කැත ව්‍යාපාරයක් හා භයානක කුමන්ත්‍රණයක් අභිමුව සිටිමි – චාල්ස් දයානන්ද

එන්. ලංකා මාගම්මන

චිත්‍ර කලාවේ ප්‍රවීණයකු වන චාල්ස් දයානන්දගේ ප්‍රථම නවකතාව ‘පිටස්තරයෝ’ කෘතිය අගෝස්තු මස 15 වැනි දින ප.ව. 3.00ට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී. මේ, පිටස්තරයෝ කෘතිය පිළිබඳ ඔහු සමග කරන ලද කතාබහකි.

පිටස්තරයෝ ඔබගේ ප්‍රථම නවකතාවයි. ජාතිවාදයට එරෙහි අදහසක් එහි ගැබ්වෙනවා. මෙවැනි නවකතාවක් ලියැවෙන පසුබිම මොකක්ද?

මෙහි ප්‍රධාන වශයෙන්ම අන්තර්ගතය වන්නේ ජාතිවාදය නිසා ඇතිවෙන මානව ඛේදවාචකයයි. සමාජවාදී අදහස් දරන්නකු හැටියට ජාතිවාදය ම්ලේච්ඡ දෙයක් හැටියටයි මා සලකන්නේ. මේ පිළිබඳ අත්දැකීම් ගණනාවක්ම පසුකරලීමට මගේ ජීවිත කාලයේදී හැකිවුණා. 1971 කැරැල්ලට සම්බන්ධ වෙලා අවුරුදු 06ක සිරගත කාලයක් ගත කිරීම මගේ දිවියේ හොඳම අධ්‍යයන කාලය වුණා. අප කැරලි ගැහුවෙ සමාජවාදය යථාර්ථයක් කරගන්න. ඒත් 1977 හිරෙන් නිදහස් වෙලා එළියට එනකොට සමාජවාදී අදහස් වෙනුවට ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ජාතිවාදී යුදමය වාතාවරණයක් සකසමින් එවකට සිටි පාලකයන් කටයුතු කරන බවක් පෙනී ගියා. ජාතිවාදය උත්සන්න වෙලා තිබුණා. මේ පිළිබඳ දැඩි කලකිරීමක් තමයි අපට තිබුණේ. 1977 දෙමළ කෝලාහලයත්, 1981දී යාපනේ පුස්තකාලයට ගිනි තැබීමත් 83 ඉතා නින්දිත විදිහේ ජාතිවාදී කෝලාහලයත් අපේ රට ආපස්සට රැගෙන ගියා. මේ සෑම ඛේදවාචකයක්ම ප්‍රතික්ෂේප කරමින් ජාතිවාදයට එරෙහිව අපගේ මැදිහත්වීම් සිදුවුණා. මගේ ගම බලංගොඩ. 1983දී බලංගොඩ අහිංසක දෙමළ මිනිසුන්ගේ නිවාස සහිත ලයින් කාමරවලට ගිනි තියන්න හදන කොට ගමේ තරුණයන් සමග එකතුවෙලා මම ඒ අහිංසක මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දුන්නා. සිංහල සුළුතර ජාතිවාදී මිනිසුන්ගේ මේ නින්දිත හැසිරීම පිළිබඳ පුදුම විදිහේ කනගාටුවක් තමයි මට තිබුණේ. ඒ වගේම මා දන්නා දමිළ සහෝදරයන් කීපදෙනකුටම බරපතළ අපරාධ සිදුවුණා. මේ ජාතිවාදයට එරෙහිව මා තුළ ඇත්තේ බලවත් අදහසක්. මේ අත්දැකීම් සියල්ල පිටස්තරයෝ නවකතාවට අන්තර්ගත වෙනවා. මේ අත්දැකීම්වලට අමතරව මා කල්පිතයකුත් ගොඩ නැගුවා. මා දන්නා විදිහට කලාවට බොහෝ දේවල් කරන්න පුළුවන්. ජාතිවාදයට එරෙහිව කලාව හොඳ මෙවලමක් හැටියට භාවිත කරන්න හැකියාව තියෙනවා. මා චිත්‍ර ශිල්පියෙක් හැටියට ජාතිවාදයට එරෙහිව මගේ චිත්‍ර කලාව බොහෝ දුරට භාවිත කරගෙන තියෙනවා. ඒ එක්කම මගේ ලේඛන කලාවත් භාවිත කරලා මෙය සමාජ ගතකිරීම වැදගත් යැයි මට පෙනී ගියා. මේ සියලු කාරණා මතයි පිටස්තරයෝ නවකතාව බිහිවන්නේ.

ජාතිය හා කුලය යන ආන්තික දෘෂ්ටිවාදයන්හි මුල කොතැනද?

මේකේ මූලාශ්‍රයන් තියෙනවා මහාවංශයේ. මහාවංශය ලියන කොටම එයට ජාතිවාදය පොවලා ලියලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මහාවංශය ලියන්නේ දුටුගැමුණු එළාර යුද්ධය ඇතිවෙලා අවුරුදු 300කට 400කට පස්සේ. හැබැයි දුටුගැමුණු පාදක කරගෙන මහ ජාතිවාදයක් ගොඩනගමින් තමයි මහාවංශය රචනා වෙන්නේ. මේවා පාසල්වල දරුවන්ට කියාදෙනවා. සිංහල ජාතිය විජයගෙන් පැවත එන්නන් හැටියට මිථ්‍යාවක්ද මේ තුළ වපුරවනු ලබනවා. මේ හැමදෙයක්ම හරහා පුංචි දරුවන්ට පවා ආගම ජාතිවාදය කවලා තියෙන්නේ. කොහොමද මේ ජාතිවාදය දිගින් දිගටම පෝෂණ වුණේ. කවුද මේ ජාතිවාදය දිගින් දිගටම පෝෂණය කළේ. මේකට මූලික වශයෙන් වගකියන්න ඕනේ ජාතිවාදය වපුරන භික්ෂූන් වහන්සේලා. ඉන් අනතුරුව මේ රටේ එදා සිට අද දක්වා සිටි දේශපාලනඥයන්ද මෙයට ඍජු ලෙසම වගකිව යුතුයි. මේ දේශපාලනඥයන් මේ ජාතිවාදය දිගින් දිගටම පෝෂණය කළේ බලය සඳහායි. හාමුදුරුවරු දිගින් දිගටම මේ දේශපාලනඥයන්ගේ අතකොලු බවට පත්වුණා. බෞද්ධ හාමුදුරුවරු කොහොමද ජාතිවාදී වුණේ. භික්ෂූන් ජාතිවාදී වෙන්න ප්‍රධාන හේතුව මගේ අදහසට අනුව මහාංවශයත් එක්ක සිංහල ජාතිය ගොඩනැගීමේ වංශ කතා, මිථ්‍යා කතා උන්වහන්සේලාගේ ඇඟ ඇතුළට ගිහින් තිබීමයි. බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයකුට කොහොමත් ජාතිවාදියෙක් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ සියලු මනුස්සයෝ එකම ජාතියක් කියලා. සිංහල බෞද්ධ කියලා දේශපාලන මිථ්‍යා සංකල්පයක් ගොඩ නගාගෙන එය පෝෂණය කරන එක තමයි භික්ෂූන්ගේ ප්‍රධාන කාර්යය වෙලා තියෙන්නේ. මෙය වැරදි දෙයක්. දෘෂ්ටිවාදී ප්‍රවේශයන් තුළ අපට බරපතළ කතිකාවතක් ඇතිකර යුතුව තිබෙනවා. ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැංවීමේ ප්‍රධාන බාධාව ලෙස මා දකින්නේ උප්පැන්න සහතිකයි. උප්පැන්න සහතිකයේ ජාතිය කියලා ලියනවා. අප එයට ලියන්නේ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වෙනත් ජාතියක් ලෙසය. මේ ප්‍රශ්නයට හරි නම් අප උත්තර දෙන්න ඕනේ ශ්‍රී ලාංකික කියලයි. ඒත් එහෙම අප මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ. සෑම උප්පැන්නයකම ජාතිකත්වයක් හැංගිලා තියෙනවා. ඒ වගේම සෑම උප්පැන්නයකම මිනිසුන්ගේ වාසගම් සඳහන් කරලා තියෙනවා. මේ වාසගම් ක්‍රමයෙනුත් වෙන්නේ අප එකිනෙකා බෙදී වෙන්වී විරසකවීම පමණයි. මේ තත්ත්වය සිංහල ජාතික කොටස් තුළ වැඩියි. දෙමළ මිනිසුන් තුළත් කුල අර්බුදය දකින්නට තියෙනවා. වාසගම ඇතුළේ කුලය හැංගිලා තිබීම මිනිසුන් අතර විරසකයක වෙන්වීමක, මූලික බීජයක් වපුරවනු ලබනවා. ඒ වගේම ආගම ඍජුවම උප්පැන්න සහතිකයේදී ප්‍රශ්න කරනවා. මේ ජාතිය, කුලය, ආගම ඉවත් කරලා අලුතින්ම උප්පැන්න සහතිකයත් අප නිර්මාණය කරන්න ඕනෑ. මේ රටේ සියලුම මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන් ඒ දේ කළ යුතුම වෙනවා. එහෙම නැතිව ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වැනි දෘෂ්ටිවාදී ප්‍රවේශයන්ට අපට එරෙහිවෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.
නිදහස් චින්තකයකු, ස්වාධීන මිනිසකු බිහිනොවීමට බාධාව වන්නේ වහල් ශිෂ්ටාචාරයක් නඩත්තු කිරීම බව මෙම කෘතියේ හරස්කඩක් ගත් කල පෙනී යනවා.
පැහැදිලිවම අපේ රට භෞතික වශයෙන් යම් දියුණුවක් ලැබුවද ආධ්‍යාත්මික චින්තනමය වශයෙන් අප කිසිදු දියුණුවක් නොලබපු රටක්. අපේ රට තවම තියෙන්නේ වැඩවසම් අධිකාරී තත්ත්වයකයි. ඒකනේ මිනිස්සු අදත් හිට්ලර්ලා, රජවරු ඉල්ලන්නේ. ළඟකදි ඉඳන් එල්ලුම් ගහ පවා ඉල්ලන්නේ වැඩවසම් මානසිකත්වයෙන් ගැලවෙන්න බැරි නිසයි. ජාතිවාදය තියෙන්නේ වැඩවසම් චින්තනය තුළයි. දියුණු ධනේශ්වර රටවල ආගම්වාදය, ජාතිවාදය ඇත්තේ නැහැ. අද යුරෝපයේ ආගම බැහැර කරන ජනතාවක් සිටිනවා. අපේ රටේ බොහෝ දෙනෙක් ජාතියේ, ආගමේ, අධ්‍යාපනයේ, භාෂාවේ වහල්ලු බවට පත්වෙලා. මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් විය යුතුමයි. මෙම අධ්‍යාපන ක්‍රමය වැඩවසම් වහල් ක්‍රමය පවත්වාගෙන යෑමට ලොකු රුකුළක් දෙන බව පෙනීයනවා. ආගම සම්පූර්ණයෙන්ම වැඩවසම් ක්‍රමයට පාර කපන බව පෙනී යනවා. අපේ රටේ බහුතරයක් චින්තනමය වශයෙන් වහලුන් බවට පත්වෙලා. මේවා සංවාදයට භාජනය කළ යුතුයි. රටක් ඉබේම ඉදිරියට යන්නේ නැහැ. ඒ සඳහා චින්තනමය මතවාදී අරගලයක නිරතවීම අවශ්‍යයි. එම වගකීමේ කොටසක් රටක සංස්කෘතික පර්ෂදවලට තිබෙනවා.

මාක්ස්වාදී න්‍යායයන් හා බුදුන්ගේ දර්ශනය යම්තාක් දුරකට ගැළපීමට මෙම කෘතිය හරහා උත්සාහ ගෙන තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා.

බුදුන් වහන්සේ දේශනා කළත් අනාගතයේදී පෞද්ගලික දේපළවලින් තොර සකල මානව සමාජයම එකම මිනිස් පවුලක් ලෙස ජීවත්වීමේ පුළුල් දර්ශනයක් පිළිබඳවයි. මාක්ස් ප්‍රකාශ කළෙත් කොමියුනිස්ට් සමාජයක් අනාගතයේදී බිහි කළ යුතුය යන්නයි. මේ දෙකම සමාන අරුත් ගන්නවා. අප බලාපොරොත්තුවෙන්නේ උත්තර මානවයෙක් නම් ඒ උත්තර මානවයා ජාතියකට බැඳෙන්න බැහැ. ආගමකට, කුලයකට බැඳෙන්න බැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ සියලු දෘෂ්ටීන්ගෙන් මිදෙන්න කියලා. මගේ මවුරට මාතෘභූමිය, දේශීයත්වය මේවා හරිම පටු සංකල්ප. අප විශ්ව මිනිසෙක් වුවහොත් මේ පටු සංකල්ප අත්හරින්න පුළුවන් වෙනවා. විශ්ව මිනිසකුට ජාතියක්, රටක්, ආගමක් තියෙන්න බැහැ. බුදුන්ගේ ඉගැන්වීමෙහි මුඛ්‍ය අදහස වන්නේ විශ්ව මිනිසෙක් බිහිවීමයි. කාල් මාක්ස් පවසන්නෙත්, කොමියුනිස්ට් සමාජය තුළ විශ්ව මිනිසෙක් සහිත විශ්ව සමාජයක් ගොඩනගන්න ඕනේ කියලා. මේ අනුව අපට පැහැදිලිව පෙනී යන දෙයක් තමයි බුදුන්ගේ හා කාල්මාක්ස් මූලික පරමාර්ථ දෙක අතර ඇති සමාන බව. සමහර වර්ගවාදී කොටස් හා දේශපාලනඥයන් විසින් මේ දර්ශන දෙක අතර ප්‍රතිවිරෝධතා තිබෙන බවක් පෙන්නා දෙන්න බොහෝවිට උත්සාහ කරන බවක් පෙනී යනවා. නේපාලයේ බලයට පත් කොමියුනිස්ට් පක්ෂයේ අගමැතිවරයා මාක්ස්ගේ 200 සැමරුම මොහොතේ මේ ආකාරයට පවසනවා. “අප මාක්ස් නමැති ප්‍රාඥයාගේ 200 වන වර්ෂ පූර්ණය සමරනවා. ඒත් මා ජීවත්වන්නේ මීට අවුරුදු 2500ට ඉස්සරවෙලා මාක්ස් මෙන්ම ප්‍රාඥයෙක් ඉපදුණු දේශයක. ඒ තමයි බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ දේශනා කළෙත් විශ්ව සමාජයක්. මාක්ස්ගේ දේශපාලනය තුළත් ඔහු බලාපොරොත්තු වුණේ විශ්ව සමාජයක්. බලන්න කොච්චර වටිනා කියමනක්ද කියලා.

මැක්සිම් ගෝර්කිගේ ‘මකාර් චුද්‍ර’ කෙටි කතාවෙන් ඔබ ආභාසය ලද බවක් පිටස්තරයෝ කියවන විට හැඟී යනවා. ගොර්කිට අනුව ජීවිතය කැත ව්‍යාපාරයක්. භයානක කුමන්ත්‍රණයක්. ඔබට අනුවත් එය නිවැරදිද?

මැක්සිම් ගෝර්කි කියන්නෙත් මේ සිස්ටම් එක නැත්නම් ක්‍රමයේ තියෙන අවුල ගැනයි. මැක්සිම් ගෝර්කි ඔහුගේ ජීවිතයේ පුදුමාකාර අත්දැකීම් සමූහයක් හරහා තමයි ජීවිතය පිළිබඳ ඔය විග්‍රහයට එනු ලබන්නේ. එක අවස්ථාවකදී ඔහු දිවි නසා ගන්න පවා යනවා. තව අවස්ථාවක ඔහු සමාජය හඳුන්වන්නේ පාදඩයෙක් ලෙසයි. ඇත්තටම මේ සමස්ත සමාජයේම තියෙන සිස්ටම් එක පුදුම විදිහේ කැත ව්‍යාපාරයක් නෙමෙයිද? මානවයාගේ වටිනාකම් මිනිසාගේ වටිනාකම් අගයන තක්සේරු කරන සමාජයක නොවෙයි අප ජීවත්වෙන්නේ. මේ සමාජ ක්‍රමයම කැත ව්‍යාපාරයක් නොවන්නේ කෙසේද?

මා හිතනවා වර්තමානයේ ශ්‍රී ලංකාවෙත් තියෙන්නේ ඒ වගේම කැත ව්‍යාපාරයක් කියලා. දශක කීපයක් තිස්සේ ලංකාව මඩගොහොරුවක ඉන්නේ. මහා අශිෂ්ට කුණුවෙච්ච සමාජයකයි අද අප ජීවත්වන්නේ. ලංකාවේ දේශපාලනයයි, ආගමයි ඇතුළු මේ සමාජ දේහයම සම්පූර්ණයෙන්ම පිරිහිලා තියෙන්නේ. ඒ අනුව ගෝර්කි කියපු දේ ඇත්ත. මෙය කැත ව්‍යාපාරයක්. භයානක කුමන්ත්‍රණයක් තමයි.