ලසන්ත ඝාතනය: මළ සිරුර ගොඩගෙන ඝාතනය වළලෑම

ශ්‍රීලාල් සෙනෙවිරත්න

සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව යළි කැඳවීම එළැඹෙන සැප්තැම්බර් මස 27 වැනිදාට කල් තබනු ලැබ තිබේ. ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස නඩුව කල් තබනු ලැබුවේ ඝාතනයට අදාළව අවසන් වරට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සැකකරුවන් දෙදෙනාද ඇප මත නිදහස් කරමිනි. ඇප ලැබූ සැකකරුවන් වූයේ ලසන්ත ඝාතනය කෙරෙන අවස්ථාවේ ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතන පරීක්ෂණයේ සාක්ෂිවලට අහිතකර ආකාරයෙන් මැදිහත්වීම සහ යුක්තිය ඉෂ්ට කිරීමට අන්‍ය ආකාරයකින් මැදිහත්වීම යන චෝදනා යටතේය. ඝාතනයට පෙර ලසන්ත ලුහුබඳිමින් පැමිණි යතුරු පැදිවල අංක බවට සැක කෙරෙන යතුරු පැදි අංක දෙකක් සහ ඒවායේ හිමිකරුවන් බවට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරන ලද පුද්ගලයන් පිළිබඳ පොලිස් අපරාධ වාර්තා පොතේ තබන ලද සටහන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය අනුව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබ තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි තිස්ස සුගතපාල දෙදෙනා අත්අඩංගුවට ගැනීම සහ ඉන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුවන්නේ ඒ අනුවය. මොවුන්ගෙන් අනාවරණය කරගෙන තිබූ ඉතා වැදගත් තොරතුරක් වූයේ සාක්ෂි සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම සිදුව ඇත්තේ එවක පොලිස්පතිවරයාගේ අනුදැනුම මත බවය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට විශ්‍රාමිකයකු වන එම පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූයේ සාක්ෂි සම්බන්ධයෙන් එවැනි මැදිහත්වීමක් කිරීමට ඔහුට තිබූ අවශ්‍යතාව කුමක්ද යන්න අනාවරණය කරගැනීමටය. එහෙත් ඊට පෙර තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට ඔහු ක්‍රියා කලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එතෙක් සාර්ථකව ඉදිරියට ගමන් කළ තවත් පරීක්ෂණ මාවතක් අතරමඟ වැසී ගියේය. ලසන්ත ඝාතන පරීක්ෂණ නොමඟ යැවීම සඳහා පොලිස්පතිවරයාගේ අනුදැනුම මත පොලිසිය කටයුතු කොට ඇති බව අනාවරණය වී ඇතත් පොලිසියට එසේ කිරීමට තිබූ අවශ්‍යතාව කුමක්ද යන්න අනාවරණය කරගැනීමට එනිසා නොහැකි වී ඇත.

ඝාතනය සිදුකොට ඇත්තේ මරදාන ටි්‍රපොලි හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක වූ බුද්ධි අංශයේ විශේෂ ප්‍රහාරක කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කරගෙන තිබිණ. ඒ ඔස්සේ තවදුරටත් ඉදිරියට යමින් ඝාතනයට සහභාගි වූවන් නිශ්චිතව හඳුනාගැනීම සඳහා ටි්‍රපොලි කඳවුරේ සිටි බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. එහෙත් එම පරීක්ෂණ මාර්ගය ඔස්සේද වැඩිදුරක් යාමට හැකිවූයේ නැත. එම ප්‍රශ්න කිරීම් අතරමඟ නවතා දමන්නට පරීක්ෂකයන්ට සිදුවූයේ ජනාධිපතිවරයා නිකුත් කළ අනතුරු සංඥාවකට සංවේදී වෙමිනි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සව සභාවක් අමතා කතා කරන අතර ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද නම් කරමින් දැඩිව අවධාරණය කළේ ‘රණවිරුවන් අධිකරණයට දැක්කීමට’ කටයුතු කරමින් සිටින ආයතන සම්බන්ධයෙන් තමන්ට පියවරක් ගැනීමට සිදුවනු ඇති බවය. මෙම තර්ජනයෙන් පසු බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම අතහැර දමන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය. නොඑසේව එම කටයුත්ත ඉදිරියට කරගෙන ගියේ නම් නිශ්චිත ලෙසම ප්‍රහාරයට සම්බන්ධ වූවන් හඳුනාගැනීමට හැකිවන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට සිදුවීම නොවැළැක්විය හැකි වූ බැවිනි. ලසන්ත ඝාතනය කොට ඇත්තේ හමුදා බුද්ධි අංශයේ ප්‍රහාරක කණ්ඩායමක් විසින් බව තහවුරු වී ඇතත්, ඔවුන්ට ඒ සඳහා තිබූ අවශ්‍යතාව කුමක්ද? අණ ලැබුණේ කාගෙන්ද? යන කරුණු අනාවරණය කරගැනීමට එනිසා නොහැකි විය.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් තවත් වැදගත් තොරතුරක් වන්නේ එවක කළුබෝවිල රෝහලේ සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මරණයට හේතුව ලෙස අධිකරණයට සාවද්‍ය තොරතුරු වාර්තා කරනු ලැබ තිබූ බවය. ලසන්ත ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවෝ ඉතා පැහැදිලිවම පොලිසියට සහ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ ලසන්තගේ මෝටර් රථය දෙපසින් සිටි දෙදෙනකු ඇතුළත සිටි පුද්ගලයාට යමකින් අනිනු දුටු බවය. වෙඩි තැබීමක් නොදුටු බවය. වෙඩි හඬක් හෝ නොඇසුණු බවය. ලසන්තගේ මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය විෂයෙහි මාහාචාර්යවරයාගේ නිරීක්ෂණ වී තිබුණේද වෙඩි වැදීමක් පිළිබඳ කිසිදු ළකුණක් මළ සිරුරෙහි නොවූ බවය. මළ සිරුර තුළ තිබී හෝ ප්‍රහාරය එල්ල කෙරුණු ස්ථානය අවටින් හෝ එකම වෙඩි උණ්ඩයක්වත් හමුවී තිබුණේද නැත. එසේ තිබියදී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබී ඇත්තේ ලසන්තගේ මරණය වෙඩි වැදීමෙන් සිදුවූවක් බවය. මේ කරුණු හෙළිවන්නේ ලසන්තගේ මළ සිරුර නැවත ගොඩගෙන දෙවන වතාවට කරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙනි. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සත්‍ය යටපත් කෙරෙන ආකාරයේ වැරදි විශේෂඥ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට එවක කළුබෝවිල රෝහලේ සේවය කළ අධිකරණ වෛද්‍යවරයා ක්‍රියා කොට ඇති බව ඒ අනුව පැහැදිලිය. එහෙත් එසේ කිරීමට ඔහුට තිබූ අවශ්‍යතාව කුමක්ද යන්න අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත.

2015 ජනවාරි 08 රටේ සිදුවූ දේශපාලන වෙනසින් පසුව ඇරඹී කෙටි කලක් තුළ පැති ගණනාවක් ඔස්සේ සාර්ථකව ඉදිරියට ගිය පරීක්ෂණ කටයුතු මේ ආකාරයෙන් නැවතී ඇත්තේ තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි අයුරිණි. ඒ සඳහා රජයෙන් ලැබිය යුතු සහාය ප්‍රමාණවත් අයුරින් නොලැබෙන සහ පරීක්ෂණ සිදුකරන නිලධාරින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවන පසුබිමක නිලධාරින්ද මේ පරීක්ෂණ කටයුතු පිළිබඳ උදාසීනවීම නොවැළැක්විය හැකිය. තවත් පියවරක් හෝ මේ පරීක්ෂණ ඉදිරියට ගියහොත් ලසන්ත ඝාතකයන්ද, ඒ සඳහා නියෝග දුන් පුද්ගලයන්ද නිශ්චිත වශයෙන්ම අනාවරණය වීම අනිවාර්යය. ලසන්ත ඝාතනය පමණක් නොව එහි පරීක්ෂණ නොමඟ යැවීමට සිදුකෙරුණු තවත් ඝාතන ගණනාවක් පිළිබඳ තොරතුරුද ඒ සමඟ එළියට එනු ඇත.

විශ්‍රාමික පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළහොත් සාක්ෂි වෙනස් කිරීම සඳහා පහළ නිලධාරින්ට බලපෑම් කිරීමට ඔහුට තිබූ අවශ්‍යතාව හෙළිදරව් කිරීමට සිදුවනු ඇත. ඔහුට හෝ ඇප ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනාට ලසන්ත සමඟ කිසියම් හෝ පෞද්ගලික කෝන්තරයක් තිබුණු බවට කිසිදු තොරතුරක් අනාවරණයවී නොමැති පසුබිමක මේ සියලු දෙනා විසින් ඉටු කරනු ලැබ ඇත්තේ වෙනත් කිසියම් බලවත් පාර්ශ්වයක අවශ්‍යතාවක් බව පැහැදිලිය.

ටි්‍රපොලි කඳවුරේ සේවය කළ බුද්ධි අංශ ප්‍රහාරක කණ්ඩායමේ සාමාජිකයන් පිරිස අත්අඩංගුවට ගෙන තවදුරටත් ප්‍රශ්න කරගෙන ගියහොත් ප්‍රහාරයට සම්බන්ධ වූවන් සහ ඝාතකයන් දෙදෙනා නිශ්චිතව හඳුනාගැනීමටත්, ඔවුන්ට ලසන්ත ඝාතනයට අණ ලැබුණේ කාගෙන්ද යන්න දැනගැනීමට හැකිය.

එමෙන්ම සාවද්‍ය තොරතුරු ඇතුළත් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළහොත් ඒ සඳහා ඔහුට නියෝග ලැබුණේ කාගෙන්ද කියා අනාවරණය කර ගැනීමටද පරීක්ෂකයන්ට හැකියාව ලැබෙන්නේය. මෙයද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බවට එවක කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා නිකුත් කොට තිබූ සාවද්‍ය අධිකරණ වෛද්‍ය වාර්තාවට සමාන වාර්තාවක් සේ පෙනී යන බැවින් ඒ පසුපස ක්‍රියාත්මක වූ අදිසි හස්තය අනාවරණය වීමද එවිට නොවැළැක්විය හැකිය. එසේ වුවහොත් කල් නොයවාම ලසන්ත ඝාතන පරීක්ෂණ සාර්ථකව අවසන් කොට යුක්තිය ඉෂ්ට කළ හැකිවන්නේය. පරීක්ෂණ සිරවී ඇත්තේ එවැනි තීරණාත්මක සංධිස්ථානයකය.

අවසන් අදියරේදී පරීක්ෂණ කටයුතු මෙලෙස සිරවීමට හේතුව අන් කිසිවක් හෝ නොව ලසන්ත ඝාතනයට ප්‍රධාන සැකකරුවාව සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වීමය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පිළිබඳවද මුලින් සාධාරණ සැකයක් මතුව තිබිණ. එහෙත් ඔහු හමුදා සේවයෙන් ඉවත්වී 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සමඟ සිදුවූ සිදුවීම් දාමය ඔහු කෙරෙහි වූ සැකය දුරු කරන්නට ප්‍රමාණවත් විය. ලසන්ත ඝාතනයට ඔහුගේ කිසියම් හෝ සම්බන්ධයක් තිබුණේ නම් බොහෝ විට අදටත් ඔහු සිටිනු ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින්ද ලසන්ත ඝාතනයට හිටපු හමුදාපතිවරයාගේ සම්බන්ධයක් නොමැති බව තහවුරු වී තිබේ.

යුද හමුදාපති සරත් ෆොන්සේකාටද ලසන්ත සමඟ ආරවුලක් විය. ඒ සන්ඬේ ලීඩර් පුවත්පත හමුදාවේ සිදුවන දූෂණ පිළිබඳ වාර්තා පළ කිරීම හේතුවෙනි. ඇතැම් අවස්ථාවලදී හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි වන වාර්තා ද ඒ අතර විය. ඒ කිසිවකුත් අසත්‍ය වාර්තා ද නොවීය. එසේ වුවද එවැනි වාර්තා පළවීමෙන් හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන්නේය යන්න හමුදාපතිවරයාගේ ස්ථාවරය විය. එයට ප්‍රතිචාර දක්වමින් ලසන්ත කියා සිටියේ සත්‍ය වශයෙන්ම හමුදාවේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන්නේ හමුදාව තුළ දූෂණ සිදුවීම නිසා මිස ඒවා පුවත්පත්වල පළවීම නිසා නොවන බවය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලසන්ත සමඟ තිබුණු ආරවුල හමුදාපතිවරයාට තිබූ ආරවුලට වඩා බෙහෙවින් බරපතළ වූවකි. යුද ජයග්‍රහණ මගින් රාජපක්ෂ පවුලට ආරෝපණය කළා වූ මහේෂාක්‍ය රාජකීයත්වය සහ ඊට හිමි ගෞරවණීයභාවය ලසන්තගේ වාර්තා කිරීම් තුළින් වරින් වර දිය කර හරිනු ලැබීම ඊට හේතුවිය. ‘හෙල්පින් හම්බන්තොට’ දූෂණය අනාවරණය කරමින් ලසන්ත ආරම්භ කළ එම කටයුත්ත ඔහු ඝාතනය කෙරෙන තෙක්ම නතර නොකළේය. ඒ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් එල්ල වූ තර්ජනය පවා නොතකා හරිමිනි.

ලසන්ත ඝාතනය කෙරෙන්නේ මිග් ගනුදෙනුවේ දූෂණ සම්බන්ධයෙන් ලීඩර් පුවත්පත පළකළ වාර්තාවල සත්‍ය අසත්‍යභාව අධිකරණය හමුවේ අනාවරණය කිරීමට ඔහු සූදානම් වෙමින් සිටියදීය. එම වාර්තා සාවද්‍ය බවට අධිකරණයට කරුණු දක්වමින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ගල්කිස්ස අධිකරණයේ නඩුවක් පවරා තිබිණ. එහිදී ආරක්ෂක ලේකම්වරයාට අදාළ කිසිදු වාර්තාවක් පළකිරීම තහනම් කරමින් ලීඩර් පුවත්පතට තහනම් නියෝගයක් නිකුත් කළ අධිකරණය මිග් ගනුදෙනුවට අදාළව පළකළ වාර්තා සත්‍ය කරුණු මත සකස් කෙරුණු ඒවා බව ඔප්පු කිරීමේ වගකීමද ලසන්තට පවරා තිබිණ. ලසන්ත ඝාතනය කෙරෙන්නේ ඒ සඳහා නියමිත නඩු දිනයට දින කිහිපයකට කලිනි.
පවතින දේශපාලන පසුබිම තුළ ලසන්ත ඝාතනය පිළිබඳ යුක්තිය ඉටුවේයැයි බලාපොරොත්තු තැබීම දුෂ්කරය. ‘ජනවාරි 8’ දේශපාලන වෙනස නොවන්නට ඝාතන පරීක්ෂණ මේ ආකාරයෙන් අපරාධකරුවන් පෙනෙන ඉම දක්වා ඉදිරියට ගමන් කරන්නේද නැත. තවදුරටත් ඉදිරියට යා නොහැකි තැනක දැන් පරීක්ෂණ නැවතී ඇත්තේ ඝාතකයන් එදා මෙන්ම අදත් රටේ නීතියට ඉහළින් සිටින බැවිනි. ඉදිරියේදී එම තත්ත්වය වෙනස් කරන තීරණාත්මක දේශපාලන වෙනසක් රටේ සිදු නොවුණහොත් ලසන්තගේ මළ සිරුර ගොඩගත් තැනම ඝාතන පරීක්ෂණ වැලළීම හැර අන් යමක් අපේක්ෂා කළ නොහැකිය. එබැවින් යුක්තිය ඉටු කරගැනීමේ ප්‍රවේශයක් ලෙස ලසන්ත ඝාතනය පිළිබඳ නඩුව මහජන විනිශ්චය සභාවක් හමුවේ විභාගයට ගැනීම වඩාත් සුදුසුය. එහිදී අපරාධකරුවන් නිශ්චය කරගැනීමට දැනට අනාවරණය වී ඇති තොරතුරු සහ හමුවී ඇති සාක්ෂි ප්‍රමාණවත්ය.