රාවය

ඇමති රාජිතට, යෝජනාවක්

ඇමති රාජිතට, යෝජනාවක්

උපාලි කොළඹගේ

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මේ දිනවල ජනතාව තුළ ඇත්තේ දැඩි අවධානයකි. මෙය අතීතයේ සිට පැවතෙන්නක් වුවද වර්තමානය වනවිට සෞඛ්‍යමය කාරණා වඩා පුළුල් පරාසයක් පුරා විහිදී යනු දක්නට ලැබෙයි. බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගවලටද මෙහිදී ප්‍රමුඛත්වයක් ලැබී තිබේ.
මිනිසාගේ යහපැවැත්මේ බරපතළ අඩුපාඩු නිසා ලෝකය පුරා තීව්‍ර ලෙස බෝ නොවන රෝග පැතිර යනු බවටද විශ්වාසයක් පවතී. අක්‍රමවත් ආහාර රටාව මෙන්ම ශරීරයට අවශ්‍ය තරමට ව්‍යායාම් නොලැබීම මේ අන්දමට මිනිසා රෝගියකු වීමට ඍජුවම බලපා ඇතිය යන්න වෛද්‍ය මතයයි.

සාමාන්‍ය ජනතාව සහභාගි වන රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් වුවද ස්ථුල ශරීර ඇති රෝගීබවේ දොරකඩට පැමිණ සිටින කොපමණ පිරිසක් ඇත්ද යන්න ගැන සාමාන්‍ය අවබෝධයක් ඇති කරගත හැකිය. මෙම තත්ත්වය අනාගත සමාජ ව්‍යසනයක පෙර නිමිත්තක් ලෙසය මා නම් සලකනුයේ. මත්කුඩු භාවිතය, මත්පැන් (ප්‍රමාණය ඉක්මවා) පානය, පළිබෝධනාශක කිසිදු ප්‍රමිතියකින් තොරව පාවිච්චියට ගැනීම මෙන්ම කලින් සඳහන් කළ පරිදි අක්‍රමවත් ආහාර රටාව මේ අන්දමට සමාජය රෝගීවීමට මූලික වශයෙන් හේතුවී තිබේ.

තරගකාරීත්වය නිසා හටගන්නා මානසික ආතතිය හේතුවෙන්ද අතුරු ආබාධ රාශියක් මෑතක සිට අප සමාජය පුරා ව්‍යාප්තවෙමින් පවතී.
කෙසේ වුවත් මෙම තත්ත්වය සමහන් කිරීමේ කාර්යය මුළු සමාජයටම අයත් වුවද එහි මූලික වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුවටය. නොඑසේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයටය. නියමුවා වනුයේ සෞඛ්‍ය ඇමතිවරයාය. වර්තමානයේ නම් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආණ්ඩුව දැනට කරන කාර්යභාරය පිළිබඳවද ඇමති රාජිත, ආඩම්බරෙන් කතා කිරීමට ගජ හපනාය. ඔහුට ඊට අයිතියක්ද ඇත. ඖෂධ ගණනාවක මිල අඩු කිරීම, අක්ෂි කාච නොමිලයේ දීම, හෘදය සැත්කම් සඳහා අත්‍යවශ්‍ය ස්ටෙන්ට් ලබාදීම ආදී ධනාත්මක කරුණු රාශියක් එතුමා සෞඛ්‍ය ඇමතිවරයා වූ පසුව සිදුකෙරුණු බව සත්‍යයකි.

හැබැයි පුතෝ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් නම් මහජනයාට දැනෙන යමක් සිදුවූයේ නැත. සිදුන්නේද නැත යන්න අපේ විශ්වාසයයි. ඕනෑවට වඩා ඊට මැදිහත් වුවහොත් රාජිතගේ සෞඛ්‍ය ඇමතිකම නැතිවීමට පුළුවන. එහෙත් පෞද්ගලික රෝහල් මගින් සිදුකෙරෙන ගසාකෑම නවතින්නේ නැත.
ඒ අපේ රටේ හැටිය.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට හා ආරක්ෂා කිරීමට ප්‍රධාන වශයෙන් බැඳී සිටිනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. එය සිදුකෙරෙනුයේ ආරෝග්‍යශාලා මාර්ගයෙනි. දැනටද එය සිදු කෙරෙයි. ගැටලුව ඇත්තේ එය නිසි ප්‍රමිතියකට අනුව සිදුකෙරේද යන්නය. මෙහි ප්‍රමිතිය යනුවෙන් මා අදහස් කළේ සේවාව පිළිබඳව නොවන බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. බොහෝ රෝහල්වල කාර්ය මණ්ඩල පවතින සම්පත් දැඩි පරිශ්‍රමයකින් යුතුව කළමනාකරණය කරමින් උපරිම සේවයක් ලබාදෙන බවද කෘතඥතා පූර්වකව මෙහි සඳහන් කළ යුතුය.

මේවා මා අත්දුටු දෑය. ඉකුත් දශකය තුළ දෙවරක් රෝහල් ගතවීමෙන් හා ශල්‍යකර්ම දෙකකට බඳුන්වීමෙන් මේ පිළිබඳව මා ලැබූ අත්දැකීම් බොහෝය.
මා ප්‍රතිකාර ලැබුවේ කොළඹ මහ රෝහලෙනි. එය රටේ ප්‍රධානතම රෝහලද වෙයි. මෙහිද ප්‍රධානතම දුෂ්කරතාව ලෙස මා දුටුවේ අධික තදබදය හා සම්පත් ප්‍රමාණවත් නොවීමය. සම්පත් හිඟවීම යනු මුදල් නොමැතිකම යන හේතුවෙන් හටගත් ඵලයයි. මේ සියල්ලෙන් මනා ලෙස පෙනී යනුයේ දැනට වඩා සෑහෙන මුදල් ප්‍රමාණයක් රෝහල් පරිපාලනය හා නඩත්තුව වෙනුවෙන් අවශ්‍ය බවය. වාර්ෂිකව සෞඛ්‍ය අංශය සඳහා වෙන් කැරෙන මුදල් වැඩිකර ඇතැයි යන පූච්චානම විටින් විටි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුවද එය අර්ධ සත්‍යයක් පමණි. මුදල් වැඩිවීමක් සිදුවුවද ඒ හා සමාන්තරව විය පැහැදම්ද වාර්ෂිකව වැඩිවන බව අමුතුවෙන් කිවයුතු නැත. සෞඛ්‍ය ආම්පන්න හා බේත්හේත් පිටරටින් ගෙන්වන අතර ඒවායේද නිරන්තරයෙන්ම වාර්ෂිකව මිල වැඩිවේ.

මේ අනුව සෞඛ්‍ය සඳහා වෙන් කැරෙන මුදල් ප්‍රමාණවත් නොවන බව එළැඹිය හැකි නිගමනයයි.
එහෙත් රටේ වර්තමාන මුදල් තත්ත්වය අනුව සෞඛ්‍ය ගැන පමණක් සිතා මෙයට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කළ නොහැකි බව පිළිගත යුතු යථාර්ථයයි. ආකර්ෂණීය දේශපාලන සටන් පාඨවලට අනුව නම් හොඳ සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යායුතු අතර ඊට අවශ්‍ය සියලුම මුදල් ආණ්ඩුවෙන් ලබාදිය යුතුය.

ඇත්ත වශයෙන්ම දැන් ඇත්තේ ආණ්ඩුව විසින් වත්තන් කරගෙන යනු ලබන සෞඛ්‍ය සේවයකි. රෝහල් සඳහාද වියදම් කරනුයේ දෙවරක් නොව දෙතුන් වතාවක්ම සිතා බලාය. එම තත්ත්වය යටතේ අඩුපාඩු රැසකි. අසීරුවට පත්වන්නෝද රෝගීහුය. එහෙත් ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා තුළින් සිදුකැරෙන සේවය නිසා හා පෞද්ගලික රෝහල්වලට යෑමට තරම් අතමිට සරු නොමැතිකමින් සාමාන්‍ය ජනයාට රජයේ රෝහල් ප්‍රතික්ෂේප කිරීමටද නොහැක.
මේ උභතෝකෝටිකයට විසඳුමක් ඇත්ද? යන්න මෙහිදී වෙසෙසින් සලකා බැලිය යුතුය.

මෙහිදී මා විසින් ඉදිරිපත් කැරෙන යෝජනාව නම් රජයේ රෝහල්වල ඇතැම් කාර්යයන් සඳහා සුළු මුදලක් අය කළ යුතු බවයි.
රජයේ රෝහල්වල බාහිර අංශවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් ඖෂධ සඳහා වරකට රු. 20ක් වැනි සුළු මුදලක් අය කිරීම කිසිසේත් අසාධාරණවන්නේ නැත. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් එක් රාත්‍රියකට ඇඳක් සඳහා රු. 100ක් වැනි මුදලක් අයකිරීමද ඉතා සාධාරණ යැයි සිතමි.
බැලූ බැල්මට රජයේ රෝහල්වලින් මුදලක් අය කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රතිගාමී යැයි කෙනකු තර්ක කළ හැක. ඉන් පාරිශුද්ධ නිදහස් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තිය කිළිටි වේ යැයි අදාළ බලධාරීන් තුළ පවා බියක් හටගත්තද එය පුදුමයට කරුණක් නොවේ.

එහෙත් විශිෂ්ට ගණයේ වාමාංශික නායකයකු මෙන්ම විද්වතකුද වන හිටපු මුදල් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා 70 දශකයේ මුල මේ හා සමාන යෝජනාවක් ගෙනාවා මට මතකය. එතුමා යෝජනා කර සිටියේ රජයේ රෝහල්වල බාහිර අංශයෙන් ඖෂධ ලබාගැනීමේදී සත 25ක මුද්දරයක් දිය යුතු බවය.
එය මල නොතලා රොන් ගැනීමක් ලෙස එවකට සිටි ආර්ථික විශ්ලේෂකයෝ සැලකූහ.

එහෙත් එදාද අද මේ හැමදේකටම විරුද්ධවීමේ කලාවක් පැවතිණ. එදා පැවති සමගි පෙරමුණ ආණ්ඩුවේ දක්ෂිණාංශික කොටස් එය ඇන්.ඇම්.ගේ යෝජනාවක් නිසා විරුද්ධ වූ අතර දේශපාලන විරුද්ධවාදීන්ද එයට විරෝධය දැක්වීමෙන් එම යෝජනාව ක්‍රියාවට නැංවූයේ නැත. එමෙන්ම මගේ මතකයේ හැටියට රජයේ වෛද්‍ය විශේෂඥයන්ගේ පෞද්ගලික චැනල් සේවා නතර කිරීමේ යෝජනාවක්ද ඇන්.ඇම්. වෙතින් ඉදිරිපත් විය. එයද වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය මත නතර විණ. වත්මනෙහි නම් එවැනි යෝජනාවක් කිරීම පවා දෙවැනි වන්නේ ආනන්තරීය පාපකර්මයකට පමණි.

යම් හෙයකින් ඇන්.ඇම්.ගේ සත 25 යෝජනාව ක්‍රියාත්මක වූවා නම් අද වනවිට රජයේ රෝහල්වල තත්ත්වය මෙයට වඩා බොහෝ දියුණුවීමට ඉඩ තිබිණ.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙවැනි උඩුයටිකුරු කරවන යෝජනාවකට අතගසාවිද යන්න අපට කිව නොහැක. එහෙත් මෙම යහපාලන ආණ්ඩුව තුළ දේශපාලන අවදානමක් ගතහැකි එකම තැනැත්තා ඔහු බවද විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුය. මෙයට වසරකට පමණ පෙර ශල්‍ය වෛද්‍යවරුන්ට රාජකාරී වේලාවෙන් පසුව මුදලට ශල්‍යකර්ම කිරීමට අවසරදීමේ යෝජනාවක් එතුමා ගෙන එනු ලැබුවද එයද ලත් තැනම ලොප් විය. කෙසේ වුව අඩු ආදායම් ලබන්නන්ගෙන් මුදල් අය නොකර සිටීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකිය.

එමෙන්ම රජයේ රෝහල්වල තත්ත්වය නවීකරණය වන්නේ නම් දැඩි අසීරුතා මැද පෞද්ගලික රෝහල් වෙත ඇදී යෑමේ අවශ්‍යතාව අවමවීමට ඉඩ තිබේ. අද පෞද්ගලික රෝහල් කරා යන්නේ මුදල් ඇති හැකි අය පමණක් නොවේ. සාමාන්‍ය මැද පන්තියේ ජනයාටද සිය පහසුව සඳහා අකමැත්තෙන් වුවද පෞද්ගලික රෝහල්වල සේවය ලබාගැනීමට සිදුවී තිබේ. මේ අනුව බාහිර රෝගී අංශයෙන් ඖෂධ ලබාගැනීමේදී රු. 20ක් හා නේවාසික රෝගියකුගෙන් දිනකට රු. 100/-ක් වැනි මුදලක් ලබාගැනීම කිසිසේත්ම අසාධාරණ වන්නේ නැත.

රජයේ රෝහල්වල පවත්නා හැබෑ තත්ත්වය අවබෝධ කරගැනීමට නම් සතියක් හෝ දෙකක් එහි නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුය යන්න මගේ අදහසයි. බොහෝ වාට්ටුවල ඇඳන් ඇති ප්‍රමාණයට වඩා ලෙඩුන් නතර කර තබා ගැනීම කලක සිට සිදුවන්නකි. ඇතැම් ඇඳන්වල ලෙඩුන් දෙතුන් දෙනා බැගින් සිටී. ඇඳන් අතර පරතරයද ඉතා අඩුය. රෝහල් වාට්ටුවල එදිනෙදා පාවිච්චි කෙරෙන මුත්‍රා පෝච්චි ආදියද බොහෝ අබලන් තත්ත්වයෙන් පවතින අතර ඇත්ත වශයෙන්ම ඒවා ඉවත් කළ යුතු කල් ඉකුත් වූ ඒවා බවද සඳහන් කළ යුතුය.

ඇතැම් ශල්‍යාගාරද තිබිය යුතු ගාම්භීර තත්ත්වයේ නොමැත. ඊටද ඇත්තේ දිගු පෝලිමකි. ශල්‍යාගාර තදබදය නිසාම අතිරේක කාලයක් රෝහලේ රැඳී සිටීමට සිදුවූ රෝගීන්ද මට හමුවී ඇත. ලෙඩුන්ට ආහාර දෙන පිඟන් බොහොමයක් නිතර නිතර පාවිච්චියට ගැනීමෙන් දුර්වර්ණව පවතී. ඇඳ රෙදි කොට්ට මෙට්ට පමණක් නොව කබඞ් ආදියේ තත්ත්වයද එලෙසය. බොහෝ වාට්ටුවල වැසිකිළි ඉතාමත් අපිරිසිදුය. කෙසේ වුවත් මේ සියල්ලේ මූල්‍ය වී ඇත්තේ මුදල් අගහිඟකමය. ඊට යෙදිය හැකි එකම පිළියම කිසියම් සාධාරණ මුදලක් ලෙඩුන්ගෙන් අයකර එම මුදල රෝහල්වල දියුණුව සඳහා වැය කිරීම බව සෞඛ්‍ය ඇමතිවරයා වෙත යළි යළි යෝජනා කරමු.