අර්ජුන – තිලංග පගා වාදය

ටිරන් කුමාර බංගගමආරච්චි

ඕනෑම තක්කඩියකුට තමා සුදනකු බව පෙන්වීමට අවශ්‍ය වන්නේ මාධ්‍ය ස්වල්පයක් පමණි. මේ දිනවල එවැනි සුදනන් මාධ්‍ය හරහා ඇති පදම් දැකගත හැකිය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ අංක එකේ තක්කඩි රංගනය ඉදිරිපත් කරනුයේ තිලංග සුමතිපාලය. තිලංග සුමතිපාල මෑතකදී ලොකු හෙළිදරව්වක් කළේය. ඒ මුදලට තරග පාවා දුන් බවට පළමු වතාවට ලංකා ඉතිහාසයේ නම් සඳහන් වන්නේ අර්ජුන රණතුංග හා අරවින්ද සිල්වාගේ බව මාධ්‍යයට හෙළිදරව් කරමිනි. මෙහි ඇති අපූරුව නම් මේ එදා අගවිනිසුරු සරත්නන්ද සිල්වා තමන්ට මහින්ද රාජපක්ෂ හිරේ යවන්නට තිබූ අවස්ථාව තමා මගහැරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලනවා යැයි කී පන්නයේම කතාවකි.
තිලංග යම් පමණකට එය වෙනස් කොට කීවේ මෙබඳු ආකාරයටය.

“අරවින්ද හා අර්ජුන ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපට වාර්තාවක් එවලා තිබුණා. ඒ වෙලාවේ පරීක්ෂණ කරලා දඬුවම් කළේ නැතැයි කියලා මුළු ලංකාවම මට බණිනවා.”

මේ තිලංග සුමතිපාල කියන කතාවයි. තිලංගට සැබැවින්ම ජනතාව බැණ වදිනවාද? මුළු ජනතාවම මේ ප්‍රශ්නය ගැන හිතමින් රාත්‍රියේ නින්දට යන්නේද? අංක එකේ තක්කඩියකුට මෙවැනි සුරංගනා කතා ඕනෑතරම් කිව හැකිය. එහෙත් ඒවා තකන්නේ කවුද?

අපට අර්ජුන රණතුංගද සුදනකු නොවේ. එහෙත් මේ මොහොතේ තිලංගගේ රංගනය ඊට වඩා හිරිකිත, තුච්ඡ රංගනයක් බව කිව යුතුය. තමන් එකට ඉන්න කල නොකළ පසුව කල්ගොස් තරහා ඉහවහා ගිය කල වැමෑරීම දනවනුයේ පිළිකුළක්මය. එසේ නම් ජනතාව බැණ වැදිය යුත්තේ එකල මේවා යට ගැසූ මෙවැනි තක්කඩින් තවදුරටත් ක්‍රිකට්වල රඳවා ගන්නේ ඇයිද? කියා මේ ආණ්ඩුවටය.

අර්ජුනගේ දේශපාලන ගමනේ සුජාතභාවය ගැන ප්‍රශ්න කරන තිලංග මෙතෙක් ආ දේශපාලන ගමන පිරිසිදුද? ඔහු පක්ෂ මාරු කොට නැත්ද? පක්ෂ කඩන්නට යටිකූට්ටු ගේම් ගසා නැද්ද? අඩුම තරමෙන් ජනතා ඡන්ද ලබාගැනීමට නොහැකිව පරාජය වී ජනතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුත් දේශපාලනයට එන්න විලි ලැජ්ජාවක් නැද්ද? මේ ලෙස හෙළුවෙන් දඟලන මහත්වරු අනෙක් අයට ‘හූ’ කියන්නේ ඇයි?

යහපාලන ආණ්ඩුව තුළත් අංක එකේ ඩීල්කාරයකු වන මේ මහත්මයා ක්‍රිකට් පුටුව රැක ගැනීමට නොකරනා දෙයක් නැත. මොන දේ කර හෝ රාජපක්ෂලාගෙන් තමන්ට නොලැබුණු ක්‍රිකට් පුටුව නැවත යහපාලනය හරහා ලබාගැනීමට තිලංගට හැකිවිය. දැන් ජනපතිගේ සිට එන එන ක්‍රීඩා ඇමතිවරු ඔහුගේ රූකඩ වී ඇත. දයාසිරි මෙන්ම ෆයිසර් මුස්තාපාද තිලංගගේ රූකඩය. මොවුන් දෙදෙනා නටනුයේ තිලංග අදින නූලටය. මෙය ජනපති පුටුවෙන්ම එන නියෝගයකි. ක්‍රීඩා අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමති ධුරයක් ලෙස රඳවා තබාගන්නේ ක්‍රිකට් පුටුව තිලංගට දෙන්නටමය. කුඩුකේඩු දේශපාලනයේ බොහෝ වැඩ කරගැනීමට තිලංග වැනි කපටියන් අවශ්‍යය. තිලංගට ඕනෑ මොන දේ හෝ කර ක්‍රිකට් සභාපතිකම ගන්නටය.

ක්‍රිකට් නිලවරණය ආසන්න වන විට තිලංගට එරෙහිව එන චෝදනා එමටය. අවසානයේ ඒ චෝදනා යට ගසනුයේ ඒවා බොරු නිසා නොව ඒවා දේශපාලනිකව යට ගසන නිසාය.
මෑත කාලයේ මෙරට ක්‍රිකට් පරිපාලනය යනු පාතාල ගණයේ ක්‍රියාවලියක් බවට පත්වී ඇත. එය පාතාලයේවුන්ගේ රජදහනක් වී ඇත. (මෙහිදී පාතාලය යන්න පුළුල් ලෙස ගනු මැන.) මෙහි ගෝඞ් ෆාදර් තිලංගය. ඔහු මේ ක්‍රිකට් පුටුවට කිසිවකුට එන්නට දෙන්නේ නැත. ජනපති තරග කළද ඔහු ක්‍රිකට් නිලවරණය දිනන බව ඔහුම කියන පුරසාරමකි. පුරසාරම් ඇදබෑමේ සමතකු වන තිලංග අර්ජුන සිතනවා යැයි කියමින් තමන් බොහොම දක්ෂ, හැකියාව තියෙන, උගත්, බුද්ධිමත් ප්‍රබල කෙනෙක් හැටියට හඳුන්වා ගනියි. තව කෙනෙක් හිතනවා යැයි කියමින් තමා ගැන මහා ඉහළින් වැනීම විලිලැජ්ජා නැති වැඩකි. එයින් ගම්‍යවන්නේ තිලංගගේ ළාමක මානසිකත්වයේ තරමය.
අර්ජුන පවසන ආකාරයට ඔවුන් දෙපළට මේ චෝදනාව එල්ල වී ඇත්තේ 1994 වසරේ ලක්නව් තරගයකදීය. එම චෝදනාව විභාග කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ඩෙස්මන් ප්‍රනාන්දු නම් පුද්ගලයකු පත්කර ඇති අතර ඔහු කළ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තමාවත් අරවින්දවත් නිදොස් කොට නිදහස් කළ බවය.

1994 වසරේ පැන නගින සිද්ධියකට මේ වන විට වසර 24ක් ගෙවී ගොස් ඇත. තිලංගගේ ක්‍රිකට් පරිපාලන ජීවිතයත් දැන් වසර පහළොව ඉක්මවනවා නියතය. එසේ නම් අවුරුදු 24 යන තෙක් තිලංග බුදියගෙන සිටියාද? අද තිලංග ඔය තනතුරේ ඉන්නේද අර්ජුන නිසාමය. අර්ජුන සිතුවේ තිලංග බලයට ගෙනවිත් තමන්ට ඕනෑ ලෙස වැඩ කරන්නටය. එහෙත් තිලංග ඊට වඩා කපටියකු විය. ඔහු ක්‍රිකට් විධායක තනතුරක් ඉහළ වැටුපකට ඇති කොට ධම්මික රණතුංග එහි පිහිටුවා ඒ සියල්ල භාවිත කළේ රණතුංගලා නැති භංග කරන්නටය. අවසානයේ සිදුවූයේද එයමය. ක්‍රිකට් පුටුවේ මහා ආනිසංස ඇති බව නොරහසකි. එයට ව්‍යාපාරිකයන් පොරකන අයුරින්ම පැහැදිලිය. ඒ පොරකෑමේ ශූරයා තිලංගය. තිලංගගෙන් මේ පුටුව ගැනීම පහසු නැත. එහි වසා සිටින පිසාචයා බවට ඔහු පත්වී ඇත. ඡන්දයෙන් තමා පරදා එන ලෙසට ඔහුට ලොකු කතා කිව හැකිය. ඔහු පැරදවිය නොහැකි බව ඔහු නොව අපද දනිමු. එහෙත් ඔහුට ක්‍රිකට් මෙන් ජනතා ඡන්දයත් ඔය විජ්ජාව පෙන්නා ලබාගත නොහැක්කේ ඇයි? ජනතා ඡන්දයෙන් පැරදී ඔහු පාර්ලිමේන්තු එන්නේ කෙසේද? ජනපති මෛත්‍රීපාල කළ අසික්කිතම වැඬේ නම් ජනතා ඡන්දයෙන් පරාජය වූවන් නැවත පාර්ලිමේන්තුවට ගැනීමය. එහි පව අද ජනතාව විඳිති. ඔහුත් විඳින්නේය.
මෙරට ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතුය. මෙය තිලංගගේ බූදලයක් නොවන බව කිව යුතුය. එහෙත් දැනට ඇති ක්‍රමවේදයට අනුව ඔහු නොව ඔහුගේ ගෙදර මෙහෙකරු දැම්මද ඔහුද සභාපති වන ආකාරයට සියල්ල නිර්මාණය වී ඇත. මේ තත්ත්වය වෙනස් කළ නොහැකි තැනට වර්ධනය වී ඇත්තේ ජනපති මේ හොර ගමනට ආශිර්වාද කරන නිසාය. දයාසිරි කළ රංගනයේ ඉතිරි කොටස දැන් ෆයිසර් රඟදක්වමින් සිටී. මේ දෙපළම තිලංගගේ රූකඩය. අද ඒ තරමට තිලංග කෙරුමෙක් වී ඇත. තිලංගට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් අනෙක් අයට සාපේක්ෂව දැනුමක් ඇති බවද කිව යුතුය. එහෙත් එය ක්‍රිකට් අභිවෘද්ධියට වඩා විනාශයට අද වනවිට බලපා ඇත. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන දක්ෂයන් මේ ගොහොරු මඬේ එරෙන්නට එන්නට කැමති නැත.

අද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානියා වුවත් එහි තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවන්නේ තවමත් තිලංගය. තිලංග නොබෝදා දඹුල්ල පැවති අප්‍රිකා පළමු එක්දින තරගයට පෙර තණ තිල්ල පරීක්ෂා කරන ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබුණි. එතරම් හයිකාරකමක් ඔහුට කොයින්ද? ඒ ඔහු අදටත් මෙම පරිපාලන ව්‍යුහයේ ලොක්කාය. මේ බව ක්‍රීඩා ඇමති නොදන්නවා නොවේ. මේ ඔවුන් සියලුදෙනා එක්ව කරන නාටකයකි. තිලංග දේශපාලනයේ බොහෝ අය තම ඔඩොක්කුවට දමාගෙන ඇත්තේ මේ ක්‍රීඩා සමාජ අල්ලාගෙන ඇති ආකාරයටමය. අද ක්‍රීඩා සමාජවල අය තිලංගට අකමැති වුවද ඔහුව ප්‍රතික්ෂේප කළ නොහැකි තැනට තල්ලු වී ඇත. ඒ ඔවුහු තිලංගගේ ඇම ගිල ඇති බැවිනි. දේශපාලනයේද එලෙස ඇම ගිල්ල පිරිසක් ඔහු වටා සිටිති. මේ නිසා ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු හයියක් ඇත. ජනපති ඔහු නියෝජ්‍ය කතානායක කරන්නේද එබැවිනි.
අර්ජුනට දේශපාලන ප්‍රතිපත්තියක් නැතැයි කියන තිලංගද දේශපාලන ප්‍රතිපත්තියක් ඇත්තකු නොවේ. ඔහුටත් ඕන අතකට කරණම් ගැසීමේ හැකියාව ඇත. මේ බල්ටිකාරයෝ ක්‍රිකට් පමණක් නොව දේශපාලනයද විකෘති කළෝය.

අර්ජුන තරග පාවා දුන්නා යැයි කියන පිළුණු කතාව දශක දෙකක් ඉක්ම වී හෝ නැවත කරළියට ගත්තේ තිලංග ඉඳුල් කෑමට දක්ෂයකු බැවිනි. ඉඳුල් කෑමට දක්ෂ කවුද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

මේ අද කුළල් කාගන්නා අය කලක් ගජමිතුරෝය. අර්ජුනට එරෙහිව අරවින්දවද කලක් තිලංග යොදා ගත්තේය. අද තමන් අතහැර යන කල ඒ අයගේ පරණ පෙට්ටගම් ඇද පුස්කොළ පොත්වල ඇති දෑ වුව එළියට ගෙන පහර දෙන තැනට ඔහු තල්ලු වී ඇත. මේ වියරුව කුමක් සඳහාද?

අර්ජුන රණතුංග බලාගෙන සිටිනුයේද මේ ක්‍රිකට් පුටුව තමන්ට ගන්නටය. ඔහු පැය 24ම හිතන්නේ එයය. ඔහු ඒ වෙනුවෙන් නොකරන දෙයක්, නොකියන දෙයක් නැත. තිලංග අවුරුදු 24ක් පැරණි සිද්ධියක් වුව ගෙන අර්ජුනට ගසන්නේ අර්ජුනගේ ආශාවට වඩා ඔහුට ඇති ආශාව විශාල බැවිනි.

මේ රස රහස දැනගත් මහින්ද රාජපක්ෂ කළේ ක්‍රිකට් පුටුව අතුරු කමිටු ලේබලයක් අලවා විකිණීමය. ඒ අනුව ජයන්ත ධර්මදාසට එහි ඉඳගැනීමේ පින පෑදුණි. ගියවර තිලංග ගන්න වැඩ කළ ඔහු අද අර්ජුන පසුපස තිලංගට විරුද්ධව යන්නේය. මේ සියල්ල දකින තිලංග අර්ජුනගේ නම විනාශ කිරීමට තරග පාවාදීමක් කරළියට ඇදගෙන ඇත. එහෙත් මේ කතාව සෑහෙන පරණය. පරණ කුණු ගොඩවල් අදින තිලංගට ඒ හරහා ලැබෙන කසළාස්වාදය මෙරට ජනතාවට ලැබෙතැයි සිතිය නොහැකිය. මේ වාද වුව හිරිකිතය. අර්ජුන තිලංග පගාවාදය ඒ අයටම ගසා කන්නට ඉඩදී බලා සිටිය වුව නොහැක්කේ එය ඒ තරමට හිරිකිත බැවිනි. මෙහිදී කිවයුත්තේ තිලංග මේ පගා කතාව හරහා නම් අසූචි නාගත් බවය. පරණ කතා නොඇදීම ගැන පව් සමා කරන්නට ගොස් ඔහු හත්පොළේම ගා ගත්තේය. එහි ගඳ ලක්බිමටම දැනෙන බව කිව යුතුය. යහපාලනයෙන් ක්‍රිකට් පුටුව තිලංග සතු බව සහතිකය. එහෙත් තව වසර එකහමාරකට පසු කුමක් වේද? යහපාලනය අතුගෑවෙන කල තිලංගට කුමක් මේද? එවිටත් තිලංග සිටිය හැකිය. මන්ද ඔහුටද දේශපාලන ප්‍රතිපත්තියක් නැති බැවිනි. එක් අතකට අද දේශපාලන ප්‍රතිපත්ති ඇත්තේ කාටද? තිලංගට එවැනි සුජාත චරිත පෙන්විය හැකිද? තිලංග කීවේ අර්ජුන දේශපාලන අහිකුණ්ඨිකයෙක් බවය. සැවොම දේශපාලන අහිකුණ්ඨිකයන් බව තිලංග සිහි තබාගත යුතුය. අර්ජුන මෙන්ම තිලංගද ඒ රැහේම බව මතක් කරමු.