රාවය

ලෝක උරුමය වගේද ගාලු පිට්ටනිය

ලෝක උරුමය වගේද ගාලු පිට්ටනිය

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ මොහොතේ ඕනෑම දෙයක වටිනාකම තීරණය වන්නේ වෙනත් පාර්ශ්ව දෙන සහතික හෝ වටිනාකම් මත නොව එය මිනිසාට සමීප වන ප්‍රයෝජනවත් වන ආකාරය අනුවය. අද අනුරාධපුර වැව්වලට වඩා වටිනුයේ ගඩොල් සෑයවල්ය. නාගන්නවාට වඩා හිත නිවාගන්නට මිනිසුන් කැමතිය.

ගාලු ක්‍රීඩාංගණ ප්‍රශ්නයත් මෙබඳුය. මේ මොහොතේ වඩා වටිනුයේ ගාල්ල ක්‍රීඩාංගණයද, යුනෙස්කෝව කියන ගාලු කොටුවද යන ප්‍රශ්නයේදී ගාලු ජනතාව සිටිනුයේ ගාලු ක්‍රීඩාංගණය ඉල්ලන තැනය. ගාලු කොටුව ඉල්ලනුයේ කවුද? සැබැවින්ම ගාල්ලෙන් පිට ජනයාය. ගාලු ජනයාට කොටුවෙන් ඇති වැඩක් නැත. ගාලු පෙම්වතුන්ට වුව එය ක්‍රීඩාංගණයට වඩා නොවටිනවා ඇත. ඔවුන්ට ඕනෑ මේ මොහොතේ විනෝදාස්වාදය ලබාදෙන ගාලු ක්‍රීඩාංගණයය. මේ දෙකම අයිති ගාලු ජනයාටය. එහෙත් ඔවුන් පාරට බැස ඉල්ලනුයේ ගාලු ක්‍රීඩාංගණයය.

නටබුන්වලට වඩා මිනිසුන්ට ක්‍රිකට් ශරීරගතවී ඇත. පිටින් යන අයට කොටුව මිස ක්‍රිකට් තරග වුවමනාවක් නැත. ප්‍රශ්නයට මුහුණ දෙන්නා සහ ප්‍රශ්නය පිටින් දකින්නා යන දෙපාර්ශ්වය බලන ආකාරය දෙයාකාරය. එහෙත් වඩා වටිනුයේ ප්‍රශ්නයට පත්ව ඇති පාර්ශ්වය ඉල්ලන දේය. සරලම ප්‍රශ්නය රාජපක්ෂ පාලන කාලයේ ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කළ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේද බලාධිකාරී විය. එකල ඔහු මෙම ගාලු ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ප්‍රේක්ෂකාගාරයද ඉදි කළේය. එසේ නම් යුනෙස්කෝව මෙතෙක් කල් නිදා සිටියේ ඇයි? ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කියන තකතීරු කතාව නම් යුනෙස්කෝවද රාජපක්ෂලාට බයවී සිටි බවය. පැනයක් ලෙස නැගෙන විට ඔහු දෙන පිළිතුර නම් ඔව්. ඒ අයත් එහෙම වෙන්න ඇති යන්නය. මේවාට අප සිනහා විය යුතුද? හැඬිය යුතුද? මේ රාජිතත් එකල රාජපක්ෂලාගේ කීකරු බලු කුක්කෙකි. අවසානයේ විප්ලව කළ පමණින් මුල් සියල්ල අහවර වේද?

බැඳුම්කරය වහන්නට කතා කප්පරක් මේ ආණ්ඩුවට ඕනෑ විය. හිට්ලර්ලා ගෙන ආවේය. ප්‍රභාකරන්ලා කීද්දුවේය. නිව්යෝක් ටයිම්ස් ඇමතුවේය. බැරිම තැන එල්ලුම්ගහද ගේන්නට තැත් කරන්නේය. දැන් ගාල්ල ක්‍රීඩාංගණය අලුත්ම තුරුම්පුවයි.

ගාල්ල ජාත්‍යන්තර වීම

ගාල්ල මහ නගර සභාව විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ගාල්ල ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බදු ඔප්පුවකින් පවරා දෙනු ලැබුවේ 1998දීය. එවකට ගාලු ජනතාව පෑ විරෝධය ඉතා විශාලය. පාපන්දු පිටියක්ව පැවති මෙම ක්‍රීඩා පිටිය මුළුමනින් ක්‍රිකට් වීම නිසා සෙසු ක්‍රීඩා වළපල්ලට යන බව එදා හඬ නැගුවෝ කීහ. එහෙත් අද ඒ පිරිස ගාලු ක්‍රීඩාංගණය ඉල්ලා පාරට බසිති. ගාල්ල මහ නගර සභාව බදු දීමනාකාර පාර්ශ්වය ලෙසද, බදු ගැනුම්කාර පාර්ශ්වය ලෙස ක්‍රිකට් ආයතනය සමග ඇතිකර ගන්නා ගිවිසුමේ කාලය තිස් වසරකි. එය අවසන් වන්නේ 2028 අප්‍රේල් 2දාය. එම ගිවිසුමට කොන්දේසි 27ක්ද ඇතුළත්ය. ඒවා ගාලු ජනතාවට පිට්ටනිය ලබාදිය යුතු අවස්ථාය.

ඓතිහාසික වටිනාකම

1588 ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ප්‍රථමවරට ඉදිකරන ලද පෞරාණික ගාලු කොටුව පසුව 17 වන සියවසේ මෙරටට පැමිණි ලන්දේසි ජාතිකයන් විසින් තව පුළුල් කරනු ලැබීය. ඉන්පසු ලංකාව යටත්කර ගන්නා සුදු ජාතිකයන්ද එම කොටුව නවීකරණය කොට ආකෘතිමය වශයෙන් සුළු සුළු වෙනස්කම්ද කොට රැක ගත්හ. කල්යෑමත් සමග ගාලු කොටුව ලංකාවේ ජීවමානව පවතින පැරණි ලෝක උරුම නගරයක් විය. ඒ අනුව 1974දී මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසත් ප්‍රකාශ විය. ඒ සියලු කාරණා සලකා බලා අවසානයේ 1988දී එක්සත් ජාතීන්ගේ අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමය ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ගාලු කොටුව ලෝක උරුම නගරය තුළ පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්තය ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක විය. වටිනාකම් හිතාගත නොහැකි ලෙස ඉහළ ගියේය. ඒ නිසාම ඒවායේ මුල් පදිංචිකරුවෝ කෝටි ගණනට තම කුඩා බිම්කඩ පවා විදේශිකයන්ට, ධනවතුන්ට විකුණන තැනට තල්ලු වූහ. අවසානයේ ලෝක උරුමය හොඳ ආදායම් මාර්ගයක් විය. කෙසේ වෙතත් මෙම ගොඩනැගිලි නවීකරණය කිරීමට හෝ නව ඉදිකිරීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවල පූර්ව අවසරය ලබාගත යුතු විය.

කඩා බිඳ දැමීම

ගාලු ක්‍රීඩාංගණය ඉවත් කරනවාය යන කතාබහ ආරම්භවන්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කරන කතාවක් අනුවය. මීට දෙසතියකට පෙර ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පින්නදූව ප්‍රදේශයට ගෙන යන බවත්, ඒ සඳහා අක්කර 50ක භූමියක් වෙන් කර ඇති බවත් පැවසීය. ගාලු කොටුව අවට ප්‍රදේශයේ අවිධිමත් ඉදිකිරීම් නිසා ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් මතුව ඇතැයිද ඒ නිසා මේ තීන්දුව ගන්නා බව කතාබහේ කෙළවර විය. අවිධිමත් ගොඩනැගිලි ඉවත් කිරීමේදී ගාලු ක්‍රීඩාංගණයත් අවිධිමත් වන බව මේ අනුව පෙනෙන කරුණය. මෙය ලෝක උරුමයක් ලෙස 1988දී පිළිගන්නා ලද අතර ගාලු ක්‍රීඩාංගණය ජාත්‍යන්තර වන්නේ 1998දීය. එසේ නම් එකල මේ ප්‍රමිති අනුගමනය නොකළේ මන්ද? ඉන්පසු එන තර්ක නම් ගාලු ක්‍රීඩාංගණය නොව එහි ඉදි කෙරූ මහින්ද රාජපක්ෂ ප්‍රේක්ෂකාගාරයය. එසේ නම් යුනෙස්කෝව ලෝක උරුමයන් නම් කරනු හැර ඒවා රැකගන්නා ක්‍රමවේදයක නැද්ද? එය රැකගැනීමට ආණ්ඩු සමග පවත්වන සම්බන්ධයක් නොවෙත්ද? කුමන රජයක් වුව ලෝක උරුමයක් නම් එය රටේ වටිනාකමකි. එය එජාප හෝ ශ්‍රී ලංකා වන්නේ නැත. එදා මෙය ඉදිකිරීමට විරුද්ධ වූවා නම් මේ තත්ත්වය උදා නොවනු ඇත. ඒවා වන්නට ඉඩහැර කල්මැරුවේ ඇයි? ගාලු කොටුව ලෝක උරුමයක් සේ ම ගාලු ක්‍රීඩාංගණයද ජාත්‍යන්තර වී ඇත. දෙකම වටිනාකම් සහිත නොවේද? දැන් එකක් කඩා එකක් රැකගත හැකිද.

හොර වැඩ

ආණ්ඩුව ගන්නා තීරණ එළිපිට හෙළිදරව් නොකර තැන් තැන්වල එක එක අය ලවා කියවනුයේ ඇයි? වජිර අබේවර්ධන නොකියන්න තවමත් මේ කතාව රහසකි. එහෙත් තීන්දු තීරණ ගෙන හමාරය. ඒ අරලියගහ මන්දිරයෙන්ම ගත් පියවරයන්ය.
පසුගිය 17 වැනිදා උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සෙත්සිරිපායේ පැවති සාකච්ඡාවකදී පවසා ඇත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි කඩා ඉවත් කොට එම ක්‍රීඩාංගණය ගාල්ල නගරයට කිලෝ මීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට ගෙන යන බවය. මෙය අරලියගහ මන්දිරයේදී සාකච්ඡා කොට තීන්දු කරගත් බවත් පවසා ඇත.
ගාල්ල ක්‍රීඩාංගණයේ පරිපාලනය භාරව සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ තමන්ද අරලියගහ මන්දිරයේ සාකච්ඡා වට දෙකකට සහභාගි වුවත් තමා මීට එරෙහිව කරුණු දැක්වූමුත් සාර්ථක නොවූ බව පවසා තිබුණි.

උද්ඝෝෂණ

මේ තත්ත්වයත් සමග ගාලු දේශපාලකයන් පාරට බහින තැනට වැඬේ තල්ලු විය. රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා ඉන් ප්‍රමුඛයකු විය. ක්‍රීඩකයන්, ක්‍රීඩා ලෝලීන් මෙන්ම දේශපාලන හිතවතුන්ද ඇතුළත්ව ගාලු ජනතාව විශාල වශයෙන් මෙම උද්ඝෝෂණයට සහභාගි විය. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ගාලු ජනතාවට මෙහිදී පොරොන්දු වූයේ මෙය හකුළා නොගතහොත් ගාලු කොටුව නොව යුනෙස්කෝ සංවිධානය ඉදිරිපිට වුව අරගල කරන බවය.
මෙයට පක්ෂ විපක්ෂ විවිධ මත ඉදිරිපත්වද්දී අගමැතිගේ සමීපතමයකු වන අකිල විරාජ් ඇමතිවරයා පවසනුයේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කිසිසේත්ම ඉවත් නොකරන බවය. දැන් එජාපය ඇතුළෙත් විරෝධතාය. ආණ්ඩුවේ අයද දෙපැත්ත බෙදිලාය. ඒ අතර රාජපක්ෂ ලකුණු දාගනුයේ තමාගේ නම තිබෙන නිසා මෙය කඩන බව කියමිනි. රාජපක්ෂ නම තියෙන නිසා කඩන්න පටන් ගතහොත් පහුගිය කාලයේ ඉදි කළ සියල්ල පාහේ කඩා දමන්නට සිදුවනු නියතය. එබැවින් එය වෙනම දේශපාලන විසිල් ගණයේ කතාබහකට එහා නොයනමුත් මේ ආණ්ඩුව මෙය දැන් හකුළා ගන්නට දැඟලීමත් විකාරය. ඇත්තටම ලෝක උරුම ප්‍රශ්නය ගැන සිතා මෙය ඉවත් කරන්නේ නම් ගාල්ල ජනතාවද රටේම ජනතාවද කියා සිතා මෙය ඉවත් කළ යුතුය. එහෙත් මේවා අවංක වුවමනාවන්ට වඩා දේශපාලන උප්පරවැට්ටි බැවින් සියල්ල කතාබහෙන් එහාට නොයනු නියතය.
මෙය එකල ගෝඨාභයට භාර දුන්නා නම් මෙලහකට කඩා ඉවත් කොටය. එහෙත් දැන් ඒ අය හදපු නිසා අත තියන්නට බයය. එදා යුනෙස්කෝ එකත් බයවුණා යැයි රාජිත අද උපකල්පනය කළේ නම් හෙට මෙය කඩා ඉවත් නොකළහොත් රාජිතලා තවමත් රාජපක්ෂලාට බය බව ජනතාවට සිතන්නට සිදුවේ.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉවත් කරන්නට ජනපති නොදෙන බව පැහැදිලිය. ජනපති මේ බව දැන් මාධ්‍ය හරහා දැනගෙන ඇතිවාට සැක නැත. ජනපති මාධ්‍ය හරහා දැනගත් බව කීම විහිළුවකට වඩා සැබෑවකි. රනිල් ගන්නා තීන්දු එජාපයවත් නොදනී. මෙම තීන්දුව ගෙන ඇත්තේ අරලියගහ මන්දිරයේදීය. එසේ නම් මේවා ජනපතිට දැනුම්දීමෙන් පසු කරන වැඩ නොවන බව පැහැදිලිය.

ගාලු කොටුව මෙන්ම දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් තබා ගැනීම යහපත්ය. සංවර්ධනය වෙනුවෙන් කැලෑ හෙළි කරති. මුහුද ගොඩ කරති. එසේ නම් සංවර්ධන වන විට ලෝක උරුම වුව එහා මෙහා විය හැකිය. එය පමණක් වෙනස් විය නොහැකිය. මේ දෙකම තිබිය යුතුය. දැන් එකක් අහක් කිරීමට කල්ගත වූවා හොඳටම වැඩිය. ගාල්ලට එන සංචාරකයා මෙය ලෝක උරුමයක් නොවේ නම් ආකර්ෂණය නොවෙත්ද? ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයත් මෙතරම් ආකර්ෂණය වූයේ එය ගාලු කොටුව සමග සමීපව වෙසෙන නිසා නොවේද? සියල්ල බේරාගෙන වැඩ කළ යුතුය. නැතහොත් කයිවාරු ගසමින් කාලය කා නොදා තීන්දු ගත යුතුය. තීන්දුවක් ගත නොහැකි මේ ආණ්ඩුව කයිවාරු ගසා පසුව කරබා ගති. හෙට තව කතාවක් කරළියට එයි. එවිට ගාලු ක්‍රීඩාංගණ ප්‍රශ්නය ඉවරය. යුනෙස්කෝ තහනමත් අහවරය. මිනිසුන්ට වඩා වටිනුයේ ලෝක උරුමයට වඩා මේ මොහොතේ ආශ්වාදයක් ලැබෙන පිටියයි. එබැවින් දෙකම රැකගනු හැර විකල්පයක් නැත.