රාවය

සාකල්‍යවාදී ජීවිතයක් වෙනුවෙන් වූ ‘කලාව සහ මිනිසා’ – කොළ පාටින් දිසෙනා රතු පොතක්

සාකල්‍යවාදී ජීවිතයක් වෙනුවෙන් වූ ‘කලාව සහ මිනිසා’ – කොළ පාටින් දිසෙනා රතු පොතක්

ප්‍රියන්ත ලියනගේ

මිනිසා යනු උපතින්ම සෞන්දර්යාත්මක සත්වයෙකි. මේ සෞන්දර්යාත්මක සත්වයා කලාකාමී මිනිසෙකි. ‘මිනිසා සහ කලාව’ කෘතිය ඒ කලාකාමී මිනිසුන්ට මිනිසා සහ කලාව පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රවේශයක් සපයන්නකි. දර්ශන විද්‍යාව පිළිබඳ ඇමෙරිකානු මහාචාර්යවරයකු වූ අර්වින් එඞ්මන් මෙම වටිනා කෘතියේ කතුවරයා වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් රචිතව තිබූ මෙම කෘතිය විෂය හැදෑරීමේ දී සහ ඉගැන්වීමේ දී ඇතැම්හු භාවිතයට ගත්ත ද මෙතෙක් එය සිංහල භාෂාවට පරිවර්තනය වී නොතිබුණි. එය එක් අතෙකින් ලංකාවේ ශාස්ත්‍රාලීය උගතුන්ගේ කුහකකමක් වන්නා සේ ම, එම ශාස්ත්‍රීය කරුණු තමන්ගේම ඉගැන්වීම් ලෙස පෙන්වා සිය මහේශාක්‍ය බව රැක ගැනීමේ යටි අරමුණු ද මේ අතර විණි. මහාචාර්ය අර්වින් එඞ්මන්ගේ සෞන්දර්ය කලා අධ්‍යයනය ගැන ලියූ මෙම කෘතිය ද එවැනි ශාස්ත්‍රීය චෞරත්වයකට ලක් වූවක් බව මෙම කෘතිය සිංහල පාඨකයන් වෙනුවෙන් පරිවර්තනය කළ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය පෙරවදනේ සඳහන් කරයි.

මහාචාර්ය එඞ්මන් මෙම මාහැඟි කෘතිය තුළ කලාවේ ස්වභාවය, කලාව රසවිඳින හැටි, කලාව සහ ලලිත කලාව අතර ඇති වෙනස, කලාවේ දාර්ශනික පසුබිම ආදිය විමර්ශනයට ලක් කරයි. මෙය වඩාත් සුවිශේෂී කෘතියක් වන්නේ සෞන්දර්ය කලාව උගන්වන ආචාර්ය, මහාචාර්යවරුන්ට, ගුරුභවතුන්ට සේම, සෞන්දර්ය කලාවන්ට ප්‍රිය කරන පොදු පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වන ලෙස මෙම ග්‍රන්ථය රචනා වී තිබීම නිසාය. විශේෂයෙන් ලංකාවේ කලාව සහ සෞන්දර්ය කතිකාව ඇකඩමික ගුරුකුල වෙතින් විතැන් වී පොදු පාඨකයා අතට පත්ව ඇති අපේ වගේ රටක දී එම කතිකාවට යම් දාර්ශනික සහ ශාස්ත්‍රීය ප්‍රවේශයක් ලබා ගැනීමට එය ඉතා වැදගත් වූ සම්ප්‍රදානයකි.

විෂයානුබද්ධව ලියවෙන කෘතියක් නවකතාවක් කෙටිකතා සංග්‍රහයක් හෝ කවි පොතක් මෙන් පහසුවෙන් කියවිය හැකි හෝ එලෙසින් කියවීමේ රුචිය දනවන්නක් නොවන බව සත්‍යයකි. නමුදු මෙහි සිංහල පරිවර්තනය ස්වතන්ත්‍ර නිර්මාණයක් තරමටම මනරම්ය. මට මේ පොත කියවාගෙන යද්දී එය පරිවර්තනයක් බව බොහෝ විට අමතක විය. එය එතරම් මනරම් භාෂා විලාසයකින් සමන්විතය. ඒ හපන්කම කරන්නට මහාචාර්ය අමරකීර්ති හැකි වී ඇත්තේ ද මෙහි මුල් කෘතියේ තිබූ රමණීය බස් වහර නිසා බව පෙර වදනේ තැනක ඔහු සඳහන් කර තිබුණි. ඒ නිසාම එය පාඨක රුචියද වඩවන රසවත් ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. එහෙත් මෙහි සඳහන් ඇතැම් සංකල්ප ගැඹුරුය. එහි ශාස්තීය ඥානය එලෙසින්ම උරා ගැනීමට මෙය සාකච්ඡාවට බඳුන් කරමින් සාමූහිකව කියවන්නේ නම් එය ශාස්ත්‍රවන්තයන් කෙසේ වතුදු පොදු පාඨක ජනයාට එය ඉතා වැදගත් වන බව මගේ අදහසයි. කෙසේ වුවත් එය හුදු කියවිල්ලක් කර නොගෙන මෙහි සඳහන් සංකල්ප කෙරේ ශාස්ත්‍රීය අවධානය රඳවා ගනිමින් කියවීම කලාව සහ සාහිත්‍ය සංවාදවල නිරතව සිටින්නන්ට වඩාත් සප්‍රයෝජනවත්ය.

අනු ශීර්ෂ හයකට බෙදා ඇති කෘතියේ එඞ්මන් මුලින්ම සිය අවධානය යොමු කරන්නේ කලාව සහ අත්දැකීම් වෙතටය.
ජීවිතය කවරාකාර වුවද එය අත්දැකීමකි. එය රස, නිරස, රළු, කඨෝර, මෘදු, සුමුදු මිහිරි, අමිහිරි, කෙබන්දක් වුවද ජීවිතය යනු අත්දැකීම් සමුදායකි. එම අත්දැකීම් සමුදාය කලාවක් බවට පත් කර ගැනීම කලාවේ කාර්යභාරය බව එඞ්මන් පවසයි. එඞ්මන්ගේ බසින් එය පවසා තිබෙන අයුරු අමරකීර්ති සිංහලට නගන්නේ මෙලෙසිනි.

“…. අත්දැකීම කුමක් හෝ ඉඟි කරද්දී සංඥා කරයිද, ආවරණය කරයිද අනාවරණය කරයිද, එය නැවත කැඳවිය නොහැකි සේ පවතී. අත්දැකීම තීව්‍ර කරන්නට සහ උච්ච කරන්නට හෝ මොට කරන්නට සහ අපැහැදිලි කරන්නට හැකි වන්නට ඉඩ තිබේ. අත්දැකීම යන්න කුරිරුද අඳුරුද වියවුල් සහගතද වන්නේ විය හැකිය. අර්ථවත්ද, පැහැදිලිද, සජීවිද සේ අත්දැකීම පවතින්නට පුළුවන. මෙම අත්දැකීමේ ඇතැම් අංග කෙටි මොහොතකටද තව සමහර අංග මුළු ජීවිත කාලයටමද පැහැදිලිභාවය සහ දීප්තිමත්භාවය අත්කරගන්නට ඉඩ තිබේ. මනුෂ්‍ය අත්දැකීම සම්බන්ධයෙන් එවන් තිව්‍රකරණයක් සහ පැහැදිලි කිරීමක් ක්‍රියාත්මක කිරීම වූ කලී කලාවේ කාර්යයි. කලාව යනු හුදෙක්, ප්‍රතිමා පින්තූර සහ සංධ්වනි නොවේ. ජීවිතය, එහි කොන්දේසි තේරුම්ගෙන, ඒවා රසවත්ම සහ උත්කෘෂ්ටම සංරචණ බවට පෙරළන සම්පූර්ණ බුද්ධිමය ක්‍රියාවලියට දෙනු ලබන නාමය ‘කලාව’ය.” පිටුව 35

ඉහත උපුටනය ලියුවාට පසුව ඒ ගැන තවත් යමක් කියන්නට අපට ඉතිරි කර නැත. දැන් අපට ඇත්තේ ඉහත අදහස හිතේ තබාගෙන අප රසවිඳි නවකතාවක්, කෙටිකතාවක්, කවියක් හෝ වෙනත් කලා නිර්මාණයක් හොඳින් විමර්ශනය කර බැලීම පමණි. එවිට ඔබට අත්දැකීමක් හෝ අත්දැකීම් සමුදායක් කලාවක් හෝ සාහිත්‍ය කෘතියක් වන ආකාරයත් ඒ පිළිබඳව එඞ්මන් සතු අර්ථදැක්වීමේ අර්ථපූර්ණභාවයත් එහි ඇති පුළුල්භාවය මෙන්ම අපූර්වත්වයත් වැටහෙනු ඇත. එය ලලිත කලාවට සීමා නොවූ, පුළුල් සාකල්‍යවාදී මිනිසෙකු නිර්මාණය කරන්නකි. ඔබ විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ඇකඩමික පරිසරයක කලාව ගැන හදාරන්නෙක් හෝ වෙනත් සමාජමය කලා කතිකාවක නිරතවන්නෙක් නම් ඒ සැමටම මිනිස් පරිඥානය වර්ධනය කර ගැනීමට කලාවට ඇති ශක්‍යතා එඞ්මන් විවර කර දෙන මේ ප්‍රවේශය තුළ සිට වඩාත් පුළුල්ව සාකච්ඡාවට ගත හැකිය. මේ කෘතිය එවන් සාකච්ඡා ප්‍රවේශයන් රැසක් ඔබට අභිමුඛ කරවන කෘතියකි. සාකච්ඡාවට බඳුන් කරමින් එය කියවීම වඩාත් සප්‍රයෝජනවත් බව අප ඔබට යෝජනා කරන්නේ එහෙයිනි. ජීවිතය ඔහේ ගත වෙන්නක් හෝ හුදු උපයෝගීතාවන්ගෙන් විතරක් පිරී පවතින්නක් නම් මහාචාර්ය එඞ්මන් ඒවා හඳුන් වන්නේ “දෛනික ජීවිතයේ නිදිබර අව්ව තැපීම්” ලෙසය. කලාවෙන් සහ බුද්ධියෙන් තොර අත්දැකීම් අපාලිත සහ අශික්ෂිත සහ පිළිවෙළකින් තොර බවත් කලාකරුවාගේ ප්‍රධාන කාර්යක් වන්නේ අත්දැකීමට සජීවී බවක් ලබා දෙමින් එය චිත්තාකර්ශනීයත්වයට පත් කිරීම බවත් එඞ්මන් පවසයි.

කලාව උපදිනුයේ හුදු උපයෝගීතාවෙන් මිදුණු තැනය. කලාකරුවා වස්තුවලට යමක් කරන බවත් එසේම නවකතාකරුවා, කවියා සිදුවීම්වලට යමක් කරන බවත් මහාචාර්ය එඞ්මන් පවසයි. අප කලාව සහ සාහිත්‍යය ලෙස දකින්නේ එලෙස වස්තුවලට සහ සිදුවීම්වලට යමක් කිරීම්ය. දෛනික ජීවිතයේ දහසකුත් එකක් බරබද්දල් සමඟ ඔට්ටුවෙන මිනිසුන්ගේ වින්දනය වෙනුවෙන් යමක් කෙරූ මිනිසුන්ට අපි ඒ අනුව කලාකරුවන්, සාහිත්‍යකරුවන් සහ කවියන් යැයි කියමු. සිනමාකරුවන්, නාට්‍යකරුවන්, සංගීතඥයන් ඇතුළු අනෙකුත් දෘශ්‍යකලා ශිල්පීන් සියල්ලෝ ද මේ කුලකයට අපට ඇතුළත් කළ හැකිය. මන්ද මේ සියල්ලෝම මිනිසුන්ගේ වින්දනයට යමක් කෙරූවන්ය. මේ සෑම ප්‍රයත්නයක්ම හුදු උපයෝගීතාව ඉක්වා ගිය මිනිස් ජීවිතයේ වින්දනීය අඩවිය ස්පර්ශ කරන ක්‍රියාකාරකම්ය. දකින දෑ නරඹන දෙයක් බවට පත් කරන්නේ කලාකරුවාය. සංගීතඥයා ඇසෙන දේ සවන්දෙන දෙයක් බවට පත් කරයි. සාහිත්‍යකරුවා, කවියා සිදුවීම් කියවන දෙයක් බවට පත් කරයි. මේ සියල්ල හරහා ඔවුන් විඳවන ජීවිතයට වින්දනීයත්වයක් එක් කරයි. ඒවා සියල්ලටම කලාකරුවන්ට සහ සාහිත්‍යකරුවන්ට උදව් වෙන්නේ අත්දැකීම්ය. මෙලෙස දෛනික මිනිසාගේ අත්දැකීම් ඇසුරේ කලාව පෝෂණය වීම තුළින් නිපන් නිර්මාණ ඇසුරු කරන සමාජයක් සෞන්දර්යාත්මක ශික්ෂණයෙන් යුත් වඩාත් සංස්කෘතික මිනිසකු නිපදවනු ලබයි. වනචාරී, ගෝත්‍රික, අශික්ෂිත දෛනික මිනිසා යහසමාජමය ශික්ෂිත මිනිසකු බවට පත්වෙනුයේ කලාව සහ සාහිත්‍යය ඇසුරේය. ඒ සඳහා කලාකරුවා සහ සාහිත්‍යකරුවා උපයෝගි කරගන්නේ දෛනික ජීවිතයේ අත්දැකීම් නමැති මැටි පිඩය.
මෙම කෘතිය තුළින් මහාචාර්ය එඞ්මන් දෙවැනියට සිය අවධානය යොමු කරන්නේ කලාව සහ ශිෂ්ඨාචාරය අතර ඇති සබඳතාව වෙතටය.

සම්පූර්ණ ශිෂ්ඨාචාරයක් යනු සම්පූර්ණ බුද්ධිය සමඟ සමවන දෙයකැයි ඔහු පවසයි. මානව ඉතිහාසයේ ආරම්භයේ පැවැති හුදු සත්වමය ප්‍රතික්‍රියා විතැන් කරමින් මිනිසුන්ගේ කටයුතුවලට බුද්ධිමය මැදිහත්වීමත් සමඟ ශිෂ්ඨාචාරය ඇරැඹි බව අපට නිශ්චය කළ හැකිය. එඞ්මන් පවසන්නේ සොබාදහම ප්‍රතිදිිශාගත කිරීමත් ප්‍රතිසංස්කරණය කිරීමටත් පටන්ගත්තේ කලාව බවයි. කලාවේ ප්‍රාරම්භය අපට හමුවන්නේ මිනිසුන්ගේ ජීවත්වීමේ කලාව ඇතුළේය. එනම් සතුන් හීලෑකර පාලනය කිරීම, බීජ වැපිරීම, නිවාස සපයා ගැනීම, නගුලක් තනා ගැනීම වැනි දේ මිනිසුන් කළේ පැවැත්ම වෙනුවෙනි. ඒ අතරම මිනිසුන් සතුන් බලා ගනිද්දී වස්දඬුව වැයුවේය. ගුහාව වාසස්ථානයක් කරගනිද්දී එහි සිතුවම් ඇන්ඳේය. නගුල් මිට හුරුබුහුටියට සැකසුවේය. තමා දුටු ඇසූ දේ ඇඹුවේය. පැදුරක් පුරද්දී එය රටාවකට පිරුවේය. දැන් අපි එඞ්මන්ගේ මෙම අදහසට අපගේ අවධානය මදක් යොමු කරමු.

“පළල් අර්ථයෙන් ගත් කල, කලාව පිළිබඳ ප්‍රධාන නිදර්ශන හමුවන්නේ ප්‍රසංග ශාලාවේ හෝ කෞතුගාරයේ නොව ගොවි බිමේය; තණ බිමේය; නගුලෙහිය. නොයෙක් උපද්‍රව සහ අස්ථිරතා සහිත ලෝකයක සුන්දර ලෙස ජීවත් වීමට හෝ සුන්දර දේවල් නිර්මාණය කිරීමෙහිලා කරදර වන්නට පෙර ජීවත් වීම ඉගෙන ගන්නට මිනිසාට සිදු විය. එහෙත් මිනිසාගේ ප්‍රාථමික ජීවිතය ගැඹුරින් අධ්‍යයනය කළ මානව විද්‍යාඥයන් නැවත නැවතත් පෙන්වා දී ඇති හැටියට අත්‍යවශ්‍ය දේ සුන්දර දේට කලින් ආවේද යන්න හෝ අත්‍යවශ්‍ය දේ හුදෙක් සැරසිලිමය (Decaration) දේ පසුව පැමිණියේද යන්න හරියටම පැහැදිලි නැත. සැබැවින්ම පෙනී යන හැටියට නම් අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දේවල් කරන අතරම ප්‍රාථමික මිනිසාගේ පරිකල්පනය තමන් කරන දේට අලංකාරය, ආකර්ෂණය සහ චිත්තාකර්ෂණය එක් කරන්නට විවේකය සොයා ගත්තේය.” පිටුව 61.

මේ නිසා අපට මේවා ශුද්ධ කලාවන් හෝ ලලිත කලාවන් ලෙස නම්කළ නොහැකි වුවද ශිෂ්ඨාචාරය ගොඩනැගීම අරඹෙන්නේ මිනිසුන්ගේ ජීවන නිපුණතා ඇසුරේය.
වර්තමාන ශිෂ්ඨාචරයේ ඇතැම් කලා පැහැදිලිවම ප්‍රයෝජන පිණිස වූ උපකරණීය කලා වන අතර ඒවා ස්වභාවයෙන්ම කර්මාන්තමය නිෂ්දාදන යැයි එඞ්මන් පවසයි. මෙහිදී කතුවරයා ශිෂ්ඨාචාරයේ විවිධ පැතිමානයන් ගැන විවරණයක යෙදුනත් මෙවැනි විමසා බැලීමකදී ඒ සියල්ලට අවධානය යොමු කිරීම අපහසුය.

කෙසේ වුවද ලලිත කලා සහ ප්‍රයෝජනවත් කාර්මික නිෂ්පාදන මිනිසාට බලපාන්නේ දෙයාකාරයකිනි. ලලිත කලා ඉන්ද්‍රීය සංවේදී වූද, අනත්තර වූද ක්ෂණික ප්‍රීතියක් මිනිසුන්ට ලබා දෙන බවත් දෙවන වර්ගයා නිෂ්පාදන මිනිසුන්ට වෙනත් සංතෘප්තතා ලබා දෙන බවත් මේ ප්‍රයෝජනවත්භාවය සහ සුන්දරතාව අතර පරතරය ඉතා අවම වූ යුග ලෝකයේ තිබූ බවද වූඑඞ්මන් පවසයි.
උපකරණීයතාව සහ සුන්දරත්වය ගැන කතා කරමින් එඞ්මන් පවසන්නේ ඇතැම් කලාවන්ට සම්පූර්ණයෙන් සෞන්දර්යය වෙත පලා යා නොහැකි බවය. ගෘහනිර්මාණය එවැනි කලාවක් යැයි ඔහු පවසයි.

ලලිතවත්භාවය පමණක් ජීවිතය කර ගන්නා කලාව කලාව සඳහා යන මතවාදය සමාජගත කරද්දී තවෙකෙක් තර්ක බුද්ධියට පමණක් මුල් තැන දෙමින් දාර්ශනික හේතු ඵල සබඳතාවන්ගෙන් පමණක් ජීවිතයේ මිණුම් සකසා ගන්නට වෙර දරයි. ලලිතවත්භාවය සහ ප්‍රයෝජනවත්භාවය සම්බන්ධයෙන් වන එඞ්මන්ගේ මෙම අදහස් අපට වටින්නේ එවැනි අන්තවාදී මත දැක්වීම් හමුවේය.
“ලලිත්භාවය සහ ප්‍රයෝජනවත්භාවය අතර බෙදීම් විසින් අප මෙහෙයවනු ලබන්නේ කොහේට දැයි දැක ගැනීම අපහසු නැත. එක් අතකින් එයින් සිදුවන්නේ ඉන්ද්‍රීය ගෝචර සුන්දරත්වය ගැන හෝ පාරිකල්පනික ප්‍රසාද ලාලිත්‍යය ගැන හෝ කිසිම හැඟීමක් නැති ප්‍රායෝගික ශිෂ්ඨාචාරයක්, “දුමින් වැසුණු භූමියක්” (කතුරයා මෙම යෙදුම ණයට ගෙන ඇත්තේ ඉංග්‍රීසි ජාතකි අධ්‍යාපනඥයෙක් සහ දාර්ශනිකයෙක් වූ එල්.පී. ජේක්ගෙන් බව පවසයි) නිර්මාණය කිරීමයි. අනෙක් අතට ඒ බෙදීම නිසා සෞන්දර්යවාදියා විසින් කරන්නේ ජීවිතයේ අනෙකුත් අංශ සමඟ කිසිම සම්බන්ධයක් නැති හුදෙක් අලංකරණීය වූ පුංචි සුන්දරතා ඉතා අලංකෘතික වූද සුකොමල වූද ප්‍රීති ප්‍රමෝදතාය.”

දර්ශනවාදීන් කලාවට කරන එක් චෝදනාවක් නම් කලාව මිනිසුන් සිහින ලෝකයන් මත සතපා යථාර්ථ ලෝකයෙන් මිනිසුන්ට පලායාමට ඉඩ සලස්වන බවය. කලාව ගැන සිතීමේ ආරම්භයේ සිටම සදාචාරවාදීන් දෝෂ දර්ශනයට කලාව ලක් වූයේ එය මිනිසුන්ගේ චින්තනයේ සහ සිතීමේ ස්ථාපිත පිළිවෙළ අවුල් කරන බව පවසමිනි. සැබෑවකි. මේ දෙන ලද සිතීමේ පිළිවෙළට එරෙහිව කලාකරුවා තුළ නිරන්තර කැරැල්ලක් පවතී. වරෙක මාරියෝ වර්ගාස් යෝෂා මෙවැනි අදහසක් පවසා තිබුණු වගක් මගේ මතකයේ පවතී. එනම් ප්‍රබන්ධ රචකයා කරනුයේ මේ පවතින දෙන ලද ලෝකයට එරෙහිව තමන්ගේ විරෝධය පළකරමින් තමන්ගේ පරිකල්පනය තුළ තමන්ට අභිමත ලොවක් ගොඩනගා ගැනුමය. හරියටම මතක නැතත් ඔහුගේ අදහස එවැනි එකකි. යථාර්ථ ලෝකයේදී මිනිසුන්ගේ ජීවිතයට මළ මොහොතවල් උදාවෙන බව එඞ්මන්ද පවසයි. එවැනි මොහොතකදී ඇතැම් විට මිනිසුන්ට මේ යථාර්ථ ලෝකයෙන් පැන යාමට කලාව උදව් වෙන බවද ඔහු පවසයි. හැබැයි ඒ වඩාත් සවිමත්ව යළිත් ජීවිතයට පිවිසීම වෙනුවෙනි. ඒ පලායාම යළි ජීවිතය අලුත් කරනා පලායාමක් බව එඞ්මන්ගේ අදහසයි.

ජීවිතය සහ කලාව ගැන තව බොහෝ දෑ මේ කෘතියේ සංගෘහිතය. ඉන් අපි යන්තම්වත් විමසා බැලුවේ ශීර්ෂයන් හයක් යටතේ එඞ්මන් කතා කරන කලාව සහ මිනිසා අතර සැබැඳීයාවේ ශීර්ෂ දෙකක් පමණි. ලෝකය වචනය සහ කවිය, වස්තුව ඇස සහ මූර්තිධර කලා, ශබ්ද, ශ්‍රවණේන්ද්‍රිය සහ සංගීතඥයා, කලාව සහ දර්ශනය ලෙස තව විෂය කරුණු හතරක් ගැන මේ පොත ඇතුළේ ඔහු සිය අදහස් ඉදිරිපත් කරයි.

ඒ සියල්ල ගැන සාකච්ඡා කරන්න්ට මෙහි ඉඩකඩක් නැත. ඒ ඇතැම් කාරණා සීරුවෙන් විමසා බැලිය යුතුය. සරල බසින් ලියවී තිබුණද ඉන් ඇතැම් කරුණු කලාව දර්ශනය පිළිබද ඉතාමත් ගැඹුරු කාරණා සහ සිද්ධාන්තය. ඒ නිසා ඒවා සීරුවෙන් කියවාගත යුතුය.

කලාව සහ මිනිසා අතර ඇති සබඳතාව විවිධ පැතිමානයන්ගෙන් විමසා බලන මෙම කුඩා කෘතිය අනතර්ගත වටනාකම අතින් කිසිසේත්ම කුඩා නැත. සබැවින්ම මිනිසා මිනිසකු බවට පත් කරන්නේ උපයෝගතාවාදී දෛනික ජීවිතයෙන් මිදෙන ඇසිල්ලේදී පමණි. ඒ ඇසිල්ල අස්වැසිල්ලක් කළ හැක්කේ කලාවටය. සෞන්දර්ය කලාව හැදෑරිය යුත්තේත් එහි නිරත විය යුත්තේත් එය රස විඳිය යුත්තේත් සත්ත්ව ගතිවලින් මිදුණු මිනිස් සමාජයක් වෙනුවෙන් එය අත්‍යවශ්‍ය සාධකයක් නිසාය. දෛනික ජීවිතයේ බරබද්දල් විසින් මැරීයන ජීවන නිමේෂයන්ට යළිත් ජීවන හුස්ම පිඹිණුයේ කලාවය. ඒ වෙනුවෙන් විටෙක කලාකරුවා තථ්‍ය ජීවිතයෙන් පලායයි. ඒ යළිත් සාකල්‍යවාදී මිනිසකු ලෙසින් ජීවිතයට ගෙවදීම වෙනුවෙනි. දෛනිකවාදී උපයෝගීතා මිනිසා විසින් විනාශ කරන ලෝකයේ ඊට එරෙහි කැරැලි ගසන කැරැලිකරුවා කලාකරුවාය. සාකල්‍යවාදී මිනිස් සමාජයක් වෙනුවෙන් ඔහු ගසන කැරැල්ලේදී ඔසවන අවිය කුමක් හෝ කලා ශානරයකි. මේ පොත ඇතුළේදී එය ඔබට හමුවෙනු ඇත. ඒත් ඒ මෙය අවධානයෙන් සහ විවේක බුද්ධියෙන් යුතුව කියවන්නේ නම්ය. මෙය සාමූහිකව සාකච්ඡාවට බඳුන් කරමින් කියවීම වඩාත් සප්‍රයෝජනවත් යැයි අප යෝජනා කරනුයේ එහෙයිනි. එහිදී එක් අයෙකුට මඟහැරෙණ කරුණක් තවකකුට මතුකර ගතහැකි වනු ඇත. එහි විප්ලවීය කැරැලිකාරී ගුණය මතු කර ගත හැක්කේ එහි සියලු විභවතාවන් පිළිබඳව වන අවධානයක් සහිත කියවීමකිනි. ඇත්තටම එය කොළ පාටින් දිස්වෙන රතු පොතකි. පරිවර්තකයා පොතට රතු කවරයක් තෝරාගන්නට ඇත්තේ එහෙයිනැයි සිතේ.