ප්‍රජාතන්ත්‍රවාදය දෙස ‘සොල්දාදු’ ඇසකින් බැලීම

ප්‍රභාෂ්වර

වත්මනෙහි 63 වන වියේ පසුවන ජේම්ස් ජෝජ් ස්ටැව්ඩිස්, වසර 37ක් ඇමරිකානු නාවික හමුදාවේ සේවය කොට 2013 දී ඉන් විශ්‍රාම ගත්තේ අද්මිරාල්වරයකු ලෙසය. 2019 සිට 2013 දක්වා හෙතෙම නේටෝ සමූහ හමුදා බල ඇණියේ සුපිරි අණ දෙන නිලධාරියා ලෙස ද කටයුතු කළේය. නීතිය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධින් ඔහු දිනා ගත්තේ ඇමරිකාවේ ටෆ්ට්ස් සරසවියෙනි. හමුදා සේවයෙන් විශ්‍රාම ගත් පසුව, 2018 ජුනි දක්වා ටෆ්ට්ස් සරසවි නීති පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේ ජේම්ස්ය. කුමන අලකලංචි මධ්‍යයේ වුව ප්‍රජාතන්ත්‍රවාදය ලොව තුළ දිගුකාලීනව පවතිනු ඇතැයි යන තේමාවෙන් යුතු අපූරු ලිපියක් ජේම්ස් ස්ටැව්ඩිස් විසින් 2018 ජුලි 23 ටයිම් සඟරාවට ලියා තිබුණි. හිට්ලර් හා ප්‍රභාකරන් වැනි මිලිටරි නායකයින් ලංකාවට අත්‍යවශ්‍ය යැයි කියවෙන කතිකාවක් අප රට තුළ පැන නැගි ඇති හෙයින්, ලොව කීර්තිමත් හා විශිෂ්ට සොල්දාදුවකු ලෙස සැළකෙන ජේම්ස්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන දරණ අදහස් දෙස මෙතැන් සිට අපි අපේ අවධානය යොමු කරමු.

ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්තිය

සමාජවාදී නැගෙනහිර ජර්මනියත්, ධනවාදී බටහිර ජර්මනියත් අතර (1961 සිට) පැවති බර්ලින් තාප්පය 1989 නොවැම්බර් 09දා බිඳ වැටුණි. ඉන් පසුව ලොව බලවත්ම සමාජවාදී කඳවුර සේ සැළකුණු සෝවියට් සමූහාණ්ඩුව 1991 දෙසැම්බර් 26 දින බිඳී විසිරී ගියේය. සමාජවාදී ලෝකය තුළ සිදුවුණු මේ දැවැන්ත විපර්යාසයත් සමඟම එතෙක් විවිධ ඒකාධිපති ආණ්ඩුවල ග්‍රහණයට නතුව සිටි ලතින් ඇමරිකානු රටවල්, දකුණු ඇමරිකානු කලාපයට අයත් දේශයන් සහ බොල්කන් ජාතීන් ඉන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වන අයුරු නේටෝ හමුදාවේ සුපිරි අණ දෙන නිලධාරියා ලෙස සියැසින්ම දැක ගැනීමේ අවස්ථාව මා හට ලැබුණි. කොමියුනිස්ට් කඳවුරට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපයේ රටවල් ද නිදහස් හා සාධාරණ මැතිවරණ වලට මුල් තැන දෙන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් දෝතින්ම වැළඳගැනීමට පෙළඹුණේ මේ අවධියේදීය. ලොව මිලිටලි පාලනාධිකාරීන්ගේ භීෂණයට හා මර්දනයට යටවී මුළුගැන්වී සිටි මිලියන ගණනක් ලෝ වාසීන්, සිය ආර්ථික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් භුක්ති විඳිනු දැකීම සැබවින්ම ආශ්චර්යයක් වග එම ඓතිහාසික මොහොතේදී මා හට පසක් විය. එහෙත් වත්මනේ බොහෝ දේශපාලන විචාරකයින් පුන පුනා කියන්නේ ලොව ප්‍රජාතන්ත්‍රවාදී යුගය දැන් අවසන් වෙමින් පවතින බවයි. ලොව දැවැන්ත ජාතීන් යුගලයක් වන චීනය හා රුසියාව මහා බලැති තනි පුද්ගල පාලනයකට නතු වීමත්, ලතින් ඇමරිකානු කලාපයට අයත් බොලිවියා, නිකරගුවා සහ වෙනිසියුලාව ඒකාධිපතීත්වයක් කරා ගමන් කිරීමත්, මෙකී අසුබ අනාවැකි ජනනට මහත් පිටුබලයක් සපයයි. තවමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍ර පවතින තුර්කිය, හංගේරියාව සහ පෝලන්තය මාධ්‍ය හා අධිකරණය මර්දනය කරමින්ද, පොදු ජන විරෝධතා පාගා දමමින්ද බලය මධ්‍යගත කිරීමේ උත්සාහයක නිරත වන අයුරු පෙනෙයි. නිදහස් මාධ්‍යයට දැඩි වාග් ප්‍රහාර එල්ල කරන ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් හා පිලිපීනයේ රොඞ්රිගෝ ඩුටර්ටේ, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයට ගරු නොකරන දෙපළක් සේ හැඟී යයි. ගෝලීය සංක්‍රමණය, නව තාක්ෂණයේ ප්‍රගමනය, ලොව පුරා ව්‍යප්ත වන ත්‍රස්තවාදය සහ ජාත්‍යන්තර ආර්ථික පසුබෑම යනාදිය අද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු මුහුණ පාන නවතම අභියෝගය සේ සැලකිය හැකිය.

අසුබ අනාවැකි

ඇමරිකානු පර්යේෂණ ආයතනයක් වන ‘ෆ්‍රීඩම් හවුස්’ 2006 දී ප්‍රකාශ කර සිටියේ ලොව ජනගහනයෙන් 46%ක්ම දිවි ගෙවනුයේ, නිදහස් හා සාධාරණ මැතිවරණ ඇති, සිවිල් නිදහස තහවුරු කරනු ලැබූ සහ නිදහස් මාධ්‍ය සක්‍රීයව ක්‍රියාත්මක වන රටවල් තුළ බවයි. එහෙත් 2018 වන විට මෙම ප්‍රතිශතය 39% දක්වා පහත වැටී ඇතැයි ෆ්‍රීඩම් හවුස් පවසයි. රුසියාව තුළ ඒකාධිපති පාලනයක් ගෙන යන ව්ලැද්මීර් පුටින්, ආදර්ශයට ගත යුතු නායකයෙක් බවට ඩොනල්ඞ් ට්‍රම්ප් මෑතකදී කළ ප්‍රකාශය, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම අගයන ඇමරිකානුවන්ව මහත් කම්පනයට ලක් කළේය. මහා ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ලෝකය අභියස රඟපෑ, නැගෙනහිර ටිමෝරයේ පස්වැනි අගමැතිවරයාවූ ෂානානා ගුස්මාවෝ, තම රටේ දූෂණ විරෝධි කොමිෂන් සභාව නිරීක්ෂණය කිරීමට පැමිණි කීර්තිමත් විදෙස් විනිසුරුවරු පස් දෙනෙක් ද, කොමිසමේ සේවය කළ විදේශිකයෙක් සහ එහි පැමිණිලි මෙහෙය වූ විදෙස් විශේෂඥයින් දෙදෙනෙක් ද පැය 48ක් ඇතුළත රටින් පිටුවහල් කළේය. 2014 වසරේදී තම රජයේ මුදල් ඇමතිවරයාට එරෙහිව නැඟුණු දූෂණ චෝදනා විභාග කිරීමට නැගෙනහිර ටිමෝරයේ ඉහළ අධිකරණය දින නියම කළ දවසේම, ඊට සම්බන්ධ විනිසුරුවන් සියල්ල සේවයෙන් පහ කිරීමට අගමැති ගුස්මාවෝ පියවර ගත්තේය. හංගේරියවේ වත්මන් අගමැතිවරයා වන වික්ටර් ඕබන් 2010 දී බලයට ආවේ නීති විරෝධි සංක්‍රමණික ප්‍රජාවට වැට බඳින දේශප්‍රේමියකු ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමිණි. තුර්කියේ, රුසියාවේ හා චීනයේ මෙන් මහා බලගතු තනි පාලකයකු හංගේරියාවට ද අත්‍යවශය යැයි කියමින් හෙතෙම අධිකරණයේ මහ බැංකුවේ සහ නිදහස් මාධ්‍යයේ බලතල හෙමි හෙමින් කප්පාදු කිරීම ආරම්භ කළේය. පීලිපීනයේ 16 වැනි ජනාධිපතිවරයා ලෙස 2016 දී දිවුරුම් දුන් රොඞ්රිගෝ ඩුටර්ටේ මත්ද්‍රව්‍ය මාෆියාව රටෙන් තුරන් කරමියි පවසමින් තම නිල නොවන සන්නද්ධ කල්ලි යොදවා 2017 ජනවාරි වන විට පිලිපීනුවන් 7000ක් පමණ පරලොව යැවීය. පුදුමයට කාරණය වන්නේ, ඩුටර්ටේගේ ජන ප්‍රසාදය මේ වන විට 80%ක් වැනි ඉහළ මට්ටමක පැවතීමයි. අධිකරණය හමුවේ චෝදනා ගොනු කොට වසර ගණනාවක් ඇදි ඇදි යන නඩු විභාග පවත්වනවාට වඩා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්ෂණිකව පරලොව යැවීම, බහුතරයක් පිලිපීනුවන් අනුමත කරන වග මෙයින් පෙනී යයි. එහෙත් එය භයානක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සමාජ මාධ්‍යයේ බලපෑම

මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ පැවති ඒකාධිපති පාලනාධිකාරයන් පෙරළා දැමීම පිණිස එම කලාප වල සමාජ ක්‍රියාකාරිහු අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය බෙහෙවින් භාවිත කළහ. එහෙත් පසු කාලෙක මොස්කව් සිට ඩමස්කස් දක්වා විහිදුණු ඒකාධිපති පාලකයින් තම පුරවැසියන්ගේ රහස්‍ය හා පුද්ගලික තොරතුරු උකහා ගැනීම සඳහා පාවිච්චි කළේ ද නව තාක්ෂණයයි. පුටින්ගේ දේශප්‍රේමය සහ ජනප්‍රියත්වය ඉහළ නැංවීම පිණිස ‘බොරු පුවත්’ මවන කල්ලි ගණනාවක් රුසියානු ආණ්ඩුව මගින් ස්ථාපිත කොට ඇත. සිය පුරවැසියන්ගේ (අන්තර්ජාලයේ) වෙබ් සාකච්ඡා වාරණය කිරීම පිණිස වෙනම තාක්ෂණඥයින් දහස් ගණනක් චීන ආණ්ඩුව මඟින් මෙහෙයවනු ලබයි. අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට චීන රජයට අවශ්‍ය වේ නම් ඒ සඳහා (ඉඩම් අහිමි වන) මහජනයා සමඟ හෝ සිවිල් සමාජ ක්‍රියාධරයන් සමඟ හෝ සාකච්ඡා කරන්නට කොමියුනිස්ට් බලධාරීන් පෙළඹෙන්නේ නැත. උඩින් එන තීරණයට කවුරුත් හිස නැමිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදීව, කල් ගෙන ගැටලු විසඳනවාට වඩා මෙවැනි ක්ෂණික හා ඒකාධිපති මෙහෙයුම් වලට බොහෝ චීනුන් කැමතිය.

අසාධාරණ ඉඩම් පවරාගැනීම් ගැන වෙන රටවල පුරවැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන සංවිධානාත්මක ලෙස රජයට එරෙහිව එල්ල කරන නමුත්, ඔත්තු බලන කොමියුනිස්ට් බලධාරීන් අභියස එවැනි දේ කිරිමට චීනුන් බයය. රතු ආණ්ඩුවේ සංවර්ධන වැඩ පිළිවෙළ හොඳය කියා කොමෙන්ට් දැමීම තම ශරීර සෞඛ්‍යට හිතකර බව චීන පුරවැසියෝ දනිති. 2018 ජනවාරි 16 දින ට්‍රම්ප්ගේ ට්විටර් අනුගාමිකයින්ගේ සංඛ්‍යාව මිලියන 20 ඉක්මවූ බව වාර්තා විය. තම ආර්ථික ප්‍රතිපත්ති වලට එකඟ නොවන පුදගලයින්ව මේ ට්විටර් කල්ලි සමඟ එක්ව ‘පතුරු ගැසීම’ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියයි.

සුබවාදී අපේකෂා

තම න්‍යෂ්ටික අවි ගැන රුසියාව ද, සිය ආර්ථික හා මිලිටරි බලය ගැන චීනය ද පම්පෝරි ගසන වග අපි දනිමු. චීනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කිසි විටෙක නොපැවති අතර රුසියාවේදී එය ක්‍රියාත්මක වූයේ දැඩි සීමාකම්වලට යටත්වය. මේ දේපාර්ශ්වය මොන දේ කීවත් ලොව ශක්තිමත්ම ආර්ථීක හා මිලිටරි බල පරාක්‍රමයන්ට තවමත් හිමිකම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් සහිත දේශයන්ය. පසුගිය මැතිවරණයේදී ඉන්දියානුවෝ මිලියන 550ක් තම සර්වජන ඡන්ද බලය පාවිච්චි කළහ. ත්‍රස්තවාදී ප්‍රහාර, කාලගුණික විපත්, ආර්ථික අවපාත සහ දැවැන්ත ජනගහන උච්චාවචනයන්ගෙන් සපිරි සමාජ ආර්ථික අර්බුද මධ්‍යයේ වුව ඉන්දියාවේ ස්ථාවරභාවය හා ආර්ථික වර්ධනය දිතු කාලීනව ආරක්ෂා කර දුන්නේ එම දේශය තුළ හොඳින් ක්‍රියාත්මක වුණු ප්‍රජාතන්ත්‍රවාදයයි. 1960 දශකයේ සිට අභ්‍යන්තර විප්ලව සහ සිවිල් යුද්ධය යනාදිය හේතුවෙන් කෙතරම් බැට කෑවද, කොළොම්බියාව තුළ පාලන බලය සාමකාමි ලෙස විවිධ පාර්ශ්ව වෙත වරින් වර හුවමාරු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙනි. ‘අර්මේනියන් ටයිම්ස්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ නිකොල් පෂින්යන් හට වසරක සිර දඬුවමක් ආර්මේනියානු අධිකරණය විසින් නියම කළේ එරට ආරක්ෂක ඇමතිවරයා විවේචනය කළ වරදටය. සර්ස් සාර්ග්ස්යාන්ගේ ආණ්ඩුවට එරෙහිව සාමකාමී උද්ඝෝෂණ සංවිධානය කළ වරදට 2010 දී නිකෝල් හට වසර 07ක සිර දඬුවමක් නැවතත් හිමි විය. ඔහුව නිදහස් කරන්නැයි ඉල්ලා දේශීය හා විදේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් දිගින් දිගටම උද්ඝෝශණය කළ නිසා 2011 දී නිකෝල්ට පොදු සමාවක් දී බන්ධනාගාරයෙන් මුදාහැරීමට ආර්මේනියානු රජය ක්‍රියා කළේය. 2018 අප්‍රේල් මස නිකෝල් ආරම්භ කළ ‘විල්ලුද විප්ලවය’ නම් සාමකාමී උද්ඝෝෂණ මාලාව හේතුවෙන් අගමැති සර්ස් සාර්ග්ස්යාන් හට ධූරයෙන් සමුගැනීමට සිදු විය. ඉනික්බිති 2018 මැයි 08 වැනිදා ආර්මේනියාවේ නව අගමැතිවරයා ලෙස නිකෝල් පෂියන් දිව්රුම් දුන්නේය. කාන්තාවන් බලාත්මක කිරීම, ආදායම් විෂමතා අවම කිරීම, අපේ දරුවන්ට බොරුවෙන් ඇත්ත වෙන් කර හඳුනා ගැනීමට අවැසි විශ්ලේෂණාත්මක නුවන යනාදිය තිලිණ කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තුළ පමණි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ දූෂණ වංචා සහ ඡන්ද මගඩි වැනි දෑ සිදු වුවද පොරොන්දු ඉටු නොකරන පාලකයන්ව සාමකාමී ලෙස පන්නා දැමීමේ වරම මහජනයා අත පවතී. ලොව වැඩිපුරම මිනිස් ඝාතන සිදුව ඇත්තේ මිලිටරි ආඥාදායකයින් එලවා දැමීමට දරන ලද සාමූහික ප්‍රයත්නයන්හිදීය. බලවත් නේටෝ හමුදාවට අණ දුන් සොල්දාදුවකු ලෙස වුවද, ප්‍රජාතන්ත්‍රවාදයට මා මෙතරම් ගරු කරන්නේ එය මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය ගෞරවය හා සිවිල් නිදහස සුරකින දර්ශනයක් යැයි මා දැඩිව අදහන හෙයිනි. 2020දී තමන්ගේ ආණ්ඩුවක් පත්කරගත් පසුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන් එල්ලා මැරීමට යෝජනා කරන පශ්චාත් යුද විශාදයෙන් පෙළෙන විශ්‍රාමික හමුදා නිල දරුවනි, මොහොතක් ස්ටැවිඞ්ස් හට සවන් දෙන්න !