රාවය

සමාජ අවනතිය ගැන මහජන මතය

සමාජ අවනතිය ගැන මහජන මතය

දිනී ජයසේකර

ඔවුහු සාමූහික කතාබහක නියැලුණහ. ඒ පුරවැසියෙක් ලෙස තමන් මුහුණ දෙන දේශපාලන, ආර්ථික ප්‍රශ්න පිළිබඳවය. තත් සමාජ අවනතිය ගැන මේ මහජන මතය කෙබඳුදැයි බලන්න.

ආණ්ඩුවෙ සේරම හොරු
කුරුප්පු

“හතර පෝයටම සිල් අරගෙන වගේ හිටියට ආණ්ඩුවෙ සීයට සීයක්ම ඉන්නෙ හොරු, තක්කඩි, මංකොල්ලකාරයො. අපි හම්බ කරන සල්ලි වලින් එයාල හොඳට රජකම් කරනවා. අපි මොනවා හරි පුංචි වරදක් කළොත් දාහත් අවුරුද්දක් හිරේ විලංගුවෙ දානවා. ඒත් රටේම සල්ලි වංචා කරපු එවුන් සේරම එළියෙ සුර සැප විඳිනවා. මේ හොරු අල්ලනව කියල බලයට පත්වෙච්ච ඈයො ඒ අයටම උදව් කරගෙන ඉන්නවා. මේවා කාට කියන්නද ඉතිං. අපි කට වහගෙන බලාගෙන ඉන්නවා. මොකද වෙන්නෙ කියලා. වෙන දේකට හා.. හුම්.. කියනව ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ ඇත්තටම. එහෙම බලද්දි අපිට මේ කවුරුත් වැඩක් නැහැ. අපි හම්බකර ගත්තොත් අපි කනවා. එච්චරයි.
හැමතැනම ස්ට්‍රයික්. කවදාකවත් අපි ඉස්කෝල යන කාලේ ඉස්කෝලවල ගුරුවරු වර්ජනේ කරල නැහැ. ඒත් දැන් ගුරුවරුත් වර්ජනේ. දරුවන්ගෙ අනාගතේ ගැනත් අපිට දැන් මහ බයක් තියෙන්නේ. ලංකාව කියන්නෙ අපිට ඉන්න සුදුසු රටක් නෙවේ කියලත් හිතෙනවා. එහෙමයි කියල වෙන රටකට යන්න සල්ලිත් නැහැනෙ අපිට. එදා වේල පිරිමහගන්නෙත් හරි අමාරුවෙන්. ඉතිං කොයි යන්නද අපි? දරුවන්ට කොහොම හරි හොඳට උගන්වලා උන්ට කියනවා වෙන රටකට යන්න කියලා. අපේ කාලේ ඉවරයිනෙ දැන්. අපේම ඡන්දෙ නිසා අපි දැන් දුක් විඳිනවා. අපේ වැරදි මේවා හොයන්නෙ බලන් නැතිව ඡන්දෙ දුන්නට.”

බඩු මිල අහස උසට
හලීල් රහුමාන් / දයාවතී / හේමා

“මේ ආණ්ඩුව ආවත් හරි අපේ බිස්නස් පහළටම වැටුණා. මම මේ රස්සාව කරන්න අරන් දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. කලින් රුපියල් පන්දාහක විතර බිස්නස් එකක් තිබ්බා දවසකට. ඒත් දැන් දවසකට දාහකවත් බිස්නස් නැහැ. මෙතන ඉන්න තැනට රුපියල් දෙසිය පනහක් ගෙවන්න ඕන. ඒ ගෙවලා අපේ උදේ කෑම දවල් කෑමට වියදම ඇරල ගෙදර යද්දි බිරිඳවයි දරුවායි ජීවත් කරවන්න ඕන ඉතුරු මුදලින්. මගේ දරුව ඉගෙන ගන්නවා. එයාගෙ කෝස් එකට මාසෙට පහළොස්දාහක් ගෙවන්න ඕන. ඉතිං ඒකට ගෙවන්නෙත් මේ රස්සාවෙන්. එහෙම බලද්දි අපිට ඉතුරුවක් නැහැ, අනාගතේ වෙනුවෙන් කියලා. මේ හැම දෙයක්ම කරන්නෙ කොහොමද මේ හම්බෙන සොච්චමෙන් කියල හිතෙනවා.
මධ්‍යම පාන්තික මිනිස්සු කන බොන එකත් ඉස්සරහට සීමා කරයි. එළවළු වර්ග ගිනි ගණන්. තක්කාලි කිලෝව අද තිබ්බ ගාණ නෙවේ හෙට තියෙන්නේ. මැජික් වගේ හරියට. රෑට නිදියද්දි එක ගාණක්. උදේට නැගිටිද්දි තවත් ගාණක්.”

“මම එළවළු ලෑල්ලක් කරන්නේ. මම එන්නෙ නිට්ටඹුවෙ ඉඳලා. බස් එකට යන්න විතරක් රුපියල් හැටඅටක් ගන්නවා. ඉස්සර ගත්තෙ රුපියල් හැටයි. බස් ගාස්තු වැඩි කළාට පස්සෙ හැට අටක් වුණා. යන්නයි එන්නයි දෙකටම එකසිය තිස්හයක් යනවා. ඒ කරල උදේටයි දවල්ටයි කාපුවම ගෙදර ගෙනියන්න කීයක්වත් ඉතිරි වෙන්නෙ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට දවල්ට එහෙම කන්නෙ නැහැ. ප්ලේන්ටියක් බීල ඉන්නවා. ප්ලේන්ටියත් දැන් කීයක්ද? අපි ඉස්සර රුපියල් දාහක් අරන් ගියාම ගෙදරට අවශ්‍ය තුනපහ, එළවළු, රසකැවිලි වගේ සේරම බඩු අරගෙන එනවා. ඒත් දැන් රුපියල් දාහකට එළවළු ටික විතරයි ගන්න පුළුවන් වෙන්නේ. මේ හැම දෙයක්ම තව ඉස්සරහටත් මෙහෙම ගණන් ගියොත් අපිට වෙන්නෙ හිඟා කන්න.”

“මම පොළේ ගඩුගුඩා විකුණනවා. ඇත්තටම ගඩුගුඩා හැදෙන කාලෙට විතරයි මම පොළට එන්නේ. හරි අමාරුයි ජීවත් වෙන්න. බඩු මිල අහස උසට. මට දරුවො ඉන්නවා. එයාලත් හම්බ කරනවා. ඒත් ජීවත් වෙන්න මදි ඒ මුදල්. බඩු ගන්න ගාණට වඩා කීයක් හරි අඩු කරලම තමයි ගන්න බලන්නෙ කවුරුත්. මොකද මාත් එහෙමයි. ඒ තරම්ම බඩු මිල, බස් වියදම් වැඩියි. සාමාන්‍ය අපිට ඒ බර දරන්න අමාරුයි. අපි කැමති ලංකාව දියුණු වෙනවනම්. ඒත් කෝ දියුණු කරනවා කියල හැමෝම කියනවා. කිසි දියුණුවක් නැහැ. අපි කට ඇරන් බලන් ඉන්නවා.”

“මම අවුරුදු ගාණක් තිස්සේ මේ ටිකට් කවුන්ටරේ ඉන්නේ. මගෙ පවුලෙ හත්දෙනෙක් ඉන්නවා. ඒ සේරම ජීවත් වෙන්නේ ටිකට් එකක් විකුණලා ගන්න කොමිස් එකෙන්. සමහර දවස්වලට කොමිස් එකත් නැතිවෙන අවස්ථාත් තියෙනවා.

ඇත්තටම ඉස්සරනම් මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවන්ට අමතරව ටිකට් එකක් අනිවාර්යෙන් ගන්න පුරුදු වෙලා හිටියා. ඒත් මේ ආණ්ඩුව ආවත් හරි දැන් දවසට ටිකට් 10ක් 20ක් විකුණ ගන්නෙත් හරි අමාරුවෙන්. මේ සේරටම බඩු මිල ඉහළ යාම තමයි ප්‍රශ්නේ. අනික දැන් ටිකට් ඇදෙන් නැහැ කියල මිනිස්සු කියනවා. පවතින රජය විසින් ඒවත් වංචා කරනව කියල තමයි කියන්නෙ මිනිස්සු. කලින් ආණ්ඩුව ඉන්න කාලෙ නම් මිනිස්සු ටිකක් ඔළුව උස්සල හිටියා. මේ ආණ්ඩුව ආව විතරයි ගොඩක් මිනිස්සු කායිකව වගේම මානසිකවත් වැටිලා ඉන්නෙ ප්‍රශ්න ගැන කල්පනා කරලම.”

මේ රට හැමතැනටම ණයයි
රවී ශාස්ත්‍රා / කපිල ඩී

“ඇත්තටම අපි ඡන්දෙ දාපු අයගෙ වැරදි නිසයි මේවා සිද්ධ වුණේ. අපි පසුතැවෙනවා ඒකට. ඒ කාලේ මහින්ද මහත්තයා පාරවල් කාපට් කරල හැදුවා. පාලම් හැදුවා. හයිවේ හැදුවා. එයාල ඒ සේරම එයාලගෙ වාසියට තමා කරල ගියේ. ජනතාව මුලා කරන්න. ඇත්තටම අපිත් මුලා වුණා කීවොත් හරි. මොකද ඒ සේරම හදල තියෙන්නේ පිටරටවලින් ණය අරන්. අපි දැන් මොකද කරන්නේ, ඒ ණය ගෙවනව දුක් විඳ විඳ. අපි මේ හම්බ කරන රුපියලේ ඉඳන් සේරම යන්නෙ ආණ්ඩුවට. ඒක තමා මේ බඩු මිල මෙහෙම වැඩිකරල තියෙන්නෙ. අපි තමා ඉස්සරලම වරද්දගත්තෙ. දැන් මේක කාටවත් ගොඩගන්න පුළුවන් කියල හිතන්න බැහැ. අපිට තිබ්බෙ ඡන්දෙ දානකොට කල්පනා කරල දාන්න. එහෙම දැම්ම නම් අද අපි ලස්සනට ජීවත් වෙනවා කාටවත් ණය නොවී. ණය ගත්තත් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නහම මේ හැමෝටම බලපානවා. අන්තිමට ඒ ණය බර කාටත් උහුලන් ඉන්න බැරි වෙනවා.”

“මේ ආණ්ඩුව නෙවේ මොන ආණ්ඩුව ආවත් දුක් විඳින එක අපි දුක් විඳිනවා. කොච්චර අපි හම්බ කෙරුවත් ඒවට වෙන දෙයක් නැහැ. ගෙදරට ගියොත් නිකන් යන්නෙ. කඬේට ගියාම සේරම සල්ලි ටික ඉවර වෙනවා. බඩු මිල ගණන් යවල අපේ පොකට් එකට තට්ටු කරල ආණ්ඩුව රට රටවල් වලට ණය ගෙවනවා. මේ අපි ගත්ත ණය වගේ හරියට. පාරවල් හැදුව තමයි. හයිවේ හැදුවා. ඒත් මෙච්චර ණය අරන් තියෙන්නෙ ඇයි කියල හිතාගන්න බැහැ.

ආයෙමත් සුනාමියක් එන්න ඕනෙ

ලාල්

“සුනාමියක් ඇවිත් ඉස්සරම පාර්ලිමේන්තුව යටවෙලා දෙවෙනියට අපි හැමෝම යටවෙලා යන්න ඕනෙ. කොහොම හරි ලංකාව තිබ්බ තැනවත් හොයාගන්න බැරිවෙන්න යටවෙලා යන්න ඕනේ. මොකද ලංකාව කියන්නෙ දැන් ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවේ. පුළුවන් කමක් තිබ්බනම් ඇත්තටම අපි වෙන රටකට යනවා. ඒ තරම්ම මේ ආණ්ඩුව නිසා ලංකාව අප්පිරිය වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි හිටපු ආණ්ඩුවත් එසේමයි. ඇත්තටම අපි දැන් විශ්වාස කරන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි. මොකද මේ කවුරු ආවත් කරන දෙයක් නැහැ. පාර්ලිමේන්තුවක් කියල එකක් තියෙනවා. ඒකෙ අය මරාගන්න විතරයි දන්නේ. එක එක අණ පනත් සංශෝධන නම් ගේනවා. හැබැයි මේ එකකින්වත් රටට වැඩක් වෙලා තියෙනවා කියල මම හිතන් නැහැ.

අලුත් පක්ෂයක් රටට අවශ්‍යයි
කපිල ඩී / රසික

“මේ ආණ්ඩුව දැන් සුදුසු නැහැ ලංකාව පාලනේ කරන්න. අපිට අලුතෙන් කවුරු හරි ඕනේ. මේ ඡන්දවලට ඉදිරිපත් නොවුණු අය අවශ්‍යයි. අපි ඊළඟ පාර ඡන්දෙ පාවිච්චි කරන්නෙ අලුත් පක්ෂයකට. මොකද මේ හැමෝම ඔප්පු කරල තියෙනවා එයාලට රට පාලනේ කරන්න බැහැ කියලා. ඒක අපිටත් පේන්නම තියෙනවානේ. ඉතිං අපි කාගෙත් යෝජනාව අලුත් පක්ෂයක උවමනාව දැන් රටට තියෙන්නෙ කියලා. අපිට නම් ආයේ මේ ආණ්ඩුවවත් හිටපු ආණ්ඩුවවත් එපා කියල තමයි කියන්න තියෙන්නේ.
මේ ප්‍රශ්න උගුල්ලල දාල නිදහසේ හුස්ම ගන්න දවසක් ඒවි කියලා ලකුණක් පේනතෙක් මානෙකවත් නැහැ කියල අපි දන්නවා. ඒ නිසා අපිට අලුත් හුස්මක් ඕනෙ කරනවා. මම හිතනවා 2020ට අපි බලාපොරොත්තු වෙන අලුත් හුස්මක් ඉදිරියට එයි කියලා. අපි දැන් ඒ බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා.”