කවිය මීදුමෙන් වැසී පවතින මහා කඳු වැටියක් – නිර්මලී මේරියන්

දිනී ජයසේකර

ඔබ අතින් රචනය වන කවිය අනෙකුත් කවි සමග සංසන්දනය කරන විට ඔබ ඔබේ තැන දකින්නේ කෙසේද?

කවර දිනකවත් මා අතින් ලියවුණු කවි අන් කවර නිර්මාණයක් හා සැසඳීමට මම යොමුවෙලා නැහැ. මොකද මම විශ්වාස කරන යමක් පවතිනවා. එනම් කවියක් කිසිම දිනක හිතාමතා බලෙන් උත්සාහයක් දරමින් ලියන්න බැහැ කියලා. එය නිරායාසයෙන් ලියවෙන අවස්ථාවක් උදාවන තුරු ඒ හැඟීම් සමුදායම සිත මත තැන්පත්කර නිදහසේ වැඩෙන්නට දී තබාගත යුතු වෙනවා. කවි බීජය ශරීරය තුළට කිඳා බැස මනස තුළ කරන මහා විප්ලවයකින් අනතුරුව අකුරු, වචන, පද කැපුම් කෙටුම් තුවාල සහිතව කොළයක් මත උපදින රිද්මයකින් යුතු වචන පෙළ කවියක් වෙන්නේ ඉබේටම වගේ. මේ සුන්දර කාර්යය එකිනෙකාගේ නිර්මාණ හා සැසඳීමටත් ඒ තුළින් මට හිමි තැන සොයන්නට මම කෙදිනකවත් උත්සාහ දරලා නැහැ. දරන්නෙත් නැහැ. මට කවිය තුළ හිමි තැන ලෙස මම දකින්නේ මා විසින්ම නිර්මාණය වූ කවි කියවීමෙන් පසු ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරය මතයි. කවිය යනු පුළුල් කලා ක්ෂේත්‍රයක්. ඉතින් කවිය තුළ මම තවම ළදරුවෙක් කියල මම හිතනවා.

ලිංග භේදය කවියට බාධාවක් වන අවස්ථා තියෙනවාද?

ආසියාතික රටක කාන්තාවන් කුටුම්බය තුළ යෙදෙන කාර්යභාරය සමග ලිංග භේදය කවිය කෙරෙහි බාධාවක් වන අවස්ථා නැතුවාම නොවෙයි. දරුවන්, පවුලේ ආර්ථික තත්ත්වය සමාජයේ පිරිපහදු නොවූ ආකල්ප සමග කවි ලියන, නවකථා ලියන, කලා මාධ්‍ය තුළ ගැටෙන කාන්තාවන්ට බොහෝ විට ඒ ඒ දක්ෂතා යටපත් කරගෙන ජීවිතයට මුහුණ දීමට සිදුවෙනවා. ඒක හැටියක්.

ඔබ හිතන විදියට පවතින සමාජ ක්‍රමයත් එක්ක කවිය ගලාගෙන යන්නේ කුමනාකාරයටද?

පසුගිය වකවානුවේ පුවත්පත්වල කවි පිටුවල ඉඩ පිටු භාගය වීමත්, කාලයක් ගතවන විට නොහිතූ ලෙස කවි පිටු අතුරුදන් වී යාමක් සිදුවී තිබෙනවා. ඒ තුළින් වර්තමාන සමාජය කවි කියවන්න අකමැතිද? නොඑසේනම් වර්තමාන සමාජය කවි කියවනවාට අකමැතිද යන්න කවි ලියන කොයි කාගේත් මනස් කැළඹීමකට ලක් කරන අවස්ථා එමටයි. එහෙත් පසුගිය වකවානුව තුළ අපේ සහෝදර කවි කිවිඳියන් විසින් එළිදැක්වූ ගුණාත්මක හා රසවත්ම කවි පොත්වල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණා. සමාජ මාධ්‍ය ජාල තුළ පවා හරවත් රසවිඳිය හැකි කවි සමූහයක් හුවමාරු වුණා. එහිදී කෙටි කවි කෙරෙහි මේ වකවානුවේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඒ අතර ත්‍රිරෝද රථවල පවා පසුපස අකුරු මවමින් කවි පදද කැඩුණු ගී පදද ලොකු කුඩා කාගේත් මනස් තලවල කොටවන සංස්කෘතියක් මතුවී තිබීම ගැන යොමු කළ යුතු අවධානය පුළුල්. මොකද වර්තමාන කවිය මෙලෙස ගලාගෙන යෑමේ යහපත් වගේම අයහපත් ප්‍රතිඵලත් ලාංකීය කවියේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන බවට පෙර ලකුණු මතු වීගෙන එනවා කියල මට හිතෙනවා.

ඔබ අතින් හුදෙක් දේශපාලනිකව කවි රචනා වෙනවාද?

මගේ සෑම කවියක් තුළම දේශපාලනයක් තිබෙනවා. එය සෑම විටෙකම ගැහැනියක් යෙදෙන සමාජ අරගලයත්, ඒ දේශපාලනය හදවතේ තැනක හිඳ කවි පද ලෙස නිතර මට කතා කරනවා වගේ දැනෙනවා. ඒ මට දැනෙන, ඇස් කොනිති කර හදවත විඳ ගලන මනුෂ්‍යයත්වය මගේ කවියේ දේශපාලනය ලෙස මම දකිනවා. ඒ කවි පද උපද්දවන ගැහැනියට මා බොහෝ සේ ආදරය කරනවා.

ඔබේ කවියෙන් ඔබේ පාඨකයාට සාධාරණයක් ඉටු කරනවාද?

මා අතින් යමක් ලියවුණු පසු කිසිම දවසක එය මගේ යැයි කොටුකර ගැනීමට මම කැමති නැහැ. මොකද සෑම මොහොතකම මා විසින් ලියවුණු කවිපද කියවා ඒ පද හා ගැටී කතාබහේ යෙදී කදුළු සහ සිනහව සමග ගනුදෙනු කර පාඨකයාට උපරිමයෙන්ම කවිය විඳීමට මා ඉඩ සලස්වනවා. තවමත් කවි ලොවේ දොරකඩ සිටින මට කවිය පෙනෙන්නේ මීදුමෙන් වැසී පවතින මහා කඳු වැටියක් වගේ. ලියන හැම වචනයකටම අවංක වීම තුළින් කවියට හා පාඨකයින්ට උපරිම සාධාරණයක් කිරීමට මම උත්සහ දරනවා.

කිවිඳියක් විදියට පොදුවේ තව ගැහැනියක්ව ඔබේ ඇසින් දකින්නේ කෙසේද?

යන එන මග තොටේ කඳුළු, සුසුම්, සිනහව, සතුට, දුහුවිලි සුළඟ, අව්ව වැස්ස පවා හදවතට තුරුලු කරන් සීරුවට එකිනෙක අමුණමින් ජීවිතය විඳින්න මට ඉගැන්නුවේ ගැහැනුකමම වෙන්න ඇති කියලා මම හිතනවා. කවියේ උපත ගැහැනියගේ ආදරණීය සුසුම් සහ දරාගැනීමයි. මා තුළ ජීවත් වෙන දැනෙන විඳින ගැහැනිය සමාජයේ සෑම ගැහැනු හදවතකම ජීවත්වෙනවා. ඉතිං මේ හැම ගැහැනියක් තුළම ලියවුණු සහ නොලියවුණු කවි දස දහසක් හැංගිලා ඇති කියලා අපි හිතනවා. මොකද ගැහැනිය ඒ තරම්ම සුන්දරයි.