රාවය

මාලිමාව අහිමි ජාතික දේශපාලන ව්‍යාපාරයක්ද?

මාලිමාව අහිමි ජාතික දේශපාලන ව්‍යාපාරයක්ද?

පළල් නියෝජනයක් සහිත ජාතික දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව රට හමුවේ තිබේ. 2020 ජනාධිපතිවරණය ආසන්න වන විට එම අවශ්‍යතාව සැපිරීමට යළි අතුරලියේ රතන හිමියෝ ඉදිරිපත් වී සිටිති. 2014 අග භාගයෙහිත් උන්වහන්සේ වත්මන් ජනාධිපතිවරයා තනතුරෙහි තැබීමට මේ ප්‍රවර්ගයේම මැදිහත්වීමක් කළහ. මෛත්‍රී ජනපති කිරීමෙන් පසු වර්තමානයේ ඒ පිළිබඳව සතුටු වන හෝ දුක්න එක තනිකරම රතන හිමිට පැටවීමට තරම් අප සාහසික නොවිය යුතුය. මන්ද එම ව්‍යායාමයට ඒ මොහොතේ ප්‍රගතිශීලී යැයි කිවහැකි කවුරුත් පාහේ අත ගැසූ නිසාය.

මෙවර තත්ත්වය ඊට වෙනස්ය. රතන හිමි දැන් කියන්නේ මෛත්‍රී අපි කාගේත් බලාපොරොත්තු බිඳ දැමූ නිසා අලුතින්ම පුළුල් ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවය. මෙම ජාතික බලවේගය තුළට පන්සියයකගෙන් සැදුම්ලත් පුළුල් විද්වත් මණ්ඩලයක් ඒකරාශී කරමින් සිටින බවත් එහිමියෝ පවසති. ලංකාවේ රජුන් තනන්නා රතන හිමියෝද? යන ප්‍රශ්නය දැන් අප විමසිය යුතුව තිබේ. මෙය එකකු නරක් වූ විට ඔහු පරාජය කර ඒ වෙනුවට වෙන විකල්පයක් ලබාදීමක් වැනි ක්‍රියාවකි. 2020 සඳහා ගෙන එන පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන ගිය මාවතේම ගියහොත් 2025දී වෙනත් අයකු හඳුන්වාදීමට නව ජාතික බලවේගයක් හදන්නට රතන හිමියන්ට සිදුවෙයි. මේ වැඬේ කෙළවර වනු ඇත්තේ රතන හිමි තවත් වසර 20-30කට පසුව ජාතික බලවේග හදන්නට නොහැකි වන මට්ටමට අරෝබලත් වූවාට පසුවද? ලංකාව තෝරා ගන්නා පාලකයන්ගේ ගති ස්වභාවය විමසා බලන විට තව සෑහෙන කලක් මේ ජාතියේ වැඩ කර කර සිටීමට අප කාටත් සිදුවනු ඇත. ඇත්ත ජීවිත ප්‍රශ්න පාමුල තබාගෙන හිට්ලර් ගැන, කොටි ගැන, මරණ දඬුවම ගැන ආදී වශයෙන් මළගෙදරක නිදි වරන්නට උචිත දේවල් දෛනික කථෝපකථනයට ලක් කිරීමට සිදුවනු ඇත. සැබැවින්ම මේ නිරර්ථක ක්‍රියාවෙන් හා කතාවෙන් ගැලවෙන මගක් රටට නැද්ද?

රතන හිමි කියන පරිදිම ලංකාවට නව ජාතික දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව දැනෙයි. එය හදන්නේ කවුද යන්න සේ ම එහි අඩංගුව කවරාකාරද යන්න පිළිබඳව නව බලවේග හදන්නට කතා කරන කිසිවකුටත් ගැඹුරු අදහසක් ඇති බවක් නොපෙනේ. පුද්ගලයකු පෙන්වා මෙන්න දියසේන කී පමණින් ලංකාවේ ජනයාත් ඡන්දයදී ඔහු ජනාධිපති තනතුරට පත් කරන නිසා රතන හිමියන්ට මේ වැඬේ තව කාලයක් කරන්නට හැකිවනු ඇත. රතන හිමි ජනපති උපදේශකයකු වී කලක් සිටියහ. බොහෝ ජනපති උපදේශකවරු ඉන් බැහැර වී ගියවිට කියන්නේ ජනපති කිසිම උපදේශයක් පිළිපදින්නේ නැත යන කතාවය. රතන හිමිටත් එසේ වන්නට ඇත. රතන හිමි මෙහිදී දැනගත යුතු යථාර්ථය වන්නේ ජනාධිපති වන්නට පෙර කවර පණ්ඩිතයකු වුව ඕනෑම උපදේශයක් වෙනුවෙන් ඔළුව වනන බවය. එමෙන්ම ජනාධිපති වූවාට පසු අටපහ නොදත් එකකු පවා උපදෙස් දෙනවා මිස අන්‍යයන්ගේ උපදෙස් මායිම් නොකරන බුද්ධිමතකු වන බවය. ආසන්න සෑම ජනාධිපති කෙනෙක් අරභයාම තත්ත්වය ඊට වෙනස් නැත. අනෙක් අතට රාජ්‍ය පාලනය වැනි සංකීර්ණ විෂයකට උපදෙස් දීමට මහෞෂධලා දැන් නැති බවත් සිටින්නේ රැකියා විරහිතයන් පිරිසක් බවත් අද කාලයේ ජනාධිපතිවරු දනිති.

සැබැවින්ම රතන හිමි කියන ආකාරයේ ජාතික දේශපාලන ව්‍යාපාරයක් රටට අවශ්‍යය. එහෙත් එය ඡන්දයක් සඳහා අටවන ව්‍යාපාරයක් බවට පත්වීමෙන් මුදාගැනීම පිළිබඳ ධෛර්යයක් අප කාටත් තිබිය යුතුය. ජාතික බලවේගයේ පෙරමුණ ගැනීමට ඕනෑතරම් බුද්ධිමතුන් සිටිය හැකිය. එහෙත් බොහෝ බුද්ධිමතුන්ට සාමාන්‍ය ජන දිවිය ගැන අවබෝධයක් නැත. ඔවුහු පොල්ගෙඩියක් ලෙලි ගසා ගැනීමට නොදන්නා බුද්ධිමතුන් වෙති. අනෙක් අතට පහළම පන්තියේ එකකු හෝ ගොවි පුතකු ජාතික දේශපාලන ව්‍යාපාරය ඔස්සේ මතුවුවහොත් රට දැඩි සත්කාර ඒකකයක් බවට හැරෙනු ඇත. ලංකාවේ අත්දැකීම එබඳුය. රතන හිමි කියන ජාතික දේශපාලන ව්‍යාපාරය පුද්ගලයකු වෙත නොව නිශ්චිත සමාජ – ආර්ථික වැඩපිළිවෙළක් වෙත කේන්ද්‍ර ගතවිය යුතු බව කියන්නට පෙළැඹිය යුතුය. වස විස නැති ගොවිතැන වැනි පාලනයෙහි තබාගත නොහැකි අතාර්කික සටන් පාඨ හැර පියා නීතියේ පාලනය තහවුරු කිරීම වැනි ප්‍රධාන තේමාවකට එම ව්‍යාපාරය පත්කිරීම ගැන රතන හිමි සිතිය යුතුව ඇත. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට මාරාන්තික විරෝධය නොපා ජාතික අර්බුදය විසඳීමට හැකි ප්‍රතිපාදන සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම, ජාතීන් අතර සංහිඳියාව වගා දිගා කිරීම, මානව හිමිකම් සුරැකීම, පන්තීන් සහිත සමාජය වෙනස් නොකළැකි වුවත් පන්ති විෂමතාව අවම කිරීමට යත්න දැරීම ජාතික දේශපාලන ව්‍යාපාරයකට තේමා කරගත නොහැක්කේ ඇයි? රට හිඟන ආර්ථිකයෙන් මුදවා නිෂ්පාදන ආර්ථිකයකට යොමු කිරීමත් දරිද්‍රතා රේඛාවට පහළ සිටින ජනයා ඉන් මෙපිටට ගැනීමත් මෙවැනි ව්‍යාපාරයක ඉලක්ක බවට පත්කළ නොහැක්කේ ඇයි? වසවිස නැති ගොවිතැනට හා ග්ලයිෆොසෙට්වලට, එරෙහිව ලඹ දෙනවාට වඩා ඉහත කී අරමුණු දේශපාලන ව්‍යාපාරයක පදනම බවට පත්කර ගැනීමට වෙහෙසීම වැදගත්ය. ලංකාවට රටක් ලෙස ඉදිරියට යාහැක්කේ පැරණි සමාජවාදයේ වලිග සහිත සටන් පාඨවල එල්ලී සිටීමෙන් නොවේ. නූතන ලෝකයේ දිසාව මාලිමාවක් කරගැනීමෙනි.