මහ රජ, ගෝඨාභය හැර වෙනත් අපේක්ෂකයෝ සිටිත් ද?

සුනන්ද දේශප්‍රිය

මහරජ පට්ටම ගීතයකට පමණක් සීමාව තිබූ එකල්හී රාජපක්ෂයෝ යළි සිය අණසක පැතිරවීම උදෙසා පිඹුරුපත් සකසන්නේ සිය මළනුවන් වන ගෝඨාභයන්ගේ අතිධාවනකාරී හැසිරීමෙන් මඳක් කුපිතව සිටින්නේ,
වාසුදේව නම් මානවකයා කැඳවා මෙසේ උපදේශයක් දෙන්නේ ය: “මා ප්‍රිය මානවකය, මගේ මළයාම වන මුත් ගෝඨාභයගේ හැසිරීම මා අවුලට පත් කරයි. මුහුද හත්ගව්වක් තබා අමුඩ ගහන්නේ කුමන ජල්ලියකටදැ යි නොදනිමි. සිතා බලා කළයුත්තක් කරව!”
වාසුදේවයෝ වනාහී අරුමයකි. හේ වරෙක ක්‍රිෂ්ණාගේ පියාද, වරෙක ක්‍රිෂ්ණාමද වෙයි. එකවරම වාමාංශිකයකු ද රාජපක්ෂ අන්තේවාසිකයකුද වන පරිදි ය!
රාජපක්ෂ හැර අන්සරණක් නොපතන වාසුදේවයෝ තමන් මෙමගින් වළකට වැටෙනු ඇත්දැයි දස අත කල්පනා කරන්නේ මියෙම්වා රැකෙම්වා කියා පනින එක පනිනවාමයැයි ධ්‍යානයෙහි පිහිටා, මෙසේ ප්‍රකාශයක් කරන්නේ “ගෝඨාභය නුසුදුසු ය. ඔහු අනීතිකය. දරදඬුය. මරණීය ය.” කීහ.
වාසුදේවයන්ගේ වචන යකුලු පහරක් සේ විපත් මඟට වැදුණි. මේ වන විටත් ගෝඨාභයන්ගේ විපත් මඟ සොරදෙටු කැළ වැට පනින්නටත් පෙර කෙසෙල් කැන කෑමට ලොල්ව සිටියේ සිය ලේ වැකි කගපත් ලෙලවමින් මාර රංගනයකට අවතීර්ණව සිටියහ. ලේ උරා බීම පිණිස මරා දැමිය යුතු මිනිස් ශරීර සොයා යන්නේ මානව හිමිකම්කාරිය වූ දීපිකා උඩුගමගේ නළලේ මරණයේ හුණු ලකුණක් තැබූහ. අවම වශයෙන් තවත් සිය ගණනාවක් හෝ උගුරු දණ්ඩෙන් ම කපා සිය රුධිර පිපාසාව නිවා ගන්නා බවට ශපථ කරමින් රට පුරා දණ්ඩ නමස්කාර රැළි පැවැත් වූහ.
ගෝඨාභය පෙරහැරෙහි ඉදිරියෙන් ම වැඩීමට තපස්දම් පුරණ උපාලි නම් මහ තෙර නමක් සිය පිපාසය ද නොදෙවැනි බව පෙන්වන්නේ බුදුසරණ වෙනුවට ඇඩලොප් හිට්ලර් සරණ යමුයැයි ඝාතක දේශනාවකින් පව් වැඩූහ.
දණ්ඩනය මිස අන් මඟක් නොදන්නේ ගෝඨාභයෝ විපත් මඟටද උපාලි තෙරණුවන්ටද මුවින් නොබණින්නේ, සිය මඟද එය ම බව නොකියා කියන්නාහු ය. වෙන්ඩ මහ රජු රාජපක්ෂයෝ සසළ වූ සිතින්ද දුබල වූ ගතින්ද බැරි යැයි කියා, සිය වැඩිමහල් බෑයා වහලුන්ගේ උත්සවයක තමා වෙනුවෙන් පෙනී සිටින්නැයි යැවූයේද මෙකල්හි ය. එම ඇඹිලිපිටි වහල්ලු අතර ස්පාටකස් වීමට හිතැති වහලකු ද වී යැයි පුස්කොළ පොත්කරුවෝ කියත්. මහ රජු ම හැර අනෙක් යුව රජකු එපා යැයි ගස් නැගුණු වහලුන් හිවල් නද පතුරන්නේ, වෙන්ඩ මහරජු මූලග්ගා කෝපාග්නියට පත්ව “තොපට ඕනෑ විදිහට නොව මට ඕනෑ විදිහට කර පියව්” කියා ඝෝරනාඩු නැංවූහ.
ඇඹිලිපිටියේ නව සිමෙන්ති බුදුහු මේ නරි නාටක මට බලනු බැරියැ යි කියා නිරාවරණය වීම ප්‍රතික්ෂේප කළෝ ය. ස්පාටකස් වීමට තැටමූ වහලා ගස් බැඳ ඇතැයි කියවෙන්නේ ධවල වර්ණ සිව් රෝදය කැරකෙන තුරු යැයි දනන් තුඩ තුඩ පැතිර ගියේ ය.
වාසුදේවයන්ගේ ගුග්ලියෙන් ද වෙල්ගමයන්ගේ වේග පන්දුවෙන්ද විපත් මඟ ඇඹරී ගිය නමුත් ගෝඨාභයෝ නොදැවී ලකුණු රැස් කරන්නේ යුද සමයේ ඇමෙරිකාවට පැන ජීවිතය රැක ගත් කාලය ආදර්ශයට ගනිමිනි. හෙතෙම කට නොගසයි. ඉඳහිට වාතයක් අරියි. ඒ ගඳින් රාජපක්ෂ කඳවුර යළි යළි සලිත වෙයි. සියල්ලමටත් වඩා සළිත වනු පෙනෙන්නේ හේවිසිකාර ස්තෝත්‍ර ගායක රාජ්‍ය මාධ්‍ය අප්පුලා ය. වචන ඉස්සරහ පස්ස වැරදුණු, මතවාද වෙනුවට මඩවාද යටතේ දිනක් පාසා එම භීතිය දෝර ගලන්නේ වැල්ලවත්තේ කුණු කාණුව ද පරයමිනි.
ආදර්ශමත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා යැයි ස්වකීය අන්තේවාසිකයනට දහසින් බැඳි පියළි දෙන්නට වළිකන ගමන් ම මේ රාජ්‍ය මාධ්‍යකරුවෝ වෙන්ඩ මහ රජු රාජපක්ෂයනට එක වචනයක් හෝ මිනිත්තුවක් හෝ නොදෙති. ඒ තරම්ම බයය. ඒ තරමටම ප්‍රජාතන්ත්‍රවාදී ය. මෙකල්හි විරුද්ධ පාක්ෂිකයින්ගේ ඔළුව කොතරම් විකල්ව ඇත්දයත් උන්ගේ ගල්ගෙඩි වැනි ඔළුගෙඩි සොයන්නේ තමන්ගේ අපේක්ෂකයා ගැන නොව රාජපක්ෂ අපේක්ෂකයා ගැන ය.
වාසුදේවයන්ගේ හෝ වෙල්ගමයන්ගේ හෝ ඩිලානයන්ගේ හෝ විරුද්ධකම් නොබා ගෝඨාභය මළනුවන් සිය ප්‍රචාරය නොනැවත කරගෙන යන්නේ, එක්කෝ වෙන්ඩ මහරජාගේ අනුමැතියෙනි, නැතිනම් අභියෝගයක් වශයෙනි යැයි ආචාරීහු කියත්. විරුද්ධවාදීන් මරා එල්ලීමට සෑදී පැහැදී සිටින හන්දිකඩාල් වීරයා දිගටම ගෝඨාභයවාදී ජහමනයා අමතමින් මරණ තර්ජනද නිකුත් කරයි. ගෝඨාභයන් සිය ඡන්ද ව්‍යාපාරය නොනවත්වන්නේ තමන් හැර වෙනත් විකල්පයක් වෙන්ඩ මහරජාට නැතැයි සිතෙන පරිද්දෙනි. එපමණකුදු නොව අන් කවරෙකුවත් තවම ඡන්ද පිටියට අවතීර්ණව නැත.
“රජ පවුලෙන් පිට රජකම නොයන්නේ ය; රජකුගේ පැවැත්ම සඳහා යටත් වැසියන් වන නූතන වහලුන් ද අවශ්‍ය වන්නේය; රජකු යටතේ එහෙයියා නැතහොත් එහෙමයි දේවයන් වහන්ස කීම ජීවත්වීමේ කලාව ය” යැයි මෙකල්හී මහැදුරු ජීඑල් නම් බමුණු තෙමේ ස්තෝත්‍ර ගත කළේ ය.
වෙන්ඩ මහ රජු අත්ලෙහි නටන ඕනෑම නරපණුවකුට අපි ජනාධිපති තනතුර දෙමුයැ යි යන්න මේ වහලුන්ගේ කාහළ නාදය වී තිබේ. වෙන්ඩ රජුගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු තනි කැමැත්ත ය. මම. මම වෙනුවෙන්, මම විසින් යන රාජපක්ෂ නිරිඳාණන්ගේ උදාන වාක්‍යය දැන් කුමා ස්ටිකර්ස් විසින් ජනගත කිරීමට සූදනම්ය.
ගෝඨාභයගේ අතනෑර සෙල්ලම දෙස බලා සිටිනු නොහැක්කේ වෙන්ඩ මහ රජු එක් උදෑසනක සිය වැඩි මහල් පුතු කැඳවා මෙසේ කියන්නේ, “මන්ද නිහඬව බලා ඉන්නේ. යුද්ධයකට කලින් නුඹේ බල සේනා රැස්කරවා පෙන්විය යුතු බව නො දනීද?” කියා ය.
ඉක්බිතිව පෙර කල බැසිලියානුවන්ගේ පොර පිටිය වූ සේනා රාශිභූත කිරීම නාමලයෝ සිය අතට ගෙන, “බලව මා පිය රජුනි, පොළොව දෙදරුම් කවා මා පිරිවර නගනු ඇති හඬ අසන්නට කනේ මවිල් සුද්දකර තියා ගත්තොත් හොඳ නැත්දැයි?” යටහත් පහත්ව විචාලෝ ය.
“මා ප්‍රිය පුතණුවනි, මාගේ සියලු අභිප්‍රායයන් ඔබ උදෙසාය. තොපගේ බල ජනයා මගින් කොළොම්පුර දෙදරවා ලූ කල්හි වාසුදේවයෝද වෙල්ගමයෝද පෙරේරාවෝද ආගිය අතක් සොයා ගනු බැරි වනු ඇති. එකල්හි 2020 යුවරජු තීරණය කිරීම අප රජ පවුලේ කාරියක් පමණක් බවටම පත්වෙයි. මාගේ සිහිනය ඔබ ය.” යැයි කොක්හඬළා කියන්නාහු ය.
දැන් ගෝඨාභයන් එක් අතෙකින්ද නාමල්හු තවත් අතකින්ද පොර පිටිය සකසන්නේ “මළත් මා ඇමෙරිකානුවෙක් ම වෙමි” යැයි උදාර වාක්‍යයක් කී බැසිලුයානුවෝ කොහිදැයි දකින්නටද නැති. ඇඹිලිපිටියේ හූ හඬින් පසුබැස ගිය චමලයෝ තවමත් වකුටු වී නිදි සයනයේය. ගෝඨාභයගේ කැරලිකරුවන් ආයුධ පාවිච්චියේ කෙළ පැමිණියන් බැවින්ද රහසේ සේනා සංවිධානය කැරෙන්නේදැයි බලනු පිණිස ද රාජපක්ෂ චරපුරුෂයෝ දැන් සතර දිග්භාගය පීරති.
අහර කිස නිමවා සයනාරූඪ වූ වෙන්ඩ මහරජු සතර ඡන්ද නිමිති දකින්නේ මෙසේ කෑගෑහ: “බස්නාහිරින් චමලයෝ නිදිය. උතුරෙන් බැසිලුවෝ නිහඬය. නැගෙනහිරින් ගෝඨාභය හඬය. දකුණෙන් නාමල් නැගිටුවනු!” ඒ අසා ඔහු ප්‍රිය ඇඹේනී නාලිය ගමනින් ඇඹෙරෙන්නී“බිය නොවනු මහ රජ! මා අප පුතුන් තිදෙනාම සටන් බිමට යවන්නෙමි” යැයි ශපථ කරත් ම;
මේ සියලු දුක් දෝමනස්සයන් හමූයේ වෙන්ඩ මහ රජුට පවන් සලමින් පිටකොන්ද නමාගෙන ම සිටි මහදුරු ජීඑලියා හීන්සීරුවේ මෙසේ කියන්නාහ. “මහ රජ ඔබ යටත්වැසි වහලුන් නිවස පුරා අහමුළු අල්ලාගෙන ය. උන් නිදි ගත් කල්හි එක් අහුමුල්ලකින් ඇසෙන්නේ එක්නැළිගොඩ, තාජුඩීන්, ලසන්ත යනාදී භයංකර වචනය. අනෙක් අහුමුල්ලෙන්, බැංකු ගිණුම්, පාස්පොට්, කැරම් බෝඞ්, සිල් රෙදි, නිව්යෝර්ක් ටයිම්ස් වැනි නපුරු ශබ්දය. තවත් අහුමුල්ලකින් නඩු එනවෝ, ජම්පර් බෑ, බෑ, යැයි හඬා වැටීම් ය. සිරියහන් ගෙයින් ඇසෙන්නේ ද එවැනි විවිධාකාර ශබ්දයෝය. වහ වහා කවරෙක්දැයි නම් නොකළහොත් අහුමුළු අරක්ගත් ප්‍රේත කුම්භාණ්ඩ ආදී නිශාචයෝ වියරු වැටී සතර දිග්භාගය ගඳ නොගස්වනු ඇතැයි කිව නොහැකිය.”
2020 ජනාධිපතිවරණ වස්තුව එපරිද්දෙන් ඇරඹෙයි. වෙන්ඩ මහ රජු අබියය දෙපත් නයෙකි. දූෂණ සහ භීෂණ චෝදනාවන්ට මුහුණ දෙන තම පවුල්ද පවුලේ වහල් සේනාවද බේරාගනු පිණිස දැන් පෙරමුණ ගෙන ඇත්තේ ආම්බාන් කළ නොහැකි වස්සකු වන ගෝඨාභයන් ය. හේ මහරජු පුත් කුමාරාට ඔටුනු පැළඳවීමට බාධාවකි.
වෙන්ඩ මහ රජු ගිලී සිටින්නේ අවදිවීමට බිය හිතෙන ස්වප්නයකය. ඒ කෙසේද යත් මෙසේ ය: “ගෝඨාභය හැර වෙනත් අපේක්ෂකයකු වෙත්ද?”