එල්ලුම් ගහ නිර්- රොමෑන්තික කිරීම

ජයදේව උයන්ගොඩ

ලංකාවේ දේශපාලනඥයන්ද, ජනමාධ්‍යයද විසින් වරින් වර රොමෑන්තිකකරණයට ලක් කරනු ලබන විවිධ විෂය වස්තූන් තිබේ. ‘එල්ලුම් ගහ’ මේ ලැයිස්තුවට අලුතෙන්ම එකතු වී ඇති සංසිද්ධියයි. බොහෝ පුවත්පත් ලේඛකයන්ද එල්ලුම් ගහ රොමෑන්තික කිරීම වෙත ඇදී යන නිසා, එල්ලුම් ගහ නිර්-රොමෑන්තික කිරීම හදිසි අවශ්‍යතාවක් වී තිබේ. මේ ලිපිය ලියන්නේ ඒ අරමුණ ඇතිවය.

ලංකාවේ සිරගෙවල්වල දැනට ක්‍රියාත්මකවන්නේ නැති ‘එල්ලුම් ගහ’ ගැන කිට්ටු අවබෝධයක් ඇතිව දැනට ජීවතුන් අතර සිටින පිරිස දෙසීයකට පමණ අඩුවෙතැයි මට සිතේ. මට මතක හැටියට, එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම නැවතුණේ 1978දීය. ඊට පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ අලුගෝසු මහතුන් දැන් සේවයේ හෝ මේ ලෝකයේ හෝ නැතිවා වන්නට පුළුවන. ඒ සමගම හිරගෙදර එල්ලා මැරීමේ රාජකාරිය භාරව සිටි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ හිරකරුවන් බොහෝ දෙනකුද දැනට ජීවතුන් අතර නැතැයි මට සිතේ. ඉතිරිව ඇත්තේ ඒ කාලයේ වැලිකඩ සහ බෝගම්බර සේවය කළ තරුණ නිලධාරීන් සහ දඬුවම් විඳි තරුණ සිරකරුවන්ය. ඔවුන්ගේ සංඛ්‍යාවද සීයකට දෙසීයකට සීමාවනු ඇතැයි මට සිතේ.

ඇල්ෆ්‍රඞ් සොයිසා

මාද එම සීමිත පිරිසකගෙන් කෙනකු වීම එල්ලුම් ගහ නිර්-රොමෑන්තික කිරීමේ මගේ මේ සුළු උත්සාහයට පසුබිම සපයයි. 1971 සිට 1975 දක්වා ජවිපෙ දේශපාලන සිරකරුවන් ලෙස රාවයේ උපදේශක කර්තෘවරයා ඇතුළු අපි බොහෝ දෙනකු වැලිකඩ H වාට්ටුවේ සිටියෙමු. එසේ සිටිද්දී සිරකරුවන් මෙන්ම නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා අතර මහත් උනන්දුවක් දැක්වූ මාතෘකාවක් විය. එනම්, මරණ දඬුවමට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සිරකරුවන්, එංගලන්තයේ රාජාධිකරණයට ඉදිරිපත් කර තිබුණු අභියාචනා අහෝසි කරන අලුත් නීතියක්, එවකට අධිකරණ ඇමතිව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ගෙන ඒමට සූදානම්වීමයි. ලංකාවේ පුරවැසියන්ගේත්, රාජ්‍යයේත් ‘පරමාධිපත්‍යය’ යළි ලබාදෙන මේ අලුත් නීතිය කෙළින්ම බලපාන්නේ තමන්ට බව පළමුවෙන්ම අවබෝධ කරගෙන සිටි කෙනකු නම්, එවකට මරණ දඬුවමට නියමව සිටි කැලැත්තාවේ ඇල්ෆ්‍රඞ් සොයිසාය.

සොයිසා, එවකට රට කැළඹූ කැලැත්තෑවේ මිනීමැරුම් නඩුවේ ප්‍රධාන විත්තිකරුය. ඔහුගේ සගයන් දෙදෙනක්ද මරණ දඬුවම් නියම වී වැලිකඩ සිටියහ. ඉන් එක් කෙනකුගේ නම කළු ඇල්බට්ය. අනෙකාගේ නම මට දැන් මතක නැත. මේ තිදෙනාමත්, මරණ දඬුවම නියම වූ තවත් සිරකරුවන් කිහිප දෙනකුත් හමුවී, කතා කිරීමේ දුර්ලභ අවස්ථාද මට ලැබිණි. ඉන් එක් අයකු වූයේ කොළඹ විහාරමහාදේවී පිටිය අසලදී, තම පෙම්වතිය සමග මෝටර් රථයේ සිටි තරුණ දොස්තර මහතාට පිහියෙන් ඇන මරා දැමූ ද්‍රවිඩ තරුණයාය. දෙදනකු එවකට රට හොල්ලා තිබුණු බද්දේගම සිව් මිනීමැරුමට සම්බන්ධ දෙදෙනාය. මගේ මතකයේ හැටියට ඔවුන් එක පවුලේ අයියා-මලෝවරුන්ය. මේ අතර, මරණ දඬුවම ලබා පසුව ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලිහිල් දඬුවම් ලැබූ සිරකරුවන් දෙදෙනකු සමග දීර්ඝ සාකච්ඡාවල යෙදීමටද මට අවස්ථාව ලැබිණ. එක් අයකු හිනිදුම පළාතේ හොරෙන් ලී ඉරූ ගොවියෙකි. සිංහරාජ කැලෑවේ ලී ඉරීමට ඔහු ගොස් සිටියදී ඔහුගේ ගෙදර තනිවූ භාර්යාව සමග මිත්‍ර වූ තම බාල සහෝදරයා මැරීම ඔහුට තිබුණු චෝදනාවයි. ඔහුගේ ජීවිත කතාව පසුබිම් කරගෙන මම ඒ කාලයේ කෙටිකතාවක්ද ලියූවෙමි. එය කියවූ වික්ටර් අයිවන් මහතා, මට හොඳ සාහිත්‍යකරුවකු වීමේ හැකියාව තිබේ යැයිද මාව වර්ණනා කළේය. එහෙත් ඒ කෙටිකතා එකතුව මා අතින් සම්පූර්ණයෙන් නැතිවී ගොසිනි. වික්ටර් අයිවන් මහතාගේ අනාවැකියද ඉටුවී නැත.

ඇල්ෆ්‍රඞ් සොයිසා මට හමුවූයේ, පසුගිය කාලයේ අප රටේ ජනමාධ්‍යවලට විශාල මාතෘකාවක් වූ වැලිකඩ සිරකරු රෝහලේදීය. දරුණු සිරකරුවකු ලෙස සැලකුණු මා දමා තිබුණේ විශේෂ අධි ආරක්ෂක, එහෙත් කුඩා සිරමැදිරියකයි. දවස් තුන හතරක්ම අපි දෙදෙනාට, සිරමැදිරියේ යකඩ කූරුවල එල්ලී කතා කිරීමට අවස්ථාව ලැබිණ. ෆීලික්ස්ගේ අලුත් නීතිය යටතේ, තම රාජාධිකරණ ඇපෑල අවලංගු වන බවත්, ඒ නිසාම එල්ලුම් ගහට නැගීම නියත බවත් ඔහු මා සමග කීය. ඒ සමගම ඒ සඳහා ඔහු සූදානම්වෙමින්ද සිටියේය. අනුරාධපුරයේ ප්‍රබල ව්‍යාපාරිකයකු වූ ඔහු තමා බැලීමට පැමිණි ගෙදර අයට සහ කාර්යාලයේ මැනේජර්ලාට, තම ව්‍යාපාරවලට කළයුතු දේ ගැන ඔවුන්ට උපදෙස් දෙනුද මට පෙනිණ.

බිලි පූජාව

සොයිසාගේ කතාව, මා ඊළඟට කරන්නට යන විස්තරයට හුදු පෙරවදනක් පමණි. සොයිසාගෙන්ද, මරණ දණ්ඩනයට නියම වී, එල්ලුම් ගස් වාට්ටුවේ සිටි පසුව මරණයෙන් නිදහස් වූ සිරකරුවන්ගෙන්ද, සිරගෙදර මිත්‍ර නිලධාරීන්ගෙන්ද ලද තොරතුරුත් කැලැත්තෑවේ තිදෙනාත් තවත් සිරකරුවන් කිහිපදෙනකුත් එල්ලා මැරූ දිනවල සිරගෙදර සිදුවූ ක්‍රියාවලියත්, සමහර එල්ලා මැරීම් සියැසින් දුටු නිලධාරීන් හා සිරකරුවන් කිහිප දෙනකු අප සමග කියූ විස්තරත් පිළිබඳව, අවුරුදු 35කට වඩා පැරණි මගේ මතකය පදනම් කරගෙන මා දැන් ගොඩනගන්නට යන්නේ, සිරකරුවන් එල්ලා මැරීමේ ප්‍රසිද්ධ එමෙන්ම රහස් ‘යාතු කාර්මික බිලි පූජාව’ ගැනයි.

මෙම යාතු කාර්මික බිලි පූජාවේ විශේෂත්වයක් තිබේ. එය නම්, එක් මොහොතක, මුළු රාජ්‍යයම එහි ජනාධිපති, අධිකරණ ඇමති, පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, පිස්කල් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පල්ලිය, ආගම සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ එහි සමස්ත ශක්තියම එකතු වී, තනි පුද්ගලයකුගේ ‘ශරීරය’ මතට පතිත වී එය උත්සවශ්‍රීයෙන් කුඩු පට්ටම් කර දැමීමයි, එනම් ක්‍රමිය කිරීමයි. එහෙත් එය වූකලී රහස් රාජ්‍ය සංදර්ශනයකි.

මගේ මතකයේ ඇති තොරතුරුවලට අනුව, මෙම මිනිස් බිලි පූජාවේ ඇත්තේ විස්තෘත සහ මනා ලෙස සංවිධානය කරන ලද යාතු කාර්මික ක්‍රියාදාමයකි. එය සිරගෙදර තුළ ආරම්භවන්නේ, ජනාධිපතිතුමා විසින් තම රාජ්‍ය බලමහිමය ක්‍රියාත්මක කිරීමේ සංකේතයක් ලෙස තමන්ට ජීවිත දානය ලබාදෙන ලෙස, සිරකරුවා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීමෙනි. ඉන්පසු එම නියෝගය අධිකරණ අමාත්‍යාංශයට යැවේ. අධිකරණ අමාත්‍යාංශය, ෆිස්කල් නිලධාරියකු මාර්ගයෙන්, එම නියෝගය බන්ධනාගාර කොමසාරිස්වරයාට ලබාදෙයි. ඊට පසු අධිකරණ අමාත්‍යාංශය. ෆිස්කල් දෙපාර්තමේන්තුව සමග එකතු වී, සිරකරුවා එල්ලා මරණ දිනය තීරණය කරනු ලැබේ. ඉන්පසුව, මරණ දඬුවම හිමිවූ සිරකරුවන් වෙතට, බන්ධනාගාර කොමසාරිස්, අධිකාරී සහ වෙනත් උසස් නිලධාරීන් සමග තම නිල ගමනේ යෙදෙන්නේ පිස්කල් දෙපාර්තමේන්තුවේ නිලධාරියාය. ඔහු සුදු ටසෝ කලිසමක්ද, සුදු ටසෝ කෝට් එකක්ද, සුදු කමිසයක්ද, කළු ටයි පටියක්ද පැළඳ සිටී. පිස්කල් මුලාදෑනියාගේ කාර්යය වන්නේ රජගෙදරින් පැමිණි ආඥාව, අර්ධ අඳුරෙන් යුතු කාමරයේ සිටින සිරකරුවාට, මහත් ගාම්භීර ලෙස කියවා පහදාදීමයි. එම ආඥාවේ ඇති සාමාන්‍ය පණිවුඩය නම්, තවත් සතියක් යන අසුවල් දවසේ උදේ 8.05ට අසුවල් නම ඇති යුෂ්මතා ජීවිතය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට නියෝග ලැබී ඇති බවයි. කිසිදු භාවමය හැඟීමක් ප්‍රකාශ නොකරමින්, ඉතා ශීතල ලෙස තම රාජකාරිය ඉටුකළ ෆිස්කල් නිලධාරියා, සිරගෙදර මුලාදෑනීන් පිරිවරාගෙන ආපසු යයි. සිරමැදිරිවල, මරණ දඬුවමට නියම වූ අනෙක් සිරකරුවෝද, මෙම යාතුකර්මය යන්තම් දකිති; අසති; තමන්ගේ දිනයද ළඟ එන බව මෙනෙහි කරති.

යාතු කර්මයේ ඊළඟ පියවර, එල්ලා මැරීමට දිනය ස්ථිර වූ සිරකරුවා එල්ලුම් ගසට ආසන්නයේ තිබෙන සිරමැදිරියකට මාරු කිරීමයි. පැනයාම හෝ එල්ලුම් ගහට යෑමේ දිනයට පෙර සියදිවි නසා ගැනීම හෝ සිදුවීම වැළැක්වීම සඳහා ඔහුගේ දෑතට මාංචුත්, දෙපයට යදමුත් දමනු ලැබේ. සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නම්, මෙම සිරකරුවා දැන හඳුනන නිලධාරීන් කරන්නේ, ඔහුගේ සිත සැනසීමට කතා කිරීමය. වහාම මහා පරිමාණ චිත්ත කම්පාවකට පත්වන සිරකරුවා සාමාන්‍යයෙන් කරන ඉල්ලීම් කිහිපයක් තිබේ. තම පවුලේ අය බැහැ දැකීම, සිරගෙදරදී නොලැබෙන තමන් ආශා කරන කෑම ඉල්ලීම සහ මරණයෙන් පසු තම ඇස් දෙක දන්දීමට කැමැත්ත පළකිරීම ඒවා අතර ප්‍රධාන වේ. සිරගෙදර ඇති සම්ප්‍රදාය අනුව මෙම සිරකරුවාට දිනපතාම ගෙදර ඥාතීන් හමුවීමත්, කැමති කෑමත් ලබාදීමත් සිදු කෙරේ. බොහෝවිට සිරකරුවන් ඉල්ලන ආහාර වන්නේ, බිත්තර ආප්ප, ගෙදර සෑදූ කිරිබත්, අම්මා හෝ භාර්යාව පිසූ ආහාර වේලක් සහ බුරියානිය. සමහර අයට ආගමික පූජකවරුන් හමුවීමට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් සිරගෙදරට නිතර පැමිණෙන කතෝලික කන්‍යා සහෝදරියෝ, සිරකරුවාගේ සිත සැනසීමට ධර්මය දේශනා කරති. ඔහුගේ ආත්මයට යාඥා කරති. පව් කමා කරමින් සැනසිල්ල ලබාගැනීමට මගපෙන්වති.

අන්තිම දින දෙක

යාතු කර්මයේ අන්තිම අඩිය පටන් ගන්නේ සිරකරුවා එල්ලා මැරීමට දින දෙක තුනකට පෙරය. ඉන් පළමු දිනයේදී, එල්ලා මැරීමේ රාජකාරිය නියමිත අලුගෝසු මහතා රාජකාරිය පටන් ගැනීමට පැමිණෙයි. අලුගෝසු මහතකු දැකීමට, වැලිකඩ සිරගෙදර අධිකාරී කාර්යාලයේදී මට වරක් අවස්ථාව ලැබිණ. ඒ දර්ශනය මගේ සිතේ තවමත් නොමැකී චිත්‍රණය වී තිබේ. ඔහු හැඳ සිටියේ කොළපාට කොටු කොටු සරමකි. සුදු අත්දිග කමිසයේ අත් උඩට නවා තිබුණි. කළු සම් සෙරෙප්පු දෙකක්ද පැළඳ සිටි ඔහුට, රළු, ඝනකම්, කළු මහත උඩු රැවුලක්ද තිබිණ. කසිප්පු හෝ ගල් අරක්කු පානය කිරීමෙන් ඔහුගේ ඇස් රතුවී තිබිණි. ඔහුට නම් ඇත්තටම තිබුණේ අලුගෝසු පෙනුමකි. හැම අලුගෝසු මහතෙකුම රාජකාරියට එන්නේ හොඳට වෙරිවී බව, සිරගෙදර නිලධාරීහු, මේ ගැන විමසූ විට මට කීහ. අලුගෝසු රැකියාව වනාහී හොඳ සිහියෙන් කළහැක්කක් නොවන බව, එම තනතුරු ඉල්ලා අයදුම්පත් යවා ඇති අයත්, ඒ ගැන වර්ණනා කරමින් වාර්තා ලියන පුවත්පත් කලාවේදීනූත් දන්නේ නැති බව පෙනේ.

අලුගෝසුවාගේ රාජකාරියේ පළමුවන කාර්යය නම්, එල්ලුම් ගස් මනාව ක්‍රියාත්මක වන බව ටෙස්ට් කිරීමයි. ඒ සඳහා ඔහු පළමුව කරන්නේ, බිම් තරාදියකින් සිරකරුවාගේ බර මැන, ඒ බරට සමාන වැලි ගෝනියක් සකස් කරගැනීමයි. කඹය මෙන්ම එල්ලුම් ගහේ සිරකරුවා පය තියන ලෑල්ල යන දෙකම මේ බරට ඔරොත්තු දෙනවාදැයි මෙහිදී පරීක්ෂා කෙරේ. සිරකරුවා එල්ලී සිටියදීම කඹය කඩා වැටුණු අවස්ථා අතීතයේ තිබිණි යනු සිරගෙදර ඇති එකී ජනප්‍රවාදයකි. ඒ නිසා, කඹයේ ශක්තිය ගැන සැකයක් තිබේ නම්, ඒ සඳහා අලුත් කඹයක් ආදේශ කෙරේ. එල්ලුම් ගහේ Trap door  එකේ ඇති සරණේරු නිසි ලෙස ක්‍රියාත්මකවීම සහතික කිරීම සඳහා ග්‍රීස් සහ තෙල්ගෑමද මේ අතරම සිදුවේ. ඒ මළකඩ සහිත සරණේරු යාතු කර්මයට නොගැළපෙන නිසාය. සිරකරුවා එල්ලා මැරීමට පෙර දිනද, එල්ලුම් ගස ටෙස්ට් කිරීම අලුගෝසුවාගේ රාජකාරියේ අනිවාර්යය අංගයකි.
දැන් පැමිණෙන්නේ එල්ලීමට කලින් දිනයයි. එදින සිදුවන ටෙස්ට් එක බැලීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් මෙන්ම වෛද්‍යවරයාද පැමිණෙති. සිරකරුවා එල්ලුම් ගසට ආසන්නයේම තිබෙන කාමරයට මාරු කරන්නේ එදාය. ඒ දිනයේදී මත්පැන් හැර ඕනෑම කෑමක් බීමක් සිරකරුවාට ඉල්ලා ගත හැකිය. සමහර සිගරැට් ඉල්ලූ විට ඒවාද ලැබේ. ඉතා හිතවත් මානුෂික ගති ඇති බන්ධනාගාර නිලධාරියකු රාජකාරියේ යෙදී සිටින්නේ නම්, මත්පැන් ස්වල්පයක්ද හොරෙන් ලබාගත හැකිය. මා අසා ඇති පරිදි, බොහෝ සිරකරුවෝ අන්තිම රාත්‍රියේදී නිදා නොගනිති. ඔවුහු එක්කෝ කුඩා සිරමැදිරියේ සෙමින් සක්මන් කරති; නැතිනම් රාජකාරියේ සිටින නිලධාරීන්ට තම ජීවිත කතාව කියති.

අන්තිම දිනය

එල්ලා මරණ දිනයේ විශේෂ සිදුවීම් ගණනාවක් තිබේ. සාමාන්‍යයෙන් එල්ලීම සිදුවන්නේ උදේ 8.05ටය. එය බි්‍රතාන්‍ය සම්ප්‍රදායයි. පාකිස්තානයේ හිටපු අගමැති සුල්පිකාර් අලිභූතෝ එල්ලනු ලැබුවේද උදේ 8.05ටය යනු මගේ මතකයයි. සිරකරුවා මරණය සඳහා සූදානම් කිරීම ආරම්භවන්නේ උදේ පහටය. ඔහුට දත්මැද ගැනීමට, මුහුණ සෝදා ගැනීමට සහ අවශ්‍ය නම් ඇඟ සෝදා ගැනීමටද අවකාශ ලැබේ. ඉන්පසු, තමා අයත් ආගමේ පූජකයකු සමග ආගමික වතාවන්හි යෙදීමටත්, අවසාන වරට කිවයුතු දෙයක් තිබේ නම් එය බන්ධනාගාර නිලධාරීන්ට කීමටත් අවස්ථාව ලැබේ. මේ අතර අලුගෝසු මහතා සිය කටයුතු ලහි ලහියේ ලෑස්ති කරයි. තම පවුලේ ඥාතියා එල්ලා මරණ බව දන්නා, ඔහුගේ පවුලේ ඥාතියෝද, හිරගෙදර ඉදිරිපිට අපේක්ෂාභංගත්වයෙන් යුතුව, සුසුම් හෙළමින් සිටිති. වැලිකඩ සිරගෙදර H වාට්ටුවේ උඩ තට්ටුවේ ජනේලයකින් එබී බැලූවිට, එකල අපට මෙම සුසුම් හෙළන ඥාතීන්ද දැකගත හැකිවිය.

උදේ 7.30ට පමණ සිරමැදිරියට එන සුදු කෝට්, කලිසම් හැඳගත් පිස්කල් මුලාදෑනියා නැවතත් රජගෙදරින් පැමිණි නියෝගය සිරකරුවාට කියවයි. ඉන්පසු සිරකරුවා සෙමෙන් සෙමෙන් සූදානම් කිරීම සිදු කෙරේ. ඔහුගේ අත් සහ කකුල් හිරවෙන අලුත් නිල ඇඳුමක් ඇන්දවීම අලුගෝසුවාට භාරය. හොඳටම මත්පැන් බී පැමිණෙන ඔහු, සිරකරුවා අතින් අල්ලාගෙන එල්ලුම් ගස තිබෙන උඩට තරප්පුව දිගේ සිරකරුවා කෙමෙන් කැඳවාගෙන යයි. මා අසා ඇති පරිදි, සමහර සිරකරුවන්ට බඩඑළිය යයි. තවත් සමහර අය ආණ්ඩුවටත්, අලුගෝසුවාටත් අසභ්‍ය වචනයෙන් බැණ වදිති. තවත් අය නිස්කලංකව තරප්පු පෙළ නගිති. ඉන්පසු සිරකරුවාගේ ඇස් සහ මුහුණ වැසෙන කළු රෙද්දෙන් කළ මුහුණ වැස්මත් පළඳවනු ලැබේ. ඒ අතර, පහළ බිම් තට්ටුවේ සිටින අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර සහ ෆිස්කල් නිලධාරීන්, පූජකවරයා සහ රාජකාරි භාර සිරකරුවෝ, උඩ සිදුවන දෙය නොඉවසිල්ලෙන් බලා සිටින අතර අලුගෝසුවා කරන්නේ සිරකරුවා, එල්ලුම් ගසේ වේදිකාවට කැඳවා ඔහුගේ බෙල්ලට තොණ්ඩුව දමා තදකර වේදිකාවේ ලෑල්ල එක පැත්තකින් පහලට කැරකෙන ලෙස, ලීවරය ඇදීමයි. ‘ටකස්’ යන ශබ්දයත් සමග, කඹය බෙල්ලේ හිරවූ සිරකරුවා පහළට වැටෙයි. මා අසා ඇති පරිදි, තොණ්ඩුව තදවුණු සිරකරුවාගේ බෙල්ල අප්‍රාණිකව එක් පැත්තකට හැරේ. පහළ රාජකාරියේ සිටින සිරකරුවන් කරන්නේ, කඹයේ එල්ලෙන මියගිය සිරකරුවාගේ සිරුර පැද්දීම නවත්වා මේසයකට බෑවීමයි. ඉන්පසු වහාම ක්‍රියාත්මක වන්නේ සිරගෙදර ප්‍රධාන දොස්තර මහතාය. හෘදය, පෙණහලු සහ ස්නායු ස්ඵන්දනය පරීක්ෂා කර, ඔහු මියගිය බව නිල වශයෙන් සහතික කිරීම ඔහුගේ පළමු කාර්යයි. සිරකරුවා ඇස් දන් දීමට කැමැත්ත පළකර ඇත්නම්, ප්‍රවේශමෙන් ඔහුගේ ඇස් දෙක ඉවත් කර, තම සහායකයාට දීම ඔහුගේ අවසාන රාජකාරියයි.
ඉන්පසුව කෙරෙන්නේ සිරකරුවාගේ සිරුර, බාල ලෑලිවලින් සෑදූ මිනී පෙට්ටියක බහා ඇණ ගසා, කනත්ත කරාගෙන යෑමයි. එළියේ හඬමින් සිටින ඥාතීන්ට, මිනිය දකින්නට නොලැබේ. එහෙත් ඔවුනට කනත්තට ගොස් මිනියට අවසන් ගෞරව දැක්විය හැකිය. මිනී පෙට්ටියට හෝ සොහොනට මල්වඩම් තැබීම තහනම්ය. මිනී පෙට්ටිය, උරහිස මත තබාගෙන යෑමද කළ නොහැකිය. මිනීවළේ මුදුනද සමතලා කළ යුතුය. මක්නිසාද එය ummarked  grave  එකක්, එනම් හඳුනා ගැනීමට ලකුණු නැති, සොහොනක් විය යුතු නිසාය. 1988 හා 1989 කාලයේ ජවිපෙ කාඩර්වරුන් අනුගමනය කළේද මෙම බන්ධනාගාර සම්ප්‍රදායයි.

මේ අතර, බන්ධනාගාරය තුළ සිටින සිරකරුවෝද, අසල නිවෙස්වල සිටින පදිංචිකරුවෝද ‘අද මිනිහෙක් එල්ලන දවසක්’ යයි උදේ පහේ සිට දැනගනිති. එනම් උදේ පහේ සිට නවය දක්වා සිරගෙදර හෝරාව සලකුණු කරන ඝාණ්ඨාරය නාද නොකිරීමයි. 1891දී ජෝර්ජ් ගිසිං නම් ඉංග්‍රීසි ලේඛකයා පළ කළ New Gun Street  නම් නවකතාව ආරම්භ වන්නේ, ලන්ඩන් සිරගෙදර අසල ගෙදරක උදේ ආහාරයට ගන්නා දෙදෙනකු, උදේ 8.00ට සුපුරුදු සිරගෙදර හෝරා ඝාණ්ඨාරය නාද නොවීමෙන් ලැබුණු ඔවුන්ගේ සිත සසළ කළ නිහඬත්වයේ සංඥාව සමගය. 1915 සිංහල මුස්ලිම් කෝලාහලයට එල්ලුම් ගස් යවා මරණ ලැබූ හෙන්රි පේද්‍රික් වීරයා එල්ලූ දිනයේ උදේ කොළඹ බොරැල්ල සහ රාජගිරිය අවට අවමඟුල් ගෙදරක ස්වභාවය ගත්තේ සිරගෙදර හෝරා ඝණ්ඨාරය, උදේ පහේ සිට නවය දක්වා නාද නොවූ නිසාය.

(මේ සටහනේ සමහර කරුණු අසම්පූර්ණ හෝ නිවැරදි නොවන්නේ නම් හෝ ඊට වගකිවයුත්තේ අවුරුදු 50කට පමණ ආසන්න පැරණි මගේ ස්මරණයයි.)