රාවය

පාකිස්තානයේ පුරුෂාධිපත්‍ය මට්ටු කරන සමාජ ක්‍රියාකාරී සිනමාවේදිනිය

පාකිස්තානයේ පුරුෂාධිපත්‍ය මට්ටු කරන සමාජ ක්‍රියාකාරී සිනමාවේදිනිය

ශාමීන් ඔබේඞ් චිනෝයි පාකිස්තානු මාධ්‍යවේදිනියක, සිනමාවේදිනියක මෙන්ම සමාජ ක්‍රියාකාරිණියකද වේ. කාන්තාවන්ට මුහුණපෑමට සිදුවන සමාජ අසමානතා හා අසාධාරණයන් පිළිබඳව චිත්‍රපට නිර්මාණයට ඇය ප්‍රසිද්ධියක් උසුලයි. මේ වන විට ඔස්කා සම්මාන ද්විත්වයක් සහ එමී සම්මාන 6ක් දිනාගෙන ඇති ඇය 2012 වර්ෂයේදී ‘හිලායි -ඉ- ඉමිටියාස්’ නම් පාකිස්තාන රජය විසින් පුරවැසියකුට ලබාදෙන දෙවන ඉහළම සිවිල් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අතරම ටයිම් සඟරාව විසින් නම් කළ ලොව බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට එක්වීමටද වරම් ලැබුවා. චිනෝයි වයස අවුරුදු 37 වෙද්දී ඔස්කා සම්මාන 2ක් දිනාගත් ලොව එකම කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂවරිය වේ.

පරිවර්තනය – වින්ද්‍යා ගමගේ
(නිව්යෝක් සඟරාවේ පළවූ ලිපියකි.)

ශාමින් ඔබේඞ් චිනෝයිට වඩාත්ම ප්‍රයෝජනවත් චිත්තවේගය වන්නේ කෝපයයි. හිරිමල්වියේදී පුවත්පත්වලට ලිපි ලියද්දීත්, වැඩිහිටි අවදියේ වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමේදීත් ඇයව පොළඹවනු ලැබූයේ හා සිය චිත්‍රපටවලින් ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රතිචාරයක් ලෙස ඇය උද්දීපනය කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන්නේත් මේ හැඟීමයි. එනිසාම චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදීත්, යම් අසාධාරණයක් හේතුවෙන් සිදුවූ සාහසික ක්‍රියාවක් ප්‍රේක්ෂක මනසෙහි ස්ථාපිත කිරීම සඳහා තමාගේම කතා අධ්‍යයනයට බාධා කිරීමට පවා ඇය මැලිවන්නේ නැහැ. ඔබෙඞ් චිනෝයි පාකිස්තානයේ සිටින සුප්‍රකට වාර්තා චිත්‍රපට නිර්මාණකාරිණියක්. ඔස්කා සම්මාන ද්විත්වයක් සහ එමී සම්මානයක් දිනා සිටින ඇයගේ නිර්මාණ දකුණු අප්‍රිකාව තුළ පවතින ‘විදේශිකයන් නුරුස්සනභාවය’ පිළිබඳ වාර්තා වැඩසටහන්වල සිට පාකිස්තානුවන් තම පවුල්වල දියණිවරුන් දූෂණයට පත්වීම හෝ දික්කසාදවීම නිසා තම ගෞරවය ආරක්ෂා කරගැනීමට යැයි කියමින් ගැහැනු දරුවන්ව ඝාතනය කිරීම ආදී පරාසයක විහිදේ. (Honour Killing)  තමා දකින දෙයට ආශා නොකර ඉන් එහාට යෑමට කෝපය මිනිසුන්ට උපකාරී වෙනවා. සෑහෙන පිරිසක් මගේ චිත්‍රපට නරඹා ඒ තුළින් කම්පනයටත්, කෝපයටත් පත්වීමෙන් ඒ පිළිබඳව යමක් කරනවා දැකීම තමයි මගේ අවශ්‍යතාව.” ඔබේඞ් චිනෝයි එසේ පැවසුවා.

පසුගියදා සවස් වරුවක, චිනෝයි තමා වාසය කරන කරච්චියේ ෂිරීන් ජින්නා කොළණියේ මුඩුක්කු පෙදෙසක පිහිටි කාන්තා පාසලකට ගියේ එහි සිටින සිසුවියන්ට කතා කිරීමට සහ ඔවුන්ට සිය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ අදහසින්. රෝස පැහැ දුප්තාවකින් සිය හිස ආවරණය කරගත් එම පාසලේ ස්වේච්ඡා පාලිකාවක වූ තර්වීර් කවාජා, රිදී සහ කොළ පැහැ තාරකාවන්ගෙන් සරසා තිබුණු සුවිසල් ශ්‍රවණාගාරයේදී ඔබේඞ් චිනෝයිව පිළිගත්තා. එම ශ්‍රවණාගාරය තුළ දම්පැහැ හිජාබ් ඇඳගත් ගැහැනු ළමෝ මහත් උනන්දුවෙන් කොඳුරමින් පෙළ ගැසී අසුන්ගෙන සිටියා. ඉන් සමහරෙක් අවුරුදු 8ක් තරම් ඉතා කුඩා වයසේ පසුවූ අතර අනෙක් අය තම ද්විතීයික අධ්‍යාපනය හමාර කරන වයසේ පසුවුණා. මෙහි සිටින ගැහැනු ළමයින්ගෙන් බහුතරයක්, ‘ඉතාමත්ම ගතානුගතික පසුබිමක් ඇති අය බව කවාජා චිනෝයිට අනතුරු ඇඟවූවා.

කළු පැහැ සල්වාර් කමිසයකින් සැරසී සිටි ඔබේඞ් චිනෝයිගේ පිටුපසට පීරා තිබූ කළු හිසකෙස් අතරින් පතර සුදු කෙස් ගස් තීරු දක්නට ලැබුණා. පරීක්ෂාකාරී, සැලකිල්ලෙන් යුතුව කතා කරන්න, තම සහචරයාගේ මනෝභාවය දැනගැනීමට අධිකතර පෙළඹවීමක් ඇති සහජ වාර්තාකාරිණියක් වූ ඇය නොසන්සුන් නිහඬතාවන් තුළදී අස්වැසිල්ලක් ගෙනදීමට ඉක්මන් සිනහවකින් සංග්‍රහ කිරීමේ පුරුද්දක් ඇත්තියක්. එමෙන්ම ආත්ම අභිමානයකින් හෙබි අයෙක්. ඉස්ලාමාබාද්හි පැවති සාදයකදී පිරිමි අමුත්තන් පිරිසක් හමුවී වැඩි වේලාවක් ගතවන්නට මත්තෙන් තමා ඔස්කාර් සම්මානයක් දිනාගෙන ඇති බව ඇය ඔවුන්ට කියනු මා දුටුවා. ඉන් සුළු වේලාවකට පසු පාකිස්තානයත් සමග චීනය සිදුකරන ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව පිරිමි දේශපාලනඥයකුගේ අදහසට ඇය අභියෝග කළා. ඒ පිළිබඳව කට තද කරගෙන සිනහවක් නැගූ දේශපාලනඥයා, ගර්වය වෙනුවෙන් සිදුකරන ඝාතන පිළිබඳව තැනුණු ඇගේ චිත්‍රපටය අගමැති කාර්යාලය තුළ ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ඇයට සුබ පැතුවා. ඍණාත්මක කෝණයකින් රටක් පිළිබඳ නිර්මාණයක් කර ලොවට පෙන්වීම ලැජ්ජාවට කරුණක් බව දේශපාලනඥයා තවදුරටත් කියා සිටියා.

තම නිර්මාණ සඳහා මෙවැනි මිශ්‍ර ප්‍රතිචාර ලැබීම ඔබෙඞ් චිනෝයිට හුරු පුරුදු දෙයක්. පාකිස්තානයේ සිටින ඇගේ විචාරකයන් පවසන්නේ ඇය සිය නිර්මාණ තුළින් සාහසිකත්වය තීව්‍ර කරමින් බටහිර ප්‍රේක්ෂකාගාරයේ අගතිගාමී අදහස් තහවුරු කිරීමට කටයුතු කරන බවයි. චිනෝයි පෙන්වා දෙන අන්දමට බහුතරයක් පුරුෂයන් වන මෙම විවේචකයන් ඇත්ත වශයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ කාන්තාවක් වශයෙන් ඇයට ඇති ස්වීය බලයටත් ඇය සිය නිර්මාණ හරහා හෙළිදරව් කරන සමාජය තුළ ඇති නාරි ද්වේෂයටත් විරෝධය පෑමක් ලෙසයි. 1947 පාකිස්තානය වෙනම රාජ්‍යයක් ලෙස පිහිටවූ දිනයේ සිටම එරට සමාජයේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව නොයෙකුත් වාද විවාද පැවතුණා. ජනරජය පිළිබඳව මොහොමඞ් අලිජින්නාගේ දැක්ම සඳහා ආගම සහ දේශපාලනය වෙන් කොට ගැනීම, සෑම පාකිස්තානුවකුටම සමානාත්මතාවයෙන් සැලකීම මෙන්ම බුද්ධිමත්හු පෝෂණය කිරීමද ඇතුළත් වුණා. ඔහු ‘ප්‍රාදේශීයත්වයේ සාපය’ට එරෙහිව නිර්භයව තම අදහස් ප්‍රකාශ කළා. “අපේ ගැහැනුන් නිවසක බිත්ති හතරක් තුළ සිරකරුවන් ලෙස කට පියාගෙන සිටීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” බව ඔහු වරක් ප්‍රකාශ කළා. 1948 වසරේ ජින්නාගේ මරණයෙන් දශකයකට පසුවත්, බලයට පත්වූවන්, විශේෂයෙන්ම 1977 සිට 1988 දක්වා රට පාලනය කළ ජෙනරාල් මුහම්මද් සියා උල් හක් ගතානුගතික ඉස්ලාමීය මතවාදයන් බලාත්මක කිරීම සඳහා කාන්තා අයිතිවාසිකම් සෝදා පාළුවට ලක් කරනු ලැබුවා. බහුතරයක් පාකිස්තානු කාන්තාවන් පාසල්වලට ඇතුළත්ව නීතිය, කලාව, දේශපාලනය යන අංශ තුළින් වෘත්තියක යෙදුණද පාසල් යෑම, වෘත්තියක නියැළීම, විවාහය හා ස්වයං ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔවුන්ගේ තෝරා ගැනීම් පාලනය කළ මුල්බැසගිය පුරුෂාධිපත්‍යයකටද ඔවුන්ට මුහුණදීමට සිදුවෙනවා. ඒ අතර දිළිඳු ගැහැනුන්ට ඉතා අඩු නිදහසක් පවතිනවා. පාකිස්තානයේ ගැහැනුන්ගෙන් අඩකටත් වඩා නූගත් අය වන අතර ඉන් බහුතරයක් ගෘහස්ත හිංසනයෙන් පීඩා විඳිනවා. ඔවුන්ට තම නීත්‍යනුකූල අයිතිවාසිකම් පවත්වාගෙන යෑමට මෙන්ම යම් හෙයකින් දූෂණයකට ලක්වීමෙන් හෝ දික්කසාදවීමෙන් සිය පවුල්වලට අගෞරවයක් ගෙන එන්නේය යන චෝදනාවට එරෙහිව සටන් කිරීමට සිදුවී තිබෙනවා.

ඔබේඞ් චිනෝයි තම නිර්මාණය තුළින් ගැහැනුන්ගේ ජීවිත නිර්වචනය කිරීමට පිරිමින්ට ඇති බලයට එරෙහිව සටන් කරනවා.
‘අප දේශයේ දියණිය’ ලෙස පාසල් පාළිකාව ‘කවාජා, චිනෝයිව සභාවට හඳුන්වාදෙද්දී දීප්තිමත් සිනහවකින් මුව සරසා ගනිමින් ඇය වේදිකාවට ගොඩවුණා. “මට අවුරුදු 21දී මගේ පළමුවැනි චිත්‍රපටය නිර්මාණය කළා. අලි ජින්නාගේ දැක්ම ඉදිරියට ගෙනයෑමට මට නිතරම වුවමනා වුණා යැයි ඇය පැවසුවා. “මෙතන ඉන්න කවුරුහරි දන්නවද ඔහු ගැහැනුන් ගැන මොනවද කිව්වේ කියලා?” ප්‍රේක්ෂකාගාරයෙන් ඝෝෂාවක් ඇසුණා. “හරියට හරි. ගැහැනුන් නැතිව පාකිස්තානයට ඉදිරියට යන්න බැහැ. කාටහරි මට කියන්න පුළුවන්ද, පාකිස්තානයේ ඉන්න ගැහැනු කෙනකුට මොනවද කරන්න පුළුවන් කියලා? ඇයට අගමැති කෙනෙක් වෙන්න පුළුවන්ද?” ගැහැනු ළමයි එය තහවුරු කරමින් හඬ නැගුවා.
“ඇයට වෛද්‍යවරියක් වීමට හැකිද? ඔව්. නීතිඥවරියක් වීමට පුළුවන්ද? ඔව් දේශපාලනඥයකුවීමට හැකිද? ඔව්. එහෙනම් පාකිස්තානයේ ගැහැනු කෙනකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නේද? ඔව්. හොඳයි ඔයගොල්ලො ලොකු වුණාම මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?” තමාට වෛද්‍යවරියකවීමට අවශ්‍ය බව ගැහැනු ළමයකු කියා සිටියා.
“බොහොම හොඳයි, ඔබ ඔබවත් අනෙක් අයවත් සුවපත් කරාවි.” ඔබේඞ් චිනෝයි පැවසුවා.

“අනෙක් අය මොනවද කියන්නේ? කාටවත් නීතිඥයකු වෙන්න අවශ්‍ය නැද්ද? කවුරුවත් කැමති නැද්ද ව්‍යාපාර ක්ෂේත්‍රයකට යොමුවෙන්න?” ගැහැනු ළමෝ අපහසුතාවයෙන් දඟලමින් මුකුළුපානු පෙනුණා.“මැඩම්, ඔන්න ඔයාට වෛද්‍යවරු දෙසීයක් මෙතන වාඩිවෙලා ඉන්නවා” පාසල් පාළිකාව කවාජා අමතමින් ඇය කීවාය.
ඔබේඞ් චිනෝයිගේ වාර්තා චිත්‍රපට තුළ ළමා ලිංගික අපචාර සහ දූෂණය කිරීම් ආදී දුෂ්කර ගැටලු ආමන්ත්‍රණය කිරීමත් සමාජ ප්‍රගමනයට කටයුතු කරන පුද්ගලයන් විෂය කරගැනීමක් දක්නට ලැබෙනවා. ඇබ්බැහිවීමට ලක්වූවන් වෙනුවෙන් සායනයක් පවත්වාගෙන යන කාන්තා වෛද්‍යවරියක්, ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන තරුණයකු ඒ අතර වනවා. පාකිස්තාන රූපවාහිනිය වෙනුවෙන් ඇය නිපදවූ වැඩසටහන් තුළින් ඇගේ නිර්මාණවල උපදේශාත්මක ස්වභාවය ප්‍රකට වෙනවා. චිනෝයිට ජාත්‍යන්තර අරමුදල් හිමිකරදුන්, පාකිස්තානයෙන් පිටත ඇය ප්‍රසිද්ධියට පත්වී ඇති චිත්‍රපට බොහොමයක් පෞද්ගලික කතා වස්තුවක් පදනමක් කරගත් ආත්මීය ප්‍රකාශන වේ. කලාතුරකින් ඇය මෙම වැඩසටහන් පාකිස්තාන ටෙලිවිෂනය හරහා විකාශය වීම වැළැක්වීමට කටයුතු කරන්නේ ඒ සඳහා පෙනී සිටි අයට ඒ හරහා එල්ල විය හැකි පළිගැනීම්වලින් ඔවුන් මුදවා ගැනීමේ අදහසිනි. “මේ වගේ වාර්තා චිත්‍රපට නැරඹීමේ සංස්කෘතියක් අපේ රට තුළ නැහැ. මගේ චිත්‍රපටවලට පමණක් නොවේ, අන් කවරකුගේ නිර්මාණවලට වුවත් එය පොදු දෙයක්.” චිනෝයි පැවසුවා.

ප්‍රේක්ෂකයන්ගෙන් කුමන වර්ගයකට අයත් පිරිසක් නිර්මාණයක් අවසාන වනතුරු අසුන්ගෙන හිඳීද යන්න පිළිබඳව දැනුවත්භාවයක් ඇයට තිබෙනවා. තවද ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම හා ඔවුන්ට බාධා කිරීම යන ද්විත්වයේ සමතුලිතතාව පවත්වා ගැනීම පිළිබඳවද ඇය ගැඹුරින් සිතයි. මේ සවස්වරුවේ ඇය උත්සාහ කරන්නේ සිසුන් තුළ යම් උද්ගාමක හැඟීමක් ඇති කිරීමටයි. “ගැහැනු ළමයින්ට මුදුන් පමුණුවා ගත හැකි දේ මොනවාද?”

මේ අද ඇය ප්‍රේක්ෂකාගාරය තුළින් මතුකර ගැනීමට බලාපොරොත්තු වන ප්‍රශ්නයයි. මෙහිදී ඇය සිසුවියන් වෙනුවෙන් චිත්‍රපට ද්විත්වයක් ප්‍රදර්ශනය කළා. ඉන් එකක් ගැහැනු ළමයින්ගේ බොක්සිං සමාජයක් ගැනත්, අනෙක නෞෂරාවේ විශිෂ්ට කොමාන්ඩෝවරුන් ගැන කියවෙන කාන්තා ත්‍රස්ත විරෝධී බලකායක් පිළිබඳවයි. බොක්සිංකාරියන්ට ජයඝෝෂා කරමින්ද, හිජාබ් සහ යුද සන්නාහ ඇඳගත් රොකට්ටු දියත්කරණයක් බලගැන්වීම සඳහා පුහුණුවෙමින් සිටි කොමාන්ඩෝවරුන්ට අත්පොළසන් දෙමින්ද ගැහැනු ළමෝ චිත්‍රපටය තුළ නිමග්නව සිටිනු දක්නට ලැබුණා.

“මේ දේවල්වලට සහභාගි වෙද්දී මම කෙතරම් සැලකිලිමත් විය යුතුදැයි ඔබට පෙනෙනවාද? මෙය හරියටම සූක්ෂ්ම නර්තනයක් වගේ. සමහර ගැහැනු ළමයින්ට බරපතළ ලෙස බුද්ධි ශෝධනයක් අවශ්‍යයි. ඔවුන්ට ජීවිතයේ දුක්ඛිතභාවය පෙන්වා දීමට මට අවශ්‍ය වුණේ නැහැ. එය ඔවුන් දැනටමත් තම ජීවිතය තුළ අත්දැක තිබෙනවා.”