රාවය

ගම්පෙරළියද? ඡන්ද පෙරළියද?

ගම්පෙරළියද? ඡන්ද පෙරළියද?

ටිරන් කුමාර බංගගමආරච්චි

අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනා අලුත්ම වැඩසටහන ගම්පෙරළියය. යහපාලනය නමින් හවුල් ආණ්ඩුවක් ඇතැයි කීවද මෙය එජාප ආණ්ඩුවකි. ජනපති විධායක වුවත් නාමික වී ඇත. හවුලේ කැඳත් එපා කියන්නා සේ දැන් හවුල අවුල්ය. මේ දෙපිරිසටම ඕනෑ වී ඇත්තේ ලබන වර ඡන්දය දිනීමය. ජනපතිවීමය. අගමැතිවීමය. කොටින්ම තනි ආණ්ඩුවක් පිහිටුවීමය. රනිල් මෙන්ම මෛත්‍රීද එම රේස් එක දිවීම ආරම්භ කොට ඇත. මුලින් සිතුවේ තරගයක් ඇත්නම් ඒ තරග ඇත්තේ ඔවුන් දෙපළට බවය. එහෙත් පළාත් පාලන ඡන්දයෙන් පසු සැබෑ තරගකරුවා රාජපක්ෂලාම බව මේ දෙපිරිසම වටහා ගත්හ. දැන් තරගය අමුතු ආරක් ගෙන ඇත. ඒ ගමනේ ඉදිරිය තකා කරන වැඩ අතර එජාපයේ ඉහළම වැඬේ වී ඇත්තේ ගම්පෙරළියය. ගම්පෙරළිය පිළිබඳ මතකය ඈඳෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සමගිනි. ඒ මහතාගේ පවුලේ අය මේ නම ගත්තාට විරුද්ධ යැයිද ඒකාබද්ධය චෝදනා කරති.

ගම්පෙරළියේ අදහස ගම තුළ පෙරළියක් ඇති කිරීමය. ඒ පෙරළිය හරහා ගමේ ඡන්ද ගැනීමය. එජාපයට ගම දිනිය යුතු බව වැටහුණේ කාලය අවසන් වීගෙන එන විටය. එබැවින් ගමේ පෙරළිය සිදුවුවද එජාපයට ගෙදර යන්න වීමට ඇති ඉඩ වැඩිය. රාජපක්ෂලා ඡන්දය දිනන්නට මීට වඩා දේ දුන්හ. එහෙත් ඒ සියල්ල ලබාගත් අය රාජපක්ෂලා පරාජය කළහ. හෙට ඒ තත්ත්වය නොවෙතැයි කාට කිව හැකිද?
ඡන්ද ලබාගැනීමේ අරමුණින් වුව ගම හැදීම වටී. මහින්ද රාජපක්ෂ මෙන් මෛත්‍රීපාල සිරිසේනත් නැවත මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමේ අදහසින් පසුවනවාදැයි සිතේ. එයට හේතුව ඔහු සියලු බර දමනුයේ පොළොන්නරුවටය. මහින්ද රාජපක්ෂට මෙන් මෛත්‍රීට වෙනත් ප්‍රදේශයකින් ඉල්ලා දිනන්නට නොහැකිය. රාජපක්ෂ හම්බන්තොටට කළ සංවර්ධනයට නොදෙවැනි සංවර්ධනයක් මෛත්‍රී පොළොන්නරුවට කරති. රටේ නායකයෝ ප්‍රාදේශීය නායකයන් වී සිටිති. එසේ නැතහොත් ප්‍රාදේශීය නායකයන් නායකයන් වූ පසු තත්ත්වය මෙබඳුය.

ප්‍රේමදාස යුගය

එජාපය තම දේශපාලන දර්ශනය පදනම් කරගත්තේ පොඩි මිනිසා මතය. එය සකස් කළ එජාපයේ ලොකු මිනිසා රණසිංහ ප්‍රේමදාසය. ප්‍රේමදාස මහතා 1979 අගමැති ධුරය භාරගත් පසු ‘ගම හදා රට හදමු’ නමින් සංකල්පයක් හඳුන්වා දුන්නේය. එහි දිගුවක් ලෙස ‘ගම්උදාව’ ලෙස නිවාස වැඩපිළිවෙළක් හඳුන්වා දෙමින් ග්‍රාමීය මෙන්ම නාගරිකවද නිවාස ඉදි කළේය. ‘ජනසවිය’ ගෙනවිත් තව තවත් ගමේ සංවර්ධනයට උර දුන්නේය. මේ යන රටාවට එජාපය සොලවනවා බොරු යැයි එකල මතය විය. එහෙත් ප්‍රේමදාසගෙන් පසු එජාපයට ගම අමතක විය. රනිල් වික්‍රමසිංහට ගමට රටට වඩා මිතුරු කැළ වටින්නට විය. ඒ නිසා එජාපය ජනතාවගෙන් ඈත්විය. රනිල්ගේ පුංචි පිරිසකට සීමා විය. එහි පව අදටත් එජාපය භුක්ති විඳිති.
ඉන්පසු චන්ද්‍රිකාගේ ආණ්ඩුව යටතේ ‘සමෘද්ධි’ ව්‍යාපාරය ආරම්භ කළේ ප්‍රේමදාසගේ මගෙහිම යමිනි. අනතුරුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ‘ගම නැගුම’ ‘දිවි නැගුම’ වැඩසටහන් හඳුන්වා දුන්නේය. මේ සියල්ල ගම සංවර්ධනය කිරීමේ අරමුණු ඇතිව කළ ඒවාය. 1979 සිට ආ මෙම වැඩසටහන් දෙස බලද්දී ගම තවමත් සංවර්ධනය නොවූයේ ඇයි? මීට දශක කිහිපයක සිටම අප රට සංවර්ධනයවෙමින් පවතින රටකි. තවමත් එසේය. සංවර්ධනය වන දිනක කෙළවරක් නැත. එමෙන්ම ගමද සංවර්ධනය කළ හැකි දෙයක් නොවන බව තරගයට මෙන් කළ මෙම ව්‍යාපෘති හරහාත් පැහැදිලිය.

පහුවී මොළය පෑදීම

2015 බලයට ආ යහපාලන ආණ්ඩුවට වසර ගණනක් යනතුරු මෙලෝ විචාරයක් නොවීය. ඒ අය පොළොවට වැටුණේ පහුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලත් සමගය. අවුරුදු තුනකට පසු එජාපයට ගම්පෙරළිය මතක් වුණේ එබැවින් විය යුතුය. මීට පෙර ජාතික තරුණ සේවා සභාව මගින් ‘ගමට කෝටියක්’ නමින් සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දුන් අතර එය පිළිබඳ සමාජ දැනුම ඉතා අල්ප විය. තරුණ සේවා සභාපතිට තමාව ජනප්‍රිය කරගන්නවා හැර වෙන වැඩ නැති නිසා මෙවැනි වැඩ ප්‍රචාරය කොට සමාජය දැනුවත් කරන්නට වේලාවක් නොවීය. අසා ඇති තරමට එය යහපත් වැඩසටහනක් වුවත් එයට ලැබුණු ප්‍රචාරය අඩුය. මේ ආණ්ඩුව විටෙක කියන පරිදි තම ආණ්ඩුව කළ හොඳ ජනතාව අතරට ගියා මදි යන්න බොරුවක්ද නොවන බව පැහැදිලිය. එහෙත් එහි අඩුවද භාරගත යුත්තේ මේ ආණ්ඩුවමය.
කෙසේ හෝ ‘ගමට කෝටියක්’ වැඩසටහනට පසු ඇරඹි දෙවන වැඩසටහන ගම්පෙරළියය. එය ආණ්ඩුව හඳුන්වා දුන්නේද ‘දෙවැනි ආර්ථික දිගහැරුම’ ලෙසය. මේ ප්‍රචාරය පළමු වැඩසටහනට නොවූ බැවින් දෙවැනි දිග හැරුම දන්නා බොහෝ අය පළමු දිගහැරුම නොදනිති. එහෙත් ආණ්ඩුව කියනුයේ පළමුවන දිගහැරුම හරහා කළේ රටේ ණය ගෙවීමට සිදුවූ බවය. අගමැතිවරයා මෙලෙස කීවේ නොබෝදා නිකවැරටියේදීය. ‘ගම්පෙරළිය’ උත්සවයකදීය.

මේ ආණ්ඩුව ආ මුල කීවේ මෙගා පොලිස් හරහා කොළඹ සුරලොවක් කරන බවය. වරාය නගරය යන හැමදේම ආශ්චර්යයේ මාවත සකසන බවය. එහෙත් දැන් තම කාලයේ පළමු පියවර අවසාන වන තැන නගර සංවර්ධනයක් දකින්නටවත් නැතිය. ඒ නිසා අවසාන මොහොතේ හෝ නගරය අතහැර ගමට යන්නට සිදුව ඇත. හදිසියේ ගම්පෙරළන්නට පටන් ගෙන ඇත්තේ එබැවිනි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන ජලාශ විවෘත කරමින් මහසෙන් රජ්ජුරුවන් වන්නට පටන් ගෙන ඇත. රාජපක්ෂ කාලයේ පටන් ගත් ව්‍යාපෘතීන් අද ඔහු විවෘත කරමින් කියනුයේ එදා වුව මේවා ආරම්භ කළේ තමන් බවය. දැන් දැන් ඔහු නිශ්ශංකමල්ල රජවෙමින් පවතී. මේ සියල්ලද 2020දී ජනපති නැවත වන්නට මවන සිහිනය. පොළොන්නරුවේ අත්දැකීම් ලද ජනපති හිතනුයේ වතුර හිඟයට පිළියම් දීම තරම් ඡන්ද ගොඩගසා ගත හැකි ක්‍රමයක් නැති බවය. අවසානයේ ජනපතිට පොළොන්නරුවේ ජනයාටත් බැණ වදිමින් සිටින්නට සිදුවේද යන්න අපි නොදනිමු.
රනිල් වික්‍රමසිංහ සිතනුයේ ඡන්ද ගන්නට නම් තම ක්‍රමයට වඩා හොඳ ප්‍රේමදාස ක්‍රමය බවය. ඒ නිසා සජිත් ප්‍රේමදාස ළංකරගෙන ගිවිසුම් ප්‍රකාරව හෝ අගමැති දෙන පොරොන්දුව පිට හෝ මේ දක්කනුයේ එජාප දිනවීමේ මගටය. මේ සියලු ව්‍යාපෘති ඡන්දය පාදක කරගෙන ඉදිරි කාලයේ බලය ලබාගැනීම පිණිස කරන උප්පරවැට්ටිය එබැවින් යහපාලනයටත් රාජපක්ෂලාට වූ දේ වූ පසු රටේ ජනතාව මෝඩයන් යැයි නොකියා සිටීමට මේ අය වග බලාගත යුතුව ඇත. තමන් දිනවන විට බුද්ධිමත් ජනතාවත් පරද්දන විට මෝඩ ජනතාවක් ලෙස දෙකොටසක් මෙරට නැත. ඇත්තේ එකම පිරිසය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එජාපය මේ රට හැදීම පටන් ගත් කාලය දෙස බලන කල ගම – රට දෙකම හැදී අවසන් විය යුතුය. අදටත් විදුලිය නැති ගම්මාන එමටය. වතුර නැති ගම් අපමණය. පාරක් අවැසි එහෙත් පාරක් නැති පාලමක් අවැසි එහෙත් පාලමක් නැති ගම් ඕනෑතරම්ය. එහෙත් කතාව මෙගා පොලිස්ය.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට පින්සිදු වන්නට නව වැඩසටහනේ නම නම් ජනප්‍රියය. එහෙත් වැඩසටහන අල වී වික්‍රමසිංහ මහතාගේ කෘතියට තිබූ වටිනාකමත් කෙළෙසේද යන්න ලබන වසරේ අග වනවිට දැක බලාගත හැකිය.
ඡන්ද අරමුණෙන් වුව කම් නැත. මේ ආණ්ඩුවේ ගම්පෙරළිය සාර්ථක වී ගම දියුණු වන්නේ නම් මැනවිය. කවුරු වුව ගම – රට සංවර්ධනය කරන්නේ නම් හොඳය. ඡන්ද ගුණ්ඩු වෙනුවෙන්ම වැඩ කරන්න යෑමෙන් නම් ලොකු ලාභයක් නොලැබෙන බව පමණක් අවසානයට දැනුම් දෙමු. ඡන්ද ගුණ්ඩුවක් ලෙස හෝ වැඩසටහන අවංකව කරන්නේ නම් හොඳය.