දිනේෂ් හා වෙල්ගම කැඳවීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

2019 අග කැඳවිය යුතුව තිබෙන මීළඟ ජනාධිපතිවරණය පිළිබඳව, දැන්ම තියා කරන ඇතැම් කතාබහ, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවට ලක් කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රශ්න මගහරින බාධකයක් ලෙස ක්‍රියා කරන බව පෙනේ. එහෙත් මෙරට ජනාධිපතිවරණයකට වසර එකහමාරකට පමණ පෙර, ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳව මෙවැනි බරපතළ කතාබහක් ඇතිවූ පළමු වතාව මෙය විය හැකිය. 2019 අග කැඳවා, 2020 මුල දී ජනාධිපතිවරණය පැවැත්වුවහොත්, ඒ, නියමිත කාලය අවසන් වීමෙන් පසු පවත්වන ජනාධිපතිවරණයකි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයාට, ඡන්දය ඊට පෙර ද පැවැත්විය හැකිය. ඔහුගේ ධුර කාලයට වසර 4ක් සපිරෙන 2019 ජනවාරි 08 න් පසු ඕනෑම අවස්ථාවක එවැන්නක් අපේක්ෂා කළ හැකිය.

ගෝඨාගේ දේශපාලනය

මේ කතාබහ මෙතරම් ඉක්මන් වූ ප්‍රධාන සාධකය ලෙස සැලකිය හැක්කේ පසුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයටත් වඩා, ගෝඨාභය රාජපක්ෂගේ අනපේක්ෂිත සම්ප්‍රාප්තියයි. ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දෙන කඳවුරෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා, ගෝඨාභය බව ප්‍රසිද්ධ කෙරෙන්නේ අහඹුවක් ලෙස නොව සැලසුම් සහගතව බව අනුමාන කළ හැකිය. ඒ නම, පළමුවෙන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. එය එසේ වූයේ අපායට යතත් ඉක්මනින් යා යුතුය යන ප්‍රතිපත්තියේ පිහිටා විය හැකිය. එහෙත් ඉක්මන් කොටයි කියා ආප්තෝපදේශයක් ද තිබේ.

අනතුරුව සිදුවූයේ ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්වරයා සත්‍ය ලෙස ම ඔහු සිතන දේශපාලනය කරන්නට පටන් ගැනීමය. ඔහු, ඔහු ම හැදූ වියත් මග සම්මන්ත්‍රණයක දී, රට ගොඩනගන ප්‍රතිපත්ති මාලාවක් ද ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂද සභාවේ ඉදිරි අසුන්වල තබාගෙනය. පන්සල්වල උත්සව ඇතුළු විවිධ ස්ථානවල ඔහු නිතිපතා පෙනී සිටින්නට පටන් ගත් අතර මුස්ලිම් ජනතාව හමුවීම ද ආරම්භ කළේය. පසුගිය සතියේ මෙරට දෙමළ ජනමාධ්‍යවේදීන් ද ඔහු හමු වී ඇත්තේ, ‘වියත් මග’ට අමතරව ‘එළිය’ ආදී සංවිධාන හරහා ද සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වමින් සිටියදීය.

ගෝඨා විරෝධය සමග වෙල්ගම හා වාසු

අනුමාන කළ හැකි පරිදි මේ වේගවත් ගමනේ දී තුෂ්නිම්භූත වූ පාර්ශ්වයක් සිටියේය. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ඇතුළු කණ්ඩායම ඊට ඇතුළත් වූ එක පිරිසක් බව සිතිය හැක. එහෙත් අපේක්ෂා නොකළ පරිදි, ශ්‍රීලනිප ප්‍රබලයකු වන කුමාර වෙල්ගම ගෝඨා විරෝධය ප්‍රසිද්ධියේ සමාජයට අතහැරියේය. වාසුදේව නානායක්කාර ද ඒ දේ ම කරමින් චමල් රාජපක්ෂ සිය විකල්පය බව කීවේය. බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වියයුතු බව සිතා සිටින කණ්ඩායමක් සිටින බව පැහැදිලිව පෙනෙන අතර ඔවුහු ද අප්‍රසිද්ධියේ ගෝඨා විරෝධය මුදා හැරියෝය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප පාර්ශ්වයේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වීමට අකැමැති වූයේ වෙල්ගම පමණක් ම නොවේ. ත්‍රිකුණාමලයේ විමලවීර දිසානායක කෙළින් ම කියා තිබුණේ බැසිල් රාජපක්ෂට එම ස්ථානය හිමිවිය යුතු බවය. ප්‍රසන්න රණතුංග ඇතුළු ගම්පහ කණ්ඩායම ද ඒ මතයේ සිටින බවට බොහෝදුරට අනුමාන කළ හැකිය.
පසුව රාජපක්ෂ සහෝදරයන් අතර ගැටුමක් නැතැයි රටට පෙන්වීමට මහින්ද හිටපු ජනාධිපතිවරයා, ගෝඨාභයව, බැසිල්ගේ පොදුජන පෙරමුණ කාර්යාලයට රැගෙන ගියේය. අනතුරුව ඔහු කළේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකරන්න යැයි සිය කණ්ඩායමට තහංචියක් පැනවීමය. එය නොතකමින්, වාසු චමල්ව ද පසුකර යමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණු නායකයාව, සිය කඳවුරේ ජනපති අපේක්ෂකත්වයට යෝජනා කිරීම ආරම්භ කර තිබේ. ඒ අතර වෙල්ගම හිටපු අමාත්‍යවරයා කරනු ලැබුවේ තමාව, තමා විසින් ම යෝජනා කර ගැනීමය.
එහෙත් අපේක්ෂා නොකළ අවස්ථාවක ඉදිරිපත් වූ තවත් යෝජනාවක් ද තිබේ. පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් හරහා ගෙනෙන්නට යන එම යෝජනාව ද මගහැර යා නොහැකිය. ඔවුන් කරන්නට යන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලැබෙන්නේ නම් එය කුමාර වෙල්ගමට ලැබිය යුතුය යන්න සඳහන් ලිපියකට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමය. ඒකාබද්ධ විපක්ෂය ආරම්භ වූ අවධියේ ම වෙල්ගමගේ නම ඊට යෝජනා වුවද පසුව දිගට ම යෝජනා වූයේ – මහින්ද රාජපක්ෂ එය භාර නොගන්නේ නම් – දිනේෂ් ගුණවර්ධනගේ නාමය.

දයාන් ජයතිලක හා ජයදේව උයන්ගොඩ

මේ අතර ආචාර්ය දයාන් ජයතිලක ඒකාබද්ධ විපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යුතු බවට මතයක් ප්‍රකාශ කර තිබේ. ආචාර්ය දයාන් සැලකිය හැක්කේ ගෝඨාභයගේ ‘වියත් මගේ’ සිට ඉතා මෑතකදී මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ මාවතට සමාන්තර වූවකු ලෙසය. ඔහු ප්‍රකාශ කර ඇති අන්දමට දිනේෂ්, වාමගාමී ජනතාවාදී නායකයෙකි. ගෝඨාභය දක්ෂිණාංශික හා ජාතිවාදීය. මහින්ද හා චමල් මැද මාවතේ ගමන් ගමන් ගනිති. දිනේෂ්, චමල් වැනි පළපුරුදු දේශපාලනඥයන් සිටියදී ගෝඨාභය අපේක්ෂකයා ලෙස යෝජනා කිරීම ඔහුට අනුව අතාර්කිකය. කිසිදු දේශපාලන අරගලයක නොසිටි ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්වරයා, ගෙනඒමට දරන උත්සාහය කෘත්‍රිමව ගොඩනගන්නක් ලෙස පැහැදිලි කරන ඔහු, එවැනි සාකච්ඡාවක් පවා ඇතිවන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබිණි. පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ නායකත්ව භූමිකාව, දිනේෂ් සම්පූර්ණ කරමින් සිටින බව ද දයාන් ජයතිලකගේ තර්කයේ හරයක් ලෙස ගත හැකිය.

මේ සියල්ල මෙසේ පෙළගැසෙමින් පැවතියදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, අලුත් මාවතක් සේ පෙනී යා හැකි අදහසක් මුදාහැර තිබුණේය. ඔහු කියන්නේ 2025 ජනාධිපතිවරණයට, නාමල් රාජපක්ෂව ගෙනඒම සඳහා 2020 ජනාධිපතිවරණය, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උපාය මාර්ගික වැදගත්කමකින් භාවිත කරනු ඇති බවය. එහිදී ගෝඨාභය, චමල්, දිනේෂ් යන තිදෙනාම (බැසිල්ද මීට ඇතුළත් කළ යුතුව තිබිණි), නාමල්ට බාධකයක් වියහැකි යැයි මහින්දගේ ගණන් බැලීමට හසුවන බවය. එහෙත් ජී.එල් පීරිස් මහාචාර්යවරයා හෝ ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති බිරිඳ ඉදිරිපත් කිරීමෙන්, නාමල්ගේ මාවත විවෘතව තැබෙනු ඇති බව උයන්ගොඩගේ අදහසය. එසේ වුවත් ගෝඨා හෝ චමල් හෝ දිනේෂ් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා වීම වැළැක්විය නොහැකිය යන්න අනුමාන කරන ඔහු රනිල් වික්‍රමසිංහ නමැති විකල්පය, මහින්ද ඉදිරියේ ඇති බව මතක් කර දෙයි. 2020- 2025 වකවානුවේ ජනාධිපති ධුරයට රනිල් පත්කර, ඒ ඩීල් එකේ ඊළඟ පියවර ලෙස රනිල්ගේ ද සහායෙන් 2025 දී නාමල්ගේ මාවත විවර කර ගැනීම මහින්දගේ උපක්‍රමය වියහැකි බව මහාචාර්ය උයන්ගොඩ කියා තිබිණි. 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව යටතේ රාජපක්ෂ පවුලේ අයට එරෙහි අල්ලස්, දූෂණ, අපරාධ චෝදනා පරීක්ෂණ මෙන්ම නඩු විභාග ද අතරමග ඇනහිට ඇති බව පෙන්වා දෙන ජයදේව උයන්ගොඩය, එය රනිල් – මහින්ද ඩීල් එකක් වියහැකි බව ද පැහැදිලි කර තිබිණි. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, සිය දූෂණ විරෝධී සටන ඉදිරියට ගෙන යන්නේ රාජපක්ෂ පවුලේ කිසිවකුට හානියක් නොවන පරිදි බවට ඔහු නගන තර්කය, පිළිගැනීමට තරම් සාධක සොයා ගැනීමට ජනතාවට මහත් වෙහෙසක් දැරිය යුතුයැයි සිතිය නොහැක.

එවැන්නක් සිදුවනවාද නැද්ද යන්න හරියට ම ඔප්පු කර පෙන්වීමට දැනට සාධක සොයාගත නොහැකි වුවත් දේශපාලනයේ දී විරුද්ධ පක්ෂවල ඉහළ නායකයන් අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවක්, සංහිඳියාවක් නොමැති බව කිව නොහැකිය. ජනතාවගේ මුදල් නීති විරෝධී ලෙස උදුරා ගන්නා රාජ්‍ය නිලධාරීන් අතර පවා ඇත්තේ ප්‍රකාශිත නොවන එකඟතාවකි. ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන නිලධාරීන් පවා තමන්ගේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාකරන බලවේගයක් පැමිණියහොත් එය යටත්කර ගැනීමට හෝ එය විනාශ කිරීමට පෙළ ගැසෙන්නේ කොන්දේසි සහිතව නොවේ.

මහින්දගේ අර්බුදය හා රනිල්ගේ විකල්පය

කෙසේවෙතත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටුව ඇතුළු මහින්ද රාජපක්ෂ කඳවුරේ අර්බුදයක් ඇති බව අපැහැදිලි නැත. මෙය ප්‍රධාන වශයෙන් ම මතු වන්නේ හිටපු ජනාධිපතිවරයාට නැවත (තුන්වන වර) ජනාධිපති පදවියට පත්විය නොහැකි පරිදි ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය ගෙන ඒමෙන් මතුව ඇති තත්ත්වය හේතුවෙනි.

ජවිපෙ 20 වැනි සංශෝධනය හරහා හෝ යළි ජනාධිපතිවරණයක් නොපවත්වා ගැනීමේ උත්සාහය, සාර්ථක වීමේ අල්ප ඉඩකඩක්වත් නොපෙනෙන නිසා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව මීළඟ ජනාධිපතිවරණයට මුහුණදීමේ විකල්පයයි. එහිදී ශ්‍රීලනිපයේ සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ද ඊට එකතු කර නොගන්නේ නම්, එය හොඳින් හෙළි පෙහෙළි කළ හැකි මාවතක් නොවනු ඇත. ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ ප්‍රබලයකු වන දුමින්ද දිසානායක අමාත්‍යවරයා ගෝඨාභය ගැන අඟවමින් ප්‍රශ්න කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයට රාජපක්ෂ කෙනෙකු හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැතිද යන්නයි. අඩු ගණනේ දිනේෂ් ගුණවර්ධන වැන්නකුවත් යෝජනා කරන්නේ නම් සලකා බැලීමට හෝ හැකියාවක් තිබූ බවට, ඔහු එකතු කරන ඊළඟ වාක්‍ය නිකම්ම කටට ආවාට කියූ කතාවක් ලෙස, නොසලකා හැරිය හැකිද?

දැන් මීළඟට පෙන්වීමට නියමිත ජවනිකා අතර බැසිල්ගේ පාර්ශ්වයට එරෙහිව ගෝඨාභයගේ පාර්ශ්වයේ ප්‍රහාර තිබිය හැකිය. වෙල්ගම හිටපු ඇමතිවරයා අවසානයේ දී බැසිල් රාජපක්ෂට සමාන්තර වීම නොවිය හැක්කක් නොවේ. එවිට විවිධ මට්ටමින් දිනේෂ් නියෝජනය කරන පාර්ශ්වයටද ප්‍රහාර එල්ල වීම නොවැළැක්විය හැකිය. එය, “ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනකු මිස වෙන කිසිවකු නොවේ ” යන ආකාරයෙන් මෙන්ම “මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා/අගමැති වන්නේ මහින්ද රාජපක්ෂ මිස වෙන කිසිවෙක් නොවේ” යන ආකාරයෙන්ද විය හැකිය.

2015දී ප්‍රබල මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට දුර්වල විපක්ෂයට නායකයකු සිටියේ ම නැත. ඒ සඳහා මහින්දගේ ආණ්ඩුවෙන් මෛත්‍රීපාල සිරිසේන ආනයනය කිරීමට සිදුවිය. මෙවර වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වුවද දුර්වල පාර්ශ්වය සේ පෙනෙන්නේ එම කඳවුරමය. රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය යළි ශක්තිමත් බව පෙනේ. එවැනි තත්ත්වයක් හමුවේ ප්‍රතිවිරුද්ධ කඳවුරෙන් ජනාධිපති අපේක්ෂකයකු ආනයනය කිරීමට සිදුවුවහොත්, ඒ, ආණ්ඩුවෙන් කෙනකු විපක්ෂයට නොව විපක්ෂයෙන් කෙනකු ආණ්ඩුවට ඒම වැළැක්විය නොහැක. එසේ සිදුවුවහොත් ඒ, කුමාර වෙල්ගම විය නොහැකිය.