රාවය

ජනපති විමල් සහ බිමල්

ජනපති විමල් සහ බිමල්

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ දිනවල දේශපාලනිකව කතාබහට ගතහැකි කතා දෙකක් ආසන්නයේම ඇත. එකක් දිනෙන් දින ජනපති මෛත්‍රීපාල සිරිසේන තුළ වැඩෙන මාධ්‍ය කෙරෙහි වන වෛරයයි. අනෙක කලක් සහෝදරයන් වූ අද වෛරකාරයන්ව සිටින විමල් වීරවංශ සහ බිමල් රත්නායකගේ පාර්ලිමේන්තුවේ දෝස්මුරයයි.

පළමු එක

ජනපති මෛත්‍රීපාල සිරිසේන කළුගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යයට සහභාගිවෙමින් වක්කඩ කැඩුවා සේ මාධ්‍යය විවේචනය කළේය.
“වත්මන් ආණ්ඩුවට පහර දී දුර්වල කර විනාශයට ඇද දමා ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරගනිමින් මාධ්‍ය නිදහස අහිමි කරගනිමින් නැවත වරක් දිනයක කඳුළු හලන තත්ත්වයට පත් නොවන ලෙස තමා මාධ්‍යයෙන් සහ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව එදින ජනපති පැවසීය.
මේ ප්‍රකාශය විවිධ අය විවිධ ආකාරයට තේරුම් ගැනීමට සහ අර්ථ දැක්විය හැකිය. එහෙත් මේ අර්ථගැන්වීම අපට වැටහෙන අයුරු මෙසේය. අද දවස වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය කෙරෙහි කලකිරී ඇති බව ඉන් පළමුවැන්නය. මේ කලකිරීම ඇතිවන්නේ ජනපති කියන විදිහට ආණ්ඩුව විවේචනය කරන නිසාද නැතහොත් තමා සහ තම පවුලේ උදවිය විවේචනය කරන නිසාද? අපට හැඟෙන පරිදි නම් ජනපති, ආණ්ඩුව යනු තමන් කියා සිතනවාද විය හැකිය. එබැවින් මේ විවේචනය එල්ලවන්නේම මාධ්‍ය තමන් විවේචනය කරන නිසාය. ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කොට ආ විවේචන බොහොමයක පිටුපස ඇත්තේ එජාප මාධ්‍ය කලාවකි. කෙනකුට මෙලෙස සිතිය හැකිය. අද එවැනි අමුතු මාධ්‍ය කලාවක් තියෙනවාද කියාය. ඇත්තේ එවැනි කලාවක්ම පමණි. අද ටෙලිවිෂන් මාධ්‍ය බහුතරයක්ම මහින්ද රාජපක්ෂ මහතාගේ ගැත්තෝය. ඔවුහු ඍජුවම ක්‍රියාකරනුයේ මහින්ද රාජපක්ෂලාගේ යුගය නැවත බිහිකරන්නටය. ආණ්ඩුවේ මාධ්‍ය ශ්‍රී ලංකා සහ එජාප ලෙස බෙදුණද වැඩි බර එජාපයටය. එබැවින් එය එජාපයේ හොරණෑව බවට පත්වී ඇත. මේ අතර තවත් පිරිස් කාටවත් නැති ලෙස කාට හෝ කඬේ යති. ඇත්ත එයය. ඒ අතරද එජාපයට පක්ෂපාතී බව වැඩිය. ඒ අය ගැන ජනපතිද මනාව දනී. මේ නිසා ඒ අය රනිල් අමතක කොට මෛත්‍රී කොටුකර පහර දෙන විට මෛත්‍රීගේ රතු කටු පනී. එකට සිටි අය එකට ඉන්න අය හැංගි ගහන විට වේදනාව වැඩිය. මේ සිදුව ඇත්තේ එයය. අද මාධ්‍ය බහුතරයක් මේ ආණ්ඩුවට පහර දෙන අතර එහි ප්‍රමුඛයා රනිල් වික්‍රමසිංහය. ඔවුහු ජනපති හොඳ තැන තබා අගමැතිට පහර දෙති. එහෙත් අගමැතිගේ බලඇණිය ජනපතිට පහර දුන් සැණින් ජනපතිගේ සීමාව අමතක වේ. එවිට ඔහු එළිපිටම තම කේන්තිය පිටකරමින් සිටී. මෙහිදී රනිල් එලෙස නොකරනවා යැයි නොසිතන්න. ඔහු ඔහුගේ වෛරය පිට කරනුයේ විහිළු ස්වරූපයෙනි. ඔහු නොබෝදා උතුරේ සංචාරයේදී දිවයිනට බැණ වදින්නේ හිනාවෙවීය. මෛත්‍රී ඔහුගේ ආරයටත්, රනිල් තමන්ගේ ආරයටත් කරනුයේ එකම දේය. මේ දෙපිරිසටම මාධ්‍ය වධයක් වී ඇත. ඒ නිසා ජනපති පොදු අර්ථයෙන් අපේ ආණ්ඩුව කියනුයේ ඒ නිසාද විය හැකිය. එහෙත් ජනපති හිත යටින් අගමැති ඇන ගන්නවාට කැමතිය. අගමැති එහි අනෙක් පැත්තය. දැන් මේ දෙදෙනාගේ හතුරා මහින්ද නොව මොවුන්මය.

මේ අතර ජනපතිගේ කතාවේ ඇත්තක් ඇති බවද කිව යුතුය. එනම් අද මාධ්‍යයද සීමා ඉක්වමින් කටයුතු කරන බව සහතිකය. ඒ අද මාධ්‍යයද ඍජුවම දේශපාලනය කරන බැවිනි. ඔවුන්ට ඊළඟට ජනපති පත්කිරීම, අලුත් ආණ්ඩුව බිහිකිරීම ආදී කාර්යයන් ඇත. සිරස එදා මේ දේ කළේ තනිවමය. දැන් අනෙක් මාධ්‍යයද ඒ දේ කරති. සිහින තරුව තෝරන තැන සිට හැම ටෙලිවිෂන් මාධ්‍යයක්ම තම සිහින තරුවද තෝරන තැනට තල්ලු විය. මෙහි ආරම්භකයා සිරස වුවත් පසුව ඔවුන්ට වඩා හොඳට එය අනෙක් මාධ්‍ය කළේය. සිරස එජාප රජකරවීමේ කොන්ත්‍රාත්තුව අදින අතර එජාප නායකයා එලවීමේද කොන්ත්‍රාත්තුව කරන්නේය. පක්ෂයේ නායකයා පන්නා දමන්න වැඩ කරන ගමන් ඒ පක්ෂය දිනවන්න ක්‍රියාකරනුයේ කෙසේද? ඒ ඇන ගැනිල්ල එලෙස වන විට දෙරණ අතගසනුයේ රාජපක්ෂලා ගෙන එන්නටය. අද ඔවුහු ඒ කාර්යය ජයටම කරති. සිරසට මෙන්ම දෙරණටද දැන් නායකයකු සහ ආණ්ඩුවක් තමන්ගේ කියා ඇත. ඒවා පිහිටුවීම ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුහු වැඩ කරති.

මෙය මුද්‍රිත මාධ්‍යය තුළද දැන් වැඩෙමින් පවතී. එකල ආණ්ඩු මාරු කිරීම තිබුණේ ‘රාවය‘ටය. දැන් එය රාවයෙන් බොහෝ පත්තර ඩැහැගෙනය. මාධ්‍ය මේ දේශපාලන හුවමාරුව කිරීම කාලයකදී මාර වැඩක් ලෙස අර්ථ දැක්වුවද සැබැවින්ම එය එක්තරා පිම්පි වැඩකි. ඉන්පසු ඔවුහු පත්වන ආණ්ඩු තමන්ට ඕනෑ ලෙස පාලනය කරන්නට ගොස් හත්පොළේම ගාගෙන උඹලව අප ගෙන්නුවා සේ ම පන්නා දැමීමේ කාර්යයටද ඉන්පසු අත ගසති. ඒ සඳහා ඊට පෙර හතුරා වුව මිතුරා කර ගනිති. මේ ජරා දේශපාලන සෙල්ලමම මාධ්‍යයද කරති. ඔවුන්ද දේශපාලකයන් සේ පක්ෂ මාරු කරති. ඒවාට ඇති පදම් හේතුද පවතී. ඉදිරියේදී රාජපක්ෂලා ආවද මේ මාධ්‍ය අධිකාරිය දැන් නවතාලිය නොහැකිය.

මේ මාධ්‍ය නිදහස මෛත්‍රී හෝ රනිල් දිනා දුන් වරප්‍රසාදයක් නොව මාධ්‍ය විසින්ම දිනාගත් වරප්‍රසාදයකි. දැන් එය මෙල්ල කිරීම ලේසි නැත. මේ පිටුපස දේශපාලන පතාකයෝ සිටිති. දේශපාලකයන්ගේ ඍජු දායකත්වයක් නැතිව අද දුවනුයේ මාධ්‍ය කිහිපයක් පමණි. එය ඇබින්දකි. ඒවාට කළ හැකි ලොකු දෙයක්ද නැත. ඒවා දැන් තනිකරම විකල්ප වී ඇත. කොටින්ම ඒවා අද බාහු, වාසුලා මට්ටමට පත්ව ඇත. ඇතැම් ඒවාට ඊට වඩා ප්‍රබල යැයි සිතුවද එය හරියටම ජවිපෙ මෙන්ය. සද්දය පමණි. ජනතාවද ඒ අය සිටිය යුතුයැයි පතති. එහෙත් තියාගන්නට ඡන්දය නොදෙති. ඇතැම් මාධ්‍යයටත් අද සිදුව ඇත්තේ එයය. ඒවා පැවතිය යුතුයැයි ජනතාව සිතති. එහෙත් මිලදී නොගනිති. ඉහත පක්ෂ මෙන්ම අවසානයේ ඒවාද පවතී.

මෙවන් වටාපිටාවක ජනපති මාධ්‍ය නිදහස නැතිකරගෙන කඳුළු පෙරන්නට එපායැයි කියනුයේ ඔවුන් ගිය පසු එන අය මාධ්‍ය මර්දනය කරතැයි අතීත බියෙන්ද නැතහොත් තම ආණ්ඩුවම මේ නිදහස කල් නොයවා අහිමි කරන නිසාද? දැන් මේ දෙකටම ප්‍රමාද වැඩිය. ඉදිරියේදී කාට වුව මේ මාධ්‍ය බලපෑම (විද්‍යුත් මුද්‍රිත මෙන්ම සමාජ ජාලා) සම්පූර්ණ මෙල්ල කළ නොහැකිය. අද මුද්‍රිත මාධ්‍යයට නොදෙන බොහෝ පුවත් විද්‍යුත් මාධ්‍යයට ලබා දේ. එයින්ද සමාජ මාධ්‍යය තුළ වැඩිය. එව්වා නියාමනයකින් තොරව දිගහරින බැවිනි. අද මාධ්‍යයකට ගොස් ලබාදෙන අසාධාරණය හෝ දුක්ගැනවිල්ල ඒ ආයතන ප්‍රතික්ෂේප කළහොත් පළකළ හැකි ක්‍රම බොහෝය. දැන් මේ නිදහස මෛත්‍රී නොව මහින්දටවත් මෙල්ල කළ නොහැකිය. එන කාට වුව මේ තත්ත්වය මෙල්ල කළ නොහැකිය. මෙය අදට වඩා වසංගතයක් බවට හෙට පත්වනවා ඇත. ඒ නිසා දේශපාලකයන්ට කළ හැකිව ඇත්තේ තමන් විවේචනය කරනවුන්ට බනිනවා, ගහනවා හෝ මරණවාට වඩා ඒ විවේචනයට සරිලන දේශපාලන පාතාල මෙන් මාධ්‍ය පාතාලද හදාගැනීමය. දැන් සිදුව ඇත්තේ එයය. දැන් මාධ්‍ය තුළ වුව වැටුපට වැඩ කරන මාධ්‍යවේදීන් පවා මාධ්‍යයේ දැක්මට අනුගතවන්නේ පක්ෂ සාමාජිකයන් ලෙසය. ඔවුන්ද පෙනී සිටිනුයේ තම පක්ෂය වෙනුවෙනි. මේ ආණ්ඩුව මෙන්ම ඊළඟ ආණ්ඩුව මාධ්‍ය විප්ලවයක් බව කිව යුතුය. දැන් මාධ්‍යය නොවන්නට දේශපාලනයක් නැති තරම්ය. මහින්ද රාජපක්ෂට ඒකාබද්ධයේ අය තවමත් කියනුයේ ජනපති මහින්ද රාජපක්ෂ කියාය. හිටපු කෑල්ලක් ඔවුන් කිසිවිට භාවිත කරන්නේ නැත. මෙය ඉතා දැනුවත්ව කරන බව පෙනේ. ඔවුන්ගේ ආණ්ඩුව තවමත් රාජපක්ෂ ආණ්ඩුවමය. මෛත්‍රී මාධ්‍ය නිදහස ගැන කතා කරයි. අඩුම තරමේ රටේ ඇත්තේ එක ආණ්ඩුවයි. එක නීතියයි කියා හෝ ඔප්පු කිරීමට ඔහුට නොහැකිය. මේ යහපාලනයේ අසමත්කම් මාධ්‍ය නිදහස ලෙස සිතීම වැරදිය. මාධ්‍ය නිදහස ඇතැයි හෝ නැතැයි කියන්නටද වුවමනා මාධ්‍යයමය. ආණ්ඩුව හොඳයි හෝ නරකයි කීමට වුවමනාද මාධ්‍යයමය. මෛත්‍රීලා හෙට ඉන්නවාද නැද්ද කියා තීන්දු කරන නිදහස ඇත්තේද දැන් මාධ්‍යයටමය. අමතක නොකළ යුත්තේ දැන් මුළු රටම මාධ්‍යය වී ඇති බවය. ස්මාර්ට් ෆෝන් එකක් ඇති පොඩි එකාද අද දේශපාලනය කරයි. මාධ්‍යයෙහි නියැලෙයි. මේ නිදහස ගැන දැන් මෛත්‍රී කම්පාවීමෙන් නැතිවී ඇත්තේද ඔහුගේ නිදහසමය.

දෙවන කතාව

විමල් වීරවංශ ජවිපෙට විරුද්ධව නගන කතාවකට බිමල් රත්නායක උත්තර බඳිනුයේ ඇට්ටි හැලෙන්නය. එය විමල්ට විමල් පන්නයේම පහරදීමකි. එනම් යටි බඩට ගැසීමකි. හැටේ වත්තේ පන්නයේ කතාවකි. ජාතකවල සිටම වැමෑරීමකි. පවුලේ කුස්සියට රිංගා එහි ඉඳුල්ද කැවීමකි. නිදන ඇඳේ සිට ප්‍රශ්න කිරීමකි. මෙය ජවිපෙ අයට මාර ත්‍රිලකි. විමල්ට බඩ පිරෙන්න දීමකි. ජවිපෙ හැරගිය අයට බිමල්ගේ කතාව අප්‍රසන්නය. උගත් නූගත්කම් කතා කිරීම පිළිකුල්ය. ජාතක කීම අප්පිරියා සහිතය. ඉදින් ඔවුන්ද දැන් දෙපිළ බෙදී මේ ගැන වාග් සංවාදය. ඒවාද අවසානයේ බිමල්ගේ කතාව පන්නයේය. අපට කීමට ඇත්තේ මෙය අද දවසේ දේශපාලනිකව ඉතාම සාර්ථක බවය. අත්‍යවශ්‍ය බවය. අප මහින්දානන්ද, දයාසිරි, හරීන් හෝ සුජීව වුව දක්ෂ කථිකයන් කියනුයේ ඇයි? අද හැම දේශපාලන පක්ෂයකම කතාකාරයා මුඛරිය. වාචාලය. අතිදක්ෂයාය. ඔහු කරනුයේ ප්‍රතිවාදියාව කතාවෙන් විනාශ කිරීමය. මරා දැමීමය. එය ජවිපෙ කිරීම වෙනසක් නැත. බිමල් කරනුයේ ඒ පන්නයේ කතාවකි. විමල් පහුගිය කාලයේ කළේම එවැනි කතාය. අද විදග්ධ කතා නැත. ඇත්තේ අතින් පයින් ගහන්න බැරි ගැහිලි කටින් ගැසීමය. ඒ සඳහා අවශ්‍ය වන්නේම ප්‍රතිවාදියාගේ පවුලේ සිට ශාරීරිකව ඇති අවුල් ටිකය. මංගලට පොන්නයා කීවේ මේ පාර්ලිමේන්තුවේ ඔහු සමග එකට හිටි ගජමිතුරෝ නොවේද? සාමාන්‍ය මිනිහා වුව තම ගැහැනියට වුව බැණ වදින විට කියනුයේ මසුරං කුණුහරුප නොවේද? බිත්තිවලට කන් තියාගෙන අහල පහළ අය ඒවායින් ආතල් නොගන්නේද? අද දේශපාලනයේ සිදුව ඇත්තේද එවැනිම තත්ත්වයකි. එළිපිට බැණ වදින විට බැණ වදින ස්වරූපය නොව වැදගත් වඩා හොඳට බැණීමය. මේ විකාරසහගත දේශපාලනයේ බොරු විනයක් ප්‍රමිතියක් සිතීම මහා මුලාවකි. වඩා හොඳ කථිකයකු වන්නට නම් වඩා හොඳට අනෙකාගේ අඩුපාඩු ටික හඳුනාගත යුතුය. දැන් සිදුවන්නේ එයය. වාසු පාර්ලිමේන්තුවේදී රනිල්ට කුණුහරුප කීවේ බීමතින් නොවේ. දැන් දේශපාලනයේද ප්‍රමිති නැත. ටෙලිවිෂන් සංවාදවලදී හපාකෑවේ ගහගත්තේ කා වෙනුවෙන්ද? මේ සියලු පෙනී සිටීම්ද ජනතාව වෙනුවෙන්මය. ජනතා දේශපාලනයමය. මේ ගැන සංවාදත් අවසානයේ මේ වගේමය.