්න බෑ. එතකොට කොහොමද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවෙන විදිහට කථිකාවත් තිස් දෙකකින් එක නීතියක් හදන්නේ. මේවා ප්‍රායෝගික නොවන මෝඩ කතන්දර. එක නිකායක මහානායක, අනුනායක, ලේඛකාධිකාරි හාමුදුරුවරුන්ට අභිමතානුසාරි අධිකාරි බලයක් පවරනවාට මම පෞද්ගලිකව සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකෙන් හැම තිස්සේම වෙන්නේ අගතියක්මයි. බුදුහාමුදුරුවෝ අපට විනය නීති දෙසිය විසිහතක් පනවලා තියනවා. වැසිකිළියට ගියත් බලපාන නීති බුදුහාමුදුරුවෝ සම්මත කරලා තියනවා. ඒක හොඳටම ඇති. අමුතුවෙන් නීති දාන්න වුවමනා නෑ.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ඔබවහන්සේ දරන මතය මොකක්ද?

රටේ නීතියක් තියනවා. ඒ අනුව නඩු විභාගයක් පවත්වලා උසාවියෙන් මරණීය දණ්ඩනය නියම කරලා ඊට පස්සේ අභියාචනා ඉදිරිපත් කරලා ඒකෙනුත් මරණ දඬුවම තීන්දු වෙලා තියනවා නම් ආයේ ඒක ක්‍රියාත්මක කරන්න ජනාධිපති අස්සන් කරන්නේ මොන එහෙකටද? රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම්, අධිකරණයේ ස්වාධීනත්වය පවතිනවා නම් උසාවි නියෝගය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපති අස්සන් කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම අවසානයේ තියෙන්නේ ජනාධිපතිගේ අතේ නම් ඉතිං අධිකරණවලින් වැඩක් නෑනේ. එහෙම නම් අනෙක් නඩු තීන්දු ක්‍රියාත්මක කරන්නත් ජනාධිපතිගේ හරි කැබිනට් එකේ හරි අනුමැතිය ගන්න ඕනේනේ. ජනාධිපතිගේ මේ මැදිහත්වීම සම්පූර්ණයෙන් වැරදියි. අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය ඇඟිලි ගැසීමයි මේ සිදුවෙන්නේ. ජනාධිපති හරි නම් කළයුත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ධුරය සතු බලය ඉවත් කිරීමයි. මම දැක්කා ජනාධිපතිගේ මේ මැදිහත්වීම වර්ණනා කරලා කොළඹ පෝස්ටර් ගහලා තියනවා. ඇත්ත වශයෙන්ම ජනතාව පෝස්ටර් ගහන්න ඕනේ මේ මැදිහත්වීම ගැන ජනාධිපතිට විරෝධය දක්වලයි.